විශ්වාසභංගය ගැන නිදහස් පක්ෂයේ ස්ථාවරය අප්‍රේල් දෙවන දා – රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

(30.03.2018 – 15:23 +0530 – sinhala.adaderana.lk)

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධ වීමට කිසිඳු හැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මහ බැංකු බැඳුම්කර වංචාව ගැන සොයා බලා වාර්තාවක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමකදී කමිටුවක් පත් කළ බවත් එම වාර්තාවේ අඩංගු කරුණු 15 වෙන් කරුණු 13 ක් මෙම විශ්වාසභංග යෝජනාවේ අඩංගුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම හේතුව නිසා මෙම විශ්වාසභංග යෝජනාව සඳහා පක්ෂ වීම හැර වෙනත් කිසිඳු විකල්පයක් නොමැති බවත් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය අප්‍රේල් දෙවන දින ප්‍රකාශ කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එසේම විශ්වාසභංගය පරාජය කිරීම සඳහා අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් සිදුවූ බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් පක්ෂය කුමන තීන්දුවක් ගත්තත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම හෘද සාක්ෂියට එකඟව තම මතය ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන බව අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් සම්මුතිවාදී ආණ්ඩුව ආරක්ෂාකර ගැනීමට නම් රට වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වියයුතු බවත් එසේ නොවුනහොත් අප්‍රේල් හතරවන දා රාත්‍රී 9.00 ට සම්මුතිවාදී ආණ්ඩුව අවසන් වන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය ෴

+++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

විශ්වාස භංගයට පෙර ඉවත්වන්නැයි ශ්‍රීලනිපය අගමැතිගෙන් ඉල්ලයි
(30.03.2018 – 16:47 +0530 – lankadeepa.lk)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සම්මුතිවාදී රජයත්, තම පක්ෂයත් ආරක්ෂා කරගැනීමේ උවමනාවක් තිබේ නම් ඔහු අප්‍රේල් හතර වැනිදාට පෙර ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

විශ්වාසභංගයට විරුද්ධ වීමේ හැකියාවක් තම පක්ෂයට නැතැයි කී ඩිලාන් පෙරේරා මහතා අග්‍රාමාත්‍යවරයා විසින් තමන්ගේ අමාත්‍යාංශය යටතට ගෙන තිබූ මහා භාණ්ඩාගාරය යළිත් මුදල් අමාත්‍යාංශය යටතට පත්කිරීම තුළින් ජනාධිපතිවරයා කර තිඛෙන්නේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට සිටින තමන් වැනි අයට ආශීර්වාදයක් යැයිද සඳහන් කළේය.

ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අග්‍රාමාත්‍යවරයා ඉවත්වීමෙන් සම්මුතිවාදී ආණ්ඩුව නැති වන්නේ නැතැයි කී ඩිලාන් පෙරේරා මහතා අලූතින් පත්වන අගමැතිවරයා සමඟ සම්මුතිවාදී ආණ්ඩුව ගැන තීන්දුවක් ගත හැකි බව ද සඳහන් කළේය.

එම නව අග්‍රාමාත්‍යවරයා එ.ජා.පයේ, ශ්‍රී.ල.නි.පයේ හෝ රතන හිමියන් හෝ දොස්තර මහත්මයෙකු හෝ ආණ්ඩුව සිටින වෙනත් පක්ෂයක අයෙක් විය හැකි බව ද ඩිලාන් පෙරේරා මහතා කීවේය.

විශ්වාසභංගය ගෙනෙන්නේ සම්මුතිවාදී රජය කඩන්නට කියමින් දෙමළ ජාතික සන්ධානය හා මුස්ලිම් පක්ෂ වෙත වැරදි මතයක් ලබාදීමට ඇතැමුන් උත්සාහ කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එය සම්පූර්ණ බොරුවක් බවත්, ශ්‍රී.ල.නි.ප කණ්ඩායමට ඉවත්වන්නැයි කියමින් සම්මුතිවාදය නැති කරන්නට යන්නේ අගමැතිවරයාගේ කණ්ඩායමේ අය බවත් කීවේය ෴

++++++++++++++++++++++++++++++++

අගමැතිට සහාය නොදෙන්නැයි රතන හිමි දෙමළ සන්ධානයෙන් ඉල්ලයි
(30.03.2018 – 16:20 +0530 – lankadeepa.lk)

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට සහාය නොදෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා ගෙන් ඉල්ලීමක් කර ඇත.

‘‘ඔබතුමා විපක්ෂ නායක වුණේ උතුරු නැගෙනහිරට පමණක් නොව මුළු රටටමයි. මුළු රටේම ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි. බරපතළ චෝදනාවක් සහිත යෝජනාවකට විරුද්ධව ඡන්දය දුන්නොත් ටීඑන්ඒ සංවිධානයට බරපතළ අපවාදයක් විඳින්න සිදුවේවි. ඒ නිසා විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකින්න කියලා ඉල්ලීමක් කරනවා.‘‘ යැයි රතන හිමියන් ප්‍රමුඛ මන්ත්‍රීවරුන් යැවූ එම ලිපියේ සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමි හෙට (31) විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතය.

මේ අතර තමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවට රජයේ නායකයන්ගෙන් තවම කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි අතුරලියේ රතන හිමියෝ ලංකාදීපයට පැවසූහ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *