පියාට පහරදෙන වීඩියෝවේ සිටි දියණිය සහ මිණිපිරිය අත්අඩංගුවට

පියාට පහරදෙන වීඩියෝවේ සිටි දියණිය සහ මිණිපිරිය අත්අඩංගුවට

*********************************************

පියාට පහරදෙන වීඩියෝවේ සිටි දියණිය සහ මිණිපිරිය අත්අඩංගුවට

(20.04.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

වයෝවෘද්ධ පියෙකුට නිවසට පැමිණීමට ඉඩ ලබා නොදෙමින් ඉදළකින් සහ කුඩයකින් අමානුෂිකව පහරදෙන ඔහුගේ දියණිය සහ මිනිපිරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කෙරෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ නාරාහේන්පිට – දාබරේ මාවතේ නිවසකින් මෙම සිද්ධිය වාර්තාවන බවයි.

දියණිය සහ මිනිපිරිය එම පියාට බැණ වදිමින් පහරදෙන්නේ අවශ්‍ය නම් පොලීසියට යන ලෙසටද තර්ජනය කරමින්.

මේ වනවිට පහරකෑමට ලක්වූ පියා, රෝහල් ගතකර ඇති අතර, අත්අඩංගුවට ගත් දියණිය සහ මිනිපිරියට ඇප ලබාදුන් බව පොලීසිය ප්‍රකාශ කළා.

++++++++++++++++

******************************************

(20.04.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ගමනාන්තයක් කරගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බොආඕ සංසදයේ සාමාජික රටවලින් ඉල්ලීමක් කළා.

චීනයේ හයිනෑන් හි බොආඕ නගරයේ පැවැත්වෙන සමුළුව අද (20) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ආයෝජන අවස්ථාවන්ට සිය රටවල ආයෝජකයන් ධෛර්යමත් කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා සිටියා.

වෙනස්වන ලෝකයක් – ගෝලීය පාලනය සහ සේද මාවත ප්‍රවේශය දියුණු කිරීමට අත්වැල් බැඳගමු යන්න මෙවර සමුළුවේ තේමාවයි.

රටවල් 29 ක් සාමාජිකත්වය දරණ බොආඕ සංසදයේ මූලස්ථානය චීනයේ පිහිටා ඇති අතර, ආසියාවේ සහ ලෝකයේ සාමය, සමෘද්ධිය සහ තිරසාර සංවර්ධනයට දායකවීමට සංසදය කැපවී සිටිනවා.

******************************************

(20.04.2021 – 20:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සහ රුපියලේ අගය ඉහළ යාම සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

******************************************

(20.04.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට මතයක් ඇත්නම් එය ප්‍රකාශ කළ යුත්තේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

******************************************

විදුලි කණුවක් නිවසක් මත කඩා වැටේ – CEB සේවකයින්ට නිවැසියන්ගෙන් ගුටි

(20.04.2021 – 13:49 +0530 – sinhala.adaderana.lk)

ලංකා විදුලි බල මණ්ඩලයේ මහනුවර ශාඛාවේ නඩත්තු අංශයේ කණ්ඩායමකට බහිරවකන්ද ප්‍රදේශයේදී පිරිසක් විසින් පහරදී තිබේ.

විදුලි කණුවක් නිවසක් මතට කඩා වැටිම හේතුවෙන් එම සිද්ධිය සිදුවී ඇති බව අප වාර්තාකරු පැවසීය.

මහනුවර, බහිරවකන්ද ප්‍රදේශයේ මාර්ගයක ස්ථාපනය කර තිබු ලංකා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි කණුවක් අසල තිබු නිවසක් මතට කඩාවැටි එම නිවසට දැඩි අලාභහානි සිදුවී තිබුණි.

එම නිවසට කඩාවැටුණු විදුලි කණුව ඉවත් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ මහනුවර ශාඛාවේ නඩත්තු අංශයේ නිලධාරින් සමග සේවකයින් පස් දෙනෙකු (5) එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේදී ප්‍රදේශවාසින් පිරිසක් ඔවුන්ට පහරදී ඇත්තේ විදුලි කණුව නිසි ප්‍රමිතියකින් තොරව අනාරක්ෂිතව ස්ථාපනය කිරීම නිසා මෙම අනතුර සිදුව ඇති බවට චෝදනා කරමිනි.

ප්‍රහාරයට ලක්වූ නිලධාරීන් දෙදෙනෙකු (2) සහ එක් සේවකයෙකු (1) මහනුවර මහ රෝහලේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

කෙසේවෙතත් පහරදීමෙන් පසුව විදුලි නඩත්තුව සිදුනොකිරීම නිසා මහනුවර, මාපානවතුර ප්‍රදේශයේ කොටසකට, බහිරවකන්ද කොටසක, අස්ගිරිය ප්‍රදේශයේ කොටසකට ඊයේ (19) සිට විදුලිය සැපයීමක් සිදුකර නොමැති බව ප්‍රදේශවාසින් චෝදනා කරයි.

පහරදීම සම්බන්ධයෙන් මහනුවර කොට්ටඨාසය භාර ජෙ.පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ පහරදුන් පිරිස ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් ය.

කෙසේවෙතත් පහරදුන් පිරිස අත්අඩංගුවට නොගතහොත් හෙට (21) දිනයේදී මධ්‍යම පළාත තුළ විදුලි සැපයීමට බාධා එල්ල විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ මධ්‍යම පළාත් තාක්ෂණික ඉංජිනේරු සංගමයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

https://www.youtube.com/watch?v=o6vWjDoUYjQ#t=5

******************************************

මියන්මාහි අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවරයන් දොළොස් දෙනා (12) නිදහස් – මහාචාර්ය නලින් ද සිල්වා

(20.04.2021 – FB:nalinkalaya)

ධීවරයන්ගේ කතා වස්තුව

මියන්මාහි අත්අඩංගුවට පත් ධීවරයන් දොළොස් දෙනා නිදහස් කෙරිලා. මෙරට ජනමාධ්‍ය ගැන මට ඇත්තේ දැඩි විරෝධයක් හා කළකිරීමක්. බොහෝ ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන්ට මා ගැන ඇත්තේ ද සුහද හැඟීමක් නොවෙයි. අත්අඩංගුවට පත් වේලේ සිට මෙරට ජනමාධ්‍යයට එය විශාල ප්‍රශ්නයක් වුණා. ඔවුන් අපෙන් ප්‍රශ්න කළා. අප එනම් මියන්මාහි ලංකා තානාපති කාර්යාලය ධීවරයන් නිදහස් කර ගැනීමට කිසිවක් නොකරන්නේ ය යන මතය රටේ ඇති කිරීමට ඔවුන් උත්සාහ ගත්තා.

මෙරට මිනිසුන් විශේෂයෙන් ම සිංහලයන් බලා සිටින්නේ අනෙකකුට දොස් පැවරීමට, හැකි නම් අනෙකා නැති කිරීමට. විදේශීය තානාපති සේවය සම්බන්ධයෙන් බොහෝ දෙනකුට ඇත්තේ හොඳ ආකල්පයක් නො වෙයි. ජනතාව, විශේෂයෙන් ම ජනමාධ්‍යවේදීන් හිතන්නේ තානාපති සේවයේ ඉන්නේ පිං පඩි කාරයන් කියා. තානාපති ඇතුළු සියල්ලන්ගේ ම අවශ්‍යතාව දරුවන්ට ඉගැන්වීම, හොඳ වැටුපක් ලබා ගැනීම ආදිය කියා ඔවුන් හිතනවා. දෙරණේ ජනමාධ්‍යවේදියකු තාරක බාලසූරියට පැවසුවේ තානාපති සේවයෙන් වැඩක් සිදු නොවේ ය කියා.

ජනමාධ්‍යවේදීන්ට ජනතාව වෙනුවෙන් කතා කිරීමට ප්‍රශ්න ඇසීමට වරමක් ලබා දුන්නේ කවුදැයි මා දන්නේ නැහැ. ජනමාධ්‍යවේදීන් එක්කෝ යම් ආයතනයක පඩියට (පිං පඩියට වෙන්නත් පුළුවන් විශේෂයෙන් ම රජයේ ආයතනවල) වැඩ කරන නැත්නම් යූ ටියුබ් හරහා කීයක් හරි හොයා ගන්නා ස්වයං රැකියාවල යෙදෙන්නන් වෙන්න පුළුවන්. ඔවුන්ට ජනතාව වෙනුවෙන් ප්‍රශ්න අහන්න බලය දී ඇත්තේ කවුද?

ධීවරයන් අත්අඩංගුවට පත් වූ විට මේ ඇතැම් ජඩමාධ්‍යවේදීන් අපෙන් ප්‍රශ්න කළේ ඔවුන් හිතූ පරිදි අප පිං පඩි කාරයන් බව හෙළිදරවු කිරීමට. මියන්මා කියන්නේ වෙනස් විධියකට වැඩ කරන රටක්. ඔවුන් අප පමණටවත් ඉංගිරිසි රාජ්‍ය සේවය අනුගමනය කරන්නේ නැහැ. ලිපියකට පිළිතුරක් ලබා ගැනීම ඉතා අමාරු වැඩක්. ධීවරයන් අත්අඩංගුවට පත් වූ විට අදාළ තානාපති කාර්යාලයට ලිඛිත ව දැන්විය යුතු නමුත් කිසිවකු අපට ඒ බවක් දැන්වූයේ නැහැ. අපට තොරතුරු ලබා ගැනීම ඉතා අසීරු කාර්යයක් වුණා. එහෙත් මෙරට ජනමාධ්‍ය හිතුවේ අපට සියලු තොරතුරු ලැබී අප නිහඬ ව සිටිනවා කියා. ලෝකයේ අනෙක් රටවල් මෙන් මියන්මා අපට තොරතුරු ලබා දෙන බවයි ජනමාධ්‍ය විශ්වාස කළේ. අප මියන්මා වැඩ කරන අන්දම විවේචනය කරන්නේ නැහැ. ඒ ඔවුන්ගේ විධිය.

කොවිඩ් නිසා තානාපති කාර්යාලයටත් ගමන් බිමන් අපහසු වුණා. ඒ තිබිය දී පෙබරවාරි පළමුවැනි දා හමුදා ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. ධීවරයන් අත් අඩංගුවට පත් වූයේ ඉන් සති දෙකකට පමණ පසුව. රාජ්‍ය නිලධාරීන් සමග සංනිවේදනය කිරීම තවත් අඩාළ වුණා. එය එහෙම තමයි. ඒ ගැන කරන්න දෙයක් තිබුණේ නැහැ. එහෙත් මා කිසිවකුට කිසිවක් නොකියා මගේ අසමත්කම ගැන පමණක් කිවුවා.

එහෙත් ඒ අතර අප හැකි පමණින් අපට කළ හැකි වැඩ කරගෙන ගියා. රාජ්‍ය නිලධාරීන්ට කතා කිරීමට උත්සාහ කළා. ඔවුන්ට ලිපි එකක් පිට එකක් ආදී වශයෙන් යැවුවා. මේ අතර මා විදේශ අමාත්‍යාංශයේ කිසිවකුට නොදන්වා ධීවරයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ ව ඇතැම් විට තෙරිඳු නමින් හැඳින්වෙන සිතගු ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේත් කුලපති මහානායක ස්වාමීන් වහන්සේට ආරාධනය කර සිටියා ධීවරයන් නිදහස් කිරීමට මැදිහත් වන ලෙස. එය මගේ තනි කැමැත්තට කළ දෙයක්. උන්වහන්සේට මියන්මා ආණ්ඩුව සමග හොඳ සම්බන්ධකමක් තියෙනවා. අර රජු සංඝයා වහන්සේ සම්බන්ධය යම් ආකාරයකට හරි මියන්මාහිත් ක්‍රියාත්මක වෙනවා. ලංකාවට විශේෂ ගෞරවයක් ඇති උන්වහන්සේ මගේ ආරාධනය එක සිතින් පිළිගත්තා. මා උන්වහන්සේට සියලු විස්තර ලිපියකින් දන්වා සිටියා. මෙරට මහානායක හිමියන් නම් හිතන්නේ මා මියන්මාහි ලංකා තානාපතිකමට සුදුසු නැහැ කියා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ප්‍රශ්නයට මැදිහත් වුණා. මගේ අස්වීම පිළිබඳ ප්‍රකාශය එතුමාගේ හිතට බලපා තිබුණා. එතුමා ලංකාවේ මියන්මා තානාපතිතුමා මගින් මියන්මා රජයෙන් ධීවරයන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා. අප දිගින් දිගට ම අපේ කාර්යයන් ඉටු කළා. එහි දී තානාපති සේවයේ කිහිප දෙනා දිවා රෑ නොබලා කටයුතු කළා. විශේෂයෙන් ම උපදේශන නිලධාරිනිය මියන්මා රාජ්‍ය නිලධාරීන් සමග නිරන්තරයෙන් කටයුතු කළා. එමෙන් ම මියන්මාහි ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානයේ සභාපතිතුමා අප සමග සහායෝගයෙන් කටයුතු කළා.

අපට මියන්මා රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් ලැබී ඇති පළමු ලිපියෙන් කියැවුණේ ධීවරයන්ට මියන්මා නීතිය යටතේ නඩු පවරන බවයි. අප එවිට නැවතත් ඒ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ධීවරයන් නිදහස් කරන ලෙසයි. එහෙත් ධීවරයන් අත්අඩංගුවට පත් වීමෙන් පසු තම වරද පිළිගෙන තිබුණා. ඔවුනට විරුද්ධ ව නඩු පැවරීම අනිවාර්ය කටයුත්තක් වුණා. මෙරට එක්තරා නගරාධිපතිවරයකු නම් අප වෙත දන්වා තිබුණේ ධීවරයන් දියවැලකට හසු වී මියන්මා දේශයට ගොස් සිටි බවයි. ධීවරයන් ඒ බව දැන සිට නැහැ. ඔවුන්ට නගරාධිපතිවරුන්ට මෙන් දියවැල් ගැන අවබෝධයක් නැතිව ඇති.

නඩු තීන්දුව දීමට තිබුණේ මාර්තු අවසන. තානාපති කාර්යාල නිලධාරීන් හා ශ්‍රී ලාංකික සංවිධානයේ සභාපතිතුමා හැකි අයුරින් ධීවරෆයන් සමග සම්බන්ධකම් පැවැත්වුවා. සභාපතිතුමා දෙවරක් ම ධීවරයන් බැලීමට ඔවුන් රඳවා ගෙන සිටි පොලීසියට ගියා. නඩු තීන්දුව අනුව දහදෙනකුට අවුරුදු තුනහමාර බැගිනුත් දෙදෙනකුට අවුරුදු පහමාර බැගිනුත් සිර දඬුවම් නියම කෙරුණා.

මේ අවසාන අවස්ථාවේ මා තවත් දෙයක් මගේ හිතුමතයට කළා. මා මියන්මා හමුදා රජයේ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ ඇමතිතුමා මුණ ගැසුනා. ලංකාව මියන්මා හමුදා රජය පිළිගෙන නැහැ. එබැවින් හමුදා රජයේ ඇමතිවරයකු හමුවීම ප්‍රශ්නයක්. මා අපේ විදේශ අමාත්‍යංශයෙන් ඒ සඳහා අවසරයක් ගත්තේ නැහැ. එය මගේ හිතුමතයට කළ තවත් වැඩක්. එය නිල හමුවීමක්වත් නිල නොවන හමුවීමක්වත් නොවෙයි. යමක් එක්කෝ නිල හමුවීමක් නැත්නම් නිල නොවන හමුවීමක් වෙන්න ඕන ඇරිස්ටෝටල්ට අනුව. මා ඇතැම් අවස්ථාවල ඇරිස්ටෝටල්ට පිටින් යනවා. ඇමතිතුමා මට කියා සිටියේ මහානායක හාමුදුරුවන් වහන්සේ ද රජයට ධීවරයන් පිළිබඳ කතා කර ඇුති බවත් රජයට උන්වහන්සේගේ අනුශාසනා ඉවත දැමීමට නොහැකි බවත් විදේශ අමාත්‍යංශය ධීවරයන් නිදහස් කරන ලෙස ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයට නිර්දේශ කරන බවත්. ඒ සඳහා අප්‍රේල් දහහත්වැනි දාට යෙදෙන මියන්මා අවුරුදු උත්සවයේ දෙන පොදු සමාව යොදා ගන්නා බවත්. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියකු කියනවා ද මා හමුදා රජයේ ඇමතිවරයකු මුණ ගැසීම වරදක් කියා.

එහෙත් අපට තවත් ප්‍රශ්න කිහිපයක් ඉතිරි වී තිබුණා. එකක් මියන්මා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ධීවරයන් නිදහස් කළ බවට සහතිකයක් ලබා ගැනීම. ධීවරයන්ට ගමන් බලපත්‍ර නැහැ. තානාපති කාර්යාලයට පුළුවන් තාවකාලික ගමන් බලපත්‍ර ලබා දෙන්න. එහෙත් ඔවුන් මියන්මා දේශයට පමිණ ඇති බව පෙන්වීමට වීසා නැහැ. ඒ වෙනුවට තමයි අර නිදහස් කළ බවට සහතිකයක් අවශ්‍ය. එය නැතිව ගුවන් සමාගමක් ඔවුන් භාර ගන්නේ නැහැ. දැන් ඒ සහතිකය ලැබී තියෙනවා. එහෙත් ඔවුන්ට ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට මුදල් අවශ්‍යයයි. එය ධීවර අමාත්‍යාංශය ගෙවාවි. එහෙත් ධීවර අමාත්‍යංශයට මුදල් ගෙවන්න ටිකක් කල් යනවා. මුදල් අද යැවුවත් මියන්මා බැංකු නීති අනුව අපට ඒ මුදල් ලබා ගැනීමට සති කිහිපයක් ගත වෙනවා. මා ලංකාවට ඒමට පෙර පින්වතකු සමග කතා කර ණයක් ගෙන අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කළා. ධීවරයන් තව දින කිහිපයකින් ලංකාවට එන්න ඕන. අප ඔවුන් සඳහා ආණ්ඩුවේ නිරෝධායන පහසුකම් ද සූදානම් කර තිබෙනවා.

දැන් අරුණ හා මෝනින් පුවත්පත් හැරෙන්න අනෙක් ජනමාධ්‍ය ධීවරයන් ගැන කතා කරන්නේ නැහැ. ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටිලා. ධීවරයන් නිදහස් නොකළා නම් තානාපති පට්ට ගහන්න තිබුණා. අපරාදෙ!

මහාචාර්ය නලින් ද සිල්වා
මියන්මාහි ශ්‍රී ලංකා තානාපති

******************************************

ඉස්ලාම් අන්තවාදය මව්බිමෙන් අතුගා දැමිම සදහා ජාතික සංවිධාන එකමුතුවෙ සියනෑ කලාප මහා සමුළුවට ඉදිරිපත් කරනු ලබන යෝජනා මාලාව

(20.04.2021 – 11:43 +0530 – lankaleadnews.com)

  1. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ලෙස චෝදනාවලට ලක්වන සියලු පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුට ගැනීම සහ පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීම.
  2. පාස්කු ප්‍රහාරයට පසුව මුස්ලිම් පල්ලි ආශ්‍රිතව සොයා ගනු ලැබූ 6000 කට ආසන්න කඩු තොගය පිළිබද නිසි පරික්ෂණයක් සිදුකොට නීති විරෝධි ක්‍රියාවන්ට දායක වූ සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කිරිම.
  3. මද්‍රසා පාසල් ඉස්ලාම් මව්ලවිවරුන් පුහුණු කිරීම සඳහා පමණක් සීමාකළ යුතු අතර ඒවාට ඇතුළත්වීමේ වයස අවුරුදු 16 ට වැඩි විය යුතු බවට සීමාවක් පැනවිය යුතුය. දැනට මද්‍රසා පාසල්වල ඉගෙනුම ලබන දරුවන් පොදු අධ්‍යාපන පද්ධතියට ඇතුල්කර ගත යුතුය.
  4. මක්තබ් ඉගැන්වීමේ ක්‍රියාවලිය අහෝසි කිරීම
  5. පාසල්වල ඉස්ලාම් පෙලපොත් සංස්කරණය සහ නියාමණය සඳහා බහුපාර්ශවීය නියෝජනය සහිත විද්වත් කමිටුවක් පත්කිරීම.
  6. සෑම දරුවෙකුටම ජාති ආගම් බේදයකින් තොරව පොදු අධ්‍යාපනය අවුරුදු 16 වන තුරු අනිවාර්ය කිරීම සහ විෂය මාලා ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යටත් කිරීම
  7. ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණය වන ඇඳුම් ඇදීම තහනම් කිරීම (බුර්කාව සහ නිකාබය)
  8. වයස අවුරුදු 18 ට අඩු විවාහයන් නීති විරෝධී බවට පත්කළ යුතු අතර විවාහයේ නෛතික අයිතිය දෙපාර්ශවයටම ලැබෙන පරිදි අදාල නීති සංශෝධනය කිරිම. එම ක්‍රියාවලිය තුළ කාති උසාවි අහෝසි කළ යුතු අතර සැමට සමාන විවාහ නීතියක් සහතික කිරීම.
  9. ජාතික සයිබර් ආරක්ෂණ පනත, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පනත, රාජ්‍ය නොවන සංවිධාන නියාමන පනත, ආගමන විගමන පනත අදී පනත් සංශෝධනය කිරීම මගින් ඉස්ලාම් අන්තවාදී මතවාද ප්‍රචලිත කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය නෛතික පියවර ගැනීම.
  10. වකුප් පනත සංශෝධනය කිරිම සහ අන්තවාදී පල්ලි පිහිටුවීම මෙන්ම සහ අන්තවාදී මව්ලවිවරුන් පුහුණු කිරීම අත්හිටුවීම.
  11. විදේශීය ඉස්ලාම් අන්තවාදී සංවිධානවලින් ශ්‍රී ලංකාවේ අන්තවාදි සන්විධානවලට මුදල් ලබාදීම සහ පිරිස් සැපයීම පාලනය කිරීම සඳහා ක්‍රමවත් විශේෂ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීම.
  12. පුද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස එක් ජනවර්ගයකට හෝ ආගමකට පමණක් ප්‍රතිලාභ හිමිවන රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරිම.
  13. මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේ සහ මුස්ලිම් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සේවක මණ්ඩලය වාර්ගික මිශ්‍රණයක් සහිතව පත්කිරීම.
  14. ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය කිරීමේ බලතල අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පැවරීම සහ අරාබි පාසල් හෝ වෙනත් නම්වලින් පවත්වාගෙන යන ඉස්ලාම් ආගමික පාසල් වල විෂය මාලා පොදු අනුමතියට යටත් කිරීම මෙන්ම ශරියා විශ්ව විද්‍යාලය අහෝසි කොට රජයට පවරා ගැනීම.
  15. එක ජනවර්ගවක් හෝ ආගමික කණ්ඩායමක් අරමුණු කරගෙන රාජ්‍ය නොවන සංවිධාන හෝ දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම අත්හිටුවීම.
  16. නව ආගමික මධ්‍යස්ථාන පිහිටුවීමේදී සහ ඒ සඳහා මූලික අනුමැතිය ලබාදීමේදී ජන ගණත්වයට අනුව අදාළ ජන කණ්ඩායමේ ප්‍රතිශතය නිර්ණායකයක් ලෙස යොදා ගැනීම.
  17. හලාල් සහතික ලබාදීමේ ක්‍රියාවලිය ප්‍රමිති කාර්යාංශයේ අධික්ෂණයට යටත් කළ යුතු අතර ඒ පිළිබඳව කරනු ලබන මූල්‍ය ගනුදෙනු රජයේ විගණනයට යටත් කළ යුතුය. එසේම හළාල් සහතික අනිවාර්ය කිරීමට හෝ එම සහතිකය යොදා ගැනීම සඳහා බලපෑම් කිරීමට ඉඩ ලබානොදිම.
  18. ආගමික අන්තවාදී ක්‍රියාකාරකම් සහ ප්‍රචාර පිළිබඳ සොයා බැලීම සහ ඊට අදාල මහජන පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ පොලිස් සහ හමුදා ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටුවීම සහ උණුසුම් දුරකතන අංකයක් හදුන්වාදීම.
  19. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම මගින් තහනම් කළ යුතු බවට නිර්දේශ කළ ඉස්ලාම් අන්තවාදී සංවිධාන සහ ඒවාට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සහ නිර්දේශිත ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම.
  20. එක් රටක් එක් නීතියක් මූලධර්මය යටතේ පොදු සමාජ පිළිගැනීම්වලට පටහැනි සහ පොදු මිනිස් අයිතිවාසිකම්වලට පටහැනි වන පුද්ගල නීති සංශෝධනය කිරීම සහ නව ව්‍යවස්ථාව තුළ ඒ සඳහා ප්‍රතිපාදන පැනවීම.
  21. පසුගිය වසර 10 ක කාලය තුළ රටේ ඉඩම් අයිතියට අදාල ලියාපදිංචි කිරීම් පිළිබඳ ජාතික විගනණනයක් සිදුකිරීම සහ අන්තවාදී සංවිධාන සහ ඊට අනුබද්ධ පුද්ගලයින් විසින් කරන ලද ඉඩම් අත්පත්කර ගැනීම් පිළිබඳ සොයා බැලීම.
  22. ඉස්ලාම් අන්තවාදයට පහසුකම් සැළසීම පිළිබඳ චෝදනා එල්ල වී ඇති අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශවල පසුගිය වසර 10 ක කාලය තුළ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බලීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම.

@@@@@@@@@@@@@@@

(20.04.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 85 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 97,450 ක් දක්වා ඉහළගියා ෴

තවත් කොවිඩ් මරණ 5 ක් වාර්තා වාර්තා වී තිබනෙවා. ඒ අනුව මෙරට කොවිඩ් අසාදිතව මියගිය මුළු ගණන 625 ක් දක්වා ඉහළගොස් තිබෙනවා ෴

++++++++++++++++++++

කොවිඩ් හඳුනාගැනීම ට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියකගෙන් නව සොයාගැනීමක්

(20.04.2021 – 20:32 +0530 – sinhala.adaderana.lk)

තත්පර කිහිපයකින් ප්‍රතිඵල ලබාදිය හැකි කොවිඩ් පරික්ෂා ක්‍රමවේදයක් හඳුන්වාදීමට අමෙරිකානු ආයතනයක් සමත්ව තිබේ.

ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි.

එම විද්‍යාඥවරිය වන්නේ දුවිනි දිනුෂිකා රාජපක්ෂ මහත්මිය යි.

“දැන් PCR පරීක්ෂණයක් කළහොත් දවස් දෙකක්වත් (2) බලාගෙන ඉන්න වෙනවා ඒකේ ප්‍රතිඵල එන්න. මෙකෙදී අපිට තත්ත්පර 30 කින් ප්‍රතිඵල දෙන්න පුළුවන්. මෙකෙදී හරිම සිම්පල් විදිහට බැලූන් එකක් පුම්බලා ඒකේ තියෙන ප‍්‍රාශ්වාස වාතය ඇනලයිස් කරන එක තමයි කරන්නේ,” යනුවෙන් විද්‍යාඥ දුවිනි දිනුෂිකා රාජපක්ෂ මහත්මිය සඳහන් කළාය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *