ජවිපෙ බෞද්ධයන් හෙලා දකිමින් මියන්මාර රෝගින්‍යා සරණාගතයින් වෙනුවෙන් නැගී සිටී….

(28.09.2017 – 16:40 +0530 – lankacnews.com)

ගල්කිස්සේ රදවා සිටි මියන්මාර රෝගින්යා සරණාගතයින් සම්බන්ධයෙන් මෙරට සංවිධාන කිහිපයක් එක්ව සිදු කල විරෝධය පෑම හෙලා දකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය :

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසමේ භාරකාරිත්වය යටතේ ලංකාවේ තාවකාලිකව රඳවා සිටින රෝහින්ග්‍යා සරණාගතයින්ට පසුගිය 26 දින භික්‍ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් හිරිහැරකොට පහරදුන් බවට වාර්තා පළවී තිබේ. ජාතිවාදී හා ආගමික අන්තවාදී ගැටුම් නිසා අසරණභාවට පත්ව දිවි බේරාගැනීමට, රැකවරණ සොයා පැමිණ සිටි කුඩා ළමුන් හා කාන්තාවන් ඇතුලු 30 දෙනෙක් පමණ වන මෙම සරණාගත පිරිසට හිරිහැර කිරීම ශිෂ්ටසම්පන්න සමාජයක සිදුනොවිය යුතු, කිසිවෙකුටත් අනුමත කළ නොහැකි හා මනුෂ්‍යත්වයට ගරුකරන සියලු දෙනා විසින් හෙළා දැකිය යුතු ක්‍රියාවක් ලෙස අපි දකිමු.

ලොව පුරා සිදුවන ජාතිවාදී ආගමික අන්තවාදී ගැටුම් නිසා කාන්තාවන්, ළමුන් ඇතුළු විශාල ජනතාවක් මරණයටත් වේදනාවටත් පත්වෙමින් සිටී. ජාතිවාදය හා ආගමික අන්තවාදය කුමන රටේ තිබුණත්, කුමන වර්ගයෙන්, කුමන භාෂාවෙන්, කුමන පැත්තෙන් ක්‍රියාත්මක වුවත් එය ජනතාවට හානියක් වන අතර මනුෂ්‍යත්වයට නිගා දෙන ම්ලේච්ඡු ක්‍රියාවන් වේ. ලොව සියලූම වර්ගයේ ජාතිවාදයන් හා ආගමික අන්තවාදයන් අප හෙළා දැකිය යුත්තේ ඒ නිසාය. එක් ජාතිවාදයක් හෝ ආගමික අන්තවාදයක් වැරදි නිසා තවත් එවැනිම ජාතිවාදයක් හෝ ආගමික අන්තවාදයක් සාධාරණ වන්නේ නැත.

ලංකාව තුළද දැන් කලක සිට විවිධ වර්ගයේ ජාතිවාදී හා ආගමික අන්තවාදී කණ්ඩායම්වල ගැටුම් සිදුවෙමින් තිබේ. ජාතිවාදී ගැටුම් නිසා ලංකාවට පසුගිය කාලයේ විශාල හානි සිදුවූ අතර තිස් අවුරුදු ජාතිවාදී යුද්ධයකටද මුහුණ දීමට සිදුවිය. එහි සමහර අයහපත් ප‍්‍රතිඵලවලට අපේ රට තවමත් මුහුණ දෙමින් සිටී. ලංකාවට විදේශ මැදිහත්වීම් සිදුවීමටද එම ගැටුම් හේතුවිය. එසේ තිබියදී යළි යළිත් ලංකාව තුළ ඉතාම කුඩා කණ්ඩායම් ජාතිවාදී හා ආගමික අන්තවාදී ලෙස හැසිරීම කණගාටුදායකය.

රෝහින්ග්‍යා සරණාගතයින් ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය නොවේ. 2008 වසරේ සිට වරින් වර ඉතා කුඩා පිරිස් කිහිපයක් ලංකාවට පැමණ තිබෙන අතර එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම මගින් ඔවුන් පසුව වෙන රටවලට යවා තිබේ. දැන් පැමිණ සිටින සුළු පිරිසද ලංකාවේ සිටිනුයේ තාවකාලිකවය. ඒ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ භාරකාරිත්වය තුළය. එසේ තිබියදී මේ අවස්ථාවේ මෙම සරණාගතයන් බියවද්දමින් ඔවුනට පහරදීම කිසිදු යුක්ති ධර්මයකට, කිසිදු ආගමික දර්ශනයකට සාධාරණය කළ නොහැකි පහත් ක්‍රියාවක් වේ. මේ නිසා අපකීර්තියට පත්වන්නේ ශ්‍රී ලංකාවත්, එහි ජනතාවත්, ආගමික සංස්ථාවනුත්ය.

මෙහි තවත් පැත්තක් තිබේ. මෙවැනි ක්‍රියාවලදී මේවා වැලැක්විය යුතු, ආණ්ඩුවේ බලධාරීන්ගේ ක්‍රියාකාරිත්වයද ඉතාම අලස හා වගකීම් විරහිත එකකි. රෝහින්ග්‍යා සරණාගතයින් පිළිබඳ විවිධ බොරු ප‍්‍රවෘත්ති රට තුළ පැතිරවීමට කුඩා පිරිසකට හැකිව තිබෙන්නේ බලධාරීන් මේ පිළිබඳව සත්‍යය කල් ඇතිව ජනතාවට දැනුවත් නොකිරීම නිසාය. එසේම දේශපාලන වශයෙන් බංකොළොත් වූ ධනපති දේශපාලන නායකයන්ද මෙම අන්තවාදී පිරිස පසුපස සිටින බව පෙනේ. අවසානයේ මින් අපකීර්තියට පත් වනුයේ ඔවුන් නොව ශ්‍රී ලංකාවය.

එබැවින් කුමණ පැත්තෙන් කුමණ තර්ක මත ජාතිවාදය හා ආගමික අන්තවාදය වැපිරුවද එය පොදුවේ හානිදායක එකක් නිසා එයට ඉඩ නොදිය යුතුය. රෝහින්ග්‍යා සරණාතගතයන්ට හිරුහැර කිරීම මනුෂ්‍යත්වයට හා ශිෂ්ට සම්පන්න සමාජයකට කිසිසේත් නොගැලපෙන දෙයක් වන බැවින් සියලු දෙනාම එම පහත් ක්‍රියාව හෙළා දැකිය යුතු යයි අප විශ්වාස කරමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2017.09.28

+++++++++++++++++++++++++++++

රෝගින්‍යා සරණාගතයින් ලංකාවේදී දුෂණය කරලා.. බරපතල චෝදනා එල්ල වෙයි..
(28.09.2017 – 18:48 +0530 – lankacnews.com)

මෙරට රැදවුම් කදවුරක රදවා සිටි මියන්මාර රෝගින්යා සරණාගතයකු ලිංගික අතවරයකට ලක් කලැයි චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කර ඇත.

පසුගිය ජූලි මස 10 වැනිදා නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී පැවති හදුගැනීමේ පෙරට්ටුවකදී හදුනා ගැනුනු මෙම පොලිස් නිලධාරියා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

රෝගී තත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ප‍්‍රතිකාර සදහා ගෙන ගොස් ආපසු කදවුරට ගෙන යමින් සිටියදී මෙම බරපතල ලිංගික අතවරය සිදු කර ඇති බවට චෝදනා එල්ල වෙයි ෴

+++++++++++++++++++++++++++++

රොහින්යා සරණාගතයන් පිළිබඳ ඇත්ත කතාව – නීතිය හා සාමය ලේකම් කියයි
(28.09.2017 – 10:10 +0530 – lankaenews.com)

මියන්මාරය තුළ පැනනැගී ඇති අභ්‍යන්තර දේශපාලන තත්ත්වය මගින් නිර්මාණය වී ඇති රොහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ අර්බුදය යොදා ගනිමින් මෙරට පටු දේශපාලනික අරමුණු සහිත පුද්ගලයින් හා සංවිධාන විසින් මෙරට ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට තර්ජනයක් වෙමින්, අසත්‍ය ප‍්‍රචාර හරහා සමාජය නොමග යැවීමට උත්සාහ දරමින් තිබේ. ශ‍්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (UNHCR) වෙත නිල වශයෙන් බාර දී සිටි රොහින්යා සරණාගතයින් පිරිසක් එම කාර්යාලයේ රැඳවුම් භාරයේ රත්මලාන ප‍්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටියදී පසුගිය 26 වන දින සිදුකළ එම නීතිවිරෝධී ක‍්‍රියාව පිළිබඳව කණගාටුව පළකළ යුතුය. මෙම සිදුවීමෙන් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුට (03) ද, තුවාල සිදුවී තිබේ. මෙම කළහකාරී සිදුවීමෙන් අනතුරුව එම රොහින්යා වැසියන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ඉල්ලීම මත බූස්ස ප‍්‍රදේශයේ රැඳවුම් කඳවුරකට යොමුකිරීමට කටයුතු යොදා තිබේ.

ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් මෙම රොහින්ග්‍යා සරණාගතයින් පිළිබඳව කටයුතු කිරීමේදී රජය පිළිගත් නීති රාමුවෙන් හෝ නිසි ක‍්‍රියාපරිපාටියෙන් බැහැරව ක‍්‍රියාකොට නොමැත. රට තුළට හෝ මෙරට මුහුදු සීමාවට පැමිණෙන විදේශිකයන්ට එරෙහිව 1948 අංක 20 දරන ආගමන හා විගමන පනතේ 10 වන වගන්තියෙන් සපයා ඇති ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම යටතේ නීතිමය ක‍්‍රියාමාර්ග ගනු ඇත. එහි 45(1) ඡේදය අනුව එවැනි වැරැදිකරුවන්ට අදාළ දඬුවම් පනවනු ලැබේ.

ඒ අනුව, දැනට මෙරට රැදීසිටින රොහින්යා සරණාගතයින් තිස්දෙනා සම්බන්ධයෙන් ද, මෙරට ආගමන හා විගමන නීති රාමුවට අනුකූල වන ලෙස නීත්‍යානුකූලව ක‍්‍රියාකර ඇත.

සරණාගතයින් ලෙස වසර හතරක් (4) ඉන්දියාවේ ජීවත්වීමෙන් අනතුරුව මෙම වසරේ (2017) අප්‍රේල් මස 30 වන දින නීතිවිරෝධීව ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වූ රොහින්යා සරණාගතයින් තිස්දෙනෙකු ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් යාපනේ මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම අධිකරණය මගින් ලබාදුන් රඳවා තැබීමේ නියෝගයක් මත (B/372/17) ඔවුන් යාපනේ බන්ධනාගාරයට යොමුකර ඇති අතර 2017 මැයි මස 03 වන දින බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට බාරදී ඇත. ඉන් පසු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් පිළිගත් ක‍්‍රමවේදය අනුව ඉහත රොහින්යා වැසියන් එම දෙපාර්තමේන්තුවට අයත් මිරිහානේ පිහිටි අනවසර සංක‍්‍රමණික රැදවුම් මධ්‍යස්ථානයේ රඳවනු ලැබ තිබේ.

ඒ අතර, මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් එම රොහින්යා වැසියන් සම්බන්ධයෙන් ගතයුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් ලබාගත් උපදෙස් මත 2017 අගෝස්තු මස 08 වන දින ඔවුන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත බාරදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් 2017 අගෝස්තු 11 වන දින රොහින්යා වැසියන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට බාරදීමට කටයුතු කර ඇත. දැනට එම කොමසාරිස් කාර්යාලය භාරයේ සිටින රොහින්යා සරණාගතයින් තිස්දෙනා (30) එම සංවිධානය විසින් ළඟදීම වෙනත් රටකට යැවීමට කටයුතු සම්පාදනය කරමින් තිබේ.

රොහින්යා සරණාගතයින් මෙරටට පැමිණ ඇත්තේ මෙම අවස්ථාවේ පමණක් නොවේ. මීට පෙර අවස්ථා කීපයකදී ද, මියන්මාරයේ රොහින්යා සරණාගතයින් මෙරටට පැමිණ ඇති අතර ඔවුන්ද, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය හරහා වෙනත් රටවලට යැවීමට කටයුතු කර ඇත. 2008 මාර්තු මස 03 වන දින රොහින්යා සරණාගතයින් පනස් පස් දෙනෙකු (55) ශ‍්‍රී ලංකාවේ මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් බේරාගනු ලදුව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත භාරදී තිබේ. එම සරණාගතයින් 2012 වසරේ ජූලි මාසයේදී දිවයිනෙන් බැහැරව ගොස් ඇත. 2013 වසරේ පෙබරවාරි මාසයේදී බෝට්ටු දෙකකින් පැමිණි තවත් රොහින්යා සරණාගතයින් එකසිය පස් දෙනෙකු (105) නාවික හමුදාව විසින් බේරාගෙන එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත භාරදීමෙන් පසු ඔවුන් 2015 නොවැම්බර් මාසයේදී දිවයිනෙන් බැහැරව ගොස් තිබේ.

රොහින්යා සරණාගතයින් පිළිබඳ මෙම කළහකාරී සිද්ධිය පිළිබඳව ගල්කිස්ස පොලීසිය විසින් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් උසාවියට වාර්තා කර ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් තුනක් (03) යොදවා තිබේ.

මීට පෙර රොහින්යා සරණාගතයන් පැමිණි අවස්ථාවලදී මෙවැනි විරෝධයක් දැක්වීමට මෙරට කිසිදු සංවිධානයක් කටයුතු නොකිරීමෙන් හා මෙවර අනපේක්ෂිත ලෙස එවැනි විරෝධතා දැක්වීමට හේතුව විවිධ දේශපාලනික සංවිධානවල පටු දේශපාලනික අරමුණු මුදුන්පමුණුවා ගැනීමට උත්සාහ ගැනීම බව පැහැදිලි වනු ඇත.

සරණාගතයන් පිළිබඳ මෙම ගැටළුවේදී රජය සැමවිටම පවතින නීති රාමුවෙන් හෝ නිසි ක‍්‍රියාපරිපාටියෙන් බැහැරව කටයුතු නොකරන අතර කිසිදු සරණාගතයකුට ශ‍්‍රී ලංකාවේ පුරවැසිභාවය හෝ නේවාසික වීසා ලබාදීමට තීරණය කර නොමැත.

එමනිසා, විවිධ පුද්ගලයින් හා සංවිධාන විසින් මෙරට ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට තර්ජනයක් වෙමින්, පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා සිදුරනු ලබන මෙවැනි අසත්‍ය හා සමාජය නොමග යවන සුළු ක‍්‍රියාවලට නොරැවටී බුද්ධිමත්ව හා විචාරශීලීව කටයුතු කරන ලෙස සෑම පුරවැසියෙකුගෙන්ම කාරුණිකව ඉල්ලා සිටී.

ජගත් පී. විජේවීර
ලේකම්
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය

++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++

ගල්කිස්සේදී රෝහින්ග්‍යා සරණාගතයන්ට සිදුවූ හිංසනය දුරදිග යයි – එක්සත් ජාතීන්ගේ අනතුරු ඇඟවීම මෙන්න
(28.09.2017 – nethnews.lk)

රෝහින්ග්‍යා සරණාගතයන් පිරිසකට ගල්කිස්සේ දී ඉකුත්දා සිදුවූ හිංසනකාරී සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් කර තිඛෙනවා.

කිසියම් රටක් තුළ සිටින සරණාගතයන් පිළිබඳ වගකීම ඇත්තේ එම රටට බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ.

ප්‍රචණ්ඩත්වයේ හිංසාවට ලක්වූ සරණාගතයන් ජාත්‍යන්තර ආරක්ෂාව සහ සහය ලැබිය යුතු පිරිසක් ලෙස තමන් සළකන බව ද එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසනවා.

එබැවින් දැනට ශ්‍රී ලංකාව තුළ සිටින සරණාගතයන්ට දිගුකාලීන විසඳුමක් ලබාදෙන තෙක් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ශ්‍රී ලංකා රජය විසින් දැරිය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ද ඒ සඳහා රජය සමග සම්බන්ධීකරණය වෙමින් කටයුතු කරන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

උද්ගත වි ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සිටින තම ශාඛා කාර්යාලයේ නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය කියා සිටියා ෴

**************************************

අගමැති රනිල් ජවිපෙ නායකයාට කතා කරන්නේ බල්ලන්ට කතා කරන භාෂාවෙන්….
(28.09.2017 – 00:13 +0530 – lankacnews.com)

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක කැදවන්න කරන සංඥාව ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ද විසින් හෙලි කලේය.

ඔහු සිය අතින් පෙන්වා සිටිනේ බල්ලන්ට ‘ඉජු ඉජු’ කියා කතා කරනා හස්ත සංඥාවයි. අගමැතිවරයා ඒ ආකාරයෙන් කතා කරද්දී ජවිපෙ විසින් වලිගය වනන තත්වයට පත්ව ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

මැතිවරණයක් ඇත්තටම උවමනා නම් ජවිපෙ කල යුතුව තිබුනේ පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට සහාය නොදී සිටීම බවද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *