වෛද්‍ය සාෆි ගැන පිටු 210 ක වාර්තාවක් අධිකරණයට

(27.06.2019 – 17:42 +0530 – hirunews.lk/sinhala)

සිදුකළ සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙන කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳ පිටු 210 කින් යුත් වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට ඉදිරිපත් කළා.

ඒ, කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් ඉදිරියේ සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුුවට ගැනීමට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණේ වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව පුද්ගලයින් 801 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ එම ප්‍රකාශවල සාරංශ ඇතුළත් කර තිබෙනවා.

ප්‍රකාශ ලබාදුන් පුද්ගලයින් අතර කාන්තාවන් 615 දෙනෙකු සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

මේ අතර, අද නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද එක්ව සිටියා.

+++++++++++++++++++++

වෛද්‍ය ෂාෆි ගැන පිටු 210 ක වාර්තාවක් CIDය අධිකරණයට දෙයි

(27.06.2019 – 19:12 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍ය මොහොමඩ් ෂාෆි කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කම් 4372 ක් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ, ෂාෆි වෛද්‍යවරයා සිදුකළ සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් මව්වරුන් ඉදිරිපත් කළ පැමිණිලි සහ ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් කරන ලද විමර්ශන සම්බන්ධයෙන් පිටු 210 ක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින්.

එම දෙපාර්තෙමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ෂාෆි වෛද්‍යවරයා සිංහල සහ දෙමළ මව්වරුන් සිසේරියන් සැත්කම්වලට ලක් කරනවිට අඩු කාලයක් ගෙන ඇති බවයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆිට අදාළව මෙතෙක් කරන ලද විමර්ශන සම්බන්ධයෙන් පිටු 210 ක වාර්තාවක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එම දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව මේ වනවිට 500 දෙනෙකුට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රඳවාගෙන පරීක්ෂණ කරන ෂාෆි වෛද්‍යවරයා ජාතික තවුහිද් ජමාත් සංවිධානයට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට කිසිඳු සාක්ෂියක් මෙතෙක් අනාවරණ වී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කර ඇත.

එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට පැවසුවේ, ඉදිරියේදි ආරක්ෂක ලේකම්වරයාට කරුණු වාර්තා කොට ෂාෆි වෛද්‍යවරයාගේ රැඳවුම් නියෝගය අවලංගු කිරීමට අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, වෛද්‍ය ෂාෆි කුරුණෑගල ශික්ෂණ රෝහල තුළදී සිසේරියන් සැත්කම් 4372 ක් සිදුකර ඇති බව අධ්‍යක්ෂවරයා පවසා ඇතැයි සී. අයි. ඩී. ය මෙහිදී කියා සිටියේය.

ඒ, සිංහල මව්වරුන් 3479 ක්, දෙමළ ජාතික මව්වරුන් 860 ක්, සහ මුස්ලිම් ජාතික මව්වරුන් 33 වශයෙන්.

ඔහු සිංහල මව්වරුන් දෙමළ මව්වරුන්ගෙන් සිසේරියන් සැත්කම් සිදුකරන අවස්ථාවලදී ඒ සඳහා සාමාන්‍යෙයන් ගතවන කාලයට වඩා අඩු කාලයක් ගත් බවත් සැත්කම් අවසන් වීමට ආසන්න මොහොතේදී ශල්‍යාගාරයේ රැඳී සිටි සහායක කාර්ය මණ්ඩලය වෙනත් රාජකාරී සඳහා පිටත් කිරීමට කටයුතු කර ඇති බවත් කුරුණෑගල රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයෙන් ලබාගත් ප්‍රකාශ ලබාදී ඇති බව සී. අයි. ඩී. කියා සිටියේය.

කුරුණෑගල රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියක් වන දීපානි නන්දසේන මහත්මිය ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් එම රෝහලේ සහකාර අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර තිබූ අතර එලෙස පැමිණිලි කිරීමෙන් අනතුරුව ෂාෆි වෛද්‍යවරයා සහ දීපානි නන්දසේන වෛද්‍යවරිය අතර රෝහලේ කොරිඩෝවේ උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවද සී. අයි. ඩී. ය අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී ෂාෆි වෛද්‍යවරයා දීපානි නන්දසේන වෛද්‍යවරියට පවසා ඇත්තේ මුදල් බලය මෙන්ම දේශපාලන බලය ද තමන් සතුව ඇති බවයි.

කෙසේවෙතත් ෂාෆි වෛද්‍යවරයා සිදුකළ සැත්කම් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිට පැමිණිලි 615 ක් ලැබී ඇති බවත් ඉන් පැමිණිලි 468 ක් සැකය මත පදනම්ව යොමු කරන ලද පැමිණිල බව සී. අයි. ඩී. ය පැවසුවේය.

කෙසේ වෙතත් සෙසු පැමිණිලි 147 සැත්කමින් පසු විවිධ සංකූලතාවයන්ට මුහුණ දෙන මව්වරුන්ගෙන් ලැබුණු පැමිණිලි බව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබේ.‍

විවිධ සංකූලතා සම්බන්ධයෙන් මව්වරුන්ගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබදව කොළඹ ජාතික රෝහලේදී SHG පරික්ෂණයක් සිදුකිරීමට අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙස ද සී. අයි. ඩී. ය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය.

එහිදී අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරුන්ගේ ඉල්ලීම මත අධිකරණයේ අදහස් දැක්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ සැත්කම්වලින් අනතුරුව මද සරු භාවයට හෝ විවිධ සංකූලතාවයන්යට මුහුණ දෙන මව්වරුන් SHG පරික්ෂණවලට යොමුකිරීමෙන් එය ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට තවත් අහිතකර බලපෑම් ඇති කළ හැකි බවයි.

ඒ අනුව අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමට ඉඩ නොදුන් අතර කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු වෛද්‍යවරුන්ගෙන් වාර්තාවක් ලබාගෙන එළැඹෙන 11 වනදා එය අධිකරණයට ඉදිරිපත්කරන ලෙස සී අයි ඩී යට නියෝග කළේය.

කෙසේවෙතත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ඇති චෝදනාවලට අදාළව පරීක්ෂණ සැහැල්ලුවට ගෙන ඇති බව පෙනී යන බවයි.

කෙසේ වෙතත් ෂාෆි වෛද්‍යවරයාගේ මාසික ආදායම රුපියල් දහනව ලක්ෂ විසිතුන්දහස් පන්සීයක් බවත් ඔහු පසුගිය කාලයේ පන්කෝටි තිස්ලක්ෂ හතලිස් හත්දහස් හයසීයක් වැය කර දේපල මිලදී ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වන්නේ යැයි සී අයි ඩී ය අධිකරණයට දන්වා ඇත.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට වැඩම කර සිටියේය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ද අද මාධ්‍ය හමුවක් පවත්වමින් ෂාෆි වෛද්‍යවරයාගේ විමර්ශන සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

+++++++++++++++++++++

සාෆි ගැන චෝදනා සනාථ වී නෑ

(27.06.2019 – 17:43 +0530 – lankadeepa.lk)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවක් හෝ අයතා වත්කම් ඉපැයූ බවක් හෝ මව්වරුන්ගේ පැලෝපීය නාල මිරිකූ බවක් හෝ මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

වෛද්‍ය සාෆි ශිහබ්දීන් සම්බන්ධ පැමිණිල්ල අද පස්වරු 2.00 ට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය මේ බව දැනුම් දුන්නේය.

වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා අත්අඩංගුවට ගැනීමේ දී අක්‍රමිකතා සිදුවී ඇති බව ද රහස් පොලිසිය කීවේය.

මෙම වෛද්‍යවරයා සිංහල මව්වරුන් 3479 ක්, මුස්ලිම් මව්වරුන් 860 ක් සහ ද්‍රවිඩ මව්වරුන් 33 ක් සිසේරියන් සැත්කම්වලට භාජනය කර ඇතැයි කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.

මෙම වෛද්‍යවරයාගේ සැත්කම්වලින් පසු ආසාත්මිකතා ඇති වූ බව කියමින් රහස් පොලිසියට ලැබුණු පැමිණිලි 615 ක් අතුරෙන් පැමිණිලි 468 ක් ගැන අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, ඒවා අතුරෙන් විමර්ශන මට්ටමේ ඇති පැමිණිලි 147 ක් අතුරෙන් මව්වරුන් 13 දෙනකු විශේෂඥ කමිටුවට යොමු කළ බවත්, එයින් පරීක්ෂණයට භාජනය කළ යුතු තත්වයේ සිටින්නේ දෙදෙනකු පමණක් බවත්, ඉතිරි පැමිණිලි 11 අසත්‍ය බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළ මව්වරුන් ලබන 30 වැනිදා එම පරීක්ෂණයට යොමුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

එම සිද්ධිය සම්බන්ධයෙන් පත්කර ඇති විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට පරීක්ෂණය සිදුකරන්නේ කෙසේද යන්න යොමුකර අධිකරණයට වාර්තා කරන ලෙස ද පැවසීය.

වෛද්‍ය සාෆි සමඟ වැඩ කළ වෛද්‍යවරුන්, හෙදියන් සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කළ බවත්, සාෆි වෛද්‍යවරයා මෙවන්නක් කර නැතැයි ඔවුන්ගේ ප්‍රකාශ අනුව තහවුරු වූ බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.

සාෆි වෛද්‍යවරයා සම්බන්ධ චෝදනා අනාවරණය නොවන නිසා ඔහු තවදුරටත් රඳවා තබා ගැනීම ගැන ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

+++++++++++++++++++++++++++++++++++

https://www.youtube.com/watch?v=L7Hsl2ywWXE
25.06.2019

+++++++++++++++++++++++++++++++++++

සිංහල හා දෙමළ මවුවරුන්ගේ සිසේරියන් ඉවර වෙන්න කලින් ෂාෆි තම සහය කාර්ය මණ්ඩල ඉවත් කළ බව ඇතැම් සාක්‍ෂිවලින් කියවුණා – සී.අයි.ඩි.ය අධිකරණයට කියයි; ජනතාව කුපිත කිරීමක් නෑ වඳ සැත්කම් සිද්ධිය හෙළිකර දිවයින ඉටු කළේ ජාතික වගකීමක් – නීතිඥ ටෙරී ප‍්‍රනාන්දු

(28.06.2019 – divaina.com)

  • වෛද්‍ය වෘත්තියට කැළලක් නොවන ලෙස හා වේගයෙන් සිසේරියන් නොකරන ලෙස ෂාෆිට ඔහුගේ ප‍්‍රධානීන් අවවාද කර තිබුණා, මුස්ලිම් කාන්තාවන්ට සිසේරියන් කිරීමේදී වැඩි වෙලාවක් අරන්, සිංහල හා දෙමළ මවුවරුන් සිසේරියන්වලට පොළඹවලා – සී.අයි.ඩි. ය අධිකරණයට කියයි
  • නඩුව යළිත් 11 වැනිදා
  • ෂාෆි මුදාහරින්න ආරක්‍ෂක ලේකම්ට වාර්තාවක් දෙනවා – සී.අයි.ඩි. ය අධිකරණයට කියයි
  • මුස්ලිම් කාන්තාවන් දරුවන් බිහි කළ විට ෂාෆි දෙවියන්ට තුති පුදා තිබෙනවා. එවැනි ක‍්‍රියා වෘත්තියට නොගැළපෙන බව ප‍්‍රකාශ කළ එක්තරා වෛද්‍යවරියක් සමග ඔහු ආලින්දයේදී උණුසුම් කතාබහක් ඇතිවී ‘මට සල්ලි තිබෙනවා. දේශපාලන බලය තියෙනවා, මට ඕන දෙයක් කරන්න පුළුවන්’ කියා ඔහු එම වෛද්‍යවරියට පවසා තිබූ බවටද ප‍්‍රකාශ ලබාදී තිබෙනවා.

වඳ සැත්කම් සිද්ධිය ගැන හෙළි කිරීමෙන් ‘දිවයින’ පත්තරේ කරලා තිබෙන්නේ ජනතාව කුපිත කිරීමක් නොවෙයි. මාධ්‍ය ආයතනයක් ලෙස ඔවුන් වෙත පැවරුන වගකීම ඉටුකිරීමක් පමණයි යැයි නීතිඥ ටෙරී ප‍්‍රනාන්දු මහතා ඊයේ (27 දා) කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළේය.

සැකකාර ෂාෆි වෛද්‍යවරයාගෙන් සිසේරියන් සැත්කම් කරගත් මවුවරුන් පත්තරේ එම තොරතුරු වාර්තා කරනතුරු දැනගෙන සිටියේ නෑ තමන්ට එහෙම අපරාධයක් සිදුවී ඇති දැයි කියලා. පත්තරේ පළවුණාට පසුව තමයි ඔවුන් කලබල වෙලා ඒ ගැන සොයන්න ගත්තේ යැයිද නීතිඥ ටෙරී ප‍්‍රනාන්දු මහතා එහිදී ප‍්‍රකාශ කළේය.

මුස්ලිම් ජාතික වෛද්‍යවරයකු වඳ සැත්කම් කළ බවට පසුගිය මැයි 23 වැනිදා ‘දිවයින’ පුවත්පත ප‍්‍රධාන ශීර්ෂ පාඨය මගින් පළකළ පුවත නිසි සොයා බැලීමකින් තොරව කටකතාවක් අනුව පළකර ඇති පුවතක් බවත් ආරක්‍ෂක අංශ මැදිහත් නොවුණේ නම් එමගින් රට තුළ අහිතකර වාතාවරණයක් ඇතිවීමට ඉඩ තිබූ බවත් පවසමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරා මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමට පිළිතුරු දෙමින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ටෙරී ප‍්‍රනාන්දු මහතා එලෙස ප‍්‍රකාශ කළේය.

එම නඩුව කුරුණෑගල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සම්පත් කාරියවසම් මහතා ඉදිරියේදී ඊයේ (27 දා) කැඳවිණි. එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරා මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.

“මෙම සිද්ධිය ගැන ‘දිවයින’ පත්තරේ පළවූ දවසේම වැඩබලන පොලිස්පතිවරයා විසින් කරන ලද නියෝගයක් අනුවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේ. එම වෛද්‍යවරයාගෙන් සැත්කම් කරගත් මවුවරුන් කලබල වී පැමිණිලි කරන්න පටන් ගත්තා. ඒ නිසා කුරුණෑගල පොලිසිය ඔබතුමාගේ ගරු අධිකරණයට කරුණු වාර්තා කර කුරුණෑගල පොලිසිය විසින් සැකකාර වෛද්‍යවරයාව අත්අඩංගුවට ගත්තේ. එම සැකකරු ‘ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ’ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් මුදල් ලබාගෙන දේපළ මිලදී අරගෙන එම සංවිධානයේ අරමුණු ඉටු කිරීම සඳහා කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී තිබූ නිසා අත්අඩංගුවට ගත් ඔහු ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයාගෙන් දින 90 රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන කළා.

එම සැකකරු රුපියල් කෝටි ගණන් වටිනා දේපළ මිලදී ගැනීම සහ සමහර කාන්තාවන්ට ඔවුන්ගේ අකැමැත්ත මත සිසේරියන් සැත්කම කිරීම ගැන පැමිණිලි ලැබී තිබුන නිසා ඔහුගේ බැංකු ගිණුම් වාර්තා ලබාගැනීම සහ ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීම සඳහා පොලිසිය නියෝග ලබාගෙන තිබුණා. එම වඳ සැත්කම් සිද්ධිය සම්බන්ධ යැයි කියැවුණ සැකකාර වෛද්‍යවරයා සතු දේපළවලට යම්කිසි පිරිසක් හානි සිදුකළහොත් මුස්ලිම්, දෙමළ අරගලයක් සිදුවිය හැකි බවට කරුණු වාර්තා වී තිබුණා. ත‍්‍රස්තවාදී කණ්ඩායමකට මුදල් ලබාදී ඔවුන්ගේ අරමුණු ඉටුකිරීම, ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම හා පලාගොස් සැගවී සිටීමට ඇති ප‍්‍රවණතාව යන කරුණු නිසා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු උපයන මුදලට වඩා මුදලක් රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ඔහුට ලැබී තිබුණ බවටත් තොරතුරු ලැබී තිබුණා. විමර්ශන නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ සරත් වීරකුමාර මහතාගෙනුත් ප‍්‍රකාශ සටහන් කළා. එම වෛද්‍යවරයා කුරුණෑගල හා අවට ප‍්‍රදේශයකින් රුපියල් කෝටි ගාණක් වැයකර දේපළ මිලදී ගෙන තිබුණ බවට බුද්ධි නිලධාරීන් හෙළිකර තිබුණා. ඔහු රුපියල් පන් කෝටි තිස් ලක්‍ෂයකට අධික මුදලක් නිවාස, ගෙවල්, වතුපිටි මිලදී ගන්න වැයකර තිබුණා. ඔහුගේ මාසික ආදායම මසකට රුපියල් දහනම ලක්‍ෂ තිස්තුන් දහසකට අධික බවයි අනාවරණය වී තිබෙන්නේ.

කෙසේ නමුත් පොලිසිය ඇතුළු බුද්ධි අංශවලින් ලබාගත් තොරතුරු අනුව ඔහු ත‍්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ බවට අනාවරණය වී නෑ. ඒ නිසා මේ වන විට රැඳවුම් නියෝග මත සිටින ඔහු මුදාහැරීම සඳහා රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයාට වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නවා.

එම වෛද්‍යවරයා වේගයෙන් සිසේරියන් සැත්කම් කරන අයකු බවත් විනාඩි 10 – 15 ක් ඇතුළත ඔහුට එම සැත්කමක් කළ හැකි අයෙකු බවත් කුරුණෑගල රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ලබාගත් සාක්‍ෂි අනුව අනාවරණය වුණා. ඔහු එම සැත්කම් කිරීමේදී පැලෝපීය නාළවලට හානි කළ බවට හා ගර්භනී මවුවරුන්ගේ අවයව ශල්‍ය උපකරණ මගින් අකර්මණ්‍යතාවට පත්කරන බවට කට කතාවක් පැතිර යෑම නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසට දැනුම් දීමක් කර ඇති බවත් සමහර සාක්‍ෂිකරුවන්ගෙන් ලබාගත් ප‍්‍රකාශ අනුව හෙළිවී තිබුණා.

වෛද්‍ය වෘත්තියට කැළලක් නොවන ලෙසට කටයුතු කරන්නැයි හා වේගයෙන් සිසේරියන් සැත්කම් නොකරන්නැයි ඔහුගේ වෛද්‍ය ප‍්‍රධානීන් අවවාද කර තිබුණ බවත් හෙළිවුණා. එම වෛද්‍යවරයා සිංහල හා දෙමළ කාන්තාවන්ගේ සිසේරියන් සැත්කම් කිරීම සඳහා පෙළඹවීමක් කර ඇති බව මෙන්ම සිය කැමැත්තෙන් එකී සැත්කම කිරීමට ඉදිරිපත් වන මුස්ලිම් ජාතික මවුවරුන් ඉන් වැළැක්වීමට ඔහු පියවර ගත් බවත් සාක්‍ෂි අනුව හෙළිවී තිබෙනවා.

සිංහල හා දෙමළ කාන්තාවන්ට සිසේරියන් සැත්කම් කරන විට ඔහු ඒවා අවසන් වීමට පෙර තම සහාය කාර්ය මණ්ඩල ඒ අසලින් ඉවත් කිරීමට සමහර අවස්ථාවලදී පියවර ගෙන ඇති බවත් අන් අයට වඩා වැඩි වෙලාවක් ගෙන මුස්ලිම් මවුවරුන්ගේ සැත්කම් කරන බවට සමහර සාක්‍ෂිකරුවන් ලබාදුන් සාක්‍ෂි අනුව හෙළිවී තිබුණා.

මුස්ලිම් කාන්තාවන්ට සිසේරියන් සැත්කම් කර බිලිඳුන් පිටතට ගත් පසු ඔහු සිය භාෂාවෙන් දෙවියන්ට ස්තුති කරන බවටත් සාක්‍ෂි හෙළිවී තිබුණා.

එවැනි ක‍්‍රියා වෘත්තියට නොගැළපෙන බව ප‍්‍රකාශ කළ එක්තරා වෛද්‍යවරියක් සමග ඔහු ආලින්දයේදී උණුසුම් කතාබහක් ඇතිවී ‘මට සල්ලි තිබෙනවා. දේශපාලන බලය තියෙනවා, මට ඕන දෙයක් කරන්න පුළුවන්’ කියා ඔහු එම වෛද්‍යවරියට පවසා තිබූ බවද ප‍්‍රකාශ ලබාදී ඇතැයිද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී ප‍්‍රකාශ කළේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශිරාස් නූර්දීන් මහතා එහිදී කරුණු දක්වමින් එම සැකකරුට එරෙහිව එල්ල වූ චෝදනා අසත්‍ය බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්ම කරුණු දක්වා ඇති බැවින් ඔහු මුදාහැරීමට නියෝගයක් කරන ලෙස ඉල්ලා සිටියේය.

‘ලීගල් ඇක්ෂන්’ නීති ආධාර ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ චානුක අබේවික‍්‍රම මහතාද එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වීය.

නීතිඥ ටෙරී ප‍්‍රනාන්දු, ඉන්දසිරි සේනාරත්න, නිලූෂි උයන්වත්ත ඇතුළු නීතිඥ මණ්ඩලයක් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ.

පොලිස් අධිකාරි නුවන් අසංක, සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරා පොලිස් පරීක්‍ෂක ඉලංගසිංහ ඇතුළු නිලධාරීහු පිරිසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කළහ.

සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් නීතිඥ ශිරාස් නූර්දීන්, එරංග ගුණවර්ධන, හිජාස් හිස්බුල්ලා, පේ‍්‍රමරත්න තෙන්නකෝන්, සයිරාස් මොහොමඩ් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ. එම නඩුව ලබන 11 වැනිදා දක්වා කල්තැබිණි.

– ඒ. ජේ. ඒ. අබේනායක

+++++++++++++++++++++++++++++++++++

කුරුණෑගල රෝහලේ තවත් සැක කටයුතු වෛද්‍යවරයෙක් – චෝදනා ලැබූ වෛද්‍යවරයා වෛද්‍ය සාෆිගේ ඥාතියෙක්

(29.06.2019 – nethnews.lk)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද ඒකකයේ පලපුරුද්දක් නොමැති වෛද්‍යවරයෙකු සිසේරියන් සැත්කම් සිදු කරන බවට චෝදනා එල්ල වී තිබෙනවා.

වෛද්‍යවරයෙකු ලෙස පත්වීම් ලැබ මාස 06 ක පමණ කාලයක් ගතව ඇති කණිෂ්ඨ වෛද්‍යවරයෙකු එලෙස එම රෝහලේ ප‍්‍රසව හා නාරිවේද ඒකකයේ සිසේරියන් සැත්කම් සිදු කරන බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. එම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් මගින් ගර්භාෂයෙන් පිටතට ගන්නා දරුවන් සාමාන්‍ය ලෙස ප‍්‍රතිචාර නොදක්වන බවත්, බොහෝවිට එම දරුවන් නොමේරූ හා අලුත උපන් බිළිඳුන්ගේ ඒකකයට ඇතුළත් කිරිමට සිදුව ඇති බවත් පැවසෙනවා.

ඊට හේතු වී ඇත්තේ නිසි අයුරින් ගර්භාෂයේ සිටින දරුවන් පිටතට නොගැනීම බවයි රෝහල් කාර්යය මණ්ඩලය පෙන්වා දී ඇත්තේ. මේ සම්බන්ධයෙන් නිර්වින්දන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු පිරිසක් රෝහල් අධ්‍යක්‍ෂවරයා වෙත පැමිණිලි කර තිබෙනවා.

ඉන්පසු රෝහල් අධ්‍යක්‍ෂවරයා විසින් අදාළ වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණත්, දින කිහිපයකට පසු යළි එම වෛද්‍යවරයා අදාළ ඒකකයේ සීසේරියන් සැත්කම් සිදු කරන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. අදාළ ඒකකය භාර ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාගේ මැදිහත්වීමෙන් එය සිදුව තිබනවා.

එම විශේෂඥ වෛද්‍යවරයා පවසා ඇත්තේ දෛනික සේවා මුර සඳහා යෙදවීමට අවශ්‍ය තරම් වෛද්‍යවරුන් නොමැති බැවින් අදාළ නවක වෛද්‍යවරයා සීසේරියන් සැත්කම් සඳහා යොමු කළ යුතු බවයි. චෝදනා එල්ල වන නවක වෛද්‍යවරයා, විශේෂඥ වෛද්‍ය උපදෙස් නොමැතිව තනිව සිසේරියන් සැත්කම් සිදු කිරීම සුදුසු නොවන කි‍්‍රයාවක් බවයි රෝහල් කාර්යය මණ්ඩලය පෙන්වා දී ඇත්තේ.

මෙම නවක වෛද්‍යවරයා සැකකටයුතු සිසේරියන් සැත්කම් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිගේ ඥාතිවරයෙකු බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

– හේමන්ත කහවලගේ

+++++++++++++++++++++++++++++++++++

රතන හිමියන්ගේ පැමිණිල්ල ගැන විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය කියයි

(29.06.2019 – 15:23 +0530 – hirunews.lk/sinhala)

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ (28) පොලිස් මූලස්ථානයට සිදුකළ පැමිණිල්ල පිළිබදව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.

රතන හිමියන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ නිසි අයුරින් සිදු නොවන බව සදහන් කරමින්.

ඒ අනුව, වැඩබලන පොලිස්පතිවරයා ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැදවා තිබෙනවා.

මේ අතර වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පිළිබඳ නීතීඥ සංවිධාන ජාතික එකමුතුවද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා.

+++++++++++++++++++++

සාෆි ගැන සී.අයි.ඩීයෙන් මෝසමක් – විපක්ෂය ජනපති කොමිසමක් ඉල්ලයි

(02.07.2019 – 07:32 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවේ පසුවන වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන් එමගින් ඉල්ලා ඇත්තේ වන්ධ්‍යකරණයට භාජනය වූ බව කියන මව්වරුන් 147 දෙනෙකු එච්.එස්.ඩී. නම් පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට යළි අවසර ලබාදෙන ලෙසටයි.

මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අවසරය ඉල්ලා තිබූ අතර, පැමිණිලි පාර්ශවයේ නීතිඥයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධයත් සමඟ අදාළ නඩු කටයුත්ත වැඩිදුර විභාගය සඳහා මෙම මස 11 වන දා දක්වා කල් තැබීමට තීරණය කළා.

මේ අතර, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ද ඒ පිළිබදව අදහස් දක්වා සිටියා. එහිදී ඔහු කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කඩිනමින් ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

වෛද්‍ය ෂාෆිට ඇති චෝදනා සෙවීමට ජනාධිපති කොමිසමක් අවශ්‍යයි – උදය ගම්මන්පිල

(01.07.2019 – 17:36 +0530 – lankadeepa.lk)

වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සෙවීමට ප‍්‍රසිද්ධියේ සාක්ෂි විමසන ජනාධිපති කොමිසමක් වහාම පත්කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු සිසේරියන් සැත්කමට ලක් කළ බව කියන මව්වරුන්ගෙන් 25% ක්ම පැමිණිලි කර ඇති නිසා එය විභාග කළ යුත්තක්ව තිබෙන බව පෙනෙන්නේ යැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේ ද කියා සිටියේය :

“වෛද්‍ය ෂාෆි වඳ සැත්කම් කළා කියන්න දේශපාලකයින්ට බැහැ, වගේම සිදු නොකළා කියන්න පොලිසියටත් බෑ. ඒක කියන්න පුළුවන් විශේෂඥ වෛද්‍යවරුන්ට විතරයි. රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා ප‍්‍රසිද්ධියේ අක්කර දහස් ගණනක් කැලේ විනාශ කළ බව ඔප්පු කරගන්න බැරි රටක ෂාෆි ශිහාබ්දීන්, ඇඟ ඇතුලේ තිබෙන පැලෝපීය නාලය විනාශ කර තිබුණත් ඒක ඔප්පු කර ගන්න පුළුවන් වේ යැයි මම හිතන්නේ නෑ. මේ පිළිබඳ සමාජ විශ්වාසය ඇති වෙන්න නම් ප‍්‍රසිද්ධියේ සාක්ෂි විමසන ජනාධිපති කොමිසමක් වහා පත් කළ යුතුයි. සැත්කමට භාජනය වුණු මව්වරුන්ගෙන් 25% ක්ම පැමිණිලි කළ නිසා මෙහි විභාග කළ යුත්තක් තිබෙන බව පේනවා’’ යැයි ද මන්ත‍්‍රීවරයා කීවේය ෴

+++++++++++++++++++++

චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සාෆිගේ ඥාතියෙක් යැයි කියන වෛද්‍යවරයෙකු ගැනත් පැමිණිළි

(03.07.2019 – nethnews.lk)

කුරුණෑගල ශීක්‍ෂණ රෝහලේ පළපුරුද්දක් නොමැතිව සිසේරියන් සැත්කම් සිදුකළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් බලධාරීන් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. යුද හමුදාවේ සේවය නිරත පුද්ගලයෙකු විසින් එම පැමිණිල්ල කර ඇති බවයි නෙත් නිවුස් වෙත අනාවරණ වුණේ.

සිය බිරිද දරුවෙකු බිහි කිරීමේදී අදාළ වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමක් සිදුකළ බවත් එහිදී බඩවැල් කැපී යාම නිසා සිය බිරිඳ, එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප‍්‍රතිකාර කිරිමට සිදුවූ බවත් අදාළ හමුදා සාමාජිකයා කළ එම පැමිණිල්ලේ සඳහන්.

මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් නෙත් නිවුස් ඉකුත් 29 වැනිදා පළමු වරට කරුණු අනාවරණ කළා.

වෛද්‍යවරයෙකු ලෙස පත්වීම් ලැබ මාස 06 ක පමණ කාලයක් ගතව ඇති කණිෂ්ඨ වෛද්‍යවරයෙකු එලෙස එම රෝහලේ ප‍්‍රසව හා නාරිවේද ඒකකයේ සිසේරියන් සැත්කම් සිදු කරන බවටයි එම වෛද්‍යවරයා සම්බන්ධයෙන් නෙත් නිවුස් තොරතුරු අනාවරණ කළේ.

එම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් මගින් ගර්භාෂයෙන් පිටතට ගන්නා දරුවන් සාමාන්‍ය ලෙස ප‍්‍රතිචාර නොදක්වන බවත්, බොහෝවිට එම දරුවන් නොමේරූ හා අලුත උපන් බිළිඳුන්ගේ ඒකකයට ඇතුළත් කිරිමට සිදුව ඇති බවත් පැවසෙනවා. ඊට හේතු වී ඇත්තේ නිසි අයුරින් ගර්භාෂයේ සිටින දරුවන් පිටතට නොගැනීම බවයි රෝහල් කාර්යය මණ්ඩලය පෙන්වා දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් නිර්වින්දන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු පිරිසක් රෝහල් අධ්‍යක්‍ෂවරයා වෙත පැමිණිළි කිහිපයක්ද කර තිබුණා. ඉන්පසු රෝහල් අධ්‍යක්‍ෂවරයා විසින් අදාළ වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණත්, දින කිහිපයකට පසු යළි එම වෛද්‍යවරයා අදාළ ඒකකයේ සීසේරියන් සැත්කම් සිදු කරන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

අදාළ ඒකකය භාර ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාගේ මැදිහත්වීමෙන් මෙම වෛද්‍යවරයා යළි එම සැත්කම් සිදුකරන බවටයි නෙත් නිවුස් මෙහිදී අනාවරණ කළේ. මෙම නවක වෛද්‍යවරයා සැකකටයුතු සිසේරියන් සැත්කම් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිගේ ඥාතිවරයෙකු බවට ද තොරතුරු වාර්තා වනවා ෴

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *