*********************************************
මහාචාර්ය නීලිකා ගෙන් නැවතත් මාධ්‍යයට චෝදනාවක්
(06.09.2021 – 22:38 +0530 – hirunews.lk/sinhala)
මෙරට ජනමාධ්‍ය දිගින් දිගටම තමන් සිදුකරන ප්‍රකාශ වැරදි ලෙස අර්ථ ගන්වමින් පළ කරන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ විද්‍යාඥවරියක වන මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා.
ඇය චෝදනා කරන්නේ තමන් අන්තර්ජාලය ඔස්සේ විනාඩි 40 ක් පුරා සිදුකරන දේශනයක කුඩා වාක්‍ය ඛණ්ඩයක් පමණක් උපුටා දක්වමින් තමන් සිදුකරන සම්පූර්ණ දේශනයේ අර්ථය සහමුලින් විකෘති වන ලෙස මෙරට ජනමාධ්‍යය වාර්තාකරණයේ යෙදෙන බවයි.
පසුගිය දිනෙක තමන් පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයක් මෙලෙස වැරදි ලෙස උපුටා දක්වමින් සිදුකර තිබූ වාර්තාකරණයක් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය එම සිදුවීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා.
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මෙරට ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින්නේ පුද්ගලයින් සිදු කරණ ප්‍රකාශ වැරදි ලෙස උපුටා දැක්වීම හෝ එහි අන්තර්ගතය විකෘති කිරීමෙන් වළකින ලෙසයි.
එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් :
මේ කාලය පුරාම මම නිහඬව සිටියෙමි. මම කිසි විටෙකත් නොකියූ දේ මා කල බවට සඳහන් කරමින්, මා කරනා විනාඩි 30-40 ක අන්තර්ජාල දේශනයකින් එක වාක්‍යයක් පමණක් ගෙන සමස්ත දේශනයේ අර්ථය බැහැර කර, ශ්‍රී ලංකාවේ මාධ්‍ය මා වැරදි ලෙස උපුටා දක්වමින් සිටියදී මම නිහඬව සිටියෙමි.
ශ්‍රී ලංකාවේ මාධ්‍යය මාවම ඉලක්ක කර මෙය කිරීම ගැන මම බෙහෙවින් වෙහෙසට පත්ව සිටිමි.
දැන්වත් මෙය නැවැත්විය යුතුයි! ඔවුන් මෙය කරන්නේ ඇයි? මේකට නැවතුමක් නැද්ද?
ඔවුන් වැරදි දේ උපුටා දැක්වීමෙන් හා ඊටත් වඩා නරක ලෙස මම කිසි දිනෙක නොකියූ දේ පළ කිරීමෙන් සිදු කරන හානිය ඔවුන් නොදන්නේද?
එසේම, මම විනාඩි 30-40 ක වෙබිනාර් (webinar) එකක් කළ විට ඔබ මුළු වෙබිනාර් එකේම වාක්‍යයක් පමණක් ගෙන එය මාතෘකාවක් ලෙස තැබුවහොත් එය කෙතරම් නොමඟ යවන සුළුද?
‘අපි දැන් පාසල් විවෘත කළ යුතු’ යැයි මම කිසිවිටකත් කීවේ නැත.
මේ වන විට රට අගුලු දමා ඇති අතර රෝගීන් වාර්තා වීම සහ මරණ අඩු වීමට පටන් ගෙන ඇත.
ගේට්වේ විද්‍යාලයේ වෙබිනාර් එකකදී මම ඇත්ත වශයෙන්ම පැවසූ දේ ගැන යමෙකු උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර එම දිගුව බලන්න.
එවිට ඔබට මම මෙය පැවසුවාද නැද්ද යන්න පරීක්‍ෂා කර බැලිය හැකියි.
සේ නොමැතිව මට උපහාස කරන්නන්ටත් නින්දා කරන්නන්ටත් කියන්නට වෙනත් දෙයක් නැත ෴
******************************************
(06.09.2021 – 22:53 +0530 – hirunews.lk/sinhala)
ත්‍රීකුණාමලය කන්තලේ වැව ආශ්‍රිතව ඉදිකිරීමට යෝජනා වූ ඇවිදින මංතීරුවේ ඉදිකිරීම් කටයුතු වහාම අත්හිටුවන්න ට රජය තීරණය කර තිබෙනවා.
මෙම ඇවිදින මංතීරු ව්‍යාපෘතියට ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා, ගොවි ජනතාව සහ දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ දෙනා දැඩි විරෝධය එල්ල කර ඇති බවටයි වාර්තා වන්නේ.
ඔවුන්ගේ ප්‍රමුඛතම චෝදනාවක් වූයේ රට වසංගතයකට මුහුණ පා බරපතල ආර්ථික ආගාධයකට වැටී ඇති අවස්ථාවක රජය අනවශ්‍ය ව්‍යාපෘතින් සඳහා මුදල් වැය කරන බවටයි.
වැව් ආශ්‍රිතව ඉදි කිරීමට සැලසුම් කර ඉකිරීම් කටයුතු සිදු කරන අතර වාරයේ ජනතා විරෝධය හමුවේ අත්හැර දැමුණු දෙවැනි ඇවිදින මංතීරුව මෙයයි.
මීට පෙර පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඉදිකිරීමට සැළසුම් කළ ඇවිදින මංතීරුව ද ප්‍රදේශවාසී භික්ෂූන් වහන්සේලාගේ සහ ගොවි ජනතාවගේ දැඩි විරෝධය හමුවේ අත්හැර දමන්නට සිදු වුණා.
මෙහිදී මෙම ඇවිදින මංතීරු ව්‍යාපෘතියට අදාළ මුදල් මීට මාස කීපයකට පෙර කැඩී ගිය ‘දිවුල් ගස් වැව’ පිට වාන ඉදිකිරීම සඳහා වැය කරන ලෙසයි අදාළ විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති විශාලතම ජලාශය වන කන්තලේ වැවේ ජල පෝෂක ප්‍රදේශය වර්ග සැතපුම් 83 ක් වන අතර ධාරිතාව ඝන මීටර් මිලියන 135 ක් ෴
******************************************
අදත් (06) තැන තැන වී සහ සීනි වැටලීම්
(06.09.2021 – 20:06 +0530 – sinhala.adaderana.lk)
පාලන මිලක් නිකුත් කර තිබීයදීත් සඟවා ඇති සීනි සහ සහල් තොග වැටලීම පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් අදත් (06) දිවයින පුරා ක්‍රියාත්මක කර තිබුණි.
පාරිභෝගික කටයුතු අධිකාරිය ඉකුත් බ්‍රහස්පතින්දා (02) රාත්‍රියේ නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සීනිවලට මෙන්ම සහල් සඳහා ද පාලන මිලක් නියම කෙරුණි.
එම මිල ගණන්වලට වෙළෙඳපොළට නිකුත් නොකර තවදුරටත් සඟවා තබාගෙන සිටින සීනි සහ සහල් තොග මෙලෙස පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් වැටලනු ලැබීය.
ඒ යටතේ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ සීනි ගබඩාවක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් අද (06) වටලනු ලැබු අතර එහිදී සොයාගන්නා ලද සීනි ප්‍රමාණය මෙට්‍රක් ටොන් 1,500 කට ආසන්නය.
වත්තල ප්‍රදේශයේ ගබඩාවක් තුළ වෙළෙඳපොළට නිකුත් නොකර සඟවා තිබු සීනි කිලෝ 50 මිටි 12,500 ක ප්‍රමාණයක්ද අද (06) පාරිභෝගික සේවා අධිකාරිය සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් වටලනු ලැබීය.
එමෙන්ම එම ස්ථානයේ තිබී සීනි දියකර පුරවා තිබූ පැණි බැරල් 218 ක්ද මෙම වැටලීමේදී සොයාගෙන තිබේ.
එසේම ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සීනි ගබඩාවක් වැටලීමෙන් සොයාගත් සීනි මෙට්‍රක් ටොන් 5,500 ක ප්‍රමාණයක් අද (06) පාරිභෝගික සේවා අධිකාරිය යටතට ගනු ලැබු අතර එම තොග සතොස සහ සමුපකාර හරහා වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කෙරුණි.
මේ අතර ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පවත්වාගෙන යනු ලැබු ලියාපදිංචි නොකළ වී ගබඩා තුනකට (3) පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් අද (06) මුද්‍රා තබනු ලැබීය.
යකල්ල, ගෝමරන්කල්ල, මෙගොඩවැව යන ප්‍රදේශවල තිබු වී ගබඩා 03 ක් ද මුද්‍රා තබනු ලැබු අතර ඒවායේ තිබු වී තොග ප්‍රමාණය මෙතෙක් තක්සේරු කර නොමැත.
එමෙන්ම ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ, තඹලගමුව සහ මුල්ලිපොතාන යන ප්‍රදේශවල ගබඩා 04 ක සඟවා තිබු කිලෝ ලක්ෂ 2 කට අධික වී මලු 2,000 ක ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් අද (06) තම භාරයට ගත්තේය.
රුපියල් කෝටි 8 ක සීනි සහ සීනි පැණි සොයාගැනේ
(06.09.2021 – 20:53 +0530 – sinhala.adaderana.lk)
මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි සහ සීනි පැණි තොගයක් සමග පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සීනි සහ සීනි පැණි තොගයේ වටිනාකම රුපියල් කෝටි 8 කට අධික බව එම බළකාය පවසයි.
විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයට ලද තොරතුරක් මත අද (06) එම වැටලීම සිදුකර තිබේ.
එම ස්ථානයේ තිබී පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ 6,25,000 ක් සහ සීනි පැණි පිරවූ ලීටර් 210 යකඩ බැරල් 218 ක් ද පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගෙන තිබේ.
එලෙස සොයා ගත් භාණ්ඩ සහ අත්අඩංගුවටගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරින් වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
******************************************
පරාක්‍රම සමුද්‍රයේ මතුවූ අලුත් අවදානම
(06.09.2021 – 12:33 +0530 – sinhala.adaderana.lk)
පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමුවද, ව්‍යාපෘතිය හේතුවෙන් හානි වු රළපණාව යළි ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ඉදිරි වර්ෂා කාලයේදී වැව්බැම්මට හානි සිදුවීමේ දැඩි අවදානමක් මතුවී ඇති බව ප්‍රදේශයේ ගොවින් පෙන්වා දෙයි.
පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මතින් ඇවිදින මංතීරුවක් ඉදිකිරීම ආරම්භ කිරීම හේතුවෙන් වැව්බැම්මේ ආරක්ෂාවට යොදා ඇති රළපණාවේ ගල්, වැව තුළට ඩෝසර් කිරීමක් සිදුවන බවත් ඒ හරහා වැව විනාශ මුඛයට යෑමේ දැඩි අවදානමක් මතුවී ඇති බවත් පවසමින් භික්ෂුන් වහන්සේ, ප්‍රදේශවාසින් ඇතුළු පිරිසක් ඉකුත් මස 27 වනදා විරෝධතාවයක නිරත වුණි.
විරෝධතාවයත් සමඟ ඇවිදින මංතීරුවේ ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව තීරණය කළේය.
ඒ අනුව මේවන විට ඉදිකිරීම් අතහැර දැමීම හේතුවෙන් රළපෙණාවේ ගලවා දැමු ගල් එලෙසම පවතින අතර යළි රළපණාව ප්‍රතිසංස්කරණය කිරීමක් සිදුවී නොමැත.
ගොවින් චෝදනා කරන්නේ රළපණාවේ ගල් ඉවත් කිරීමෙන් මේ වනවිට වැව්බැම්මේ පස් සේදියමින් පවතින අතර ඉදිරියේදී වර්ෂා සමය ආරම්භවීමත් සමඟ වැව් බැම්මද විනාශ වී යාහැකි බවය.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති කෙරෙහි රජයේ අවධානය යොමුවුවද, අත්‍යවශ්‍ය පුරාවස්තු සංරක්ෂණය කිරීමට බලධාරීන්ගේ ඇති අවධානය අවම බවය.
ගොවින් පවසන්නේ ක්‍රි.ව 1587 – 1596 කාලය තුළ නිශ්ශංකමල්ල රජතුමා විසින් ඉදිකළේ යැයි සැලකෙන ගිම්හාන කුටිය කඩිනමින් සංරක්ෂණය නොකළහොත් එය පරාක්‍රම සමුද්‍රයේ දියරැලි පහරට හසුවී පරාක්‍රම සමුද්‍රය තුළටම කඩා වැටීමේ අවදානමක් මතුවී ඇති බවය ෴
******************************************
වාහන ආනයනය ගැන මෑතක දී බලාපොරොත්තු තැබිය හැකි ද ?
(05.09.2021 – 17:01 +0530 – sinhala.adaderana.lk)
වාහන ආනයනය කිරීමේ තහනම ඉදිරියේදී ලිහිල් කිරිමේ සුදානමක් පවතින බවට රජය මෙතෙක් දැනුම්දී නොමැති බව ‘ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය’ පවසයි.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පෙන්වා දෙන්නේ රට තුළ පවතින තත්ත්වය මත වාහන ආනයනය යළි ආරම්භ කෙරෙන දින වකවානු පිළිබඳව පැහැදිලි පිළිතුරක් දිය නොහැකි බවය.
“වාහන ආනයනය 2020 මාර්තු 19 රජය විසින් තාවකාලිකව නවතා දැමුවා. ඒ අනුව මේ වනවිට සම්පූර්ණ වාහන ආනයනය තාවකාලිකව නවතා දමලා තියෙන්නේ. මේ තත්ත්වය අපිට අවුරුද්දක් ද දෙකක් ද තුනක් ද කියන්න බෑ. සාමාන්‍ය විදේශ මුදල් සංචිත ශක්තිමත් වුණාම තමයි රජයට මේ ආනයන සීමාවන් ලිහිල් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි විකල්ප ක්‍රියාමාර්ග අපිට තියෙනවා. විදේශ ශ්‍රමිකයින්ගේ ගිණුම්වල තියෙන මුදල් අපි මාරු කරන්නේ නෑ. ඒවා මාරු කරලා. ඒ මාරු කිරීමේ තෑග්ගක් හැටියට 50%ක් වත් දෙන්න කියල, වාහනයක් ගෙන්වන්න. ඒ වගේ දේවල් තමයි අද සිතන්න ඕනේ. බැහැයි කියලා ඉන්නේ නැතුව. ඒ වගේ දේකට අවස්ථාවක් නොදෙන එකත් අපිට ප්‍රශ්නයක් ආනයනකරුවන් හැටියට. සමහර අපනයනකරුවන් කැමතියි ගොඩාක් පහුවෙලා හරි සල්ලි දෙන්න. මේ වගේ දෙයක් සුළු වශයෙන් හරි ක්‍රියාත්මක කෙරුවොත් මේ වාහනවල අතිවිශාල මිල ඉහළ යෑම පාලනය කරගන්න පුළුවන් වෙයි. ඉතාම ජනප්‍රිය වාහන දෛනිකව මිල ඉහළ යනවා. අපි මුදල් ඇමතිතුමාගෙනුත් ඉල්ලලා තියෙනවා.”
******************************************
ජවිපෙ ජිප්සීස් වීම හා සුනිල්
(07.09.2021 – 06:55 +0530 – lankaleadnews.com)
රටේ සංස්කෘතිය සදාචාරය අපේ උරුමයන් ගැන ජවිපෙ තරම් කතා කරපු වෙනත් පක්ෂයක් නැති තරම්. මම මේ කියන කාරණය 2000 -2005 වගේ කාලයේ පරණ ‘ලංකා’ පත්තර ටික කාට හරි බලන්න පුළුවන් නම් තේරෙයි.
උදාහරණයක් විදිහට ජිප්සීස් සුනිල් පෙරේරා කොළොඹ රාජකීය විද්‍යාලයේ කළ ‘කලර් නයිට්’ ප්‍රසංගය දැඩි ලෙස විවේචනය කිරීම සඳහන් කරන්න පුළුවන්. ඔහු එහිදී ‘මී අඹ වනයේ ගී හඩ පතුරා’ කියන ගීතය ගායනා කලේ ගැහැණියක් එකිනෙක ඇදුම් ගලවන නර්ථනයක්ද සමගින්. මේ සිද්දිය පාදක කරගෙන සුනිල් පෙරේරාට පමණක් නොව මෙවැනි පාදඩ සංස්කෘතියේ ගායකයින් රාජකීය විද්‍යාලයට වද්දා ගැනීමෙන් පාසලේ නම්බුවද එහි ආදී ශිෂ්‍යයන් විනාශ කළ බවට චෝදනා කරමින් පිටු ගණන් ලිපි ‘ලංකා’ පත්තරේ පළ කළා. ඒ සිදුවීම රටේ ආන්දෝලනයක් ඇති කරවපු සිද්දියක් බවට පත් කලේ ‘ලංකා’ පත්තරෙන්. මේ රටේ බොහෝ මිනිස්සුත් ‘ලංකා’ පත්තරේ එම වාර්තා අගය කළා.
එහෙත් අවුරුදු දහයකට විතර පස්සේ ජිප්සීස් සුනිල් පෙරේරා ජවිපෙ සමුළුවල පොල්තෙල් පහන පත්තු කරන ප්‍රධාන ආරාධිතයා වෙනවා. ජිප්සීස් සුනිල් ජවිපෙ වුණා ද ? නෑ. එකට කිව්වේ ජවිපෙ ජිප්සීස් වුණා කියලා.
ඊට පස්සේ ජවිපෙ වේදිකාවල එදා රැස්වීම් පටන් ගන්න කලින් ඇහුණ ‘හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන් සේ පොරණේ’, ‘ඉදුනිල් ගගුළැල් – රුව ලස්සන මව් ලංකා’, ‘රත්න දීප ජන්ම භුමි’ වගේ ගීත ඇහෙන්නේ නැතුව ගියා පමණක් නෙමෙයි ඒවා ජාතිවාදය කුළුගන්වන ගීත ලෙස වර්ණ ගන්වන ‘එන්ජීඕ’ දෘෂ්ටිවාදයකට මාරු වුණා.
සාම ගිවිසුමට එරෙහිව දේශපාලන පක්ෂයක් ලෙස රටේ ලොකු මතවාදයක් සහ විරෝධයක් ගොඩ නගලා අධිරාජ්‍ය විරෝධී වූ ජවිපෙ අද අධිරාජ්‍යවාදීන්ගේම ශාඛා සමිතියක් වෙන තැනට අනුර කුමාර දක්කාගෙන ගිහින් තිබෙනවා. ධනේෂ්වරයට එරෙහි නිර්ධන පංති විප්ලවය UNP සල්ලි වලින්ම කරන තැනකට විතැන්වෙලා ජනතා කැමැත්ත 3% ට සිමා කරගෙන තිබෙනවා.
සුනිල් පෙරේරාගේ මරණය මට ජවිපෙ මේ මතවාදී විතැන්වීම ද සිහිපත් කළා.
රත්තනදෙණියේ මේධානන්ද හිමි
******************************************
‘අග්‍රහාර රැකවරණ විශ්‍රාමික රක්ෂණාවරණ’යෙන් මින් පසු විශ්‍රාමිකයන්ට ජීවිත රැකවරණයක් නෑ
(07.09.2021 – 08:01 +0530 – lankaleadnews.com)
විශ්‍රාමිකයන් තුන් ලක්ෂ පනස් දහසක් අතර ක්‍රියාත්මක ‘අග්‍රහාර රැකවරණ විශ්‍රාමික රක්ෂණාවරණ’යෙන් ස්වාභාවික මරණ සහ හදිසි අනතුරු මරණ රක්ෂණාවරණ ඉවත් කර ගාස්තු සංශෝධනය කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව ස්වාභාවික මරණයක දී හිමි වන රුපියල් 1,50,000 ක රක්ෂණාවරණය හා හදිසි අනතුරු මරණයකදී ලැබෙන රුපියල් 6,00,000 ක රක්ෂණාවරණය නව සංශෝධනයේ දී ඉවත් කර ඇත.
මෙතෙක් ක්‍රියාත්මක නොවූ ‘ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම’ සඳහා රුපියල් 25,000 ක්ද, ‘මොළයේ ශල්‍යකර්ම’ සඳහා රුපියල් 5,00,000 ක් ද ‘අක්මාව බද්ධ කිරීමේ ශල්‍යකර්ම’ සඳහා රුපියල් 5,00,000 ක්ද, රජයේ රෝහල් ගෙවන වාට්ටු සඳහා රුපියල් 75,000 ක රක්ෂණාවරණයක් ද විශ්‍රාමිකයන්ට ලබා දීමට යෝජනා කර ඇත.
පෞද්ගලික ආයුර්වේද රෝහලක ප්‍රතිකාර කිරීමේ දී මෙතෙක් හිමි වූ රුපියල් 1,20,000 ක රක්ෂණාවරණය රුපියල් 75,000 දක්වා අඩු කර තිබේ.
‘වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම’ සඳහා මෙතෙක් හිමි වූ රුපියල් 2,00,000 රක්ෂණාවරණය රුපියල් 5,00,000 දක්වා වැඩි කර තිබෙන වාර්ෂික ප්‍රතිලාභ වටිනාකම රුපියල් 1,50,000 ක් වන අතර එක් සිද්ධියක දී හිමිවන උපරිම ප්‍රතිලාභ වටිනාකම රුපියල් 1,20,000 කි.
රක්ෂණාවරණයේ ගාස්තු සංශෝධනයේ දී වයස අවුරුදු 70 ට අඩු විශ්‍රාමිකයකු සඳහා මෙතෙක් අය කළ රුපියල් 200 මුදල රුපියල් 400 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත. එහෙත් වයස අවුරුදු 70 වැඩි විශ්‍රාමිකයකුගෙන් අය කරන රුපියල් 600 ක මුදල වෙනස් නොවේ. 2005 අයවැය යෝජනාවකට අනුව ‘අග්‍රහාර රක්ෂණ ක්‍රමය’ ආරම්භ විය. විශ්‍රාමිකයන් සඳහා එය ක්‍රියාත්මක වූයේ 2016 වර්ෂයේ සිටය ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴