සීනි බදු වංචාවට මුල්වූ සමාගම මීට පෙර පොල් තෙල් සහ පාම් තෙල් බදු වංචාවක් කළා – ජාතික සංවිධාන එකමුතුව

සීනි බදු වංචාවට මුල්වූ සමාගම මීට පෙර පොල් තෙල් සහ පාම් තෙල් බදු වංචාවක් කළා – ජාතික සංවිධාන එකමුතුව

*********************************************

සීනි බදු වංචාවට මුල්වූ සමාගම මීට පෙර පොල් තෙල් සහ පාම් තෙල් බදු වංචාවක් කළා – ජාතික සංවිධාන එකමුතුව

(19.03.2021 – 08:05 +0530 – lankaleadnews.com)

මේ වන විට සීනි සඳහා ආනයන බදු අඩු කිරීම මගින් බදු වංචාවට ආණ්ඩුව පෙළඹවූ බවට චෝදනාවට ලක්ව සිටින ප්‍රධාන පෙළේ සීනි, පොල් තෙල් සහ පාම් තෙල් ආනයනයකරුවෙකුට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.

එහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය වසන්ත බංඩාර මහතා අදහස් දක්වමින් “පිරමිඩ නම ඉස්සරහට දමාගෙන ආනයන ජාවාරමේ නියුක්ත මෙම සමාගම සතු ප්‍රධාන පෙළේ හෝටලයක් වියත් මග සංවිධානයට සම්මන්ත්‍රණ සඳහා නොමිළේ ලබා දීම මගින් ආණ්ඩුවට ලංවී සිටින මෙම ව්‍යාපාරිකයා අද ආණ්ඩුව බරපතල අර්බූදයකට තල්ලු කර තිබෙනවා.

අර්ජුන් මහේන්ද්‍රන් රනිල් වික්‍රමසිංහට කළ දේ තමයි අද ඔහු මේ ආණ්ඩුවට කරල තියෙන්නේ. සීනි බදු වංචාව නිසා රජයට සිදුවූ පාඩුව වන රුපියල් මිලියන 150,000 න් 40% ක් ලැබුනේ ඔහුට. මීට පෙර පොල් තෙල් ආනයනය සඳහා ගෙවිය යුතු බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියල් 170 කින් අඩු කිරීම නිසා ඔහුට ලැබුණු ලාභය මිලියන 20,000 ක්” යනුවෙන් පවසා සිටියේය ෴

******************************************

කැලණි ගඟේ දූෂණය

(19.03.2021 – divaina.com කතුවැකිය)

පානීය අවශ්‍යතා සඳහා ජලය ලබාගන්නා කැලණි ගඟට කොහිලවත්ත හා හංවැල්ල ප‍්‍රදේශවල සුසාන භූමි දෙකකින් මළ සිරුරු ආවරණය කරන ඉටි කොළ එකතු වීමේ අවදානමක් මතු වී ඇතැයි එම ගංගාවේ ජල දූෂණය පිළිබඳ පරිසර විගණන වාර්තාවේ දැක්වෙන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. මේ ප‍්‍රශ්නය හැකි ඉක්මනින්ම විසඳා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) රාජ්‍ය සේවා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයාට පසුගියදා උපදෙස් දී ඇත. කැලණි ගෙඟ් ජල දූෂණයට අදාළ සිදුවීම් වාර්තා වූයේ අද ඊයේ සිට නොවේ. නමුත් අර්බුදය වන්නේ ඒ සම්බන්ධයෙන් වගකිව යුතු රාජ්‍ය ආයතන මෙම ජල දූෂණය නතර කිරීමට කිසිදු පියවරක් නොගැනීමය.

බස්නාහිර පළාතේ ජනගහනයෙන් වැඩි පිරිසකට මෙන්ම මූලික වශයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ 80% කට වැඩි පිරිසකගේ පානීය ජල අවශ්‍යතාව සපුරන කැලණි ගංගාව මේ වන විට ලංකාවේ දූෂිතම ගඟ බවට පත්ව ඇති පුවත මේ වන විට ප‍්‍රසිද්ධ කරුණකි. මධ්‍යම පරිසර අධිකරියේ තොරතුරු මඟින් මෙන්ම 2019 වසරේදී ජාතික විගණන කාර්යාලය නිකුත් කළ ‘කැලණි ගෙඟ් ජල දූෂණය’ සම්බන්ධ පරිසර විගණන වාර්තාවේ දැක්වෙන්නේ කැලණි ගංගාව ආරම්භක ස්ථානයේ සිට මුහුදට වැටෙන තැන දක්වා වූ පිහිටි කර්මාන්ත ශාලා 10,511 කට ආසන්න ගණනක් මෙම පාරිසරික දූෂණයට වගකිව යුතු බවය.

මෙම ජල දූෂණය ඇරඹෙන්නේ කර්මාන්න ශාලා මඟින් පිටකරන අපජලය පිරිපහදු නොකරම කැලණි ගඟට මුදා හැරීම නිසාය. 1980 ජාතික පරිසර පනතෙහි 23(a) කොටසෙහි පනවා ඇති බලතල අනුව පරිසර ආරක්ෂණ බලපත් වැඩසටහන යටතේ කර්මාන්ත ක‍්‍රියාකාරකම් මගින් පරිසරයට අපජලය බැහැර කිරීම නීතිගත කර තිබේ. යම් කර්මාන්ත ශාලාවක් එලෙස අපජලය බැහැර කරනවා නම් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් පාරිසරික ආරක්ෂණ බලපත‍්‍රයක් ලබාගත යුතුය. නමුත් 2019 වසරේ සිදුකරන ලද පාරිසරික විගණනයේදී හෙළිවූයේ කැලණි ගං මිටියාවතේ ඇති කර්මාන්තශාලා බහුතරයක පාරිසරික ආරක්ෂණ බලපත‍්‍රය අලුත් කර නොමැති බවය. ඊට හොඳම උදාහරණය අක්කර 431 ක භූමි ප‍්‍රමාණයකින් සමන්විත ඇඟලුම්, ආහාර හා ප්ලාස්ටික් යනාදි ද්‍රව්‍ය නිපදවන කර්මාන්ත 37 ක් අන්තර්ගත සීතාවක අපනයන සැකසුම් කලාපයේ පාරිසරික ආරක්ෂණ බලපත‍්‍රය 2010 වසරෙන් පසු අලුත් කර නොතිබීමය.

තවද සීතාවක කලාපයට අයත් කර්මාන්ත ශාලා 37 ක අපජල පිරිපහදුව සඳහා පවතින පොදු අපජල පිරිපහදු මධ්‍යස්ථානයේ ධාරිතාව ද ප‍්‍රමාණවත් නොවන බවත්, අපජල පිරිපහදු මධ්‍යස්ථානයේ ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ යන්ත‍්‍රය අක‍්‍රීය වී තිබීම පාරිසරික වශයෙන් ඇතිව තිබූ බලපෑමක් බවත්, සීතාවක සහ බියගම අපනයන සැකසුම් කලාපවල කර්මාන්තශාලාවලින් ජනිත වන මඩිති (sludge) ඉවත් කිරීම සඳහා නිසි ක‍්‍රමවේදයක් යොදා නැති බැවින් මඩිති වැසි ජලය සමඟ මිශ‍්‍රව ජල මූලාශ‍්‍රය දූෂණය වීමේ අවදානමක් පවතින බවත්, 2019 වසරේ නිකුත් කළ පාරිසරික විගණන වාර්තාවේ සඳහන් කර තිබුණි. මේ හේතුවෙන් කැලණි ගෙඟ් ජලයේ ඊ.කොලි (E.coli) බැක්ටීරියා ප‍්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. ඊ.කොලි බැක්ටීරියා අඩංගු වන්නේ සත්ව මළ තුළය. මෙය මාරාන්තික බැක්ටීරියාවකි. පාරිසරික නීති රෙගුලාසිවලට අනුව ගංගාවට මුදා හැරෙන ජලයේ තිබිය යුතු ඊ.කොලි බැක්ටීරියා ජලය ඒකකවලට සාපේක්‍ෂව මිලිලීටර් 4000 ක් වුවද පරිසර වාර්තාවට අනුව කැලණි ගෙඟ් ජලයේ එම ප‍්‍රතිශතය මිලි ලීටර් 18,000 ත් 19,000 ත් අතර වේ. කැලණි ගෙඟ් ජල දූෂණය මැන ගැනීමට මෙම දත්ත පමණක් හොඳටම ප‍්‍රමාණවත්ය.

කැලණි ගෙඟන් ආවරණය වන මුළු භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 233,335 කි. ගඟේ දිග දළ වශයෙන් කි.මී. 145 ක් පමණ වේ. වාර්ෂිකව ගඟට ලැබෙන ජලස්කන්ධය අක්කර අඩි 7,019,000 ක් පමණ වන අතර, එයින් 64% කට ආසන්න ප‍්‍රමාණයක් මුහුදට ගලා බසියි. මෙවැනි වටිනා ජල සම්පතක් ආරක්ෂා කර ගැනීමට නම් අප දැඩි තීන්දු ගත යුතුය. එම තීන්දු ක‍්‍රියාත්මක කිරීමට ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය යාන්ත‍්‍රණයක් ස්ථාපිත කර තිබේ. නමුත් ඛේදවාචකය වන්නේ මෙවැනි භයානක පාරිසරික වාර්තාවක් එළිදක්වා තිබියදීත්, එහි වගකීම භාරගත යුතු රාජ්‍ය ආයතන කුම්භකර්ණයන් සේ හැසිරීමය.

ඉදිරියේදී වැඩිවන ජනගහනයට සාපේක්ෂව ජල පරිභෝජනය ඉහළ යන බැවින් ඉදිරියේදී රටේ ජාතික ධනය බවට පත්වන්නේ ජල සම්පතය. ඉන්දියාව දැනටමත් ‘පවිත‍්‍ර ගංගා’ නමින් රටේ ගංගා පද්ධතිය පිරිසිදු කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් අරඹා ඇත්තේ මෙම වටිනාකම ඔවුන් කල්තියා හඳුනා ගත් නිසාය. නමුත් කැලණි ගඟේ දූෂණය හෙළි කළ පාරිසරික වාර්තාව එළි දක්වා වසර දෙකක් (2) ගත වුවද, අප තවමත් රටේ අනාගත ධන සම්පත ආරක්ෂා කර ගැනීමට ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කොට නොමැත. තවදුරටත් මෙම පාරිසරික විනාශය සිදුවීමට ඉඩ දී බලා සිටීම මහා ව්‍යසනයකට පාර කැපීමකි. එම නිසා ඉතා ඉක්මණින් කැලණි ගඟ බේරා ගැනීමට ඉදිරියට ඒම ආණ්ඩුවට භාරය ෴

******************************************

‘ඇඩ‍්‍රස් නෑ’ ගැන බොරු 03 ක් ජන ගතවුණා…. ජනිතගේ බොරුව, භාතියලාගේ බොරුව, ඔස්කා බොරුව… මහැදුරු සුනිල් ආරියරත්න කියයි!

(19.03.2021 – divaina.com)

ජනිතගේ බොරුව

‘ඇඩ‍්‍රස් නෑ’ නිෂ්පාදක ජනිත මාරසිංහ නමැත්තා ජනමාධ්‍යවලට පුන පුනා කියා ඇත්තේ ඔහුට මේ ගීතය පිළිබඳ සියලු අයිතිවාසිකම් ඇති බවයි. ඒ බව ඔප්පු කිරීමට ලේඛන තමා සතුව ඇති බවයි. මෙය පට්ටපල් බොරුවකි. ‘ඇඩ‍්‍රස් නෑ’ චිත‍්‍රපටයෙහි ආ ‘ඇඩ‍්‍රස් නෑ’ ගීතයට සහ එහි ආ තවත් ගීත දෙකක පදමාලාවට ඔහු වසර 06 ක් තිස්සේ තඹදොයිතුවක්වත් ගෙවා නැත. ගීතයක අයිතිකරුවෝ දෙදෙනෙකි. ගීත රචකයා සහ තනු නිර්මාණකරුවාය. තනු නිර්මාණකයාට සහ වාදක මණ්ඩලයට ගෙවූ විට පදමාලාවේ අයිතිය නිරායාශයෙන් එම මුදල් ගෙවු තැනැත්තාට හිමි වන්නේ නැත. චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ ජැක්සන් ඇන්තනීට මේ අවනඩුව පැවසූ විට ඔහු කියා සිටියේ ‘ඇඩ‍්‍රස් නෑ’ චිත‍්‍රපටයේ කතාව, දෙබස්, තිරනාටකය, රංගනය වෙනුවෙන් ඔහුට ද මේ නිෂ්පාදකවරයා ගෙවා ඇත්තේ මුහුරත් උළෙලේ දී දුන් මුදල පමණක් බවයි. චිත‍්‍රපටයේ රඟ පෑ බොහෝ නළු නිළියන්ට ද මුහුණ දීමට සිදු වූයේ ඒ අවාසනාවන්ත ඉරණමට බවයි. අනුන්ගේ දේපළ රු.60,000 ට විකුණා ‘ගලේ පැහැරූ බළලෙකුගේ’ තත්ත්වයට පත් වූ පසු එම ගීතවල මුදල් ගෙවන්නට ඔහු කීප වරක් මා හමුවීමට පැමිණියේය. මා එම මුදල් භාර නොගත්තේ ඒ සඳහා අත්සන් තබන රිසිට් පත ඔහු ගණිකා වෘත්තියෙහි යොදවන බව මට සක්සුදක් සේ පැහැදිලි වූ බැවිනි. ගීතයේ සියලු අයිතිවාසිකම් තමා සතුව ඇතැයි භාතිය සන්තුෂ්ලාත් ඔස්කා සංවිධානයත් නොමඟ යැවූ ජනිත මාරසිංහට මා අභියෝග කරන්නේ එම ගීත රචනාවල අයිතිවාසිකම් පවරා ගැනීම සම්බන්ධයෙන් ලේඛනයක් ඇත්නම් ඉදිරිපත් කරන ලෙස ය.

භාතියලාගේ බොරුව

‘ඇඩ‍්‍රස් නෑ’ ගීතය සම්බන්ධයෙන් භාතියලා පට්ටපල් බොරු දෙකක් පවසති. පළමුවැන්න, ජනිත මාරසිංහ ගීතයේ සම්පූර්ණ අයිතිවාසිකම් ඇති බවට ලේඛන ඉදිරිපත් කළ බවයි. එසේ නම් එම ලේඛන අතර ගීත පදමාලාවේ අයිතිය ජනිතට පැවරූ ලේඛනයක් තිබිය යුතුය. ගීතයක පරම අයිතිය ගී තනු නිර්මාණකයාට මෙන්ම ගීත රචකයාටත් තිබෙන බව නොදැන සිටීමට තරම් ඔවුන් නොදරුවන් නොවේ. යූ ටියුබ් හි තරුණයා ගායනා කළේ මගේ වචන ය. ඒ වචන ලිව්වේ ජනිත මාරසිංහ නොවේ. ගීත වෙළඳාම පිළිබඳ හොඳින්ම දන්නා භාතිය – සන්තුෂ් දෙපළ මේ බොරු කරන්නේ කාටද?

භාතියලාගේ දෙවැනි මහා බොරුව නම් මෙම ප‍්‍රකාශය යි. ‘සංගීතමය වැඩසටහනකටයයි අපි මෙය යොදා ගත්තේ. අපි ඒක වෙළෙඳ දැන්වීමකට යොදා ගත්තේ නෑ.’ භාතියලා සිතන්නේ සංගීත රසිකයන් අතර සිටින්නේ අන්ධයන් කියා ය. ‘යූ ටියුබ්’ හි ‘ඇඩ‍්‍රස් නෑ’ ගීතය ප‍්‍රචාරය වෙද්දී විනාඩි 3½ ක් පුරා පසුබිමෙහි පෙන්වූ සිසිල් බීම බෝතලය මගේද? රෝහණ වීරසිංහගේ ද? ගීත ගැයුනේ එම සිසිල් බීම බෝතලය විකිණීම පිණිස නොවේ නම් පූජාවක් පිණිස ද? මාත් රෝහණත් කුපිත වූයේ මේ වෙළෙඳ මගඩිය නිසා මිස වෙනත් තරුණයකු අලුත් සංගීත සංයෝජනයකට ‘ඇඩ‍්‍රස් නෑ’ ගීතය ගායනා කිරීම නිසා නොවේ. අපගේ ගීත කොතෙක් නම් විවිධ නාලිකාවල විවිධ වැඩසටහන් සඳහා තරුණ තරුණියන් ගයනවාද? ඒ කිසිදු අවස්ථාවක අප ඔවුන්ට එරෙහිව හඬක් නඟා තිබේද? අපගේ නිර්මාණ සිසිල් බීම සමාගමකට විකුණා තම මඩිය තර කරගෙන රටට බොරු කිරීම කෙතරම් අලජ්ජී ක‍්‍රියාවක්ද?

ඔස්කා බොරුව

ඔස්කා බොරුව නම් ඉහත කී ජනිත මාරසිංහ ‘ඇඩ‍්‍රස් නෑ’ ගීත සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලිපි ලේඛන හරි හැටි පරීක්‍ෂා කර නොබලා ‘භාතිය -සන්තුෂ් කිසිසේත්ම ගීත හොරකමක් හෝ ගීත මංකොල්ලයක් සිදු කර නැතැ’යි ප‍්‍රකාශයට පත් කිරීම ය. දැන් භාතිය සන්තුෂ්ලා එම ප‍්‍රකාශය තොරොම්බල් කරමින් සිටිති. ඔස්කා කොමිටියේ ආචාර්ය සෝමරත්න දිසානායක සහ නිලාර් එන් කාසීම් නමැති ගීත රචකයෝද සිටියහ. ‘සුනිල් ආරියරත්නගේ ගීත රචනාවේ අයිතිය භාතියලාට ඇත්දැයි’ අසන්නට ඔවුන්ට අමතක විය. අපගේ බුද්ධිමය දේපළ, වෙළඳාමට යොදා ගැනීම ගැනද ඔස්කා සංවිධානයට වගක් නැත. අපගේ අවනඩුව ඔස්කා සංවිධානයට දැන්වූයේ 2021 පෙබරවාරි 17 වැනිදාය. දෙසතියක් තිස්සේ මෙම ප‍්‍රශ්නය මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ඔඩු දුවන්නට ඉඩ දී පූර්වෝක්ත අයුක්ති සහගත තීන්දුව ගැනීමට ඔස්කා කමිටුව රැස් වන්නේ මාර්තු 01 වැනිදා ය. අවුරුදු 20 කට ආසන්න කාලයක් ඔස්කා සංවිධානයෙහි සාමාජිකත්වය දැරූ මාත් රෝහණත් සම්බන්ධයෙන් ඔස්කා හැසිරෙන්නේ එලෙස නම් තවත් කවර කතා ද? බුද්ධිමය දේපළ ආරක්‍ෂා කර දීම සඳහා පිහිටුවා ගත් ආයතනයක් සොරුන්ට සහතික දී නිදොස් කොට නිදහස් කිරීම තරම් පහත් ක‍්‍රියාවක් තවත් ඇත් ද?

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න

******************************************

සිංහරාජේ ප්‍රශ්නගත ඉඩමේ අයිතිකරුව ආණ්ඩුව ආරක්ෂා කරනවා ද? පරිසර ඇමතිගෙන් ප්‍රශ්න කෙරේ…

(19.03.2021 – colombotoday.com)

සිංහරාජය ප්‍රදේශයේ මේ දිනවල ආන්දෝලනයට පත්ව තිබෙන ඉඩම පිළිබඳව මාධ්‍යවේදී චතුර දේශාන් පරිසර ඇමති මහින්ද අමරවීර මහතාගෙන් ඊයේ (18) දැඩි ලෙස ප්‍රශ්න කර සිටියා.

එම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් පරිසර අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙම කලාපය පිළිබඳවම තීරණයක් ගැනීමට සුදානමින් සිටින බවත් පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙක් ඉලක්ක කර ක්‍රියා නොකරන බවත්ය.

ප්‍රශ්නගත ඉදිකිරීම් සඳහා ප්‍රාදේශීය සභාවෙන් අවසර ගෙන ඇත්තේ නිවාස ඉදිකිරීම් සඳහා බව පවසමින් බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා දැක්වූ සම්පුර්ණ අදහස් :

+++++++++++

සිංහරාජය ගැන කියපු භාග්‍යාගේ නිවසට ගිය හිමිවරුන් කියපු සැර කතා (18.03.2021)

++++++++++++++

සිංහරාජ පරිශ්‍රයේ අන්දෝලනාත්මක ඉඩමට වැඩම කළ පූජ්‍ය අක්මීමන දයාරතන හිමි… (18.03.2021)

******************************************

අකටයුතුකම් ඉදිරියේ ජනතා හඬ යටපත් කිරීමේ උත්සහයක් ගැන ජගත් ගුණවර්ධන පැහැදිලි කරයි

(19.03.2021 – mawbima.lk)

අකටයුතුකම් ඉදිරියේ ජනතා විරෝධය ඇතුළු මැදිහත්වීම් මර්දනය කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිත වන බවට පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

ඔහු මෙවැනි මර්දනය කිරීමේ උපක්‍රම කිහිපයක් පිළිබඳව පැහැදිලි කරයි.

ඔහු කළ පැහැදිලි කිරීම පහත දැක්වේ :

“පොදු කටයුතුවලදී ජනතා මැදිහත්වීම් වළක්වාලීමටත්, එවන් කටයුතු දුර්වල කිරීමට සහ විනාශ කිරීමටත් සතුරන් (ප්‍රතිවාදීන්) විවිධ සදාචාරාත්මක නොවන මෙන් ම ඇතැම් විට නීතිවිරෝධී ක්‍රම භාවිත කිරීම නිතර සිදු වන්නකි.

මේවා අතුරින් බහුල ක්‍රමවේදයන් වන්නේ,

  1. කෙනෙකුගේ පෞද්ගලිකත්වයට හෝ සංවිධානයකට චෝදනා කිරීම සහ පහර ගැසීම හෙවත් මඩ ගැසීම. (Ad Hominem) මෙහිදී නායකයන්, ප්‍රමුඛ පුද්ගලයන් සහ ඉදිරියේ සිටින සංවිධාන විශේෂයෙන් ඉලක්ක කෙරේ.
  2. දිය කර හරින්නන් (Liquidators) සංවිධන තුළට ඇතුළු කර ඒවා දුර්වල කිරීම සහ මතභේද ඇති කිරීම.
  3. ව්‍යාජ ධජ මෙහෙයුම්.(False Flag Operations) එනම් එම මතය දරන්නන් ලෙස සමාජය ඉදිරියේ ව්‍යාජ ලෙස පෙනී සිටින සතුරු පාර්ශ්වයේ අය අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සමස්ත ක්‍රියාවලියේ විශ්වසනීයත්වය බිඳ හෙළීම හෝ මර්දනයට පාර කැපීම.
  4. උගුල් බෝග ක්‍රමය (Catch Crop System) අනුසාරයෙන් සතුරන්ට රහසින් පක්ෂපාතී වූවන් හරහා විරෝධය ඔවුන් තුළට ගෙන හෝ විරෝධයේ නායකත්වය ඔවුන් අතට ගෙන එම සාමූහික ක්‍රියාවේ ශක්තිය සහ අභිප්‍රායන් වෙනතකට යොමු කරවා ගැනීම හෝ සාමූහික ප්‍රයත්නයන් කඩාකප්පල් කරලීම.
  5. නීතිය අවභාවිතයෙන් අඩන්තේට්ටම් කිරීම සහ හෙම්බත් කිරීම.
  6. වෙනත් ප්‍රශන ඉස්මතු කර ගැටලුව සහ විරෝධය වෙනතකට යොමු කිරීම.”

******************************************

ඉහළින් ආ නියෝගය හකුලා ගනී – දැවැන්ත පෝස්ටරය නැවත සවි කරයි

(19.03.2021 – am.lk)

ලෝක දේශගුණ විපර්යාසන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක තරුණ සංගමය විසින් නිර්මාණය කළ දැවැත්ත සිතුමක් කොළඹ නගරයේ ඉදි කර තිබේ.

ඒ, කොළඹ නෙලුම්පොකුණ රඟහල ඉදිරිපිටයි.

ගෝලීය දේශගුණ විපර්යාසන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා ලොව පුරා ක්‍රියාත්මක වැඩසටහනට සමගාමීව වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක තරුණ සංගමය අද (19) දින මහජන දැනුවත් කිරීමේ වැසටහනක් මෙම ස්ථානයේ සංවිධානය කර තිබේ.

ඒ, මේ වනවිට මෙරට තුළ ස්ථාන කිහිපයක සිදු වෙමින් ඇති පරිසර හානි පිළිබඳව සමාජයේ අවධානය යොමු කරවීමේ අරමුණිනි.

එම වැඩසටහන වෙනුවෙන් අඩි 20 ක් උස අඩි 70 ක් දිග මෙම සිතුවම නිර්මාණය කර ඇත.

අද (19) උදෑසන කොළඹ නගර සභා සේවකයින් පිරිසක් මෙම සිතුවම ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් සංවිධාකයන් එය නගර සභා අවසරයෙන් ඉදි කර ඇති බවට පෙන්වා දීම හේතුවෙන් යළිත් මෙම සිතුවම සහිත පුවරුව නගර සභා සේවකයින් විසින්ම සවීකිරීමට පියවර ගත්තේ ය.

++++++++++++++

(19.03.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

ගෝලීය කාලගුණ විරෝධතාව සංකේතවත් කරමින් කොළඹ විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිට සවිකර ඇති ‘මියුරල් චිත්‍ර පුවරුව’ කොළඹ මහ නගර සභාව විසින් ඉවත් කර තිබෙනවා.

‘ශ්‍රී ලංකා වනජීවී සහ සොබා ආරක්ෂණ සමාජයේ තරුණ සංගමය’ විසින් මෙය ඉදිකර තිබුණේ ශ්‍රී ලංකාවේ විශාලතම මියුරල් පුවරුව ලෙසින්.

ගෝලීය කාලගුණ විපර්යාසයට එරෙහිව ක්‍රියාකාරීවීම සඳහා රජයන් පෙළඹවීමේ අරමුණින් මෙවැනි විරෝධතාවන් මේ වනවිට ලොව පුරා ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් අද (19) උදෑසන අදාළ චිත්‍ර පුවරුව නගර සභාවේ සේවකයින් පැමිණ ඉවත් කළ බවයි ශ්‍රී ලංකා වනජීවී සහ සොබා ආරක්ෂණ සමාජයේ උප සභාපති ස්පෙන්සර් මනුවෙල්පිල්ලේ මහතා කියා සිටියේ.

******************************************

(19.03.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

සිව්වන (4) වතාවටත් ප්‍රතිසංස්කරණය කළ වසර 183 ක් පැරණි පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු කොළඹ – කොටුව යෝක් වීථියේ පිහිටි ‘ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය’ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) රාත්‍රියේ විවෘත කෙරුණා.

යහපාලන ආණ්ඩු සමයේදී මෙම හෝටලය විකිණීම සඳහා ලංසු ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

ඒ බව සැළවීමත් සමඟ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය රැකගනිමින් එය ප්‍රතිසංස්කරණය කර ජාතියට දායාද කළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබුණා.

ඒ අනුවයි රුපියල් මිලියන 225 ක් වැය කරමින් මෙම හෝටලය ප්‍රතිසංස්කරණය කර යළි විවෘත කෙරුණේ.

******************************************

(19.03.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

රටේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය වන ගල්, වැලි සහ පස් සැපයීමේ ගැටළුවක් පවතින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ 118 වන සංවත්සර උත්සවය අමතමින් ඊයේ (18) අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අවශ්‍යතාවය සපුරාලීම අභියෝගයක් වී ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

ඉදිරි පස් (5) වසර තුළ පස්, වැලි සහ ගල් අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කිරීම සඳහා ඉලක්ක ලබාදී ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ෴

******************************************

(19.03.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍යවේදියෙකු පැහැර ගත් බව කියන සිද්ධියක් පිළිබඳ ව්‍යාජ පැමිණිල්ලකට අදාළ විමර්ශනයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ගෙන් සහ ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද (19) ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි.

ඒ සඳහා අද (19) පස්වරු 3 ට ඔවුන්ට කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස දැනුම් දි ඇති බව එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

කිසියම් පිරිසක් තමා පැහැරගෙන ගොස් අඩත්තේට්ටම් සිදුකළ බව සඳහන් කරමින් මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටි ‘සුජීව ගමගේ’ නම් 62 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය 10 වනදා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව රෝහල් පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුව දේශපාලනඥයින් ද විවිධ තොරතුරු පළ කිරිමත් සමඟ සමාජ මාධ්‍ය සහ විවිධ වෙබ් අඩවි ද ඒ සම්බන්ධයෙන් විවිධ වාර්තා පළ කළා.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ඨාශය අනාවරණ කරගෙන ඇත්තේ මෙම පැහැර ගැනීමේ සිදුවීම ව්‍යාජව නිර්මාණය කරන ලද්දක් බවටයි.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජනතාව අතර විසංවාදයක් ඇතිවීම හේතුවෙන් දණ්ඩ නිති සංග්‍රහයේ 120 වගන්තිය අනුව ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමේ චෝදනාවට අදාළව සැකකරු පොලිස් අත්අඩංගුවට පත් වුණා.

මාර්තු 10 වනදා සුපුරුදු ලෙස රැකියාව සඳහා කොළඹ බලා යාමට මිරිගම දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේ පුද්ගලයින් සිව්දෙනෙකු (4) එක්ව තමා පැහැර ගත් බවට සුජිව ගමගේ ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් බවයි පොලීසිය පැවසුවේ.

මෙහිදී තමාගෙන් මෙමරි කාඩ්පතක් ඉල්ලා සිට පසුව කිසියම් උපකරණයකින් තමාට පිලිස්සුම් තුවාල සිදුකර මුදා හැර ඇති බවට පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්.

පසුගිය ජනාධිපතිවරණ සමයේදි පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ද රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වුණා.

ස්වරූපය වෙනස් කර ගත් පුද්ගලයින් දෙදෙනෙකු (2) එම මාධ්‍ය හමුවට එක්ව සිටි අතර, මේ සම්බන්ධයෙන් පසුව සිදුකළ විමර්ශනවලින් හෙළිවුණේ එහිදී අනාවරණ කළ කරුණු අසත්‍ය බවටයි.

******************************************

(19.03.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

‘ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ’ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා නව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා.

කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා තවදුරටත් ‘පොලිස් මාධ්‍ය ප්‍රකාශක’ තනතුරේ කටයුතු කරනු ඇති.

ඒ ඔහු දැනට දරණ ‘පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ’ තනතුරට අමතරවයි ෴

******************************************

(19.03.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විදුහල්පති සහ අධ්‍යාපන පරිපාලන සේවාවලට බඳවාගැනීම් සිදු කිරීමට එරෙහිව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව සිදුකරන උද්ඝෝෂණය තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් අද (19) දහවල් බත්තරමුල්ල – ඉසුරුපාය අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ද හටගත් අතර, මේ වනවිට විරෝධතාකරුවන් මාර්ගය දෙපසට වී උද්ඝෝෂණයේ නිරත වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත්, මෙම විරෝධතාව අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තේ තවත් ගුරු වෘත්තීය සමිතියක නියෝජිතයින් පිරිසක් උද්ඝෝෂණය සිදුකරන ස්ථානයට පැමිණීමත් සමඟයි.

එහිදී එක් විරෝධතාකරුවෙකු තුවාල ලබා ඇති අතර, ඔහු මේ වනවිට රෝහල්ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

@@@@@@@@@@@@@@@@

(19.03.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළිත් ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (19) උදෑසන නිකුත් කළ දෛනික තත්ත්ව වාර්තාවේ දැක්වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (18) ආසාදිතයන් 106 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

අවසන් වරට 100 ඉක්මවා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තාවුණේ පසුගිය මාර්තු හතරවනදා (04) වන අතර, එම සංඛ්‍යාව 104 ක්.

ඒ අනුව දින 15 කට පසු කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 106 දෙනෙකු ඊයේ (18) වාර්තාවී ඇති අතර, ඉන් 56 දෙනෙකු බත්තරමුල්ලෙන් වාර්තාවී තිබෙනවා.

එම ආසාදිතයන් අතරින් 53 දෙනෙකු කොළඹ මහ නගර සභාව මගින් පාලනය වන බත්තරමුල්ල – වික්‍රමසිංහපුර ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයකින් වාර්තාවන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

එහි සේවයේ නියුතු ආවතේවකරුවෙකු ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසුව සිදුකළ කොරෝනා පරීක්ෂණවලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇති බව සඳහන්.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 29 වනදා සිට ලබාදිය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *