කොරෝනා රෝගීන්ගේ මරණ අනුපාතය පිලිබඳ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අනාවරණයක්

කොරෝනා රෝගීන්ගේ මරණ අනුපාතය පිලිබඳ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අනාවරණයක්

*********************************************

කොරෝනා රෝගීන්ගේ මරණ අනුපාතය පිලිබඳ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අනාවරණයක්

(14.08.2021 – 19:58 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ මරණ අනුපාතය බිය ගන්වන සුළු මට්ටමේ ඉහළ අගයක් ගන්නා බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ කොරෝන මරණ අනුපාතය (CFR – Case Fatality Rate) දළ වශයෙන් සියයට පහකට (5.13%) මදක් වැඩි බවයි.

මෙය ලොව අන් රටවල් හා සසඳා බලන විට ද බෙහෙවින් ඉහළ අගයක්.

නවසීලන්තය, භූතානය, සිංගප්පූරුව, මහා බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පාදක කරගත් දත්ත සටහනක් ගෙන හැර දක්වන ඔවුන් පෙන්වා දෙන්නේ එම සංසන්දනයන් අනුව ශ්‍රී ලංකාවේ තත්ත්වය අතිශය බැරෑරුම් මට්ටමක ඇති බවයි.

ශ්‍රී ලංකාවේ පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය දැක්වෙන්නේ 18% ක් ලෙසටයි.

මෙය සාර්ථකව එන්නත්කරණය සිදු කරන ලද එක්සත් අරාබි එමිර් රාජ්‍යය, සිංගප්පූරුව, නවසීලන්තය, බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව වැනි රටවල් හා සසඳා බලන විට ඉතා පහල ප්‍රතිශතයක්.

එමෙන්ම කොවිඩ්-19 පරීක්ෂණ මගින් හදුනා ගන්නා රෝගීන්ගේ ප්‍රතිශතය ද අනෙක් රටවල් හා සසඳා බලන විට ඉතා ඉහළ අගයක් ගැනීම ද අතිශය අවදානම් තත්ත්වයක් බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතය දැක්වෙන්නේ 24.70% ක් වැනි ඉතා ඉහළ මට්ටමකයි.

එය ද අනෙක් රටවල් හා සංසන්දනය කර බැලීමේදී බිය ගන්වන සුළු ප්‍රතිශතයක්.

නවසීලන්තය, භූතානය, සිංගප්පූරුව, වැනි රටවල මෙම ප්‍රතිශතය බිංදුවෙන් පහළ දැක්වෙන අතර අසල්වැසි ඉන්දියාවේ ද එය දැක්වෙන්නේ 2.40% ලෙසටයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙරට දී සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය අඩු බැවින් හඳුනා නොගත් රෝගීන් විශාල ප්‍රමාණයක් සමාජයේ ඇති තත්ත්වයක් තුළ සිදු කරන සීමිත පී.සී.ආර්. පරීක්ෂණ හරහා හෙළි වන මෙම කරුණු බරපතල සෞඛ්‍ය අවදානමක පෙර මග ලකුණු පෙන්වන බවයි. ​

ශ්‍රී ලංකාවේ මේවන විට එක් කොවිඩ් රෝගියෙකු හදුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව දැක්වෙන්නේ 6.3 වැනි ඉතා පහල අගයකයි.

කොවිඩ් පාලනය හොඳින් සිදු කරන නවසීලන්තය වැනි රටවල එක් රෝගියකු හදුනා ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණ 4000 ඉක්මවා සිදු කරන තත්ත්වයක මෙම සංඛ්‍යා ලේඛන ද ලොමු ඩැහැ ගන්වන සුළු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ.

මේ සඳහා වසංගත රෝග විද්‍යා ඒකකය විවිධ අර්ථකථන ලබා දෙමින් නිදහස්ට කරුණු කීවද, ශ්‍රි ලංකාවේ දිනකට සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වසංගතය සාර්ථකව පාලනය සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවට ඔවුන් පවසනවා.

++++++++++++++++++

(14.08.2021 – 18:45 +0530 – hirunews.lk/sinhala)

ලබන සදුදා (16) සිට නිවසේ සිටිමින් ‘ස්වයං සංචරණ සීමා’ පනවා ගෙන කටයුතු කරන ලෙසට මහජන සෞඛ්‍ය පරික්ෂණකවරුන් ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා.

වයිරසයේ ව්‍යාප්තිය වැඩි වි ඇති නිසා ජනතාවට සේවය සැපයිමට සිටින මහජන සෞඛ්‍ය පරික්ෂණකවරුන් ප්‍රමාණවත් නොවන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා.

රෝහල් දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් සතියකට මෙට්‍රික් ටොන් 100 බැගින් ඉන්දියාවෙන් ඇණවුම්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා මේ බව කියා සිටියේ කොරෝනා පාලනය සඳහා සෞඛ්‍ය අමාත්‍යශය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පැවති හමුවකට එක්වෙමින්.

ඔක්සිජන් ගෙන්වන පළමු ඇණවුම මේ වනවිටත් ඉන්දියාව වෙත ලබා දී ඇති බවත් අවශ්‍ය වුවහොත් සිංගප්පූරුවෙන් ද ඔක්සිජන් ආනයනය කිරීමට අවදානය යොමු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මෙම හමුවේදී වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන ඇතැම් මාර්ගෝපදේශ නීතියක් බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ලබන සඳුදා (16) ප්‍රකාශයට පත් කරන බව මෙම හමුවේදී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියා.

දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අමතරව දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඉදිරි දින 2 තුල නිකුත් කරන බවද ඇය මෙහිදී ප්‍රකාශ කළා.

සමස්ත රටතුලම ආසාදිතයන් නිවසේ සිට ප්‍රතිකාර කිරීමේ වැඩසටහන ලබන සිකුරාදා (20) සිට ආරම්භ කරන බවත් ඒ සඳහා වෛද්‍යවරුන් පුහුණුකර අවසන් බවත් මෙම හමුවේදී ප්‍රකාශ කෙරුණා. එම වැඩසටහන සඳහා දිවයින පුරා වෛද්‍යවරුන් 1000 පමණ යොදවා තිබෙනවා.

මේ අතර, අද (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවේදි පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය කියා සිටියේ වයිරසය කලින් හදුනාගෙන, සුළු රෝග ලක්ෂණ ඇති ආසාදිතයින් නිවෙස් තුළදි ප්‍රතිකාර කිරිමට යොමු කිරිමෙන් මියයන පිරිස අවම කර ගත හැකි බවයි.

මේ අතර, පසුගිය දින 5 තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 664 ක් වනවා. ඉන් සියයට 75 ක් එනම් මරණ 518 ක්ම වයස අවුරුදු 60 ඉක්මවූවන් අතරින් වාර්තා වනවා.

මේ අතර, කොරෝනා පාලනය කිරිමේ අරමුණින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වෙළඳසැල් වසා තැබීමට එම ප්‍රදේශවල වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා.

+++++++++++++++++++++

(14.08.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා වෛස් ආසාදිත තවත් මරණ 160 ක් ඊයේ (13) දින තහවුරු කර තිබෙනවා.

ඒ අතර පිරිමි පුද්ගලයන් 87 ක් සහ කාන්තාවන් 73 ක් වනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5,935 ක් ලෙසටයි.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයෙක්ද ඊයේ තහවුරු කළ මරණ 160 ට අයත්.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 22 ක් සහ කාන්තාවන් 13 ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ මරණ අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 64 ක් සහ කාන්තාවන් 60 ක් ද මෙම මරණවලට අයත්.

මේ අතර, මෙරටින් අද (14) දිනයේ තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2423 දෙනෙකු හඳුනා ගත්තා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 350,693 ක් ලෙසටයි.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2717 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේවන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 307,345 ක්.

මේ අතර, කොරෝනා ආසාදනය වී රාගම රෝහලට ඇතුළත් කළ වයෝවෘද්ධ කාන්තාවක් මිය යාමෙන් පසු ඇයගේ සිරුර අතුරුදහන් වී ඇති බවට රෝහල් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වි තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ පදිංචි මියගිය 71 හැවිරිදි එම කාන්තාව නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගත වී ඇත්තේ පසුගිය 12 වනදා යි. එහිදී ඇය කොරෝනා ආසාදිතයන් ප්‍රතිකාර ලබන රාගම රෝහලේ 30 වැනි වාට්ටුවට ඇතුළත් කර තිබෙනවා. පසුව 13 වන දින ඇයගේ පුත්‍රයා රෝහලට පැමිණ ඇති අතර එවිට රෝහල් බලධාරීන් පවසා ඇත්තේ මව මිය ගොස් ඇති බවයි.

++++++++++++++++++++

++++++++++++++++++++

(14.08.2021 – 20:26 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතයින් සහ මරණ සම්බන්ධයෙන් ආණ්ඩුව නිකුත් කරන දත්ත විශ්වසනීයත්වයෙන් තොර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

+++++++++++++++++++

(14.08.2021 – 20:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 822 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අද (14) දිනයේ පමණක් වාර්තා වූ ආසාදිතයින් ගණන 3,245 ක්.

මේ සමඟින් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 351,533 ක් දක්වා ඉහළ යනවා.

මේ අතර, අද (14) දිනයේ මෙරටින් කොවිඩ් මරණ 160 ක් ද වාර්තා වුණා. එය මෙතෙක් දිනකදී තහවුරු කරනු ලැබූ වැඩිම මරණ සංඛ්‍යාව යි ෴

++++++++++++++++++++

(15.08.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala)

හෙට (16) රැස්වන පක්ෂ නායක රැස්වීමේ දී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිලිබඳ තීරණය කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේ සේවය කරන අංශ කිහිපයක නිලධාරින් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැණුනු අතර, ඔවුන්ගේ ආශ්‍රිතයන් පරීක්ෂා කිරීම සඳහා සී.සී.ටී.වී. කැමරා දර්ශන ද නිරීක්ෂණය කෙරෙනවා.

සේවාමුර කොටස්කර නිලධාරින් රාජකාරි සඳහා කැඳවන නිසා අවදානම් තත්ත්වය ඉහළ මට්ටමක නොමැති බවයි වේත්‍රධාරිවරයා අප කළ විමසීමක දී සඳහන් කළේ. මේ අතර, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම හෙට (16) පෙරවරු 11 ට පැවැත්වෙන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

කොරෝනා තත්ත්වය සමඟ පාර්ලිමේන්තුව රැස්වීම ඇතුලු ඉදිරි කරුණු පිළිබඳව එහි දී අවධානය යොමු කෙරෙන බව ඔහු කියා සිටියා.

මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබුණේ අඟහරුවාදා සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තු පැවැත්වීමටයි ෴

++++++++++++++++++

(15.08.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන (2) කුඹල් පෙරහර ඊයේ (14) රාත්‍රි 07:15 යෙදුණු සුභ මෙහොතින් වීථි සංචාරය කළා. ඊයේ (14) කරඬුව වැඩමවනු ලැබුවේ ඉන්දිරාජා හස්තියා විසින්. 3 වන කුඹල් පෙරහර අද (15) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිත යි ෴

+++++++++++++++++++

(15.08.2021 – 08:42 +0530 – hirunews.lk/sinhala)

වසංගත රෝග විද්‍යා අංශය කොවිඩ් ආසාදිතයින් සම්බන්ධයෙන් නිකුත් කරන දත්ත පිළිබඳව මේ වන විට සමාජය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව තිබෙනවා. එවන් වාතාවරණයක බස්නාහිර පළාත් වසංගත රෝග විද්‍යා අංශය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන යෙදවුමක ද දෛනික ආසාදිතයින් සංඛ්‍යාවේ අතර පවතින්නේ දැඩි පරස්පරතාවක්.

‘සුවපෙත ජංගම දුරකථන යෙදවුම’ බස්නාහිර පළාතේ වසංගත රෝග විද්‍යා අංශය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය හා ‘ජී සෙන්ට්‍රීස්’ කණ්ඩායම විසින් එක්ව ක්‍රියාත්මකයි. එම යෙදවුමේහි මූලික කාර්යය වන්නේ කිසියම් පුද්ගලයකු සිටින ස්ථානයක සිට මීටර් 500 ක් වටා ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයකු සිටින්නේ ද යන්න හඳුනා ගැනිමයි.

අදාළ යෙදවුමේ දිවයිනේ දෛනික ආසාදිතයින් පෙන්වීම සඳහා ප්‍රස්තාරයක් ද තිබෙන අතර එහි පසුගිය 11 වෙනිදා ආසාදිතයින් 6000 කටත් අධික සංඛ්‍යාවක් පෙන්නුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව පසුගිය 11 වැනිදා වාර්තා වූයේ අසාදිතයින් 2987 ක් පමණයි. ඒ අනුව මෙම වෙනස සම්බන්ධයෙන් සුවපෙත යෙදවුමේ මෙහෙයුම් කටයුතු භාර නිලධාරියෙකුගෙන් අප විමසීමක් කළා. ඔහු සඳහන් කළේ දින කිහිපයක ආසාදිතයින් එකවර ඇතුලත් කිරීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

නමුත් පසුගිය 11 වැනිදා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාවේ බරපතල පරස්පරතාවක් පවතින බව රජය නියෝජනය කරන පාර්ශ්වයක් වන ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි මොහමඩ් මුසම්මිල් මහතා පෙරේදා චෝදනා කළා.

මේ අතර, මතභේදයට තුඩුදුන් පසුගිය 11 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර තිබුණේ ආසාදිතයින් 35 දෙනෙකු පමණයි. කෙසේ වෙතත් එදින එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1827 ක් හඳුනාගෙන තිබුණා.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගියදා 10 වනදා රැස්වූ දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුවේදී ද ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සම්බන්ධයෙන් පරස්පරතාවක් මතු වූ බව අප හිරු ප්‍රවෘත්ති තුළින් පෙන්වා දෙනු ලැබුවා.

එහිදී ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය ඉදිරිපත් කළ දත්ත අගෝස්තු මාසයේ පළමු දින 8 තුළ ආසාදිතයින් 12,555 දෙනෙක් හඳුනා ගෙන තිබුණ ද, වසංගත රෝග විද්‍යා අංශය නිකුත් වාර්තාවලට අනුව දැක්වුණේ ආසාදිතයින් 3729 දෙනෙකු පමණයි.

ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශයට වාර්තා නොවූ ආසාදිතයින් ගණන 8826 ක් බව අප පෙන්වා දුන්නා.

පසුගිය කාලයේ දී ද වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වූ පසුබිමක එහි හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පසුගිය ජූනි 09 වැනිදා වෙනත් අංශයකට ද මාරු කළා.

මෙවන් වාතාවරණයක් මතුව තිබිය දී බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර එක්කයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ද ඊයේ (14) තවත් බරපතල චෝදනාවක් එල්ල කළා ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(14.08.2021 – 23:03 +0530 – hirunews.lk/sinhala)

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ණය නොවන ආදායම් ඉලක්ක කරා යෑමට රජයේ අවධානය යොමුව ඇතැයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

සී.එන්.බී.සී. රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

(14.08.2021 – 22:30 +0530 – sinhala.adaderana.lk)

රටේ ආර්ථිකය ස්ථාවරකර ගැනීම සඳහා “ණය නොවන මුදල් ගලාඒම” පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මුදල් ප්‍රාග්ධන, වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඒ බව පවසා ඇත්තේ CNBC නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ උපයෝගී නොකළ වත්කම් හරහා මුදල් ඉපැයීම පිළිබඳ අවධානය යොමුකරන බවය.

“ලංකාවේ ආසන්නම දත්ත වාර්තාවලට අනුව අපේ විදේශ සංචිත ආරක්ෂා කරගැනීමට සහ අපට තිබෙන ගෙවීම් සඳහා මෙරට ආනයනයට සීමා පැනවීමේ තීන්දු තීරණ පවා ගත්තා. සංචාරකයින් මෙරටට නොපැමිණීමත් සමග අපි යම් අභියෝගවලට සහ අපහසුතාවලට මුහුණ දුන්නා. නමුත් එයත් සමග අපි ක්‍රියාත්මක කළ ආර්ථික සැලසුම් හරහා අපිට පුළුවන් වුණා ඒ ගෙවීම් සිදුකරන්න. එමගින් ණය ගෙවීමට හැකි රටක් ලෙස අපි ලෝකයට පෙන්වා දී තිබෙනවා.”

“දැනටමත් අපි බංගලාදේශය සහ ඉන්දියාව සමග SWAP පහසුකම යටතේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත විශේෂ අයිතිවාසිකම් ප්‍රදානය වන ඇ.ඩො. මිලියන 800 ලබාගන්න සුදානම්. ඒ වගේම ලංකාවේ අවම වශයෙන් මූල්‍ය උත්පාදනය කරන වත්කම්වලින් උපරිම ප්‍රයෝජනය ගන්න බලාපොරොත්තු වෙනවා. ඉන් අපිට ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක පමණ මුදලක් සොයා ගත හැකියි. මේවා ණය නොවන ආදායම් ලෙස හඳුන්වා දෙන්නත් පුළුවන්. ඒ වගේම අපි අපනයනය වර්ධනය කරන්නත් දැඩි උනන්දුවක් දක්වනවා. අපනයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන ගමන් මැණික් සහ ප්‍රේෂණ මුදල් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.”

******************************************

(14.08.2021 – 23:07 +0530 – hirunews.lk/sinhala)

එළෙඹන මහ කන්නයේදී කාබනික පොහොර භාවිත කරමින් වගා කටයුතු ආරම්භ කිරීමට අම්පාර දිස්ත්‍රික් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ කිසිදු සූදානමක් නැතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී අනාවරණ වුණා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඒහිදී පැවසුවේ කාබනික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් නොමැති ඕනෑම නිලධාරියෙකුට ඉවත්ව යා හැකි බවයි.

නැගෙනහිර පළාතේ වගාවන් සඳහා ඉදිරි මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර ලබාදීම පිළිබඳ සාකච්ඡාක් පැවැත්වුණේ අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවෙදී කාබනික පොහොර නිෂ්පාදනය බාරගත් ආයතන සහ පුද්ගලයින්ගේ ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *