නිවැරදි ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරන්න – දේවානි ජයතිලක

නිවැරදි ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරන්න – දේවානි ජයතිලක

*********************************************

නිවැරදි ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරන්න – දේවානි ජයතිලක

(27.03.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධන කටයුතු සඳහා ඉඩම් වෙන්කිරීමෙන් පසු ඉතිරි ඉඩම් සංරක්ෂණය කිරීමේ වර්තමාන ක්‍රමවේදය වැරදි බව දේවානි ජයතිලක මහත්මිය පවසනවා.

පරිසරය උදෙසා රාජ්‍ය සේවක වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.

++++++++++++

******************************************

(27.03.2021 – 17:55 +0530 – hirunews.lk/sinhala)

මැණික් ආශ්‍රිත කර්මාන්තවල නිරත සුළු කර්මාන්තකරුවන් පිරිසක් බලංගොඩ නගරයේ අද (27) විරෝධතාවක නිරත වුණා.

ඒ ගංගාවලට මැණික් ගැරීම සඳහා තමන්ට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින්.

සුළු පතල්කරුවන් හා මැණික් ව්‍යාපාරිකයින් විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

******************************************

(27.03.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

වෘත්තීය සමිති ව්‍යාපාරය නියාමනය කිරීමේ වැඩපිලිවෙලක් සැකසිය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දඹුල්ල නගර මධ්‍යයේ ඉදිකෙරුණු කම්කරු කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (27) එක්වෙමින්.

එසේම, වෘත්තීය සමිතිවල කාන්තා නියෝජනය ඉහළ නැංවීමට වෘත්තීය සමිති ආඥා පනතද සංශෝධනය කළ යුතු බව මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

******************************************

(27.03.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ජිනිවා මානව හිමිකම් යෝජනාවලට නොබියව මුහුණදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ‘ගම සමඟ පිළිසඳර’ 16 වන වැඩසටහනට අද (27) එක්වෙමින්.

වැඩසටහන පැවැත්වුණේ මාතර දිස්ත්‍රික්කයේ – පිටබැද්දර – දෑරංගල මහා විද්‍යාලයේදීයි.

එසේම, විදේශීය බලවේගයන් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවට වැරදි මත ගෙන එන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

******************************************

(27.03.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා ගතවූ වසර 2 තුළ රුපියල් කෝටි 49 ක් වැයකර ඇතත් ඉන් පළක් වී නොමැති බව රජයේ ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණ වුණා.

මේ 2021 වසර තුළ පමණක් අලි මිනිස් ගැටුමෙන් පුද්ගල මරණ 28 ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති අලි මරණ සංඛ්‍යාව 83 ක්.

අලි මිනිස් ගැටුම් ඉතිහාසය පුරා නොවිසදුණු ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

අම්පාර – කොටවෙහෙර ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණේ ඊට නිදසුන් ලෙසයි.

ආණමඩුව – මහකුඹුක්කඩවල ප්‍රදේශයේදීද වන අලි පහරදීමකින් 52 හැවිරිදි තිදරු පියෙකුට දිවි අහිමි වුණා.

පොළොන්නරුව – අත්තනකඩවල ප්‍රදේශයේදීද සිව් (4) දරු පියෙකුට ජීවිතය වන අලි ප්‍රහාරයක් හේතුවෙන් අහිමි වුණා.

අද (27) පෙරවරුවේත් මහයංගනය පාලම අසළ වන අලි රංචුවක් ගැවසෙන ආකාරයද දැකගත හැකි වුණා.

මේ අතර අලි මිනිස් ගැටුමට කඩිනමින් විසඳුම් ඉල්ලා මහියංගනය ගොවි ජනතා එකමුතුව අද මහියංගනයේදී විරෝධතාවක නිරත වුණා.

වන අලි ගැටලුවට විසඳුම් ලබාදීමේ අරමුණින් විදුලි වැට ඉදිකිරීම සඳහා 2019 සහ 2020 වසර සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටි 49 කට අධිකයි.

එලෙස කිලෝ මීටර් 4756 ක් පමණ දිග විදුලි වැටක් ඉදිකර තිබුණද රාත්‍රී කාලයේ මෙන්ම දිවා කාලයේදීද වන අලි ගම් වැදීමේ අඩුවක් දක්නට නැහැ.

මේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ එවැනි සිදුවීම් කිහිපයක්.

******************************************

(27.03.2021 – 20:27 +0530 – hirunews.lk/sinhala)

මේ අතර පොල් තෙල් අර්බුදය පිළිබඳව මෙන්ම සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

+++++++++++

******************************************

(27.03.2021 – 20:34 +0530 – hirunews.lk/sinhala)

තිස්සමහාරාමය, කිරින්ද වෙරළ තීරයේ ඇති ඉල්මනයිටි ඛනිජවැලි නිධියක් රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශඑක්වූ ජනහමුවකින් අනතුරුව අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මෙම ජනහමුව සංවිධාන කර තිබුණේ තිස්සමහාරාමය, කිරින්ද ප්‍රජා ශාලාවේදී.

එහිදී කිරින්ද වෙරළ තීරයේ ඇති ඉල්මනයිට් ඛනිජවැලි නිධියක් රජයට පවරයා ගැනීමේ යෝජනායක් සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ විසින් ජනතාව දැනුවත් කෙරුණා.

කෙසේ වෙතත් අදාළ වැලි නිධිය රජයට පවරා ගැනීමට පිරිසක් විරෝධය පළ කිරීමත් සමඟ හටගත්තේඋණුසුම් තත්ත්වයක්.

+++++++++++++

******************************************

පොලිසියෙන් මහජනතාවට උපදෙසක්

(28.03.2021 – 06:33 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ විවිධ අපරාධවල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා.

කාන්තාවන්ගේ ගෙළ බැඳි රන් මාල කොල්ලකෑම, මුදල් පසුම්බි සොරකම්, විවිධ මූල්‍ය ආයතනවලට සහ වෙළඳසැල් මෙන්ම ස්වර්ණාභරන අලෙවිසැල්වලට ඇතුලුවී මුදල් කොල්ලෑම් වාර්තාවන බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

කොල්ලකරුවන් පැමිණෙන්නේ සම්පූර්ණ මුහුණු ආවරණ වන හිස් වැසුම් සහ ජැකට් පැළඳගෙන වන අතර මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙනවා.

විශේෂයෙන් ස්වර්ණාභරණ අලෙවිසැල් ඇතුලු වෙළඳ ආයතන විවෘත කිරීමේදී මෙන්ම වසා දැමීමේදීත් බැංකු වෙත මුදල් රැගෙන යාමේදීත් අවශ්‍ය ආරක්ෂක විධි විධාන අනුගමනය කරන ලෙසටයි ඔහු ඉල්ලා සිටින්නේ.

හදිසි අවස්ථාවකදී නාද කළ යුතු සීනුවක් වැනි දෙයක් මෙන්ම එවැනි අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සේවකයන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව සහ ඒ සම්බන්ධයෙන් පූර්ව ආරක්ෂක සැලැස්මක් සකස් කර තැබීමේ අවශ්‍යතාව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම ළගම ඇති පොලිසියේ හදිසි ඇමතුම් අංශයේ අංක ළග තබාගැනීම මෙන්ම අසල වෙළඳසැල් සමග සාකච්ඡා කර අවශ්‍ය පූර්ව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමේ අවශ්‍යතාව ද පොලිසිය අවධාරණය කරනවා.

මේ අතර මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන දුම්රිය ස්ථාන බස් නැවතුම්පොළ මෙන්ම වෙළඳ සංකීර්ණ වැනි ස්ථානවලදී මුදල් පසුම්බි සහ අත්බෑග් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් විසින් සිදුකරන අපරාධවල වර්ධනයක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියාසිටියා.

විශේෂයෙන් යතුරුපැදි පාපැදි ඇතුලු වාහන නතර කර තබා යාමේදී ඊට සුදුසු ආරක්ෂිත ස්ථානයක් යොදා ගැනීම මෙන්ම අවශ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කිරීමේ අවශ්‍යතාව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙනවා.

පොලීසිය උත්සව සමයේ විශේෂ මෙහෙයුම් මෙන්ම හදිසි මාර්ග බාධක පරීක්ෂාවන් සිදු කළ ද අපරාධ වළක්වා ගැනීම වෙනුවෙන් මහජනතාවගේ සහය ද නිරන්තරයෙන් අපේක්ෂා කරන බවයි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ෴

@@@@@@@@@@@@@@

(27.03.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

යාපනය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) ඇතුළු 19 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

වෛද්‍යවරුන් දෙදෙනාට (2) අමතරව නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් 06 දෙනෙකුට සහ රෝහලේ සේවකයින් පිරිසකටයි මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ.

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආරුමුගම් කේදීස්වරන් සඳහන් කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යාපනය දිස්ත්‍රික්කයේ කොටසකට සංචරණ සීමා පනවා ඇති බවයි.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයින් 163 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 91,724 ක්.

එසේම, අද (27) දිනයේදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් 243 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 88,388 ක් ලෙස දැක්වෙන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 2,615 ක් පමණයි ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 97 ක් වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++++++++

(27.03.2021 – 22:08 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත එක් මරණයක් අද (27) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 559 ක් දක්වා ඉහළ ගියා.

මියගොස් ඇත්තේ කොළඹ 06 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට ඇතුලත් කර තිබුණා. ඔහු පසුගිය 25 වනදා මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්වය සහ හෘද රෝගී තත්වයයි ෴

******************************************

වස පොල්තෙල් වල විස නසන විදිහ මෙන්න. ප්‍රකට රසායන විද්‍යාඥයෙකු පැහැදිලි කරයි…

(28.03.2021 – 00:02 +0530 – lankacnews.com)

රට පුරා පිළිකා කාරක වස පොල්තෙල් බෙදාහැර ඇතැයි මාධ්‍ය වාර්තා පළවෙද්දී පොල්තෙල් වස වෙන්නේ කෙසේද? ඒවා භාවිතා කිරීම මගින් පිළිකා සෑදෙන්නේ කෙසේද? වස පොල්තෙල් වල වස ඉවත්කර ගන්නේ කෙසේද?

ප්‍රකට රසායනික විද්‍යාඥයෙකු වන ආචාර්ය පියල් ආරියනන්ද මහතා විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැහැදිලි කර තිබේ.

එසේම, ඔහු සඳහන් කරන්නේ පොල්තෙල් වලට අමතරව මෙම පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය අනිකුත් ආහාර ද්‍රව්‍ය වලත් වර්ධනය වන බවයි.

මේ නිසා, එම ආහාර ද්‍රව්‍යද මෙම විෂ රසායනිකය ඉවත් කරමින් භාවිතා කරන ආකාරය ආචාර්ය පියල් ආරියනන්ද මහතා මෙහිදී පෙන්වා දී ඇත.

******************************************

ඇෆලටොක්සීන් පිළිකා කාරකයේ භයානකකම ගැන වෛද්‍යවරු පැහැදිලි කරයි

(27.03.2021 – 20:24 +0530 – sinhala.adaderana.lk)

පිළිකා කාරක ඇෆලටොක්සීන් ආහාරයට එක්වුවහොත් ඇති වන රෝගාබාධ පිළිබඳව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැහැදිළි කිරීමක් කළේය.

එහිදී “ඒක සාමාන්‍යයෙන් අක්මාවට අහිතකර දෙයක්. අක්මාවේ පිළිකා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. වැඩිහිටියන්ට වැඩිය කුඩා ළමයින්ට මේක බලපාන්න පුළුවන්. දරාගැනීමේ හැකියාව අඩු නිසා. මේ ගොල්ලන්ගේ වර්ධනයට පවා මේක බලපාන්න පුළුවන්, කුඩා ප්‍රමාණයක් දීර්ඝ කාලයක් ශරීරගත වුණොත්. මේකෙන් හානියක් සිදුවෙන්න විශාල ප්‍රමාණයක් එකපාර ශරීරගත වෙන්න ඕනේ. නැත්නම් කුඩා ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ ශරීරගත වෙන්න ඕනේ.” යනුවෙනි.

පිළිකා කාරක පොල්තෙල් සම්බන්ධයෙන් අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ද අදහස් පළ කළේය.

“කඩේ ගිහින් පොල්තෙල් නෙමෙයි ගන්නේ. ගන්නේ වස. පොල්තෙල් සහ මී තෙල් තමයි අපිට තිබුණු වටිනාම තෙල් වර්ග දෙක. බටහිර ජාතීන් පොල්තෙල් හොඳ නෑ කියලා ලොකු වැඩසටහනක් ගෙනිච්චා. අපේ හිටපු හෘද රෝග විශේෂඥ වෛද්‍ය ඩී.පී. අතුකෝරාළ මහත්තයා ලොකු සටහන් තනිව කළා අපි ඉස්කෝලේ යන කාලේ, පොල්තෙල් හදවත් රෝගවලට හොඳයි කියලා කියන්න. කියලා කියලා එතුමා දිනුවා. දැන් පොල්තෙල් හොඳයි කියලා මුළු ලෝකෙම පිළිගන්නවා. නමුත් කඩේ විකුණන පොල්තෙල්වලින් 80% ම පොල්තෙල් නෙමෙයි.”

මේ අතර පිළිකා කාරක අඩංගු පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් වී ඇත්දැයි සෙවීම සඳහා දිවයින පුරා පොල්තෙල් අලෙවිකරන ස්ථාන 100 කින් පමණ සාම්පල ලබාගෙන පරීක්ෂාවට යොමුකරන බව වෙළෙඳ අමාත්‍යාංශය පැවසීය.

මේ අතර රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා ‘අද දෙරණ’ට සඳහන් කළේ, මතභේදයට තුඩුදුන් පොල්තෙල් ගබඩා ගුදම්වල මුද්‍රා කඩා ඇත්දැයි සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කළ බවය.

******************************************

ආරක්ෂිත සහල් තොගවලට වූයේ කුමක්ද?

(26.03.2021 – 17:46 +0530 – sinhala.adaderana.lk)

අවශ්‍ය මුදල් වෙන් කළ ද ආරක්ෂිත සහල් තොග තබා ගැනීමට ඊට අදාළ අංශ අසමත් වී ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඒ අනුව සහල් වංචාවක් සිදුව ඇති බවට පවසමින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට එම සංගමය අද (26) අල්ලස් කොමිසම හමුවට පැමිණ සිටියේය.

මේ අතර වී මිල තවදුරටත් ඉහළ යා හැකි බවට පවතින මතය හේතුවෙන් බොහෝ පිරිස් වී තොග රැස්කිරීමට කටයුතු කිරීමෙන් සහල් නිෂ්පාදනය අඩපණ වී ඇති බවද එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා පැවසීය.

“පහුගිය වසරේ මහ භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 300 ක් වෙන් කරලා තියෙනවා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට ආරක්ෂිත සහල් තොගයක් තබා ගන්න. දැන් මේ මිලියන 300 නිකුත් කරලා මාස 6 ක් 7 ක් වෙනවා. අදවන තුරු මේ මුදල්වලින් නිෂ්පාදනය වුණු සහල් තොගය ලංකා සතොසට ලැබිලත් නෑ. ආරක්ෂිත තොගය වශයෙන් ලැබිලත් නෑ. අපිට ලැබෙන තොරතුරු අනුව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ මැදිහත්වීමෙන් පුද්ගලික අංශයට අලෙවි කරලා තියෙනවා ආසන්න වශයෙන් රුපියල් මිලියන 2000 ක පමණ සහල් තොගයක්. එහෙම තත්ත්වයක් තුළ තමයි ආරක්ෂිත සහල් තොගයක් ලෙස ඉන්දියාවෙන් පොන්නි සම්බා මෙට්‍රික්ටොන් 25,000 ක් ආනයනය කරන්න හදන්නේ. මේ සහල් මාෆියාවට පිළිගත හැකි විසඳුමක් අවශ්‍යයි. හැමකෙනාම හිතනවා වී මිල තවත් ඉහළ යයි කියලා. හැමෝම වී තොග රැස් කරනවා. හාල් නිෂ්පාදනය කරන්න නෙමෙයි උනන්දුව තියෙන්නේ. වී තොග රැස්කරලා වී මිල වැඩි කරන්න.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *