නැගෙනහිර හිස එසවූ ඉස්ලාම් අන්තවාදයට අවධානය යොමු කිරීමට නොහැකි වූ හේතුව පාස්කු කොමිසමේදී හෙළිවෙයි

නැගෙනහිර හිස එසවූ ඉස්ලාම් අන්තවාදයට අවධානය යොමු කිරීමට නොහැකි වූ හේතුව පාස්කු කොමිසමේදී හෙළිවෙයි

“හිරු ටී.වී. බුද්ධි අංශ සාධාරණීයකරණය කරන්න කඩේ යනවා” කී, යහපාලන CIDයේ නිරුවත හෙළිවෙයි

නීතිපති, රියාජ් බදියුදීන්ගේ විමර්ශන වාර්තා සමඟ සී.අයි.ඩී යේ නියෝජ්‍ය පොලිස්පති කැඳවයි

කොරෝනා නීති කැඩුවොත් මාස 06 ක සිර දඬුවම්

මිනුවන්ගොඩ 3 ශ්‍රේණියේ සිසුවියකට සහ ගම්පහ ජනප්‍රිය පාසලක උසස් පෙළ සිසුවියකට ද කොරෝනා

කොවිඩ් රැල්ල හා කෑදර ධන තණ්හාව

30 සීමාව කඩාදෙන ඇමැතිකම් ගන්න මම නිවටයෙක් නෙවෙයි… – පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ

*********************************************

නැගෙනහිර හිස එසවූ ඉස්ලාම් අන්තවාදයට අවධානය යොමු කිරීමට නොහැකි වූ හේතුව පාස්කු කොමිසමේදී හෙළිවෙයි

(11.10.2020 – 13:39 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට ස්ථාපිත කෙරූ විශේෂ කාර්ය බලකායට විශේෂ ගැසට් පත්‍රයකින් 2017 වසරේදී සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීම් මෙන්ම නීති විරෝධී පස් කැපීම්, ගල් හා වැලි ප්‍රවාහනයන් සෙවීම් ඇතුළු රාජකාරි රැසක් එක්කළ බව එහි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ එම්.ආර්. ලතීෆ් මහතා පවසනවා.

පාස්කු ජනාධිපති කොමිසමේ සාක්ෂි දෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ එවැනි රාජකාරිවලට ප්‍රමුඛතාවක් දීමට සිදු වූ නිසා නැගෙනහිර හිස ඔසවමින් තිබූ ඉස්ලාම් අන්තවාදය පිළිබඳ අවධානය යොමු කිරීමට නොහැකි වූ බවයි.

පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරියාව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා සාක්ෂි ලබාදීම සදහා ඊයේ (10) ජනාධිපති කොමිසම වෙත පැමිණියේ තුන්වන (3) දිනටයි.

ලතීෆ් මහතාගෙන් මීට පෙර දින කළ සාක්ෂි විමසීම අවසානයේ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සදහන් කළේ එදින ඔහු සාක්ෂි ලබාදුන් ආකාරය පිළිබඳ සලකා බලා ඔහුට කොමිසම් සභා පණතේ 16 වන වගන්තිය යටතේ නොතීසි නිකුත් කිරීමට නියම කරන බවයි.

ඒ අනුව මින් ඉදිරියට ලතීෆ් මහතාගෙන් ජනාධිපති කොමිසම සාක්ෂි විමසන අවස්ථාවේ නීතිඥවරයෙකු සමග කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපති කොමිසම ලතීෆ් මහතාට දැනුම් දුන් අතර ඊයේ (10) පස්වරුවේ ඔහු කොමිසමට පැමිණියේ නීතිඥ සහාය ද ඇතිවයි.

එහිදී සාක්ෂි විමසීම අරඹමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විමසුවේ ජනාධිපති කොමිසම මීට පෙර දන්වා ඇති ආකාරයට 2017 මාර්තු 18 සහ 2017 මාර්තු 24 යන දිනවලට අදාළව පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ වාර්තා කොමිසමට ඉදිරිපත් නොකිරීමට හේතුව කුමක්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් ලතීෆ් මහතා පැවසුවේ 2017 ජූලී මාසයෙන් පසු වාර්තා කිහිපයක් පමණක් කොමිසමට ඉදිරිපත් කළ බවයි.

එහෙත් එම කිසිදු වාර්තාවක 2017 මාර්තු 10 කාත්තන්කුඩි අලියාර් මංසන්ධියේ ගැටුම සම්බන්ධයෙන් සඳහන් නොවෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කොමිසමට පෙන්වා දුන්නා.

සහරාන් හෂීම් සම්බන්ධ අදාළ ගැටුමේ වාර්තා කොමිසමට ඉදිරිපත් නොකෙරුවේ මන්දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසූ අවස්ථාවේ ඊට සුවිශේෂී හේතුවක් නැති බවත් තමන් අපේක්ෂා කළේ 2019 න් පසු වාර්තා පමණක් ඉදිරිපත් කරන්නයැයි ලතීෆ් මහතා සඳහන් කළා.

++++++++++++++

*********************************************

“හිරු ටී.වී. බුද්ධි අංශ සාධාරණීයකරණය කරන්න කඩේ යනවා” කී, යහපාලන CIDයේ නිරුවත හෙළිවෙයි

(11.10.2020 – 13:16 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතුම් නිලධාරීන් තමන්ව බිය ගන්වා අසත්‍ය සාක්ෂි ලබා ගැනිමට උස්සාහ කළ බව යුද හමුදා බුද්ධි අංශයේ බලලත් නිලධාරී කනිෂ්ක ගුණරත්න මහතා පවසනවා.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනපති කොමිසම හමුවේ පළමුවරට සාක්ෂි ලබාදෙමින්.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේ යැයි බලලත් නිලධාරී ගුණරත්න මහතා ජනපති කොමිසමට කළ පැමිණිලි සම්බන්ධයෙන් ඔහු ඊයේ (10) සාක්ෂි ලබාදුන්නා.

කොමිසම හමුවේ ඔහු ප්‍රකාශ කළේ ශානි අබේසේකර, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ප්‍රමුඛ CID නිලධාරීන් තමන්ට දිගින් දිගටම අසත්‍ය සාක්ෂි ලබා දෙන ලෙස බලපෑම් කළ බවයි.

“නිකං බොරුවට අමාරුවේ වැටෙන්න එපා. එක්නැලිගොඩ කොළඹ සිට ගිරිතලේ යුද හමුදා කඳවුරට ගෙන ගොස් පසුව අක්කරේපත්තුවට රැගෙන ගිය බව කියන්න. එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කර්නල් ෂම්මි කුමාරරත්න විසින් එක්නැලිගොඩ පැහැරගත් බව කියන්න” යනුවෙන් තමන්ට පැවැසූ බව ගුණරත්න මහතා සාක්ෂි ලබාදෙමින් වැඩිදුරටත් කියා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔවුන් මෙහෙයවූ වෙනත් නඩු කටයුතු සම්බන්ධව ද තමන්ට පවසමින් ඒ තුළින් තමාව බියගන්වා අසත්‍ය සාක්ෂි ලබා ගැනීමට උත්සාහ කළ බව ගුණරත්න මහතා කොමිසම හමුවේ කියා සිටියා.

“දුමින්ද සිල්වා ගෝඨාභයට කඩේ ගියා වැඩියි. උඩ පැන්නා වැඩියි. ඌටත් ගේම සෙට් කරේ අපි. අපි කිව්ව දේ කෙරුවේ නැත්නම් උඹටත් ඒ ගොඩට යන්න වෙයි. ‘හිරු ටීවී’ එක ඒ කාලෙත් කඩේ ගියා. බුද්ධි අංශ සාධාරණීකරණය කරන්න තවමත් කඩේ යනවා” යනුවෙන් එක් අවස්ථාවක පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක නම් නිලධාරියා ඉතා අපහාසාත්මකව පැවැසූ බව ගුණරත්න මහතා සාක්ෂි දෙමින් මෙහිදී පැවසුවා.

තමන් කිසිදු අවස්ථාවක අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපේක්ෂා කළ අසත්‍ය සාක්ෂි ලබා නොදුන් නිසා උරණවූ නිලධාරීන් තමා සම්බන්ධ කිසිදු පරීක්ෂණයක් හෝ සාක්ෂියක් නොමැතිව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සහ මිනීමැරුම් චෝදනා යටතේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මාස 8 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කළ බව ගුණරත්න මහතා කියා සිටියා.

ඔබ මෙය දේශපාලනික පළිගැනීමක් ලෙස සලකන්නේ ඇයි ? යනුවෙන් සභාපති විනිසුරුවරයා බලලත් නිලධාරී ගුණරත්න මහතාගෙන් එහිදී ප්‍රශ්න කළා.

කොමිසම ඉදිරියේ සංවේදී වෙමින් ඊට පිළිතුරු දුන් නිලධාරියා :

“එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් CID නිලධාරීන් විසින් බුද්ධි අංශ නිලධාරීන් 300 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර තියෙනවා. ඒ තුළින් රාජ්‍ය බුද්ධි අංශය සම්පූර්ණයෙන් අඩපණ වුණා. බුද්ධි ක්‍රියාන්විත ඇනහිටියා. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට පවා අඩිතාලම ඇති උනේ මේ බුද්ධි අංශ අඩපණ කිරීමෙන්. එක්නැලිගොඩගේ බිරිඳ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොස් ද්වේශ සහගතව ශ්‍රී ලංකා හමුදාව සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ලබා දීලා තියෙනවා. එල්.ටී.ටී.ඊ යට සම්බන්ධ එන්.ජී.ඕ වල උපකාර ඇතිව තමයි මොවුන් කටයුතු කරන්නේ, මේක අපේ හමුදාව අඩපණ කිරීමටත් රට ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට ලක් කිරීමටත් ගහපු ප්‍රධාන මෙහෙයුමක ප්‍රතිඵලයක් ස්වාමිනි” යන්වෙන් සඳහන් කළා.

කරුණු සලකා බැලූ සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා දැනට බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක, සැරයන් මෙන්ඩිස් යන නිලධාරීන් වගඋත්තරකරු ලෙස නම්කර ලබන 13 දාට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කළා.

මේ අතර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර නිලධාරීන් සැකකරුවන් සම්බන්ධයෙන් නීතියට පටහැනිව ක්‍රියා රැසක් සිදුකර ඇති බව දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසම හමුවේ අනාවරණ වුණා.

ඒ නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් එච්.එම්.පී.සී හෙට්ටිආරච්චි මහතා ජනපති කොමිසමට කළ පැමිණිල්ලකට අදාලවයි.

2006 වසරේදී දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජ් රවිරාජ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද්වේෂ සහගතව කටයුතු කරමින් තමන්ට එරෙහිව නඩු පවරා ඇතැයි හෙට්ටිආරච්චි මහතා කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

2016/7/20 දින මහේස්ත්‍රාත් අධිකරණයෙන් හෙට්ටිආරච්චි මහතාට ඇප හිමි වුවද නැවත බන්ධනාගාර නිලධාරීන් ඇප කොන්දේසි නොතකා එදිනම මහාධිකරණයට ඉදිරිපත් කොට ඇප ලබා සිටී හෙට්ටිආරච්චි මහතා ව කිසිදු නීතිමය රඳවා තබාගැනීමේ අධිකරණමය නියෝගයකින් තොරව යලි රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම නීතියට පටහැනි බව අද (11) කොමිසම හමුවේ දැඩි කතාබහට ලක් වුණා.

සාක්ෂි ලබාදෙමින් බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ බන්ධනාගාර අධිකාරිවරයා විසින් ලබාදුන් ‘බන්ඳ 50’ නම් ලේඛනයේ නැවත බන්ධනාගාරයට එම සැකකරුව රැගෙන ඒමට සටහන් කර තිබීම මත මෙම සැකකරුවා සම්බන්ධව එලෙස ක්‍රියා කළ බවයි.

එහිදී කොමිසම ප්‍රශ්න කළේ ‘බන්ඳ 50’ ලේඛනය කුමක්ද යන්නයි ?

එය බන්ධනාගාරයේ සිට සිරකරුවන් අධිකරණ වෙත රැගෙන යාම සඳහා කරුණු ඇතුළත් කර සැකසූ පෝරමයක් බවට බන්ධනාගාර නිලධාරීන් කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියා.

පසුව සාක්ෂි ලබාදුන් බන්ධනාගාර නිලධාරීන් හෙට්ටිආරච්චි මහතා එදින අධිකරණය වෙත රැගෙන ගිය අදාළ ‘බන්ඳ 50’ ලේඛනය කොමිසමට ඉදිරිපත් කළා.

අදාල ලේඛනය පරික්ෂා කළ කොමිසම කියා සිටියේ එම ලේඛනයට අනුව අධිකරණ වෙත රැගෙන යා හැක්කේ රිමාන්ඩ් ගතව සිටින සැකකරුවන් නොව බන්ධනාගාර ගතව සිටින වරදකරුවන් පමණක් බවයි.

සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් පවසා සිටියේ සැකකාරයෙක් වරදකාරයෙක් ලෙස නම් කොට අධිකරණමය කටයුතු සඳහා රැගෙන යාම බරපතල වරදක් බවත් ඒ තුළින් මානව හිමිකම් කඩ වීමක් ද සිදුවන බවයි.

දීර්ඝ කාලයක සිට බන්ධනාගාරය තුළ සැකකරුවන් ගෙන යාම සඳහා වෙනම පෝරමයක් නොමැති බවත් සැකකරුවන් සහ වරදකරුවන් යන දෙපිරිසම අධිකරණ කටයුතු සඳහා රැගෙන යාමට එකම පෝරමයක් පමණක් පවතින බවත් වැඩිදුරටත් සාක්ෂි දෙමින් බන්ධනාගාර නිලධාරීන් කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

එහිදී සභාපති විනිසුරුවරයා දැඩිව කියා සිටියේ අප රටේ බන්ධනාගාර පද්ධතිය තුළ මෙවන් අක්‍රමිකතා රාශියක් පවතින බවට නිරීක්ෂණය වී ඇති බැවින් බන්ධනාගාර නිලධාරීන් නීතියේ පටිපාටීන් ට එරෙහිව යමින් ක්‍රියා කිරීම කාගේ කුමන බලපෑමකින් සිදුවන්නේද යන්න සොයා ගත යුතු බවයි.

+++++++++++

*********************************************

නීතිපති, රියාජ් බදියුදීන්ගේ විමර්ශන වාර්තා සමඟ සී.අයි.ඩී යේ නියෝජ්‍ය පොලිස්පති කැඳවයි

(11.10.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් මුදා හැරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සහ ප්‍රධාන විමර්ශන නිලධාරියාව නීතිපතිවරයා හෙට (12) සිය කාර්යාලය වෙත කැදවා තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ අදාළ විමර්ශනයේ සියළු විමර්ශන ගොනු ද නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවයි.

පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් සමග සබදතා පැවැත්වූ බවට සැකපිට පසුගිය අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගැනුණු රියාජ් බදියුදීන් මාස 5 කට වැඩි කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව පසුගිය දා නිදහස් කර තිබුණේ ඔහුට එරෙහිව පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් නොවූ බව සදහන් කරමින්.

එමෙන්ම, රියාජ් බදියුදීන් නිදහස් කිරීම පිළිබද කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත පසුගිය 9 වන දා භාර දී තිබුණා ෴

++++++++++++

++++++++++++

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කළ ජාලිය සේනාරත්න කන්කසන්තුරය කොට්ඨාශය වෙත මාරු කර තිබේ ෴ (sinhala.adaderana.lk)

***************************************

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හෙට (12) ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට ලබාදීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම මීළඟ පාර්ලිමේන්තු සතියේදී එය විවාදයට ගැනීමටද තීරණය කර ඇති බවටයි වාර්තාවන්නේ.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 39 ක් ඉදිරිපත් වූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා එම පෙත්සම් සළකා බලනු ලැබුවා ෴

***************************************

මහජනතාවට තැපෑල සහ දුරකථනය ඔස්සේ ජනාධිපති කාර්යාලය සමග සම්බන්ධවීමට අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

කොරෝනා වෛරස මර්දනය සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් සහ නිර්දේශ අනුව මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමේදීත් කාර්යාලය තුල අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගනිමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව තැපෑල සහ දුරකථන ඔස්සේ කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පියවර ගනු ඇති.

ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදලට සම්බන්ධවීමට ජනතාවට අවස්ථාව හිමිවනවා.

ජනාධිපති මහජන සම්බන්ධතා අංශය :
Phone 011 435 4550 / 011 235 4550
Fax 011 234 8855

ඔම්බුඩ්ස්මන් කාර්යාලය : 011 233 8073

ජනාධිපති අරමුදල : 011 235 4354
(දිගුව 4800 / 4814 / 4815 / 4818)
Fax 011 233 1243

*********************************************

කොරෝනා නීති කැඩුවොත් මාස 06 ක සිර දඬුවම්

(11.10.2020 – 14:09 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින දෙක ඇතුළත සෞඛ්‍ය විධි විධානවලට අදාළව නව නීති ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන බවත් ඒ අනුව නිරෝධායන නීති කඩ කරන පිරිස් වෙත දැඩි දඬුවම් ලබාදීමට අධිකරණයට හැකි වන බවත්, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රෝගී ප්‍රදේශයක් ලෙස නම් කරන ප්‍රදේශවල සෞඛ්‍ය විධි විධාන කඩ කරන පුද්ගලයින්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයක් හෝ මාස 6 ක සිර දඬුවමක් මෙන්ම එම දෙකම අධිකරණය මගින් ලබාදිය හැකි බවයි ඇය කියා සිටියේ.

මේ අතර, ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 101 දක්වා ඉහළ ගොස් ඇති අතර, පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 28 ක්. පොලිස් බල ප්‍රදේශ කිහිපයකට දැනට පනවා ඇති ඇඳිරි නීතිය තවත් දින කිහිපයක් ක්‍රියාත්මක කරන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

පවතින තත්වය හේතුවෙන් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ජනාධිපති කාර්යාලය විසින් දුරකථන අංක කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර, පවතින තත්ත්වයත් සමඟ රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබාදීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන අඟහරුවාදා සිට සායනික ඖෂධ නිවෙස් වෙත ලබාදීමට සැලසුම් කර ඇති අතර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කය තුළ එය පළමුවෙන් ආරම්භ කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දුන්නේ.

+++++++++++++++

කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ ශිෂ්‍යාවකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

එම ශිෂ්‍යාවගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවය කළ අයෙකු වන අතර, ඔහු ද කොරෝනා ආසාදිතයෙකු ලෙස මීට පෙර හඳුනා ගැනුණා.

ඒ අනුව මෙම ශිෂ්‍යාව ද පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කර ඇති අතර එහිදීයි ඇය කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගනු ලැබුවේ.

ආසාදිත ශිෂ්‍යාව අවසන් වරට විශ්වවිද්‍යාලයට පැමිණ ඇත්තේ පසුගිය 30 වන දායි.

ඒ අනුව ඇය ළඟින් ඇසුරු කළ ශිෂ්‍යාවන් දෙදෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බවයි කැළණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා කියා සිටියේ.

එමෙන්ම, කටුනායක ආයෝජන කලාපයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේ ඒ අනුව කටුනායක ආයෝජන කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එක් ඇඟලුම් කර්මාන්තශාලාවකින් වාර්තා වන බව සඳහන්.

මේ අතර, කිසිදු කොරෝනා ආසාදිතයෙකු අතුරුදන් නොමැති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

කොරෝනා ආසාදිත රෝගීන් 119 දෙනෙකු අතුරුදන් බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

+++++++++++++

මන්නාරම ප්‍රදේශයේ පට්ටිතෝට්ටම් සහ පෙරියකඩෙයි යන ප්‍රදේශ නැවත දැනුම් දෙන තුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ, මන්නාරම රදගුරු නිවස පිටුපස ගොඩනැගිල්ලක ඉදිකිරීම් සඳහා පැමිණි පෙදරේරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයන් 5 දෙනෙකුට ද වෛරසය ආසාදනය වීමත් සමඟ ඔවුන් දැනට හුදෙකලා කර ඇති ගම්මාන සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට වාර්තා වීමත් සමඟයි ෴

+++++++++++++

අද (11) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 61 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 4689 දක්වා ඉහළ ගියා.

අලුතින් වාර්තා වූ ආසාදිතයින් 61 දෙනාගෙන් 39 දෙනෙකුම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩලය වනවා.

ඔවුන් මේ වන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින අයවලුන්.

මීට අමතරව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ තවත් ආශ්‍රිතයින් 22 නෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර 1247 දක්වා ඉහළ යනවා ෴

***************************************

හෙට (12) දිනයේදී ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා සියල්ල සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.

සියලුම විභාග මධ්‍යස්ථාන විෂබීජහරණයට ලක් කිරීම මේ වන විටත් සිදුකර අවසන් බවයි ඔහු කියා සිටියේ.

උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 3,62,824 දෙනෙකු පෙනී සිටින අතර, මධ්‍යස්ථාන 2648 කදී විභාගය පැවැත්වීමට නියමිතයි.

++++++++++

*********************************************

මිනුවන්ගොඩ 3 ශ්‍රේණියේ සිසුවියකට සහ ගම්පහ ජනප්‍රිය පාසලක උසස් පෙළ සිසුවියකට ද කොරෝනා

(11.10.2020 – 20:01 +0530 – hirunews.lk/sinhala)

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට මෙන්ම, මිනුවන්ගොඩ ප්‍රදේශයේ බාලිකා පාසලක 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් සහ ගම්පහ ජනප්‍රිය පාසලක උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුවියකට ද කොරෝනා ආසාදනය වී ඇති බව අද (11) තහවුරු වුණා.

කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ ශිෂ්‍යාවකට කොරෝනා ආසාදනය වී තිබුණේ ඇයගේ පියා ද ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුවයි.

ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කළ අයෙක් වනවා.

ආසාදිත ශිෂ්‍යාව අවසන් වරට විශ්වවිද්‍යාලයට පැමිණ ඇත්තේ පසුගිය 30 වන දායි.

ඒ අනුව ඇය ළඟින් ඇසුරු කළ ශිෂ්‍යාවන් දෙදෙනෙකු (2) පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බවයි කැළණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා කියා සිටියේ.

එමෙන්ම, මිනුවන්ගොඩ ප්‍රදේශයේ බාලිකා පාසලක 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට ද කොරෝනා ආසාදිත බව අද (11) තහවුරු වුණා.

එම සිසුවියගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය දා හඳුනා ගැනීමෙන් අනතුරුව ඇය ද පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදීයි එම සිසුවියට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කර වරකාපොළ ප්‍රදේශයේ පිහිටි තම නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටියදී ගාල්ල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ 23 හැවිරිදි තරුණියකට ද කොරෝනා ආසාදනය වී ඇති බව අද (11) තහවුරු වුණා.

ඇය ගාල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය වරකාපොළ පොලීසියේ නිලධාරිනියන් දෙදෙනෙකු (2), පොලිස් නිලධාරියෙකු සහ පොලිස් රියදුරු ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බවයි වරකාපොළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයන්ත කුමාර මහතා සඳහන් කළේ.

අදාළ තරුණිය පසුගිය දිනෙක වෙනත් රෝගී තත්ත්වයකට වරකාපොළ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එම වෛද්‍යවරයා ද මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවෙන් වාර්තා වූ කොරෝනා පොකුරේ ව්‍යාප්තියත් සමඟ අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මාළිගාතැන්න, කුරිකොටුව සහ එළුවාපිටිය යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් 30 කට වැඩි සංඛ්‍යාවක් අලුතින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

එළුවාපිටිය ප්‍රදේශයෙන් පමණක් කොරෝනා ආසාදිතයින් 20 කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

එළුවාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වන එම කොරෝනා ආසාදිතයන් අතර විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ සිව් (4) නමක් ඇතුළු 5 දෙනෙකු ද වනවා.

ඒ අනුව අදාළ ප්‍රදේශවල සංචරණ සීමා දැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාල බල ප්‍රදේශය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 600 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව එම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ප්‍රකාශ කළා.

එමෙන්ම, කටුනායක ආයෝජන කලාපයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේ ඒ අනුව කටුනායක ආයෝජන කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එක් ඇඟලුම් කර්මාන්තශාලාවකින් වාර්තා වන අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් වාර්තා වන කොරෝනා පොකුරේ ආශ්‍රිතයන්ගෙන් මෙම ආසාදිතයන් වාර්තා වන බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර, කොරෝනා රෝගීන් 119 දෙනෙකු අතුරුදන් බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

+++++++++++++++

රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ඖෂධ නිවසටම ලබාදීමේ වැඩපිළිවෙල කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ලබන 13 සිට ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා ෴

නිවසට බෙහෙත් වට්ටෝරුව ගෙන්වා ගැනීම සඳහා පහත ප්‍රදේශ වෙත ලබා දී ඇති දුරකථන අංක වෙත සිය බෙහෙත් වට්ටෝරුවේ ඡායාරූපයක්, දුරකථන අංකය, ලිපිනය සමඟ යොමුකරන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සිය පාරිභෝගිකයින්ට ඉල්ලීමක් කරනවා.

කුරුණෑගල 070 190 2778, මිනුවන්ගොඩ 070 190 2770, මීගමුව 070 190 2771,රාගම 070 190 2772, ගම්පහ 070 190 2773

+++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 60 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.

අලුතින් වාර්තා වූ ආසාදිතයින් 60 දෙනාගෙන් 48 දෙනෙකුම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩලය වනවා.

ඔවුන් මේ වන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින අයවලුන්.

මීට අමතරව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ තවත් ආශ්‍රිතයින් 12 නෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා ෴

***************************************

කුඩා සහ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වන පොල් වතුවලින් වෙළඳපොළට නිකුත් කරන පොල් ගෙඩියක මිල මේ වන විට රුපියල් 55 දක්වා අඩු වී ඇති බව පොල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

පසුගිය දිනවල එම මිල ගණන් පැවතියේ රුපියල් 60 ත්, 65 ත් අතරයි.

කෙසේ වෙතත්, අතරමැදියන් විශාල ලාභයක් ලබා ගැනීම නිසා තවමත් වෙළඳපොළේ පොල් මිල ඉහළ අගයක් ගන්නා බවයි පොල් නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කළේ ෴

***************************************

පසුගිය රජය සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවේ වෑන් රථ රියදුරෙක් ලෙස පෙනී සිටි පුද්ගලයා අද (11) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

ඔහු එහිදී පැවසුවේ එම සිද්ධියට අදාළ නඩුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තමන්ට බලපෑම් කළ බවයි.

අනතුරුව ඔහු තමන්ට නිසි ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලා මීගහවත්ත පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.

***************************************

පොලීසිය විග්නේෂ්වරන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගනී

(11.10.2020 – 22:11 +0530 – sinhala.adaderana.lk)

පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසයි.

ඊයේ (10) පස්වරුවේ සිය නිවසට පැමිණි පොලිස් නිලධාරීන් තිදෙනෙකු මෙම ප්‍රකාශය සටහන් කරගත් බව විග්නේෂ්වරන් පැවසීය.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින තමා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ නමක් සිදුකළ පැමිණිල්ලක් මත අදාළ ප්‍රකාශය සටහන් කරගෙන ඇත.

දෙමළ ජනතාවගේ ඉතිහාසයේ සහ මහාවංශය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් තුළින් ජාතිවාදය ඇවිස්සෙන බවට එම පැමිණිල්ලේ සටහන් කර තිබූ බව සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කළේය.

පැයකට ආසන්න කාලයක් පොලිස් කණ්ඩායම තමන්ගෙන් අදාළ ප්‍රකාශය පිළිබඳව කරුණු විමසීමක් සිදුකළ බව සී.වී. විග්නේෂ්වරන් වැඩිදුරටත් සඳහන් කළේය ෴

*********************************************

කොවිඩ් රැල්ල හා කෑදර ධන තණ්හාව

(10.10.2020 – Patali Champika FB)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ඇතිවූ කොවිඩ් පොකුර මේ වනවිට ජාතික ව්‍යසනයක් බවට පත් වෙමින් ඇත. එම සමාගම දිගටම ප්‍රකාශ කළේ ඉන්දියාවේ විශාකාපට්නම් සිට කිසිදු දේශීය හෝ විදේශීය පිරිසක් තම සමාගමට නොආ බවය. නමුත් මත්තල ගුවන් තොටුපල හරහා පැමිණි මගීන් (සැප්.22) විමසීමේදී පෙනී ගියේ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් බ්‍රැන්ඩික්ස් සමාගමේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ විශාකාපට්නම් සිට පිරිසක් පැමිණ ඇති බවය. ඊළඟට සිය පදය වෙනස් කළ අදාල සමාගම කීවේ, පිරිසක් පැමිණි බවත් ඔවුන් නිරෝධායනයට යොමුකළ බවත්ය. එය ඇත්තක් නම් එකී පිරිස අඩු තරමින් දින 14 ක් (එනම් ඔක්තෝබර් 06) දක්වා නිරෝධායන මධ්‍යස්ථානයකත්, එතැන් සිට තවත් දින 14 ක් ස්වයං නිරෝධායනයේත් (ඔක්.20 දක්වා) සිටිය යුතු බවය. නමුත් මත්තල ගුවන් තොටුපල භාර සෞඛ්‍ය පරීක්ෂකවරු කියා සිටින්නේ එවැනි නිරෝධායනයක් සිදු නොවුනු බවය. පැමිණි පිරිස නිරෝධායනය වූ තැනක් ඇත්නම් එය පෙන්වා දෙන ලෙසටත් ඔවුන් අදාල සමාගමත් කොවිඩ් මර්ධන කාර්ය සාධන කමිටුවත් අභියෝගයට ලක් කර ඇත. මේ අතර අදාල සමාගම තමන් විසින් 344 ක පිරිසක් විටින් විට පසුගිය කාලයේ විදේශ වල සිට මෙරටට ගෙන ආ බව පිළිගෙන ඇති නමුත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ අයගේ නම් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

කොවිඩ් මර්ධන රෙගුලාසිවලට අනුව, සාමාන්‍ය රැස්වීම්වලට පවා පැමිණෙන අයගේ අනන්‍යතාවය පොලීසියට හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනට ලබාදිය යුතුව තිබුණද මෙතරම් ව්‍යවසනකාරී මොහොතකදී පවා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එකී නිරෝධායන නීති රීති බල නොපාන්නේ ඇයිද යන්න පිළිබඳව පොලීසියත් කොවිඩ් මර්දන බලකායත් රටට පිළිතුරු දිය යුතු වෙයි. අදාල තොරතුරු කියාපාන්නේ එලෙස රැගෙන ආ පිරිස ආරක්ෂක අංශ විසින් රැගෙනගිය බවය.

එමෙන්ම, වෛද්‍ය විශේෂඥයින්ගේ මතය වන්නේ බ්‍රැන්ඩික්ස් සේවකයින් අතර රෝග ලක්ෂණ සැප්තැම්බර් 24 දා සිට පැවති බවය. ඒ සඳහා සුළු ප්‍රතිකාර කර ඇති බවය. අහම්බෙන් පළමු රෝගියා හමුවූයේ ඔක්තෝබර් 04 දාය. මේ කරුණු සියල්ල අදාල සමාගමේ සේවකයින් මේ වනවිටත් තහවුරු කර හමාරය. බ්‍රැන්ඩික්ස් පොකුරේ ආරම්භක සත්‍ය තොරතුරු යටගැසීම නිසා මේ වනවිට රට පුරා කොවිඩ් ආසාදිතයින් දහසකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, දස දහසකට අධික සමීප සබඳතා පැවැත්වූයේ යැයිද වාර්තා වී ඇත.

සිදුව ඇතිදේ ඉතා පැහැදිලිය. කවර හෝ හේතුවක් මත ඉන්දියාවේ විශාකාපට්නම් හි සිට ඇඟළුම් සේවකයින් මිනුවන්ගොඩ කම්හලට පැමිණ ඇති අතර, සේවකයින් පුහුණු කිරීම කොවිඩ් ආසාදිත පිරිසක් විසින් කොවිඩ් වැලැක්වීමේ මාර්ග උපදේශනවලට පටහැනිව කම්හල තුළ සිදුකර ඇත. සැප්තැම්බර් 24 දා වනවිටත් සේවකයින් අතර කොවිඩ් රෝග ලක්ෂණ පැතිර යමින් තිබියදීත් ඇඟළුම් ඉලක්ක සපුරා ගැනීමට අදාල සමාගම ක්‍රියාකර ඇති බව ඒ අනුව පැහැදිලිය. කිසිදු සෞඛ්‍ය බලධාරියෙක් මෙයට මැදිහත් වීමක්ද සිදුකර නැත.

දැන් රට ඇත්තේ දෙවෙනි කොවිඩ් රැල්ල අභිමුවය. මෙයට වගකිවයුත්තේ බ්‍රැන්ඩික්ස් ආයතනය පමණක්ම නොවේ. මත්තල ගුවන් තොටුපල භාර නිලධාරීන්, රජයේ නිරෝධායන ක්‍රියාවලිය බාර නිලධාරීන් හා විධිමත් ලෙස කොවිඩ් මුලදී හඳුනා නොගත් සියළුම වෛද්‍ය කාර්ය මණ්ඩලයන්ද වේ. විශේෂයෙන්ම මෙහිදී කොවිඩ් කාර්ය සාධන බලකාය සහ ශ්‍රී ලංකා පොලීසිය ක්‍රියා කර ඇති ආකාරය අතිශයින්ම සැකකටයුතුය. ඇඳිරි නීතිය හෝ වෙනත් වැරදි තොරතුරක් පිළිබඳව ෆෙස්බුක් පෝස්ට් ෂෙයා වූ පමණින් පුද්ගලයින් අත් අඩංගුවට ගන්නා රටක, දහස් ගණනක් කොවිඩ් ආසාදිතයන් පැතිරීම වෙනුවෙන් වගකිව යුතු අය ගැන ජනතාව තේරුම් ගත යුත්තේ කෙසේද?

මේ පිළිබඳව ජනාධිපතිවරයා හා රජය විධිමත් පරීක්ෂණයක් කර පොලීසිය ලවා නීතිය ක්‍රියාත්මක කරයිදැයි සැක සහිතය. එයට හේතුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ රැකියා අවස්ථා හා විදේශ විනිමය ඉපැයීම අතින් රටට කරන සේවය හෝ එහි අධිකාරී මණ්ඩලය වත්මන් ආණ්ඩුවේ කිට්ටුම උපදේශකයින් හා ආධාර කරුවන් වීමම නොවේ. අද ලංකාවේ කොවිඩ් වසංගතය හා නිරෝධායන ක්‍රියාවලිය ඇතැම් පිරිසක් විසින් කෑදර, ධනය ඉපැයීමේ ක්‍රියාවලියක් බවට පත්කරගෙන ඇති බැවිනි.

කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙද්දී වෛරස් නාශකයන් (Sanitizer) ගෙන්වීම හා ඒවා නිපදවීමට කියමින් එතනෝල් ගෙන්වන රජයට ඉතා සමීප ව්‍යාපාරිකයන්ටද චෝදනා එල්ලවී ඇත. නිරෝධායන ක්‍රියාවලිය හමුදාව විසින් සිදුකරන බව කීවද හෝටල් පහසුකම් සැපයීම, රෝගීන් ප්‍රවාහනය ආදිය ආණ්ඩුවේ කුප්‍රකට ව්‍යාපාරිකයන් අතට පත්වී එය ජාවාරමක් වී ඇති බවටද චෝදනා ඇත. ඒ අතර ඇඳිරි නීතිය පනවන වාරයක් පාසා ආහාර ද්‍රව්‍ය හා ඖෂධ බෙදා හැරීමද එවැනිම ජාවාරමක් බවට පත්වී ඇති ආකාරය කණගාටුදායකය.

ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් වීම නිසාත්, රටේ නිදහස් සෞඛ්‍ය සේවයේ ශක්තිය නිසාත්, ආණ්ඩුව හා ජනාධිපති ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කළ නිසාත් කොවිඩ් පළමු රැල්ල පාලනය කළ හැකි විය. නමුත් ක්‍රමයෙන් වසංගත පාලනය ජාවාරමක් වීම හා වසංගතය අතරතුර ධනය ඉපැයිය හැකිය යන කූඨ අදහස සමාජගත වීම නිසා කොවිඩ් වසංගතය මැඩලීමද කෑදර ව්‍යාපාරයක් වී ඇත්දැයි සැකයක් මතුවී ඇත.

මා දන්නා විශේෂඥ වෛද්‍ය වරයෙක් පසුගිය 07 වැනිදා මා හට කීවේ බ්‍රැන්ඩික්ස් පොකුර කෑදර ධන තණ්හාවේ ප්‍රතිඵලයක් බවය.

එය පොදුවේ කොවිඩ් මර්ධනයට මුවා වී අයථා ලෙස ධනය උපයන සියල්ලන්ට පොදු කරුණකි. මෙය කොවිඩ් මර්ධනයට කැපවීම් කරන සියල්ලන්ටත්, එයින් බැටකන සියල්ලන්ටත් සිදුකරන ලද සමාජ අපරාධයකි. කොවිඩ් මර්දන රෙගුලාසි කඩ කළ ශ්‍රී ලන්කන් සමාගම, මත්තල ගුවන් තොටුපල බල අධිකාරිය, සෞඛ්‍ය බලධාරීන් බ්‍රැන්ඩික්ස් ආයතනය, නිරෝධායන ක්‍රියාවලියට පිරිස යොමු කරවන වගකිව යුත්තන් ආදියදටද නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් මේ අපරාධයේ වගකීම රජයට එල්ලවීම වැලැක්විය නොහැකිය.

පාඨලී චම්පික රණවක

++++++++++++++++

ඉන්දියාවෙන් ආපු අයගේ විස්තර හා නිරෝධායන ස්ථාන අපිට ලබාදෙන්න – බ්‍රැන්ඩික්ස්ට පාර්ලිමේන්තුවෙන් අභියෝගයක්

(11.10.2020 – colombotoday.com)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට පසුගිය මස 22 දා ඉන්දියාවෙන් පැමිණි පිරිස නම් ලැයිස්තුවක් හා ඔවුන් නිරෝධනයට ලක් වූ ස්ථාන ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස එම ආයතනයට අභියෝග කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

පසුගිය සැප්තැම්බර් 22 දා ඉන්දියාව විසින් මෙම ආයතන ගුවන් මගින් ගෙන ආ අයගේ ලයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද ඔහු කියා සිටියේය.

එම සමාගම විශාල සමාගමක් බවත් රටට විශාල සේවයක් කරන බවත් පැවසූ ඔහු එනමුත් මෙම තත්වය යටතේ එම සේවක ලැයිස්තුව රට දැනගත යුතු බවද ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

වෛද්‍යවරු හැමදාම කිව්වා මේ කොවිඞ් ප‍්‍රශ්ණය අවසන් නැ කියලා. MRI හා GMOA එකත් කිව්වා. නමුත් අවාසනාවට රජය දේශපාලන ලකුණු ලබාගන්න මේක ඉවරයි, මේක අවසානයි කියලා මහ මැතිවරණය අවසන් වනතුරු කිව්වා. ඒ සිල්ලර කථාව කියපු නිසයි ජනතාව මේක සැහැල්ලුවට ගත්තේ. සාමාන්‍ය ජනතාව රජය කියපු දේ විශ්වාස කරලා අවශ්‍ය ආරක්‍ෂාව ගත්තේ නැ. මොකද රජය කිව්වා කොවිඞ් 19 ඉවරයි කියලා. රජය කිව්වා නම් මේක අළුයට ගිණිපුපුරු වගේ තියෙනවා කියලා ජනතාව මීට වඩා ආරක්‍ෂා වෙනවා.

අනිත් කාරණය ඊයේ පෙරේදා කම්හලක ඇතිවුන සිද්ධිය, මම අභියෝග කරනවා ඒ කම්හලට ඉන්දියාවෙන් ආපු අයගේ ලැයිස්තුවත්, ඒ අය නිරෝධායනය කරපු ස්ථාන පිළිබඳ විස්තර අපිට දෙන්න කියලා. ඒ සමාගම විශාල සේවයක් රටට කරනවා නමුත් සැප්තැම්බර් මාසයේ ඉන්දියාවෙන් ආපු අයගේ විස්තර හා නිරෝධායන ස්ථාන අපිට ආණ්ඩු පක්‍ෂ මන්ති‍්‍රවරයෙක් හරහාම ලබාදෙන්න කියලා මං අභියෝග කරනවා.

ඒ විතරක් නෙවෙයි, සෞඛ්‍ය අමාත්‍යතුමිය අපේ‍්‍රල් මාසයේදී කිව්වා කොරෝනා වෛරසය මහජනතාව අතර බෝවීමක් සිදුවන්නේ නැති බව. සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය එහෙම ප‍්‍රකාශ කලා. එතකොට අපේ‍්‍රල් මාසයේදී කොහොමද කිව්වේ. අනිත් එක තමයි අපේ‍්‍රල් මාසයේදී එහෙම කිව්වේ මොන දත්ත පදනම් කරගෙනද? ඡන්දය පදනම් කරගෙනයි එහෙම කිව්වේ. GMOA MRI හැමදාම කිව්වා මෙම වෛරසය අළුයට ගිණි පුපුරු වගේ කියලා. නමුත් ඒවා පිලිගත්තේ නැහැ. ඡන්දය හින්දා ලෝකෙටම කිව්වා මේක ඉවරයි කියලා ෴

++++++++++++++++

බ්‍රැන්ඩික්ස් මේ ආණ්ඩුව ගේන්න උදවු කලා. එනිසා කැමති වෙලාවට ඉන්දියාවෙන් සේවකයන් ගෙන්න පුළුවන් – ජනාධිපතිවරයා දහ පහලොස් දෙනෙක් ගෙනල්ලා පිප්පුවට රටක් පාලනය කරන්න බෑ

(11.10.2020 – colombotoday.com)

බ්‍රැන්ඩික්ස් ආයතනය රජය බලයට ගෙන ඒම සදහා මුදල් වියදම් කල නිසා රජයේ සහයෝගය එම ආයතනයට ලැබි ඇති බවත්, එම ආයතනයට ඉන්දියාවෙන් ඕනැම වේලාවක මිනිස්සු ගෙන එමේ බලය ලැබි ඇති බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා හැටන් නගරයේදි මාධ්‍යය හමුවක් පවත්වමින් එ බව පැවසිය.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ,

රට තුල බරපතල සෞඛ්‍යය ගැටළුවක් මතු වෙලා තියෙනවා, ලෝකයටම මේ කොරොනා වෛසරය පැතිරෙමින් තිබෙනවා. ලංකාවෙත් දෙවනි වටයේ රැල්ලක් මතුවෙමින් පවතිනවා. බොහෝ ස්ථානවලින් රෝගින් මතු වෙමින් පවතිනවා.

මේ අවස්තාවේ රටක් විදිහට නායකයෝ සමාජය කටයුතු කලේ කෙසේදැයි ගැටළුවක් තියෙනවා. වර්තමාන රජය ගැටළු වලදි මුහුණ දිමට අනුගමනය කරන්නේ චීන මොඩලය. පණිවිඩකරුවා දඩයම් කිරිම, යම් කිසි තොරතුරක් ගෙනාපු පණිවඩිකරුව දඩයම් කිරිම.

ජයරුවන් බණ්ඩාර විශේෂඥ වෛද්‍යවරයාව ඉවත් කරන්නේ කුමන පදනමකින්ද ? කවුද ඉවත් කලේ ? සෞඛ්‍යය ඇමතිනියද ඉවත් කලේ? මේ විශේෂඥ වෛද්‍යවරයා කොරොනා වෛසරය පිලිබදව යම් යම් කරුණු මතු කරමින් පැවතුණා. දැන් ගැටළුවක් මතු වෙනවා තොරතුරු මතු කල නිසාද ඉවත් කලේ? මේක තමයි චින ක්‍රමය.

තොරතුරු වසන් කිරිම බරපතල වරදක්. එකෙන් වෙන්නේ රෝගින් වැඩි වෙන එක. මේ රජය අනුගමනය කරන්නේ එවැනි වැඩ පිලිවෙලක්. පසුගිය කාලයේ පි සි ආර් පරික්ෂණ කරපු ගාණ කිව්වේ නැ. රෝගින් පිලිබදව තොරතුරු රටට කිව්වේ නැ. ආණ්ඩුව චැම්පියන්ලා වෙන්න ගියා. ආණ්ඩුව තමන්ට කිරුළු පලද ගත්තා.

මේ වැනි රෝගයක් මර්ධනය කරන්න බැ තුවක්කු අතට දිලා , මිනිස්සු උසාවිගත කරලා , සිරගත කරලා. මිලිටරි යාන්ත්‍රය පෙන්නලා මේ රෝගය මර්ධනය කරන්න බැ. මෙවැනි රෝගයක් මර්ධනය කරන්න පුළුවන් වෙන්නේ රටේ ජනතාව දැනුවත් කරලා.

මේ ආණ්ඩුව පසු ගිය කාලයේම සිදු කලේ තොරතුරු යටපත් කරපු එක ඒක නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ.

රට තුල මෙවැනි තත්ත්වයක් තියෙන කොට රාජ්‍යය තාන්ත්‍රිකයන් රටට එනවා. මොකද්ද මේ මේ හදිස්සියේ චින රාජ්‍යය තාන්ත්‍රිකයන්ට රටට කඩා පනින්න තියෙන උවමනාව? රාජ්‍යය තාන්ත්‍රිකයෝ අවට පස්සේ එ අයව නිරෝධානය කරන්න බැ. බරපතල සැකයක් තියෙනවා චින ජාතික රාජ්‍යය තාන්ත්‍රිකයන් රටට ආවේ ඇයි කියන එක. මේ හදන්නේ දෙවනි වටයෙන් ලංකාව චිනයට උකස් තියන්නද?

හදිසි පනත් ගෙන්න සුදානමින් ඉන්නේ, ආණ්ඩුව ව්‍යවස්ථා වෙනස් කරන්න සුදානමින් ඉන්නේ. 20 ගෙන්නේ පැය 48 න් ඕනි පනත් දලා සම්මත කර ගන්න. මේ රාජ්‍යය තාන්ත්‍රිකයන් එන්නේ එවට උපදෙස් දෙන්නද?

අපි ආණ්ඩුවෙන් අහනවා ලංකාව චිනයේ කොලනියක් කරලද තියෙන්නේ? චින ජාතිකයන්ට එන්න පුළුවන් ඕනි වෙලාවක හැබැයි ලංකාවේ මිනිස්සුන්ට එන්න බෑ.

ලංකාවේ ඉඳන් මැදපෙරදිග රටවල් වලට ගිහින් ලංකාවට එන්න බැරුව හිර වෙලා ඉන්නවා මිනිස්සු , එහෙම තියෙද්දි චින ජාතිකයන්ට ඕනි ඕනි වෙලාවට මේ රටට රිංගන්න.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ අයිතිකරු සහ ආණ්ඩුව අතර තියෙන සම්බන්ධතාවය අපි දන්නවා. කොච්චර ආණ්ඩුවට උදව් කරලා තියෙනවද, ආණ්ඩුවට බලයට එන්න මුදල් වියදම් කරපු විදිහ එහෙම රටතුල කතා වෙනවා. එ නිසා ඒ අයතනයට ඕනි වෙලාවට ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්න හැකි වෙලා තියෙන්නේ?

චිනයට මෙන්ම බ්‍රැන්ඩික්ස් ආයතනයට පුළුවන් වෙලා තියෙනවා ඕනි ඕනි වෙලාවට රාජ්‍යය තාන්ත්‍රිකයින් , සේවකයින් මේ රටට ගෙන්න. මේ පුදුම නීතියක්නේ රටේ.

ලංකාවේ මනුස්සයෙකුට එන්න බෑ. කොම්පැණි වලට පුළුවන්. ආණ්ඩුවට උදව් කරපු නිසාද? දේශපාලන රැකවරණය තියෙන්න ඕනි. නැත්තම් මෙහෙම රටට එන්න බෑ.

මේ කොරොනා දෙවනි රැල්ල ගැන හොයද්දි අන්තිමට නතර වෙන්නේ එතනින්.

සේවක සේවිකාවන් කියනවනේ ඒ ආයතනයේ නිලධාරින් කටයුතු කරලා තියෙන විදිහ ගැන. පැනඩොල් පෙත්තක් දිලා මිනිස්සුන්ගෙන් වැඩ අරගෙන තියෙනවා.

මේ ආණ්ඩුව සෞඛ්‍යය නිති රිති පිලිබදව ගැසට් එක එලියට දැම්මේ නැ. එහෙම නිතියක් තිබුණා නම් මහජන සෞඛයය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍යය නිලධාරින්ට මේ ගැන හොයන්න තිබුණා.

ජනාධිපතිවරයා දහ පහලොස් දෙනෙක් ගෙනල්ලා පිප්පුවට රටක් පාලනය කරන්න බැ. එකට අවශ්‍යය නිති රිති හදන්න ඕනි. සෞඛ්‍යය බලධාරින්ට බලය දෙන්න ඕනි. ඇයි එහෙම කලේ නැත්තේ ?එක් තමයි මේ ආණ්ඩුවේ නව ලිබරල් චින්තනය.

ආණ්ඩුවට ඕනි කෙහොම හරි ආයෝජකයෝ ගෙන්නලා, කොම්පැණි කාරයන්ට අවශ්‍යය පහසුකම් දිලා, සේවකයින්ව මරාගෙන කලා හරි ඒ ඕඩර් එක යවන්න. ලාබේ හොයන්න.

කොරොනා වෛරසය එක්ක පරණ ලෝකේ ඉවරයි, නව ලිබරල්වාදය ආසාර්ථකයි කියලා මුළු ලෝකයම පිලිගෙන තියෙන්නේ. විකල්ප හොයමින් ඉන්නේ.

මේ ආණ්ඩුව තාම එ වලිගයේ එල්ලිලා ඉන්නේ. ඒක නිසා තමයි සෞඛ්‍යය නිති ගැසට් එක එලියට එන්නේ නැත්තේ. ගැසට් එක ආවනම් ආයෝජකයෝ පාලනය වෙනවා, ඒකට මේ අය බයයි. ඒක තිබුණානම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැ.

ආණ්ඩුව වගකියන්න ඕනි මේ ඇති වෙලා තියෙන තත්ත්වය පිලිබදව. ආණ්ඩුවෙන් වහාම සෞඛ්‍යය නිති රිති ඇතුලත් ගැසට් එක ඉදිරිපත් කරනන් ඕනි , අදාල බලධාරින්ට බලය දෙන්න ඕනි. රටේ ජනතාවට තොරතුරු දෙන්න.

මේ ආණ්ඩුවේ නොහැකියාව වහගන්න ජනතාව බිල්ලට දෙනවා. ඇදිරි නිතිය කඩ කලා තියලා මිනිස්සු සිර කරනවා. එදාවෙල හම්බ කරන් කන මිනිස්සු පාරට යන්නේ නැතුව වෙන කොහේටද යන්නේ.

පසුගිය මාස තුනේ අපි දැක්කනේ ආණ්ඩුව වැඩ කරපු විදිහ. ජනතාවගේ පැත්තෙන් හිතන්න යනුවෙන් පැවසිය ෴

*********************************************

30 සීමාව කඩාදෙන ඇමැතිකම් ගන්න මම නිවටයෙක් නෙවෙයි… – පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ

(11.10.2020 – divaina.com)

  • 30 සීමාව කඩාදෙන ඇමැතිකම් ගන්න මම නිවටයෙක් නෙවෙයි… ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ අවමංගල්‍ය සමිති ව්‍යවස්ථාව නොවේ… තවත් මහේන්ද්‍රන් කෙනෙක් රටට අවශ්‍ය නෑ… – ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ
  • 19 අත්වැරැද්දක් නොවෙයි…

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිළිබඳ මේ දිනවල අපේ දේශපාලන කතිකාවේ බරපතළ සාකච්ඡාවක් පවතී. ඒ සම්බන්ධයෙන් දේශපාලන කරලියේ නැගෙන විවේචන බොහෝය. විශේෂත්වය වන්නේ විපක්ෂයටත් වඩා ප‍්‍රබල ලෙස ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් අතර 20 කතා බහට ලක් වීමයි.

20 විවේචනයට ලක් කරමින් එහි අඩුපාඩු පෙන්වා දෙමින් දේශපාලන සංවාදයේ යෙදෙන ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන් අතර ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප‍්‍රමුඛයාය. මේ ඔහු සමග ‘දිවයින’ කරන ලද විවෘත සංවාදයකි.

ප‍්‍රශ්නය – ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ නිර්මාතෘවරයාත් ඔබ. හැබැයි ඔබ එහි දෝෂ දැක්කා. එහි දෝෂ මඟ හරින්න ගෙනාපු 20 වන සංශෝධනයේත් දැන් ඔබ දෝෂ දකිනවා. මොකක්ද මේ විරෝධයේ පදනම..?

පිළිතුර – දහනමයේ නිර්මාතෘ මම නෙවෙයි. ඒ ජයම්පති වික‍්‍රමරත්න. එදා අධිකරණ ඇමැති මම වුණාට ව්‍යවස්ථා සම්පාදන කටයුතු මගෙන් ගලවලා අගමැතිවරයා යටතේ ගැසට් කර ගෙනයි තිබුණේ. ඒ නිසා ඕක හදන්න මුල් වුණේ රනිල්.

ජනාධිපතිවරයාගෙත් අගමැති වරයාගේත් ඉල්ලීම පරිදි මම කරේ ඕක පාර්ලිමේන්තුවට ගේන එක විතරයි. එතෙන්දි රටට අවශ්‍ය සංශෝධන ටික මම කළා. 19 රටට අවශ්‍ය විදිහට ඉදිරිපත් කළා වගේම එය සම්මත කර ගැනීම සඳහා විශේෂ වැඩ කොටසක් කළෙත් මම. ඒක නිසාම මම කියන්නේ 19 අත්වැරැද්දක් නෙවෙයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරපු ප‍්‍රශස්ත සංශෝධනයක්.

ප‍්‍රශ්නය – නමුත් එය ක‍්‍රියාත්මක වීමේදී ලොකු ලොකු අඩු පාඩු රැසක් සිදුවුණු බව ඔබ පිළිගත්තා..?

පිළිතුර – මම තමයි මුලින්ම මෙහි යම් යම් අඩු පාඩු හා මෙයට විරෝධතා ඉදිරිපත් කළේ. හොඳයි ගන්නකෝ මේ 20 වැනි සංශෝධනය. තොරතුරු දැනගැනීමේ අයිතිය අපේ මූලික නීතියේ තිබිය යුතුයි කියලා 20 නුත් පිළිඅරන් තියෙනවා නේ. පාර්ලිමේන්තුවේ ආයු කාලය වගේම ජනාධිපති ධුරයේ ආයු කාලය අවුරුදු 5 කට සීමා කරපු එක හොඳයි කියලා මේකෙත් කියනවා නේ. ඒ වගේම ජනාධිපතිට වාර දෙකකට වඩා ධුරය දරන්න බෑ කියන එකත් පිළිඅරන් තියෙනවා නේ. හැබැයි එදා මට තේරුණු ලොකු අඩුපාඩු හතරක් තිබුණා. ඒවා 19 වැනි සංශෝධනයේ වැරදි නෙවෙයි. සංශෝධනයේ භාවිත කරපු අයගේ දේශපාලන අපරිණතභාවය හා සද්භාවය නොමැතිකම නිසා ඇතිවුණු ගැටලු.

ප‍්‍රශ්නය – මොනවද ඒ කාරණා හතර.?

පිළිතුර – ඉන්න මම කියන්නම්… පළවෙනි එක තමයි ව්‍යවස්ථා දායක සභාව ස්වාධීන නොවීම. ඒ ගොල්ලෝ එක එක න්‍යාය පත‍්‍ර වලට වැඩ කරපු පක්ෂපාත මිනිස්සු නිසා ස්වාධීන කොමිෂන් වලට පත් කරපු නියෝජිතයො ස්වාධීන වුණේ නෑ. බරපතළ අඩුපාඩුවක්නේ. හැබැයි ඒක 19 යේ වැරැද්දක් නෙවෙයි. දෙවැනි කාරණාව තමයි ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර දැරීම තහනම් කරලා ගෙනාපු යෝජනාව. විහිළුවක් නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් පවා තියෙනවා සේනාධිනායකවරයායි ආරක්ෂක අමාත්‍යවරයායි දෙන්නෙක් නොවිය යුතුයි කියලා. තුන්වැනි එක තමයි ඇමැති මණ්ඩලය පත් කරන්නේ අගමැති, විෂය පවරන්නේ ජනාධිපති වීම. රටේ එකිනෙකට සතුරු දේශපාලන පක්ෂ දෙකක නායකයෝ දෙන්න අගමැති හා ජනාධිපති වුණාම කොහොමද මේක කරන්නේ. මුළුමනින්ම ප‍්‍රශ්න ගොඩක්. හැබැයි එක අම්මගේ කුසින් ආපු සහෝදරයෝ දෙන්නෙක් එහෙම වුණොත් ගැටලුවක් නැති වෙයි කියලා අපි එදා හිතුවා.

ප‍්‍රශ්නය – ඇයි… දැන් එහෙම වෙලා ද..?

පිළිතුර – ඒක මම දන්නේ නෑ. හැබැයි එහෙම නොවෙයි කියලා අපි එදා උපකල්පනය කළා. හතර වෙනි එක තමයි කමිෂන් සභා වල නුසුදුස්සන් ඉන්නවනම් ඉවත් කිරීමට තිබුණු ක‍්‍රමවේදයේ දුර්වලතා. මෙන්න මේ හතර තමයි මම දකින ප‍්‍රධාන දුර්වලතා ටික. මේ ටික අපිට සරලව පිටු දෙකක පොඩි සංශෝධනයකින් හදා ගන්න තිබුණා. ඔබ දන්නවා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ මරණාධාර සමිතියක ව්‍යවස්ථාවක් නෙවෙයි. පුද්ගලයන්ට අනුව ගළපන්න ඕන ව්‍යවස්ථාවක් නෙවෙයි. ක‍්‍රමවේදයක් අනුව හදන්න ඕන අතිශයින් විද්‍යාත්මක එකක්. ඒකට කාගේත් සහයෝගය ලැබෙන විදිහටයි හදා ගන්න ඕන. ඒකට හොඳ පරිණතභාවයක් වගේම දැනුමක් තියෙන්නත් ඕනේ. මම මෙතන මම ගැන වර්ණනා කරනවා නෙමෙයි. හැබැයි ලංකාවේ ආණ්ඩුක‍්‍රම නීතිය පිළිබඳව ආචාර්ය උපාධියක් තියෙන එකම කෙනා මම. ඒ දැනුම හා අත්දැකීම් හරහා තමයි මම 19 යහපත් පැත්තට හරවාගත්තේ.

ප‍්‍රශ්නය – එහෙම නම් ඔබතුමා අපිට කියන්නකො 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ඔබතුමාගේ විරෝධතා මතු වුණේ මොන මොන කාරණා වලදී ද කියලා..?

පිළිතුර – දහනමයේ තිබුණු දුර්වලතා ඉවත් කරන්න 20 ගේනවානම් ඒ අදාළ කරුණු වලට එපාය සංශෝධන ගේන්න. මේ වෙන වෙන කරුණුනේ ඉදිරිපත් කරල තියෙන්නේ. බලන්න මේ යෝජනා… විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කරනවා. ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කරනවා. පාර්ලිමේන්තුවට තියෙන ප‍්‍රධාන වගකීම් මොනවාද. නීති සම්පාදනය සහ මූල්‍ය පාලනය නේ ප‍්‍රධාන. රටෙහි ආර්ථිකය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ විනිවිදභාවය මතයි. අර ආයතන දෙක අහෝසි කරාම කොහෙද විනිවිදභාවයක්. අමාත්‍යවරු 30 සීමාව හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 40 සීමාව ඉවත් කරලා ඕනෑතරම් ඇමැතිකම් පත් කරන්න පසුබිම හදනවා. ඇමැති මණ්ඩලය සීමා කරන්න කියන එක කලක පටන් මේ රටේ ජනතාවගේ ප‍්‍රධාන ඉල්ලීමක්නේ. ජනතාව කොච්චර සටන් කළාද ඒකට. අනිත් එක තමයි මන්ත‍්‍රීවරුන්ට සහ නිලධාරීන්ට දිවුරුමක් තියනවනේ රට දෙකඩ කරන්නේ සහ ඊට අනුබල දෙන්නේ නැහැ කියලා. අන්න ඒ දිවුරුමත් ඉවත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව වසරකින් පස්සේ ඕනම අවස්ථාවක ජනාධිපතිගෙ අභිමතය පරිදි විසිරුවා හරින්න පුළුවන් කියලා යෝජනා කරලා තියෙනවා.

අනිත් එක තමයි මේ රටේ ජනතාව කවුරු හරි ඉල්ලලා තියෙනවද අවුරුදු තිහක කොල්ලෙක්ට හෝ කෙල්ලෙක්ට ජනාධිපති වෙන්න පුළුවන් විදිහට විදිහට වයස් සීමාව අඩු කරන්න කියලා. ඕනම කෙනෙක් දන්නවා ඒ වයසට ජනාධිපති වෙන්න තරම් මුහුකුරා ගිය පරිනත බවක් දේශපාලඥයන්ට නෑ කියලා. එතකොට අධිකරණ සේවා කොමිසමට මුල් අවස්ථා අධිකරණයක සේවය කරපු එක් විනිශ්චයකාරවරයෙක් අනිවාර්යෙන් ඇතුල් විය යුතුයි කියලා 19 යේ තිබුණු විධිවිධානය ඉවත් කරනවා. ඒක යහපත් තත්ත්වයක් නෙවෙයි. අපි 19 න් හදිසි කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ක‍්‍රමවේදය අහෝසි කළා. අන්න ඒක නැවත ගේනවා..

ප‍්‍රශ්නය – සමාවෙන්න හිටපු ඇමැතුමා.. ඇත්තටම මොකද්ද එකෙන් කලින් සිදු වුණේ..?

පිළිතුර – අන්න ඒක පාවිච්චි කරලා තමයි ඉතිහාසයේ සඳහන් වන නරකම දේශපාලන කප්පම ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා විසින් අෂ්රොෆ් ඇමැතිවරයාට ලබා දුන්නේ. ජනාධිපතිවරණයට මුස්ලිම් දේශපාලනඥයන්ගේ සහයෝගය ලබා ලබා ගන්න පේ‍්‍රමදාසට අවශ්‍ය වුණා. ඒ දවස්වල මන්ත‍්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට පත් වන්න ඡන්ද වලින් 12.5% අපේක්ෂකයෙක් ලබා ගන්න ඕන. අශ්රෆ් ඉල්ලුවා මේක 5% කරන්න කියලා. පේ‍්‍රමදාස ජනාධිපතිවරණයට දවස් දෙකක් තිබියදී හදිසි පනතක් ගෙනල්ලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට 15 වන සංශෝධනය ඇති කරලා මේ අවස්ථාව සුළු පක්ෂවලට දුන්නා. ඔය නිසා තමයි එදා ඉඳලා දෙමළ මුස්ලිම් සුළු පක්ෂ විසින් බහුතර මහා ආණ්ඩු පාලනය කරන තත්ත්වයකට රට පත් පත්වුණේ. හදිසි පනත් ගේන්න ඕනේ නෑ රටට. ඒක භයානකයි. ඒ වගේම රටට අහිතකරයි. රටට හදිසි වැඩ කරන හදිසි නීතිය තියෙනවා. ඕක ඇවිල්ලා මෝඩ පාලකයෙකුට භයානක ආයුධයක්.

අනිත් භයානක යෝජනාව තමයි ජනාධිපති කාර්යාලයයි අගමැති කාර්යාලයයි විගණකාධිපතිගේ විගණන කටයුතු වලින් ඉවත් කිරීම. හොරකං කරන්නෙ නැත්නම් ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය විගණනය කරාම මොකෝ වෙන්නේ. මේක 1978 ඉඳලම විගණකාධිපති යටතේ තිබුණේ. ඊළඟට 50% වඩා ආණ්ඩුවේ කොටස් තියෙන ආයතන සියල්ල විගණකාධිපති විගණනය කරන්න ඕන. අන්න ඒ යෝජනාවත් 20 න් ඉවත් කරලා. ඒ වගේම තමයි අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල ඉවත් කිරීම සහ එක්සත් ජාතීන්ගේ සම්මුතියට සහ දූෂණ වැළැක්වීමට අදාළ ජාත්‍යන්තර සම්මුතීන් ක‍්‍රියාත්මක කිරීමට ඇති බලය ඉවත් කිරීම. මේවා අපේ රටේ මූල්‍ය පාලනය පිළිබඳ විනිවිදභාවය සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය පළුදු වන යෝජනා. මේව මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු 69 ලක්ෂයක් ජනතාව ඉල්ලපු දේවල්ද… එතකොට මේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ යෝජනාව. කාටද බලන්න මේක අවශ්‍ය.

ප‍්‍රශ්නය – මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ තබපු පොරොන්දුව තමයි, 19 වන සංශෝධනය නිසා රටේ පරිපාලන අවුල් වියවුල් ගොඩක් ඇති වුණා. ඒක විසඳගන්න 20 වන සංශෝධනය ගෙනෙනවයි කියන එක..?

පිළිතුර – ඔව් ඉතින් ඒක කරනවා නම් කරන්න මේ වගේ මේ පිටු 41 ක දීර්ඝ ලේඛනයක් සහ ඒක නැවත වතාවක් සංශෝධනය කරන්න පිටු 13ක ලේඛනයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නෑ. දැන් මේ 20 වන සංශෝධනයම අච්චාරුවක් මැල්ලූමක් කරලම ඉවරනේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය ගැන දන්න කෙනෙකුට 19 තුළ තිබුණු අඩුපාඩු ටික සකස් කරලා රටට අවශ්‍ය සංශෝධන ටික කරන්න කොළ දෙකක යෝජනාවක් ඇති. සරල සංශෝධනයක් නේ කරන්න තිබුණේ.

ප‍්‍රශ්නය – ඔබතුමා මේ විදිහට කතා කරන්නේ කැබිනට් ඇමැති ධුරයක් ඔබට නොලැබීමේ වේදනාවෙන්ද කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්… ඔබ වැනි අයට අමාත්‍යාංශ ලබා දීම සඳහා 30 සීමාව ඉවත් කිරීමට යෝජනාවකුත් මේ අතර තියෙනවා..?

පිළිතුර – රටට බරක් වෙන විදිහට, තිහේ සීමාව ඉක්මවලා දෙන ඇමැතිකම් භාරගන්න තරම් නිවටයෙක් නොවෙයි මම. ඇමැතිකමක් දුන්නේ නෑ කියලා මට කනගාටුවක් නෑ. හැබැයි මට පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා. කොළඹ දිස්ත‍්‍රික්කයේ පොහොට්ටුවේ ආසන සංවිධායකවරු 16 දෙනෙක් ඉල්ලූවා. මමත් එක්කයි 17 වුණේ. ඉතිරි පස් දෙනා අනෙක් පක්ෂවල. මේ 17 දෙනා අතරින් කිසිම ආසනයක්, බල මණ්ඩලයක් කිසිත් නැතිව ඡන්දෙ ඉල්ලූවෙ මම විතරයි. හැබැයි අනිත් 16 දෙනාටම වඩා මට ඡන්ද තිබුණා. මට ඡන්දෙ දීපු 1,20,626 ම මේ රටේ දේශපාලනය ගැන අවබෝධයක් තියෙන රටට ආදරය කරන අය. ඒගොල්ලො බලාපොරොත්තු වුණා මගෙන්, මගේ උගත්කමෙන් රටට වැඩක් ගන්න පුළුවන් හොඳ ඇමැතිකමක් මට දෙයි කියලා.

සමහරු හිතනවා මට ඇමැතිකමක් නොදීමෙන් මාව කැපුවාය කියලා. නමුත් මාව නෙවෙයි කැපුවේ. කැපුවේ මට ඡන්දය දීපු 1,20,626 ක් වන කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාව. මට ඒ ගැන නම් පුංචි කනගාටුවක් තිබුණා.

ප‍්‍රශ්නය – ඔබ කියන්නේ 20 වන සංශෝධනය පාර්ලිමේන්තුව තුළ අනුමත වීම රටට ලොකු ගැටලුවක්. මෙතනදි මොකක්ද ඔබේ ස්ථාවරය. මොකක්ද එහි නීතිමය තත්ත්වය..?

පිළිතුර – රටේ අනාගතය සම්බන්ධයෙන් සුබවාදී පිළිතුරක් අධිකරණ ක්ෂේත‍්‍රයෙන් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. 19 දීත් ඒක වුණා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 76 වැනි වගන්තිය අනුව පාර්ලිමේන්තුවට බලයක් නැහැ, පාර්ලිමේන්තුවේ තිබෙන ව්‍යස්ථාදායක බලය අහිමි වන විදිහට නීති පනවන්න. ජනාධිපති අගමැති ලේකම් කාර්යාල දෙක ඇතුළු ආයතන සිය ගණනක් විගණකාධිපතිගේ නිරීක්ෂණ වලින් ඉවත් කිරීමෙන් වෙන්නේ පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය ඉවත් කිරීම.

මන්ත‍්‍රීවරු දිවුරුම් දෙනවා ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා. ව්‍යවස්ථාවේ තියෙනවා රටේ මූල්‍ය පාලනයේ බලය පාර්ලිමේන්තුව සතුයි කියලා. 20 වෙනි සංශෝධනයට අත උස්සනවා කියන්නේ පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලය ඉවත් කිරීමට මන්ත‍්‍රීවරු කැමැත්ත පළ කිරීම. ඒකේදි උල්ලංඝනය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව. අනිත් එක දළදා මාලිගාව වගේ ශුද්ධ ස්ථානයක, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා දිවුරුම් දීපු ඇමැතිවරු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට හෘද සාක්ෂියට එකඟව අත ඔසවයි කියලා මම හිතන්නේ නෑ. මගේ මතය දිවුරුම් දීම කියන එක කතෝලික සංස්කෘතියට අදාළ දෙයක්. දිවුරුම් දීම සඳහා දළදා මාලිගාව වගේ තැනක් තෝරා ගැනීම සුදුසු නෑ කියලා මම හිතනවා.

ප‍්‍රශ්නය – 20 වන සංශෝධනය සඳහා ජනමත විචාරණයකටත් යන්නට වෙයි කියලා සමහරු මත පළ කරලා තියෙනවා. ඔබ මොනවද හිතන්නේ..?

පිළිතුර – මමත් හිතනවා යන්න වෙයි. මොකද මේ මූල්‍යමය කාරණා වගේ දේවල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තනි තීන්දුවක් දෙන්න බෑ. ද්විත්ව පුරවැසි භාවය, සමාගම් විගණනයෙන් බැහැර කිරීම වගේ ඒව… ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි කාලය… බලමු අපි අධිකරණයෙන් මොන වගේ තීන්දුවක් දෙයිද කියලා.

ප‍්‍රශ්නය – නමුත් අපි කතා කරපු බොහෝ දේවල් වලට සංශෝධන ගෙනත් තියෙනවා නේද..?

පිළිතුර – අධිකරණය මූලිකව සලකා බලන්නේ පනත. සංශෝධන දෙවනුව. සංශෝධන ආවා කියලා අර්ථකථන වල වෙනසක් නෑ. මූලික ලියවිල්ල සලකා තමයි අර්ථකථන දෙන්නේ. 19 ය ගෙනාපු වෙලාවේ එහි වගන්ති 5 ක් සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියල අධිකරණය තීන්දු කළා. මමත් කල්තියාම ඒ යෝජනා 5 ට විරුද්ධ වෙලයි තිබුණේ. අන්තිමේ එම යෝජනා 5 සංශෝධනයෙන් ඉවත් කළා. හැබැයි රනිල් වික‍්‍රමසිංහලා ඒ වෙනුවට සංශෝධන 144 ක් ගෙනාවා. මම පාර්ලිමේන්තුව හමුවේ මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරලා ඒ අතරින් 3 යි ව්‍යවස්ථාවට ගත්තේ. අනෙක් යෝජනා 141 ම විසි කළා. බලමු මේ පාර. අහවල් වගන්තිවලට ජනමත විචාරණයක් ඕනද නැද්ද කියලා අධිකරණය කියාවි…

ප‍්‍රශ්නය – ඔබ ආණ්ඩුව සම්බන්ධයෙන් බරපතළ විවේචනයක නිරත වන බව පෙනෙනවා. දැන් අපට සැකයි ඔබ තවදුරටත් ආණ්ඩුවේ ඉඳීවිද කියල..?

පිළිතුර – මම අවස්ථා කීපයක්ම පක්ෂ මාරු කරලා තියෙනවානේ. මම මේ සමහර ඒව අද ඔබට අද කියන්නේ පළමු වතාවට. මම මුල්වරට විපක්ෂයට ගියේ 2007 දි. කෝප් එකේ සභාපති හැටියට ඉඳිද්දි මගේ පරීක්ෂණ අනුව රුපියල් කෝටි 30,000 ක් රජයට වංචා කරපු මන්ත‍්‍රීවරුන්ට ඇමැතිකම් දෙන එකට විරුද්ධ වෙලයි මම ගියේ. යූඑන්පී එකට ගිහින් එතනත් ආණ්ඩුවක් හදලා නායකයා රැකගෙන හිටියා. එතනදි මුස්ලිම් අන්තවාදය ගැන කතා කරමින් මාස 30 ට කලින් පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන මමයි මුලින් කිව්වේ. මට ගැහුවා වට කරගෙන. හම්බන්තොට චීනෙට දෙන්න එපා කියලා මම කිව්වා. එහෙම වුණොත් ඇමරිකන්කාරයා කුපිත වෙලා මේ රට ලේ විලක් බවට පත් කරයි කියලා කිව්වා. ඒව තමයි පහුගිය දවස්වල වුණේ. ඒක කිව්වා කියල මගේ ඇමැතිකම ගැලෙව්වා.

සාකච්ඡා කළේ – බුලිත ප‍්‍රදීප් කුමාර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *