මරණයට රු. මිලියන 2 යි, තුවාලයට රු. ලක්ෂ 5 යි – පාස්කු වාර්තාවේ නිර්දේශ මෙන්න

මරණයට රු. මිලියන 2 යි, තුවාලයට රු. ලක්ෂ 5 යි – පාස්කු වාර්තාවේ නිර්දේශ මෙන්න

*********************************************

මරණයට රු. මිලියන 2 යි, තුවාලයට රු. ලක්ෂ 5 යි – පාස්කු වාර්තාවේ නිර්දේශ මෙන්න

(23.02.2021 – 20:37 +0530 – hirunews.lk/sinhala)

දණ්ඩනීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා.

එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයා ඊයේ (22) පස්වරුවේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර, එය අද (2) ජනාධිපති ලේකම් කාර්යාලය මගින් කථානායකවරයා වෙත භාරකෙරුණා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් කථානායකවරයා වෙත අද (23) භාරදෙනු ලැබුවේ ජනාධිපතිවරයාගේ නීති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හරී ගුප්තා රෝහණධීර මහතා විසින්.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවෙන් නිර්දේශ ගණනාවක් සහ නිගමන 10 ක් ඉදිරිපත් කර තිබෙනවා.

නිගමන

2019 අප්‍රේල් 21 සිදුවූ ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම සහ තම රාජකාරී ඉටු කිරීමට අපොහොසත් වීම මෙන්ම නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් හඳුනාගත් නිලධාරීන් සහ බලධාරීන් වගකිව යුතු බවට කොමිසම නිගමනය කර තිබෙනවා.

රිෂාඩ් බදියුදීන් සම්බන්ධ තඹ කර්මාන්ත ශාලාවට අදාළ කරුණු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට යොමුකළ යුතු කාරණයක් ලෙස කොමිසම නිගමනය කර තිබෙනවා.

වැරදි සිදුකළ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයින්ට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳව සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් සම්පූර්ණ වාර්තාව නීතිපතිවරයා වෙත භාරදීම මැනවි යැයි කොමිසම නිගමනය කර තිබෙනවා.

නිර්දේශ

  1. වන්දි ලබාදීම

රජය විසින් පාස්කු ප්‍රහාරයෙන් මියගිය එක් අයෙකු සඳහා රුපියල් මිලියන 2 ක් සහ තුවාල ලැබූ සියලුදෙනාගේ සැබෑ වියදම් සලකා රුපියල් ලක්ෂ 5 ක වන්දි ප්‍රදානය කළ යුතුයි.

  1. රාජසන්තක කිරීම

මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ව්‍යාපාර දේපළ ඇතුළු සියලු දේපළ රාජසන්තක කිරීමට නීති සම්පාදනය කළ යුතුයි.

  1. ත්‍රස්ත මර්දන පනත

ත්‍රස්තවාදයට එරෙහිව නව නීතියක් පැනවිය යුතු බවත්, ඒ සඳහා යෝජනාත් වාර්තාවෙන් ඉදිරිපත් කර තිබෙනවා.

  1. අපරාධ පරීක්ෂණ

දැනට පවත්නා අපරාධ පරීක්ෂණවලට ඕනෑම දේශපාලනඥයෙකු කිසිදු පොලිස් නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීම වැළැක්වීම සඳහා නීතිමය විධිවිධාන විශේෂයෙන් ක්‍රියාත්මක කළ යුතුයි.

දෙහිවල සහ මාවනැල්ල සිද්ධි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්ට රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි යන අයවළුන් විසින් සිදුකරන ලද මැදිහත්වීම් පිළිබඳ ඉදිරිපත් වූ සාක්ෂි මත මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

  1. අපරාධ නඩු විභාගය

පාස්කු ඉරිදා ප්‍රහාර මෙන්ම ත්‍රස්තවාදී නඩු සම්බන්ධ සියලු අපරාධ නඩු විභාග කිරීමට හා අවසන් කිරීමට මහාධිකරණ පිහිටවිය යුතු අතර, ඒවායේ දිනපතා නඩු විභාග කළ යුතුයි.

අබ්දුල් රාසික්ට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ හැකිද යන්න කඩිනමින් සලකා බැලීමටද නීතිපතිවරයාට නිර්දේශ කර තිබෙනවා.

2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ප්‍රකාරව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපරාධ නඩු පැවරිය හැකිද යන්න සොයාබලන ලෙසත්, නීතිපතිවරයාට සිදුකළ නිර්දේශ අතර සඳහන්.

  1. තහනම් පැනවීම

බොදුබල සේනා සංවිධානය තහනම් කළ යුතු මෙන්ම, ශ්‍රී ලංකා ජමාතේ – ඊ – ඉස්ලාම් සංවිධානය සහ ජමාඅත් – ඊ – ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයද තහනම් කළ යුතු යැයි කොමිසම නිර්දේශ කර තිබෙනවා.

අයි.එස්. ඇතුළු අන්තවාදී ආගමික කණ්ඩායම් තහනම් කිරීම සඳහා නීති හෝ රෙගුලාසි නිර්මාණය කළ යුතු බවද නිර්දේශවල සඳහන්.

  1. දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම

ආගමික හේතු හා විශ්වාසය පදනම්ව දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කළ යුතු සේම කිසිම ආගමක නමක් කිසිදු දේශපාලන පක්ෂයක නමේ කොටසක් නොවිය යුතු බවට ද නිර්දේශ කර තිබෙනවා.

එලෙස දැනට ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂවලට අදාළ වෙනස්කම් සිදුකිරීම සඳහා සහන කාලයක් ලබාදීමට නිර්දේශිතයි.

  1. සයිබර් අවකාශය

අයි.එස්., වහබ්වාදය සහ තවුහීද් වැනි අන්තවාදී ආගමික මතවාද මෙරටට ප්‍රවේශ විය නොහැකි බව සහතික කිරීම සඳහා සමාජ මාධ්‍ය ඇතුළු සයිබර් අවකාශය නියාමනය කළ යුතු බවට ද නිර්දේශ කර තිබෙනවා.

  1. ආරක්ෂාව

ආරක්ෂක අමාත්‍යාංශය සෑම විටම ජනාධිපතිවරයා යටතේ පැවතිය යුතුයැයි ද නිර්දේශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා විදෙස්ගත වන්නේ නම් වැඩබලන ආරක්ෂක ඇමතිවරයෙකු පත් කිරීම අනිවාර්ය කිරීම සඳහා ව්‍යවස්ථාමය විධිවිධාන පැනවීමට ද නිර්දේශිතයි.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සතු සියලු බලය වැඩඩලන අමාත්‍යවරයාට තිබිය යුතු අතර, ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවා උපදෙස් දීමටද ඔහුට බලය තිබිය යුතු බවට ද නිර්දේශ කර තිබෙනවා.

තවත් නිර්දේශයක් වන්නේ ජනාධිපතිවරයා විදේශගතව සිටින විට අග්‍රාමාත්‍යවරයා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා නොවන අවස්ථාවකදී සියලු ජාතික ආරක්ෂක තොරතුරු අග්‍රාමාත්‍යවරයාට දැනුම්දීම අනිවාර්ය බවයි.

  1. ජාතික ප්‍රතිපත්ති

පාස්කු ප්‍රහාරය සඳහා මූලික හේතුවක් වන්නේ ජාතික ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් හා ප්‍රමුඛතාවක් නොමැතිකම බවත්, ඒ සඳහා ජාතික ආරක්ෂාව සහ ආරක්ෂක ප්‍රතිපත්තිය කෙටුම්පත් කර සම්මත කර ගැනීමට ද යෝජනා කර තිබෙනවා.

  1. ජාතික ආරක්ෂාව

‘එක් රටක් එක නීතියක්’ යන සංකල්පය පිළිගෙන ක්‍රියාත්මක කළ යුතු බවත්, එමගින් විවිධ ප්‍රජාවන් අතර සුවිශේෂිත්වයක් ඇතිවීම වැළැක්වෙන බවත් මෙමගින් පෙන්වා දෙනවා.

මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීමකින් තොරව ශ්‍රී ලංකාවේ හමුදාවේ සහය ලබාගැනීමට පොලිසියට හැකිවන පරිදි නීතිමය තන්ත්‍රයක්ද ඇති කළ යුතු බවට වාර්තාවකින් නිර්දේශ කර තිබෙනවා.

ඕනෑම පොදු ස්ථානයකදී මුහුණු ආවරණය වන සේ නිර්මාණය කර ඇති ඇඳුම් පැලඳීම තහනම් කිරීමට ද යෝජිතයි.

  1. පොලිස් දෙපාර්තමේන්තුව

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ධුරයේ කටයුතු කළ ආකාරය පිළිබඳ බරපතළ ගැටලු තිබූ බවට කොමිසම නිරීක්ෂණය කර තිබෙනවා.

රහස් පොලිසිය හා ත්‍රස්ත විමර්ශන අංශය එක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතට පත්කළ යුතු බවද නිර්දේශ අතරට අයත්.

පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතිය වෙනස් කළ යුතු අතර, උසස්වීම් සඳහා නිලධාරීන් අතර ඇති තරගය අවම කිරීමට ගතයුතු පියවර ඇතුළු පොලිසිය සම්බන්ධයෙන් විශේෂ නිර්දේශ 22 ක් වාර්කාවේ සඳහන්.

  1. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් එක් තනතුරකට වඩා නොහෙබවිය යුතු බව පෙන්වා දෙන කොමිසම සඳහන් කර ඇත්තේ හේමසිරි ප්‍රනාන්දු තනතුරු කිහිපයක් දැරූ බැවින් ආරක්ෂක අමාත්‍යාංශයේ සිය රාජකාරී සඳහා ගත කළ කාලය අඩු බවට සාක්ෂි ලැබී ඇති බවයි.

  1. රාජ්‍ය බුද්ධි සේවය

දේශපාලන මැදිහත්වීම්වලට බියෙන් තොරව රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ට සිය රාජකාරී ඉටුකිරීමට හැකි පරිදි නීති රාමුව ශක්තිමත් කළ යුතුයි.

  1. ජාතික බුද්ධි අංශය

ජාතික බුද්ධි ඒජන්සියක් පිහිටුවීම සඳහා නීති සම්පාදනය කිරීමේ උත්තරීතර ආයතනය විය යුත්තේ ජනපතිගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආරක්ෂක මණ්ඩලය බව කොමිසම නිර්දේශ කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයක් තිබිය යුතු අතර, සියලු බුද්ධි අංශවල දත්ත පදනම් වෙත ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට ප්‍රවේශ වීමට හැකිවිය යුතුයි.

බුද්ධි අංශ නිලධාරීන් හා විමර්ශකයින් අතර රාජකාරී මට්ටමේ තොරතුරු හුවමාරුවක් සිදු නොවීම සහරාන්ගේ කණ්ඩායමට සිය ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට පිටුබලයක් වී ඇති බව කොමිසම නිරීක්ෂණය කර තිබෙනවා.

  1. මැතිවරණ ක්‍රමය

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ස්ථාවර රජයක් අත්‍යවශ්‍ය වන බවත්, දුර්වල රජයක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ලවිය හැකි බව සහරාන්ගේ කණ්ඩායම සිතූ බවට කොමිසමට සාක්ෂි ඉදිරිපත්ව ඇති බවද අවසන් වාර්තාවේ සඳහන්.

  1. ආගමික කටයුතු අමාත්‍යාංශය

සියලුම ආගමික කටයුතු සඳහා පැවතිය යුත්තේ එක් අමාත්‍යාංශයක් පමණක් බවත්, එම අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පැවතීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීති සම්පාදනය විය යුතු බවටද නිර්දේශ කර තිබෙනවා.

  1. අධ්‍යාපනය

සෑම පාසලකම සිසුන්ට ඔවුන්ගේ ආගම නොසලකා ‘ආගමික අධ්‍යාපනය’ යන නව විෂය ඉගැන්විය යුතු බවත්, ඊට බුද්ධාගම, ක්‍රිස්තියානි ධර්මය, හින්දු හා ඉස්ලාම් ධර්මයේ මූලික කරුණු 1 සිට 10 ශ්‍රේණි දක්වා ඉගැන්වීම අනිවාර්ය කළ යුතු බව ද නිර්දේශිතයි.

  1. ඉස්ලාමීය ආගමික පෙළ හා මද්‍රසා අධ්‍යාපනය

සියලුම මද්‍රසා සුදුසු නෛතික රාමුවක් මගින් පාලනය කළ යුතු අතර, ව්‍යවස්ථාපිත අධිකාරියක් විසින් සමීපව නියාමනය කළ යුතු බවද නිර්දේශ අතර සඳහන්.

  1. විදේශ අරමුදල්

සියලුම ආගමික සංවිධානවලය විදේශ අරමුදල් ගලා ඒම නියාමනය කළ යුතු බවද එහි දැක්වෙනවා.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන පිරිසට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපාදන තිබේදැයි සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමුකරන්නැයි ද අවසන් වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 අප්‍රේල් 16 සිට 21 දක්වා ඉන්දියාවට සහ සිංගප්පූරුවට යන අවස්ථාවේදී ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබානොදීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතවම එය සිදුකිරීම තුළින් චේතනාන්විතවම සහරාන්ගේ IS තර්ජනයට මඟපෑදූ බවත්, එයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් පැහැදිලි වන බව අවසන් වාර්තාවේ සඳහන්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වැඩබලන පත්වීමක් සිදුකිරීම ජනාධිපතිවරයාට අභිමතයක් පැවති බව සැකයක් නැති බවත්, එහෙත් අවස්ථාපිත තත්ත්වයන් අනුව ඔහුට එසේ කිරීමේ වගකීමක් පැවතුණු බවයි.

සාක්ෂි මත පදනම්ව ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අතපසු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශ්වයේ සාපරාධී වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිෂන් සභාවේ අදහස වී තිබෙනවා.

දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලියයුතු බවට පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ අතර සඳහන්.

මේ අතර, කථානායකවරයා වෙත භාරදුන් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් අද (23) පාර්ලිමේන්තුවේ කතාබහක් ඇතිවුණා.

***************************************

(23.02.2021 – 20:57 +0530 – hirunews.lk/sinhala)

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට වේලාවෙන් අද (23) රාත්‍රියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසිවාරය ඇමතීමට නියමිතයි.

ඒ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරයිගේ වාර්තාව හෙට (24) දිනයේදී සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති පසුබිමකයි.

***************************************

(23.02.2021 – 21:00 +0530 – hirunews.lk/sinhala)

ගොවීන්ට ඉහළ මිලක් ලැබෙන පරිදි පෞද්ගලික අංශය හා එක්ව තරඟකාරී අයුරින් වී මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

අද (23) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ නව ක්‍රමවේදය මගින් වෙළඳපොළේ සහල් මිල තීරණය කිරීමේ බලය රජය සතුවන බවයි.

***************************************

(23.02.2021 – 21:02 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුව පිළිබඳව දේශපාලනඥයින් මෙන්ම මහා සංඝරත්නය හා සිවිල් සංවිධාන නියෝජිතයින් අදහස් පළ කළා.

***************************************

ඇමති දිනේෂ් ගෙන් ජගත් මානව හිමිකම් කොමිසමට පිළිතුරු

(23.02.2021 – 21:10 +0530 – hirunews.lk/sinhala)

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වීඩියෝ තාක්ෂනය ඔස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසිවාරය අමතා තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙස මිත්‍ර රටවලින් ඉල්ලා සිටින බවයි විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

විදේශ අමාත්‍යතුමාගේ ප්‍රකාශය : 2021 පෙබරවාරි 22 දින ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසියේ ඉහළ මට්ටමේ කොටස

සභාපතිතුමියනි,
මහ කොමසාරිස්තුමියනි,
සම්භාවනීය තානාපතිවරුනි,
නෝනාවරුනි, මහත්වරුනි,

  1. අද මා ඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම වාර්තාව පිළිබඳ පෙර නොවූ විරූ අන්දමේ ප්‍රචාරක ව්‍යාපාරයක් ද සිදුකර තිබේ.
  2. දශක තුනක් (3) තිස්සේ පැවති ගැටුම්වලින් අනතුරුව, ශ්‍රී ලංකාවේ වීරෝදාර සන්නද්ධ හමුදා විසින් 2009 දී එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් උදාසීන කරන ලදී. ලෝකයේ වඩාත්ම කුරිරු බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයෙන් සිය ඒකීය රාජ්‍යය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ආත්මාරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළේය.
  3. ශ්‍රී ලංකාවේ දේශසීමාවෙන් ඔබ්බට සිය භීෂණය ව්‍යාප්ත කරමින්, ලෝක නායකයින් දෙදෙනෙකු (2) එනම්, ශ්‍රී ලංකාවේ සේවයේ යෙදී සිටිජනාධිපතිවරයෙකු සහ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ඝාතනය කළ ලොව එකම ත්‍රස්ත සංවිධානය එල්ටීටීඊයයි.
  4. ත්‍රස්තවාදය අවසන් කිරීම මඟින්, සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සියලු අයිතිවාසිකම් අතර වඩාත්ම අගය කරන – ජීවන අයිතිය සහතික කරන ලදී.
  5. එසේ වුවද, ශ්‍රී ලංකාවට එරෙහිව සනාථ නොකළ යෝජනාවක් ගෙන ඒමේ දී ආධිපත්‍යවාදී බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව සහයෝගයෙන් කටයුතු කළ අතර, එය අදටත් ශ්‍රී ලංකාව සමඟ සිටින මිත්‍ර ජාතීන්ගේ සහයෝගයෙන් පරාජයට පත් කරන ලදී. හුදු දේශපාලන අභිප්‍රායන් මත තවදුරටත් යෝජනා මෙම සභාවට ඉදිරිපත් කරන ලදී. එම සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව විසින් කාර්ය පටිපාටික නුසුදුසුකම් සහ එවැනි ක්‍රියාදාමයන් එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවලට බලපාන භයානක පූර්වාදර්ශයක් සපයන්නේ කෙසේද යන්න ඉදිරිපත් කරන ලදී.
  6. 2015 දී ශ්‍රී ලංකාවේ බලයට පත් වූ රජය, මානව හිමිකම් සංසදවල දී පෙර නොවූ විරූ ආකාරයකින් අපගේම රටට එරෙහි 30/1 යෝජනාවේ සම අනුග්‍රාහකයන් ලෙස සම්බන්ධ විය. එය එවකට ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත නොකළ ක්‍රියාවකි. 30/1යෝජනාවෙහි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන සහ ඉටුකළ නොහැකි බැඳීම් රාශියක් අඩංගු විය. මෙය සිය ගණනක් මිය යාමට හේතු වූ 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නැවත පණ ගැන්වීම දක්වා ජාතික ආරක්ෂාව අඩපණ කිරීමට හේතු විය.
  7. ශ්‍රී ලංකා ජනතාව විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම 2019 නොවැම්බර් මාසයේ දී අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලැබුණු ජනවරම මගින් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මෙම ජනවරම මත පදනම්ව, මෙම කවුන්සිලයේ 43 වන සැසියේ දී ශ්‍රී ලංකාව එමයෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වන බව මම ප්‍රකාශ කළෙමි. තවද, මෙම කවුන්සිලය ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟ දිගටම සම්බන්ධ වී කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම ද මම ප්‍රකාශ කළෙමි.
  8. පවත්නා යාන්ත්‍රණයන් අඛණ්ඩව පවත්වාගෙන යාම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම, තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම, ඉඩම් ආපසු ලබා දීමේ ප්‍රගතිය, බිම් බෝම්බ ඉවත් කිරීම සහ නව ජීවනෝපාය මාර්ග නිර්මාණය කිරීම වැනි ශ්‍රී ලංකාව විසින් සිදු කර ඇති බැඳීම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව අපි 2020 දෙසැම්බර් මාසයේ දී මෙන්ම 2021 ජනවාරි මාසයේ දී ද මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත සවිස්තරාත්මක යාවත්කාලීන කිරීම් ලබා දී ඇත.
  9. පසුගිය වසර පුරා ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතයේ බලපෑම් සමඟ පොරබදමින් සිටිය දී පවා මෙම පියවර ගෙන ඇත. මෙම අභියෝග මධ්‍යයේ වුව ද අපි 2020 අගෝස්තු මාසයේ දී නිදහස් හා සාධාරණ මහ මැතිවරණයක් පවත්වා, ආසියාවේ පැරණිතම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහිත රටක තුනෙන් දෙකක බහුතරයක් සහිතව නව රජයක් තෝරා පත්කර ගත්තෙමු.
  10. මානව හිමිකම් කවුන්සිලය හා එහි යාන්ත්‍රණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කොටස් මෙම මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මත පදනම්ව, රටට විශේෂිත වූ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කිරීම කණගාටුවට කරුණකි. ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මෙම වාර්තාව අසාධාරණ ලෙස සිය විෂයය පථය පුළුල් කර ඇති අතර, ඕනෑම ස්වයං-ගෞරවයක් සහිත ස්වෛරී රටක පවතින මූලික ගෘහස්ථ කාරණා සහ පාලන කරුණු රාශියක් ඇතුළත් කර ඇත.
  11. මෙම කවුන්සිලයේ හදිසි අවධානයට ලක්විය යුතු තත්ත්වයක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ද, නැතහොත් මෙම උද්ඝෝෂණය අත්‍යවශ්‍යයෙන්ම මෙම කවුන්සිලය පිහිටුවා ඇති සාරධර්ම හා මූලධර්මවලට පටහැනි දේශපාලන පියවරක්ද යන්න පිළිබඳව ඔවුන්ගේම තීන්දුවක් ගැනීමට මම මෙම කවුන්සිලයේ සාමාජිකයින්ට සහ නිරීක්ෂකයින්ට භාර කරමි. විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණි. ත්‍රස්තවාදයට එරෙහි අරගලයේ යෙදී සිටින රටවල් අතර සැලකිය යුතු අන්දමින් චිත්ත ධෛර්යය නැතිවීම සඳහා මෙය හේතු විය හැක.
  12. මෙම කවුන්සිලය සිය පරිමාණයන් සමව තබා ගත යුතුය. කටකථා, ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග හෝ එක් කෝණයකින් එන සැක සහිත මූලාශ්‍රයක් අනුගමනය නොකොට එහි මාර්ගෝපදේශ මූලධර්ම පිළිපැදිය යුතුය. මෙම කවුන්සිලය සමඟ පවත්නා අපගේ අඛණ්ඩ සහයෝගය සහ සම්බන්ධතාවය නොතකා, නිරන්තරයෙන් ව්‍යාප්ත වන බාහිරව මෙහෙයවනු ලබන උපදෙස් කෙරෙහි අවධාරණය කිරීම මඟින් අභියෝග රැසකට මුහුණ දිය හැකිය.
  13. මෙම කවුන්සිලය දන්නා පරිදි, මෙය පසුගිය වසර සියය තුළ දී එළැඹි මුළු ලෝකයම සඳහා තීරණාත්මක කාලයකි. කොවිඩ්-19 වසංගතය මැඩ පැවැත්වීමට හා බැට කෑ ආර්ථිකයන් පුනර්ජීවනය කිරීමට අප ගන්නා උත්සාහයන් තුළ දී අප එක්සත් විය යුතුය. මෙම කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ අපගේ කුසලතාවන් හා අපගේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය හා සහයෝගීතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව එන ඕනෑම යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම තුළින් අපට සහාය වන ලෙසයි. මෙම කවුන්සිලයේ සම්පත් හා කාලය අනවශ්‍ය ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කොතරම් දුරට උපයෝගී කර ගෙන ඇත්දැයි යන්න, ගෝලීය දකුණේ ස්වෛරී රාජ්‍යයන් වෙත අධෛර්යමත් කරවන පණිවිඩයක් රැගෙන යන බවට අපි විශ්වාස කරමු.
  14. පෙර නොවූ විරූ වසංගතයක් හමුවේ කාලීන අවශ්‍යතාවය වන්නේ, මෙම කවුන්සිලය තුළ පවතින බෙදීම්වලින් පැන නගින ද්වේශය හා සැරපරුෂ බවට වඩා සහයෝගීතාවයකි. ඉහත දක්වා ඇති තත්වයන් සැලකිල්ලට ගනිමින්, මෙම යෝජනාව සභාව විසින් ප්‍රතික්ෂේප කොට, එය අවසානයක් කරා ගෙන එන ලෙස අපි ඉල්ලා සිටිමු.
  15. බුදුරජාණන් වහන්සේගේ වචන උපුටා දක්වමින් මම අවසන් කරමි. “සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.”

+++++++++++++++++

@@@@@@@@@@@@@@

(23.02.2021 – 21:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 03 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 453 ක් දක්වා ඉහලගොස් ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *