නිලධාරීන් මාරු කිරීමෙන් කෝවිඩ් පාලනයේ අවුල් විසඳිය හැකිද?

නිලධාරීන් මාරු කිරීමෙන් කෝවිඩ් පාලනයේ අවුල් විසඳිය හැකිද?

*********************************************

නිලධාරීන් මාරු කිරීමෙන් කෝවිඩ් පාලනයේ අවුල් විසඳිය හැකිද? – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

(26.06.2021 – 14:05 +0530 – lankaleadnews.com)

කෝවිඩ් මරණ පිළිබඳ දත්ත විකෘති කිරීම සහ සැඟවීම යන චෝදනා මත මේ වන විට වසංගත පාලන අංශයේ ප්‍රධානියා වෙනත් අංශයකට මාරු කර ඇත. එම පුරප්පාඩුව පුරවනු ලබන්නේ අදාළ චෝදනාව නිවැරදි නම් ඊට වගකිව යුතු දෙවන නිලධාරියා එම තනතුරට පත් කිරීම මඟිනි. සිදු වූවා යැයි කියන වරද පිළිබඳව ඉතා පැහැදිලිවම වසංගත පාලන අංශයේ ප්‍රධානියාට ඉහළින් සිටින අමාත්‍යවරිය දක්වා වන සියළු දෙනා වග කිව යුතු නොවේද? එම වරද පුද්ගලයෙකුගේ වරදකට වඩා රෝග පාලන පද්ධතිය රෝගී වර්ධනය සමඟ පරිණාමය නොවීම නිසා සිදු වන්නක් බව තේරුම් ගැනීමට මහා කළමණාකරණ දැනුමක් අවශ්‍යද? මෙම ලිපියේ මූලික අරමුණ ඒ ආකාරයට පුද්ගල සාධාක අභිබවා වසංගත පාලන පද්ධතියේ දක්නට ලැබුණු හොඳ සහ නරක පෙන්වා දීමය.

පසුගිය 2020 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවෙන් පළමු කෝවිඩ් රෝගියා හමුවීමෙන් පසුව රෝගය පැතිරීමේ මුල් අවස්ථාවේදී ප්‍රාථමික රෝග නිවාරණ උපදෙස් සමාජගත කිරීම සහ නිරෝධායන ක්‍රියාවලියට විශේෂ අවධානයක් යොමු වූ අතර රෝග සත්කාර සේවා වල කිසිදු ගැටළුවක් පැන නැගුනේ නැත. පළමු රැල්ල ඉතා සාර්ථකව පාලනය කරනු ලැබුවේ වෛරසයේ පැතිරීමට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමේ නිරෝධායන සහ මහජන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ බැවිනි. එම කාලය තුළ රෝග පාලනයට අදාලව යම් මාර්ගෝපදේශ නිකුත් කිරීමක් සිදු වුවද ඒ මගින් සමස්ථ මහා පින්තූරය සහ අනාගත අවධානම ආවරණය වූයේ නැත. ඒ නිසා වැලිසර නාවික හමුදා කඳවුර ආශ්‍රිතව රෝග පාලනයේදී අනුගමනය කළ යුතු මූලික සිද්ධාන්ත නොසලකා හැරීම නිසා නාවික හමුදා පොකුරක් මතු විය. නමුත් ආරක්ෂක හමුදා සතු මහා යාන්ත්‍රණය ක්‍රියාත්මක කොට එම පොකුර සාර්ථකව පාලනය කළ හැකි විය.

අනාගත අවදානම පිළිබඳ තිබූ අඩු තක්සේරුව

එම ක්‍රියාවලිය තුළ තීන්දු ගැනීමේ මධ්‍යගත යාන්ත්‍රණයක් ජාතික මට්ටමින් ස්ථාපිත කළ ද පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් ස්වාධීන තීන්දු ගැනීමේ ඒකක පිහිටුවීමේ අවශ්‍යතාවයක් පැන නැඟුනේ නැත. කෙසේ වෙතත් රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් හෝ ප්‍රවනතාවයක් නොතිබූ බැවින් එම දුර්වලකම අවධානයට ලක් වූයේ නැත. එවැනි තත්වයක් තුළ පළමු රැල්ලේ දී රෝග පාලනය සඳහා මහජනයා සක්‍රීයව දායක කර ගැනීමේ හෙවත් සූදානම් කිරීමේ අවශ්‍යතාවයක්ද පැන නැගුනේ නැත. එසේම අනාගත අවදානම පිළිබඳ තිබූ අඩු තක්සේරුව නිසා මහජන සෞඛ්‍ය පද්ධතිය අවධිකොට ශක්තිමත් කිරීම සඳහා දිරිගැන්වීම් පැකේජයක් ඉදිරිපත් වූයේ නැත. ඒ නිසා අද තුන්වන රැල්ලේ නරකම සන්ධිස්ථානයක සිටියදී පවා භූමියේ විශාලතම වගකීම පැවරී ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අමතර වියදම් පියවා ගැනීමේ නාමයෙන් හෝ දිරිගැන්වීමේ දීමනාවක් මේ වන තුරු ලබා දී නැත. නමුත් අමාත්‍යවරිය විසින් වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා වැඩි කිරීම සඳහා පමණක් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ මඟින් දුක් මහන්සියෙන් වැඩ කරන වෛද්‍යවරුන්ගේ ගෞරවයට විශාල හානියක් සිදු විය.

කෙසේ වෙතත් පළමු වටයේදී රෝගය පැතිරී යාම සාර්ථකව පාලනය කිරීම මගින් ඇති වන පොදු සුභවාදී මනෝභාවය නිසා අනාගත අනතුරට මුහුණ දීම සඳහා පද්ධතිය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය නොවූ බව පිළිගැනීමට සිදුවේ. එවැනි තත්වයක් තුළ සෞඛ්‍ය බලධාරීන් විසින් වරින් වර විවිධ මාර්ගෝපදේශ නිකුත් කළද අනාගත අවධානමට මුහුණ දීම සදහා අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපනය කිරීම සහ ඊට අනුව ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ විධිමත් සහ විස්තරාත්මක මාර්ගෝපදේශ පිළිබද අවධානය යොමු වූයේ නැත. නමුත් ඒ වන විට රෝගය ගෝලීය මට්ටමින් මහා වසංගතයක් බවට පත් වන බවට අධිකාරී බලය සහිත ආයතන විසින් පුරෝකථන නිකුත් කරන්නට යෙදුනි. රුසියානු ජනාධිපතිවරයාගේ ජ්‍යේෂ්ඨ උපදේශකයෙකු වන වෛද්‍ය ලියොනිඩ් රොෂාල් එරට රජයට උපදෙස් දෙනු ලැබුවේ පළමු රැල්ල ජෛව අවිප්‍රහාරයක පෙරහුරුවක් සේ සලකා සැබෑ ප්‍රහාරයට මුහුණ දීම සදහා දීර්ඝකාලීනව පද්ධතීන් ශක්තිමත් කරන ලෙසය. නමුත් අප රටේදී අවම වශයෙන් කෝවිඩ් පාලනය සඳහා මූලික අවශ්‍යතාවයක් වන පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීම සහ පරීක්ෂණාගාර ජාලගත කොට කාර්යක්ෂමව කළමණාකරණය කිරීම සඳහා ප්‍රමුඛතාවයක් ලබාදුන් බවක් පෙනෙන්නේ නැත. කෝව්ඩ් අරමුදලේ බිලියන 1.5 ක පමණ වියදම් නොකළ මුදලක් ඉතිරිව තිබියදී මෙවැනි තත්වයක් ඇති වීම ඉතා කණගාටුදායකය. අඩු තරමින් රු 4,000 කව සිදු කළ හැකි පී.සී.ආර්. පරීක්ෂණය සඳහා පුද්ගලික අංශය විසින් රු. 8,000 – සිට 10,000 ක මුදලක් අය කිරීම වැලැක්වීමට හෝ කිසිදු පියවරක් ගෙන නැත.

නමුත් විද්වත් උපදෙස් පිළිබදව සංවේදීව කටයුතු කළ නවසීලන්තය වැනි රටවල් පළමු වටයේ අත්දැකීම් අනුව දෙවන වටයට සාර්ථකව මුහුණ දීම සඳහා මට්ටම් 4 ක් සහිත අනතුරු ඇඟවීමේ පද්ධතියක් ක්‍රියාත්මක කරනු ලැබීය. ඊට අනුව අනතුරු ඇඟවීමේ මට්ටම ප්‍රකාශයට පත් කිරීම සදහා පැහැදිලි නිර්ණායක හඳුන්වා දී ඇත. එසේ යම් මට්ටමක් ප්‍රකාශයට පත් කළ පසුව එම මට්ට්ම තුළ දී ක්‍රියාත්මක කළ යුතු මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග සහ මහජනයාට ලබා දෙන උපදෙස් ඉතා පැහැදිලිව පෙළ ගස්වා ඇත. එසේම ඒ තුළ ජාතික මට්ටමේ සිට පහළට වගකීම් විශේෂයෙන්ම තීරණ ගැනීමේ වගකීම් බෙදී යන ආකාරයද එම පද්ධතිය තුළ සටහන් වේ. එසේම ඒ ඒ මට්ටම් වලදී පී.සී.ආර්. පරීක්ෂණ යොදා ගන්නා ආකාරය සහ පරීක්ෂණ වැඩි කරන ආකාරය මෙන්ම ඊළඟ මට්ටමට සූදානම් වීම සඳහා කළ යුතුදේ ආදියද ඉතා පැහැදිලිව අදාළ මාර්ගෝපදේශ වලට ඇතුලත් කොට ඇත. ඒ නිසා තත්වයන්ට අනුව විවිධ පුද්ගලයන් මත පදනම්ව තීන්දු ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනඟින අතර සෑම මට්ට්මකම සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල වගකීම් පද්ධතිය තුළ තහවුරු වේ.

ආරක්ෂක හමුදාවල ප්‍රභල මැදිහත්වීම

ඒ අනුව ජාතික මට්ටමින් මෙන්ම පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් තීන්දු ගැනීමේ ඒකක ස්වාධීනව ක්‍රියාත්මක වන අතර විවිධ මට්ටම් අතර මනා සම්බන්ධීකරණයක්ද පවත්වා ගැනීමේ හැකියාව ලැබේ. එම හැකියාව පද්ධතිය තුළ තහවුරු කිරීමට පළමු වටයේදීම ක්‍රියාත්මක නොවීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෙවන රැල්ල මතු වූ අවස්ථාවේ දී ගත යුතු වූ ක්‍රියාමාර්ග සතියකට අධික කාලයකින් පමා විය. ඒ නිසා යම් ඇඟළුම් කර්මාන්ත ශාලාවක නමකින් සහ මාළු වෙළඳසැලක නමකින් නව පොකුර හැදින්වීමට සිදු විය. ලෝකයේ හොදම මහජන සෞඛ්‍ය පද්ධතියක් සහිත අප රටේ කෝවිඩ් පාලනය සදහා අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඒ මත සමපාත කිරීමට නොහැකි වීම ඉතා කණගාටුවට කරුණකි. ගම්පහ පොකුර ඉතා සීග්‍රයෙන් පැතිරී යාමෙන් පසුවද අනතුරු ඇඟවීමේ පද්ධතියේ දුර්වලතාවය මතු වූයේ නැත. විශේෂයෙන්ම ආරක්ෂක හමුදාවල ප්‍රභල මැදිහත්වීම තුළ සෞඛ්‍ය පද්ධතියේ මූලික දුර්වලතා යම් පමණකට යටපත් වීමද ඊට හේතුවක් ලෙස හදුනා ගත හැක. එසේ වුවත් අද වන විට සමාජ සම්ප්‍රේෂණය සිදු වෙමින් පවතින බව පිළිගැනීමට මැලි වීම තුළින් පෙන්වනු ලබන්නේ දිගින් දිගටම උගුරට හොරා බෙහෙත් දීමට උත්සහා කරන බව නොවේද?

පද්ධතියේ අවුල පිළිබඳ විශේෂයෙන්ම රෝග පාලන උපාය මාර්ග පිළිබඳ අවුල දෙවන රැල්ල තුළද අවධානයට ලක් නොවූයේ ආරක්ෂක හමුදාවල ප්‍රභල මැදිහත්වීම මත තත්වය නැවත පාලනය කිරීමට හැකිවූ නිසා බව පිළිගත හැක. ඉහත සඳහන් කළ ආකාරයට අප රටේ අනතුරු ඇඟවීමේ මට්ටම් සහ ඊට අදාල නිර්නායක හදුන්වාදීමක් සිදු නොවීම නිසා ඊලඟ අනතුරුදායක මට්ටමට ලඟා වුවහොත් ඊට මුහුණ දීම සදහා පද්ධතිය අවධානයෙන් තබා ගැනීම සහ මහජන අවධානය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට නොහැකි විය. ඒ නිසා මහජනයා පමණක් නොව සෞඛ්‍ය බලධාරීන්ද ලබා ගත් ජයග්‍රහණ මෙන්ම අනාගත අනතුරුද අවතක්සේරු කළ බව පිළිගැනීමට සිදුවේ. ඊට අමතරව පසුගිය අතපසුවීම් හෝ දුර්වලතා පිළිබඳ ස්වයං විවේචනයක් හෝ වග කිවයුතු නිලධාරීන් නම් කිරීමක් හෝ ඔවුනට අවවාද කිරීමක් සිදු වූයේ නැත.එනිසා විශේෂයෙන්ම ගම්පහ ඇඟළුම් පොකුර සතියකට අධික කාලයක් සමාජ අවධානයෙන් තොරව පැතිරී යාමට පහසුකම් සපයන ලද ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට තම වැරදි නිවැරදි කිරීම සදහා මානසික බලපෑමක් සිදු වූයේ නැත. ඒ නිසාම අන් අයටද මානසික බලපෑමක් ඇති වන්නේ නැත.

අවසානයේදී තෙවන රැල්ලක් හෙවත් ‘අවුරුදු පොකුර’ නිර්මාණය කරන්නේ ඒ ආකාරයට අනතුර අවතක්සේරු කළ ජනතාව සහ වසංගතයේ සැබෑ අනතුරට සාපේක්ෂව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මානසික බාධක පමුණුවා ගන්නා බලධාරීන් යන පාර්ශව දෙකම විසිනි. ඒ වන විට වෛරසයේ භයානක ප්‍රභේද බිහිවන බව සහ එම ප්‍රභේද ශ්‍රී ලංකාවට ඇතුල්වීමේ අනතුර පිළිබඳව පැහැදිලි අවධාරණයක් තිබුනද එම අභියෝගයට මුහුණ දීම සදහා පද්ධතිය සූදානම් නොකිරීම බරපතල වරදකි. ඉහත සදහන් කළ ආකාරයට ඊට මූලික වශයෙන් හේතු වන්නේ අනතුරු ඇඟවීමේ පද්ධතියක් නිසි ලෙස ක්‍රියාත්මක නොවීමය. ඊට අමතරව අවුරුදු සමය තුළ සංස්කෘතික උත්සවයකට සීමා පැනවිය නොහැකි බවට යම් බලධාරීන් විසින් ස්වයංව පනවාගත් මානසික බාධක නිසා තත්වය ඉතාම නරක අතට හැරුණු බව පිළිගැනීමට සිදුවේ.

ඉන්දියාවේ කුම්බමේලා සහ නුවරඑළියේ වසන්ත උත්සවය

මහා සංඝරත්නයේ උදව් ඇතිව අවුරුදු දිනවල නිවෙස් තුළ පවුල සමග අවුරුදු සමරමු යන මූලික පණිවිඩය මෙන්ම මෙවර අලුත් ඇඳුම් නොමැතිව සහ විනෝද ගමන් නොමැතිව අවුරුදු සමරමු වැනි පණිවුඩ සමා ජගත කළේනම් මහජන විරෝධයකින් තොරව මහජනයා පාලනය කිරීමේ ඉඩක් තිබුණි. නුවරඑළියේ වසන්ත උත්සවයේ ඡායාරූප අනුව ඊට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පැමිණි පිරිස් කටයුතු කළ ආකාරය දෙස බලන විට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ඉතා සක්‍රීයව සමාජය තුළ සැරිසරන පිරිස් නුවරඑළියට කැදවා ඔවුන්ගෙන් බහුතරයකට වෛරසය බෙදා දුන් බව පිළිගැනීමට සිදු වේ. අවුරුදු චාරිත්‍ර අනුව විනෝද ගමන් යාම ඊට අයත් නොවේ. ඒ නිසා විනෝද ගමන් තහනම් කිරීම පිළිබදව මානසික බාධක පනවා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොතිබුණි.බලධාරීන්ගේ මානසික බාධක වලට දැන් මුළු රටටම සහ ආණ්ඩුවටද වන්දි ගෙවීමට සිදුවී ඇත. ඉන්දියාවේ කුම්බමේලා උත්සවය සමස්ථ ඉන්දියාවට අත්පත් කර දී ඇති ඉරණම නුවරඑළිය වසන්ත උත්සවය විසින් ශ්‍රී ලංකාවටද අත්පත් කරදී ඇති බව දැන් පිළිගැනීමට සිදුවේ. එනම් නුවරඑළියේ හෝටල් කරුවන්ගේ ආර්ථිකය රැක ගැනීම සඳහා සමස්ථ රටේ ආර්ථිකය අනතුරට ලක් කොට ඇති බව පිළිගැනීමට සිදුවේ.

මේ වන විට රෝග සත්කාර සේවා වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන අතර එන්නත් කරනය තුළ පවතින ප්‍රායෝගික ගැටළු ආදී හේතු රාශියක් තුළ මහජන අවිශ්වාසය සහ අප්‍රසාදය ඉහළ යමින් තිබෙන බව පිළිගැනීමට සිදුවේ. මෙම නරක තත්වයට මුහුණ දීමේදී පවා පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවට අහඹු තීන්දු ගනිමින් තත්වය පාලනය කිරීමට උත්සාහ කරන ආකාරය දක්නට ඇත. ප්‍රාථමික පාලන ක්‍රමවේදයේ දුර්වලතා විශේෂයෙන්ම සංචරණ සීමා පැනවීමට එරෙහිව පැවති මානසික බාධක එසේම තිබියදී එනම් රෝගය පැතිරීමට ඉඩ හරින අතර රෝග සත්කාර සේවය සදහා ඇඳන් වැඩි කිරීම පිළිබඳ අවධානය යොමු වී ඇත. එසේ ධාරිතාව වැඩි කිරීම අත්‍යවශ්‍ය බවට විවාදයක් නැත. එහෙත් හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය සීඝ්‍රයෙන් වර්ධනය වන තත්වයක් යටතේ සහ අහඹු පරීක්ෂණ වලින් යම් ප්‍රදේශවල සහ ආයතන වල 50% දක්වා රෝගීන් හදුනා ගැනීමේ තත්වය තුළ, ඊට වඩා වෙනස් උපාය මාර්ගික ප්‍රවේශයක් අවශ්‍ය බව පැහැදිළිව පෙනේ. විශේෂයෙන් පී.සී.ආර් පරීක්ෂණ ක්‍රියාවලියේ සීමාකම් නිසා සැබෑ තත්වය සහ මතුපිටින් පෙනෙන තත්වය අතර බරපතල හිදැසක් තිබෙන බව පැහැදිලිව පෙනේ. එවැනි තත්වයක් තුළ, සත්කාර සේවා සහ ප්‍රාථමික රෝග නිවාරණ මෙන්ම නිරෝධායන කටයුතු වලට සමාන අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් වේ. නමුත් අද වන විට ආශ්‍රිතයින් හඹා යෑමේ ක්‍රියාවලිය ප්‍රායෝගිකව කළ නොහැකි තත්වයක් දක්වා වර්ධනය වී ඇත. ඊට අමතරව රෝගියෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසුව සිදු විය යුතු නිරෝධායන ක්‍රියාවලියද මේ වන විට ප්‍රශස්ථ මට්ටමකින් සිදු නොවන බව රහසක් නොවේ.

එහෙත් ඉහත සඳහන් කළ ආකාරයට බලධාරීන්ගේ විවිධ මානසික බාධක නිසා වසංගතය පාලනය කිරීමේ උපාය මාර්ගික ප්‍රවේශය තුළ මූලික හෙවත් ප්‍රාථමික තලයේ බරපතල අඩුපාඩු පවා තිබෙන බව පෙනේ. උදාහරණයක් ලෙස එන්නත් නිපදවන රටක් වන චීනය පවා රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා ඉතා බහුල වශයෙන් දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේද යොදා ගනිමින් ඇත. යම් විද්වතුන්ගේ තක්සේරු වලට අනුව චීනය සමස්ථ උපාය මාර්ගයෙන් එන්නතට ලබා දී ඇත්තේ 20% ක වටිනා කමකි. ඒ අනුව 80% ක් බර තබා ඇත්තේ මහජන සෞඛ්‍ය ආරක්ෂණ සහ නිරෝධායන ක්‍රමවේද සමාජය තුළ අභ්‍යන්තරිකව සමාජගත කිරීම සදහාය. එම ක්‍රියාවලිය තුළ දේශීය වෛද්‍ය ක්‍රමවේද හරහා මහජන ප්‍රතිශක්තිය වැඩි කිරීමට සුවිශේෂී ප්‍රමුඛතාවයක් ලබා දී ඇත. නමුත් අප රටේ බලධාරීන්ට අනුව එන්නත් හැර අන් විකල්පයක් නොමැත. මහජනයාගේ මනස සහ චර්යාවන් විශාල වෙනසකට භාජනය වීමට තුඩු දිය හැකි එවැනි මතවාද බලධාරීන් විසින් මාධ්‍ය හරහා රට හමුවේ තබන්නේ එන්නත්කරණය පිළිබඳව සහ එන්නත් ලබා ගැනීම පිළිබඳව නිශ්චිත පුරෝකථනයක් කළ නොහැකි තත්වයක් යටතේ වීම ඉතා කණගාටුදායකය. එන්නත විද ගැනීමට පොර කන ජනතාව අතර සෙසු මහජන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද හෝ නිරෝධයන වගකීම් පිළිබඳ හැඟීමක් දක්නට නොමැත්තේ එවැනි වැරදි මතවාද සමාජගත වීම නිසා යැයි උපකල්පනය කළ හැක.

වසර දහස් ගණනක් තුළ සංවර්ධනය වූ දේශීය දැනුම් පද්ධතිය තුළ ස්වසන රෝග නිවාරණය සහ සුවපත් කිරීම හෝ රෝග ලක්ෂණ සහ සංකූලතා අවම කිරීම සඳහා දේශීය ඖෂධ 50 කට ආසන්න ප්‍රමාණයක් භාවිතා කළ බවට සාක්ෂි ඇත. ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ ක්‍රමවේද තුළ විශේෂයෙන්ම ප්‍රතිකාර වලට සාපේක්ෂව රෝගියා අධ්‍යයනය කිරීම මගින් ඉගෙනගත් රෝග පාලනය පිළිබඳ විශාල දැනුම් පද්ධතියක් අප සමාජය සතුව ඇත. එම දැනුම් පද්ධතිය ප්‍රායෝගිකව යොදා ගැනීම සහ සංවර්ධනය කිරීම සදහා දේශීය සහ ආයුර්වේද වෛද්‍යවරු රාශියක් අප රටේ සිටිති. එම ප්‍රතිකාර ක්‍රමවේද අනුගමනය කරන රජයට අයත් ආයුර්වේද රෝහල් පද්ධතියක් ද ඇත. එහෙත් බටහිර පර්යේෂණ ක්‍රමවේද වලින් පවා රසායනික සංඝටක හදුනා ගැනීම මගින් තහවුරු කළ එම ප්‍රතිකාර ක්‍රමවේද වල ප්‍රතිඵල දායකත්වය පිළිබඳ පර්යේෂණ දත්ත තිබියදී ආයුර්වේද රෝහලක හෝ එම ප්‍රතිකාර යොදා ගැනීමට බලධාරීන් විසින් ඉඩ ලබා දී නැත. ඒ අනුව ඔවුන් ආයුර්වේද රෝහල් වලින් බලාපොරොත්තු වන්නේ වසා දමා ඇති ඇඟළුම් කම්හලක් රෝහලකට පරිවර්ථනය කරන ආකාරයට ඇදන් ප්‍රමාණය වැඩිකර ගැනීම පමණක් බව තහවුරුවේ.

දේශීය දැනුම් පද්ධතියට පහර දීම සඳහා ධම්මික පැණිය

මහජනයා එදිනෙදා ජීවිතයේදී ආහාර ලෙස සහ ‘අත් බෙහෙත්’ ලෙස භාවිතා කරන දේශීය ඖෂධ රෝගීන්ට ලබා දීම මගින් අනර්ථයක් වේ දැයි ප්‍රශ්න කරන අප රටේ විද්වතන් බටහිර රෝහල් තුළ ප්‍රතිලාභ පිළිබද නිෂ්චිත සාක්ෂි නොමැතිව තිබියදී විවිධ විටමින් වර්ග සහ මැලේරියාවට භාවිතා කරන ඖෂධ පවා භාවිතා කරන බව රහසක් නොවේ. එහිදී පුද්ගලික රෝහල් වලදී ලබා දෙන ඖෂධ සහ රජයේ රෝහල් වලදී ලබා දෙන ඖෂධ අතර වෙනස්කම් තිබෙන බව අසන්නට ලැබේ. ඒ අනුව බටහිර ඖෂධ වලට අදාලව සාක්ෂි මත පදනම් වීමෙන් තොරව පමණක් නොව සම්මතයකින්ද තොරව තීන්දු තීරණ ගන්නා තත්වයක් යටතේ වසර දහස් ගණනක් මහජන විෂ්වාසයට ලක් වූ ප්‍රතිශක්තිය වැඩි කරන ඖෂධ ආහාරයක් ලෙස ලබා දීමට විරුද්ධ වන්නේ කුමක් නිසාද. බටහිර වෛද්‍ය ක්‍රමය විසින් බැක්ටීරියාවකට ප්‍රතිජීවක සේ වෛරසය විනාශ කිරීම සඳහා ප්‍රතිකාරයක් ඉදිරිපත්කොට නොමැති තත්වයක් යටතේ ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා දේශීය ඖෂධ භාවිතා කිරීමේ වරද කුමක්ද? ඒ මඟින් කුමන හෝ යහපතක් මිස අවැඩක් සිදුවිය නොහැකි බව ඕනෑම නූගත් යැ කියන ගැමියෙකුට වුවද තේරුම් ගත හැක. දේශීය දැනුම් පද්ධතියට පහර දීම සඳහා ධම්මික පැණිය ලෙස අවතක්සේරුවට ලක් කළ දේශීය ඖෂධයේ සක්‍රීය සංඝටක මොනවාදැයි පරීක්ෂාවට ලක් කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්වතුන් පිරිසකගේ පරීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීමේදී රටට ආදරය කරන ඕනෑම මිනිසෙකු තුළ ආත්ම අනුකම්පාවක් ඇතිවනු ඇත.

එම පරීක්ෂණ වාර්තාවට අනුව ‘ධම්මික පැණියේ’ සක්‍රීය රසායනික සංඝටක 76 ක් හඳුනා ගෙන ඇති අතර ඉන් 33 ක් ඖෂධමය වටිනාකමක් ඇත. ඒ සෑම ඖෂධීය ගුණයක්ම වෛරසයක් ශරීරයට ඇතුල්වීම වලක්වන ස්වසන පද්ධතියේ සෛල වල ප්‍රතිශක්තිය වර්ධනය කරන බවට සහ රෝගයේ රෝග ලක්ෂණ සහ සංකූලතා අවම කරන බවට බටහිර වෛද්‍ය දැනුම් පද්ධතිය තුළද පිළිගෙන ඇත. ධම්මික බණ්ඩාර වෛද්‍යවරයාගේ පුද්ගලික චරිතය හුවා දක්වමින් ඔහුගේ ඖෂධයට පර දීමේ වරද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ විද්වතුන් විසින් පෙන්වා දී ඇත. ඇත්ත වශයෙන්ම එම ඖෂධය ඔහුගේ සොයා ගැනීමක් ලෙස අර්ථ දැක්වීම වරදකි. එය වසර දහස් ගණනක් තුළ විවිධ ගුරු ගෝල පරපුරවල් විසින් සංවර්ධනය කරන ද දැනුමකි. අප රටේ දේශීය වෛද්‍ය ක්‍රමය සංවර්ධනය කරනු ලැබුවේ වෛද්‍යවරුන් ලෙස හැඳින්වූ ප්‍රභූන් විසින්ම නොවේ. එම දැනුම් පද්ධතියට ගොවීන්, කම්හල්කරුවන්, භික්ෂූන් ආදී වශයෙන් සමාජයේ හරස් කඩක් දායක විය. බටහිර වෛද්‍යවරයෙකුගේ පුද්ගලික දුර්වලතාවයන් මත ඔහුගේ බටහිර දැනුම් පද්ධතියට පහරදීමට මහජනයා පෙළඹෙන්නේ නැත. එහෙත් ධම්මික බණ්ඩාර වෙද මහතාගේ ආවේණික මානුෂික දුර්වලතාවයක් හුවා දක්වමින් ඔහුගේ ඖෂධය හෙළා දැකීම යනු ඊනියා විද්වතුන්ට තරම් නොවන ක්‍රියාවකි.

කෝවිඩ් ආසාදනයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කරන සහ රෝග ලක්ෂණ සහ සංකූලතා සමනය කරන ගුණය සහිත බවට ආයුර්වේද සූත්‍ර කමිටුවෙන් පිළිගත් ඖෂධ 15 ක් අතුරින් එකක් පිළිබඳ ඊනියා පර්යේෂණයක් කළ බව කියන විද්වතුන් තමාගේම විද්වත්භාවය අභියෝගයට ලක් කොට ඇත. නමුත් අප රටේ ඊනියා විද්වතුන්ට අනුව යමක් පිළිබඳව ධනාත්මක නිර්දේශයක් ලබා දීම සඳහා පර්යේෂණයට අදාළ නියැදියේ ප්‍රමාණය වැදගත් වේ. ඔවුනට අනුව එසේ නියැදියේ ප්‍රමාණය ප්‍රමාණාත්මක නොවේ නම් හෝ නරක නම් අචාර ධර්මද නරක් වේ. ඒ නිසා ධම්මික වෙද මහතාගේ ඖෂධය සායනික පරික්ෂාවට ලක් කිරීම සඳහා පර්යේෂණ ව්‍යාපෘතියක් අනුරාධපුර මහ රෝහල තුළ ක්‍රියාත්මක කිරීම සඳහා රජරට විශ්ව විද්‍යාලයේ ආචාර ධර්ම කමිටුවෙන් කරනු ලැබූ ඉල්ලීමකට එම කමිටුව විසින් අවසර දීමට මැලිකමක් දැක්වීය. එම මැලිකම දිස්වූයේ එම ඖෂධය ප්‍රතිඵලදායක යන ධනාත්මක උත්තරය ලබා ගැනීම පිළිබඳ පමණි. නමුත් නිශේධාත්මක ප්‍රතිඵලයක් එනම් එම ඖෂධය මඟින් පාලන නියැදි දෙක අතර වෙනසක් සිදු නොවූ බව ඔප්පු කිරීම සඳහා නියැදියේ ප්‍රමාණය වැදගත් නොවේ. ඒ අනුව නියාමන ව්‍යාපෘතියකදී යොදා ගන්නා නියැදියක් හෙවත් 70 ක පමණ ද්විත්ව පාලන නියැදියක් භාවිතාකොට දේශීය ඖෂධ කිසිවක් ප්‍රතිඵලදාක නොවන බවට පොදු මතයක් ගොඩ නැගීම කුමන ආකාරයේ විද්වත් මතවාදයක් දැයි ප්‍රශ්ණ කිරීමට සිදුවේ.

මූලික කොන්දේසි 08

ඒ අනුව පැන නැගී ඇති තත්වය තුළ වසංගත පාලනය පිළිබඳ ලෝකයේ පිළිගත් මූලික මූලධර්ම අනුව අවම කොන්දේසි කිහිපයක් සැපිරීමට බලධාරීන් ක්‍රියා නොකළහොත් ඉන්දියාවට අත්වූ ඉරණම ශ්‍රී ලංකාවට දුරස් නොවන බව පිළිගැනීමට සිදු වේ. එවැනි මූලික කොන්දේසි 08 ක් හඳුනාගත හැක :

  1. පළමු වැන්න රුසියාව සහ නවසීලන්තය වැනි රටවල් වල අත්දැකීම් අනුව අනතුරු ඇඟවීමේ මට්ටම අනුව රෝග පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම සහ ඊට අදාළව නිරෝධායන පනත යටතේ රෙගුලාසි පැනවීමය. ඒ අනුව සංචරන සීමා ඇතුළු සියළු සීමා කිරීම් අදාළ අනතුරු ඇඟවීමේ මට්ටමට අනුව විධිමත්ව නියම වන අතර පුද්ගල මැදිහත්වීම් මඟින් ඒවා වෙනස් කළ නොහැක.
  2. දෙවැන්න ඊට අනුව නව ප්‍රභේද මඟින් චක්‍රීයව රට තුළ වසංගතය දීර්ඝ කාලීනව පැවතිය හැකි බවට සහ ඊට සූදානම් විය යුතු බවට මහජන මනෝභාවය සකස් කිරීමය.
  3. තුන්වන උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ ආර්ථිකය පිළිබඳ භීතියක් මවා පාමින් මහජන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග සහ නිරෝධායන ක්‍රියාමාර්ග නැවත සලකා බැලීමට ඉඩ ලබා නොදීමය. ශ්‍රී ලංකාවේ තත්වය ඉන්දියාවේ මෙන් බරපතල වුවහොත් අද දවසේ සීමා පැනවීම මඟින් සිදුවන ආර්ථික අවාසියට වඩා බරපතල ආර්ථික අවාසියක් එසේ සීමා පැනවීමට එරෙහිව මානසික බාධක පනවා ගැනීම මඟින් සිදුවන බවට කිසිදු සැකයක් නැත. ඒ නිසා මහජන අධ්‍යාපනය මඟින් සීමා පැනවීම සඳහා මහජන සහය ලබාගැනීම ඉතා වැදගත් වන අතර බලධාරීන්ද තර්කානුකූල නොවන මානසික බාධක පනවා ගැනීමෙන් වැළකී සිටිය යුතුය.
  4. හතරවන උපාය මාර්ගක ප්‍රවේශය වන්නේ මුහුණ දීමේ ධාරිතාව වැඩි කිරීමය. එනම් මූලික වශයෙන් පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීම, පරීක්ෂණාගාර ජාලය කර්යක්ෂමව කළමණාකරණය කිරීම සහ සත්කාර සේවා සඳහා පහසුකම් වර්ධනය කිරීමය. එහිදී ආයුර්වේද රෝහල් සතු ධාරිතාව උපරිමයෙන් යොදා ගත යුතු වන අතර නිවාස ආශ්‍රිතව ප්‍රතිකාර සේවා ලබා දීමේදී සම්බන්ධීකරණය මූලික රෝහල් මට්ටමින් සිදු කළ යුතුය. ඒ අනුව දැනට පවතන මධ්‍යගත ක්‍රමවේදය වහාම වෙනස් කළ යුතුය.
  5. පස්වන උපාය මාර්ගික ප්‍රවේශය අනතුරු ඇඟවීමේ පද්ධතියට අනුව මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තුළ උනන්දුව සහ සක්‍රීය බව පවත්වා ගැනීම සඳහා මානසික සහ භෞතික දිරිගැන්වීම් ලබා දීමය. එහිදී ඉහත සඳහන් කළ ආකාරයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිරිමත් කිරීම ප්‍රාථමික රෝග නිවාරණ ක්‍රියාවලිය තුළදී ඉතා වැදගත් සාධකයක් බවට පත්වේ.
  6. සයවන උපාය මාර්ගික ප්‍රවේශය මහජනයා සක්‍රීයව රෝග පාලන ක්‍රියාවලියට දායක කර ගැනීමය. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නායකත්වය යටතේ බිම් මට්ටමේ රාජකාරියේ නියුක්ත නිලධාරීන් 05 දෙනා කාර්යක්ෂමව යොදාගත යුතු අතර ඔවුන්ගේ සාමූහික නායකත්වය යටතේ මහජන සෞඛ්‍ය කමිටු පිහිටුවිය යුතුය. එම යාන්ත්‍රණය සහ ප්‍රජා පොලිස් ග්‍රාමීය කමිටු සමපාත කිරීම මඟින් බිම් මට්ටමේදී වඩා ප්‍රතිඵලදායක පාලන ව්‍යුහයක් නිර්මාණය වේ.
  7. හත්වැනි කොන්දේසිය වන්නේ දේශීය වෛද්‍ය ක්‍රමයට ගරහමින් එන්නත පිළිබඳ පමණක් විශ්වාසය ගොඩ නැගීමේ වරද නිවැරදි කිරීමය. එය ප්‍රභල අධ්‍යාපන සහ ප්‍රචාරක වැඩසටහනක් මඟින් නිවැරදි කළ හැකි වුවද අධිපතිවාදී සෞඛ්‍ය බලධාරීන් ඊට ඉඩ ලබාදෙනු ඇත්ද යන සැකය සහිතය.
  8. අටවැන්න එනනත්කරණයට අදාළව භූගෝලීයව රෝගීන් වාර්තාගත වීම යන සාධකයට වඩා දීර්ඝ කාලීන පදනමින් අනතුර තක්සේරුවට අනුව ප්‍රමුඛතාවය නැවත සකස් කිරීමය.

කෙසේ වෙතත් අවසාන වශයෙන් කිව යුතු යමක්ද ඇත. මේ වන විට ආර්ථිකය පිළිබඳව වැරදි උපකල්පන මත සංචරන සීමා පැනවීම සඳහා බලධාරීන් විසින් ස්වයංව පනවා ගෙන තිබූ මානසික බාධක යම් පමණකට ජයගෙන ඇති බව පෙනේ. ඒ අනුව යම් සීමා පැනවුවද ඒවා ඉතා ලිහිල් මට්ටමකින් ක්‍රියාත්මක වීම නිසා අපේක්ෂිත ප්‍රතිඵලය ලැබී නැති බව දැන් රහසක් නොවේ. ඒ නිසා කාලය දීර්ඝ කිරීමටද සිදුවී ඇත. ‘අවුරුදු පොකුර’ ආරම්භ වූ මුල් අවස්ථාවේදී සති දෙකක දැඩි සීමා පැනවූවානම් අද පැන නැගී ඇති අර්බුධකාරී තත්වය ඇති නොවන බව තේරුම් ගැනීම අමාරු නැත. ඒ නිසා දැඩි සීමාවන් කෙසේ හෝ දින 14 ක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව කිව යුතුය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.