වැලිකඩ සිද්ධියට බන්ධනාගාර කොමසාරිස් අත්අඩංගුවට

(29.03.2018 – 12:04 +0530 – hirunews.lk/sinhala)

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ කොළඹ 9 බේස්ලයින් පාර ප්‍රදේශයේ පිහිටි බන්ධනාගාර නිල නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) රාත්‍රියේ මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස්වරයා අද (29) අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර වැලිකඩ සිද්ධියට අදාළව ඊයේ (28) අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීවද අද අලුත්කඩේ අංක 2 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

2012 වසරේ නොවැම්බර් 09 වන දා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය ගියා.

මේ අතර ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව එවකට භාරව සිටි පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) පස්වරුවේ සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති ඇල්ෆ‍්‍රඩ් විජේතුංග තිලකරත්න නැමති ඔහු යුද හමුදාවේ හිටපු කර්නල්වරයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

*******************************************

හැව්ලොක්ටවුන්හි එළිසබෙත් ටවර් 6 වැනි මහළට මළ බටය දිගේ නැග ලක්ෂ 59 ක රන්බඩු උස්සලා
(28.03.2018 – gossiplankanews.com)

කොළඹ-හැව්ලොක්ටවුන් හි පිහිටි එළිසබෙත් ටවර් නිවාස සංකීරණයේ හයවැනි මහලේ නිවෙසකට හොර රහසේ ඇතුළු වී එම නිවසේ තිබූ රුපියල් ලක්ෂ 59ක් පමණ වටිනා උපකරණ තොගයක් කිසියම් පුද්ගලයකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.

නිවාස සංකීර්ණයේ පිටතින් සවිකර තිඛෙන මළ අපද්‍රව්‍ය පිටකිරීමට ඇති නළයක් දිගේ බඩගාගෙන ගොස් හයවැනි මහලට ඇතුළු වී තිබෙන බව පරීක්‍ෂණවලින් පෙනී යන්නේ යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියක් ලංකාදීපයට පැවසීය. නළය දිගේ බඩගාගෙන ගොස් හයවැනි මහලට ගොඩවී ඇති සොරා එම

මහලේ පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් නිවසට ඇතුළු වී ඇත්තේ එහි ජනේලයක්ද කඩා බව පොලිසිය කියයි.

නිවසේ අල්මාරි තුනක් කඩා ඒවායේ බහා තිබූ ස්වර්ණාභරණ තොගයක් මෙසේ සොරාගෙන ගොස් ඇති බවට එම කෝටිපති ව්‍යාපාරිකයා වැල්ලවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ගොස් පැමිණිලි කර ඇත.

සොරකම සිදුවන අවස්ථාවේ කිසිවකු නිවසේ නොසිටි බවත් ලක්‍ෂ 59 ක් පමණ වටිනා මෙම ස්වර්ණාභරණ සිය බිරිඳ සහ දියණියට අයත් ඒවා බවට කෝටිපති ව්‍යාපාරිකයා පැවසී යැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිය කීය.

කෝටිපති ව්‍යාපාරිකයා සහ පවුලේ අය නිවෙසට පැමිණි අවස්ථාවේ අල්මාරි තුනක් කඩා තිබෙන බව දැක ගැනීමට හැකි ඒවා පරීක්ෂා කර බැලීමේදී ඒවායේ බහා තිබූ ස්වර්ණාභරණ නොමැති බව දැකගැනීමට ලැබී ඇතැයි පොලිසිය පවසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *