ජනාධිපති යලිත් ජනතාව රවටනවාද ?…. පුරුදු පරිදි බොරු කියනවාද ?….

(03.10.2017 – 03:26 +0530 – lankacnews.com)

ජනාධිපතිවරයා මේ උත්සාහ දරන්නේ නැවතත් ජනතාව ගොනාට ඇන්දවීමටදැයි ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා ප‍්‍රශ්න කරයි.

මේ බව සදහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය :

= ජනාධිපතිවරයා මේ උත්සාහ දරන්නේ නැවතත් ජනතාව ගොනාට ඇන්දවීමටද ? =

යෝජිත නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව රටේ ඒකීය භාවයට හානි කරන රට බෙදන උත්සාහයක් බැවින් රටට ආදරය කරන ආගමික නායකයන් ප‍්‍රමුඛ බහුතර ජනතාවගේ විරෝධය මේ වන විට ඒ සදහා එල්ල වී තිබේ. ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල සාමාජිකයන් වන ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ මම ලිඛිතව කිහිප අවස්ථාවකදීම කරුණු සහිතව මේ සදහා විරෝධය පල කලද ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ඉදිරිපත් කල අතුරු වාර්ථාවෙන් (කෙටුම්පත) පැහැදිලි වන්නේ ඔවුන් ඒ විරෝධයන් පිලිබදව කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බවය.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්ථාව (කෙටුම්පත) පසුගිය දිනක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ අගමැති වරයා විසිනි. අතුරු වාර්තා කෙටුම්පත සකස් කිරීමේදී මේ වන විට ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙයුම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇති වාචික හා ලිඛිත සංදේශ හෝ සැලකිරීම් කිසිවක් සැලකිල්ලට ගෙන නොමැත. අපගේ ස්ථාවරයන්ට හාත්පසින්ම පටහැනි වූ කරුණු එම අතුරු වාර්තා කෙටුම්පත් වලට ඇතුලත් කර ඒවා එකග වූ කරුණු ලෙස සාවද්‍ය ලෙස හුවා දැක්වීම පිලිබදව අපි දිගින් දිගටම විරෝධය පල කල බවද, අවධාරණය කරනු කැමැත්තෙමි.

බුදු දහමට ප‍්‍රමුඛස්ථානය ලැබේ යනුවෙන් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ දැනට ඇති වගන්තිය ඉවත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය ලෙස අපි මෙම මෙහෙයුම් කමිටුවේදී දැඩි ලෙස විරෝධය පල කල අතර, ඒ සම්බන්ධයෙන් ඇති වත්මන් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය ඒ ආකාරයෙන්ම තිබිය යුතු බව අපි නැවත නැවතත් අවධාරණය කලද එම 09 වන වගන්තිය ඉවත් කිරීමේ අරමුණින් ආණ්ඩුව ඒ සදහා විකල්ප පද යෙදුම් යෝජනා කරමින් සිටී. එය බරපතල අනතුරුදායක තත්වයකි. මෙම අතුරු වාර්තාවේ (කෙටුම්පත) සිංහල භාෂාවෙන් ඒකීය යන වචනය තිබුනද දෙමළ භාෂවෙන් ඇත්තේ සන්දීය යන අදහස රැගත් වචනයකි. මේ අනුව යෝජිත නව ව්‍යවස්ථාව පැහැදිලිවම බෙදුම්වාදය ශක්තිමත් කරන්නකි. යෝජිත නව ව්‍යවස්ථාව පිලිබද අපගේ විවේචන අදහස්, හා නිරීක්‍ෂණ තහවුරු කරමින් බුද්ධ ශාසන කාර්ය සාදන මණ්ඩලය මෙමගින් බෙදුම් වාදයට දොර ඇරෙන බව ඉතා පැහැදිලිව කරුණු දක්වමින් ජනාධිපතිවරයාටද ලිපියක් යොමුකර තිබුණි. පුදුමය වන්නේ එය ජනාධිපතිවරයා වෙත යොමු කලද එහි අඩංගු කරුණු පුවත්පත් වල පලකෙරෙන තුරු ජනාධිපතිවරයා නොදැන සිටීමය. ඔහු බුද්ධ ශාසන කාරය සාදන මණ්ඩලයේ චෝදනා ප‍්‍රතික්ෂේප කරන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජික ජයම්පති වික‍්‍රමරත්න මහතා දුරකථනයෙන් අමතා පැහැදිලි කර ගැනීමක් ලබා ගැනීමෙන් පසුවය. තමන් වරක් නොව දෙවරක්ම වික‍්‍රමරත්න මහතාගෙන් මේ පැහැදිලි කර ගැනීම සිදු කල බව ජනාධිපතිවරයා ප‍්‍රසිද්ධියේම කීවේය.

අපට ඇති ප‍්‍රශ්ණය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයා නොදැනුවත්වද යන්නයි. එසේනම් එය භයානක තත්වයකි. රාජ්‍ය නායකයා නෙැදැනුවත්ව රටක ව්‍යවස්ථාව සකස් වන්නේ කෙසේද. එහි අන්තර්ගතය කුමක් වුවද ඒ ගැන රාජ්‍ය නායකයා දැන සිටිය යුතු නොවේද. රටේ ව්‍යවස්ථාව වැනි අතිශය බරපතල කාරණාවක් සම්බන්ධයෙන් එක් අයෙකුට දුරකථන ඇමතුමක් දී සෑහීමට පත්වීමට ජනාධිපතිවරයෙකුට හැකිද.

මෙමගින් තහවුරු වන්නේ එක්කෝ ජනාධිපතිවරයා නැවත මේ රටේ ජනතාව ඇන්දවීමට උත්සාහ දරණ බවය. නැතහොත් ඔහු මේ රඟ දක්වන්නේ පසුගිය කාලය පුරාම රඟ දැක්වූ බොරු කීමේ නාටකයේ තවත් එක් ජවනිකාවක් බවය. එසේත් නැතිනම් මතුවන ගැටළුව වන්නේ බුද්ධ සාසන කාර්ය සාදන මණ්ඩලය ඉඩදිරිපත් කරන කරුණු සරල කාරණා ලෙස ගෙන ජනාධිපතිවරයා එහි ඇතුලත් කරුණු වල බැරෑරුම්කම යටපත් කිරීම සදහා දේශපාලන පිලිතුරක් ලබා දී ඇති බවය.

වත්මන් ආණ්ඩුවට නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට ජන වරමක් නොමැත. 2015 දී බලයට පත් වත්මන් ජනාධිපතිවරයා පොරොන්දු වූයේ ජන මත විචාරනයකින් පමණක් සංශෝදනය කල හැකි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්ති වලට අත නොතබා ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන බවටය. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම, මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම එමගින් සිදුවනු ඇතැයි ජනතාව තුල බලාපොරොත්තුවක් ඇතිවිය. වර්තමාන ආණ්ඩුවට රටේ ඒකීය භාවය බිද දැමීමට බුදු දහමට ලබා දී ඇති ප‍්‍රමුඛත්වය හා බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීමේ රාජ්‍ය යුතුකම අහෝසි කිරීමට ෆෙඩරල් ආකෘතියක් හෝ ඊට සමාන රාජ්‍ය ක‍්‍රමයක් ඇති කිරීම සදහා ව්‍යවස්ථා වෙනසක් කිරීමට කිසිදු ජන වරමක් නොමැත. එවැනි ජන වරමක් නොමැතිව තිබියදී ආණ්ඩුව නව ව්‍යවස්ථාව සමිමත කර ගැනීමට යන්නේ ජනතාව ගොනාට අන්දවමිනි. ඉන් ගම්‍ය වන්නේ යෝජිත ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව රටටත් ජනතාවටත් හිතකර එකක් නොවන බවය. මේ ගෙනෙන්ට හදන නව ව්‍යවස්ථාව කොටි ඩයස් පෝරාවට සහ ආණ්ඩුවේ ඊනියා ජත්‍යන්තර ගජ මිතුරන්ගේ අවශ්‍යතා ඉටුකරන ලේඛණයක් මිස අන් කිසිවක් නොවේ. මේ ලබා දෙන්නට උත්සාහ දරන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී තමන් ජයග‍්‍රහණය කරවීමට සහය පල කල කොටි ඩයස් පෝරාවට සහ ඊනීයා ජාත්‍යන්තර ගජ මිතුරන්ට ඒ වෙනුවෙන් ලබාදෙන සන්තෝසමකි. පසුගිය ජනාධිපතිවරණ සමයේ දෙමළ ජාතික සංධානය සහ වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධානීන් අතර, ඇතිවූයේ යැයි කියන රහසිගත එගතාවයන් පිලිබද ලියවිල්ලක් ප‍්‍රකාශයට පත් විය. එහි සදහන් වූයේද ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකි. මේ සිදුවන්නේ එයදැයි අපට සාධාරණ සැකයක් මතුවෙයි. එසේ නොවන්නේ නම් ආණ්ඩුව මෙලෙස රටටත් ජනතාවටත් කොලේ වසා ගැසිය යුතු නැත.

ඒ නිසා අප ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවට බල කර සිටින්නේ වහාම යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රටට පිලිගත හැකි පැහැදිලි කිරීමක් කරන ලෙසය. එසේ නොකර ජනතාවගේ ඇස වසමින් ඊනියා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ නම් එකී උත්සාහය පරාජය කිරීමට එක්වන ලෙස රටට ආදරය කරන සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු.

ප‍්‍රසන්න රණතුංග
කැදවුම්කරු
ඒකාබද්ධ විපක්‍ෂය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *