EPF සාමාජික අංකය ලෙස ජාතික හැදුනුම්පත් අංකය එයි

(19.03.2018 – biz.adaderana.lk)

සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක වී ඇති අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික හැදුනුම්පත් අංකය අරමුදලේ සාමාජික අංකය ලෙස යොදා ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.

මේ සඳහා සේවකයින්ගේ සහ සේව්‍යයන්ගේ විස්තර ඇතුළත් කොට දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත දැන් අලුතින් සකස් කරගෙන යන අතර නව සාමාජික අංක මේ වසරේ ජූනි මාසයේ සිට නුකුත් කිරීමට පියවර ගෙන ඇතැයි කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා පවසයි.

ආයතන කීපයක වරින්වර සේවය කොට ඇති සේවකයින්ට සේවක අර්ථසාධක අරමුදලේ සමාජික අංක කීපයක් ඇත. අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීමට යාමේ දී ගැටළු ගණනාවකට මුහුණපෑමට සිදු වී තිබේ. මෙම අපහසුතා මඟහැරවීමේ පියවරක් ලෙස මෙසේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික අංකය ලෙස සේවකයාගේ ජාතික හැදුනුම්පත් අංකය යෙදීමට තීරණය කළ බව කොමසාරිස් ජනරාල්වරයා කීය.

සේවක අර්ථසධක අරමුදලේ ප්‍රතිලාභ ගෙවීමේ දී සේවකයාගේ ජාතික හැදුනුම්පත් අංකයේ නිරවද්‍යතාව පරික්ෂා කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ තොරතුරු හුවමාරු කරගැනීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යන බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පැවසී ය ෴

****************************************

බදු එකතුකිරීම ක්‍රමවත් නම් මහජන සේවය මෙන්ම රටේ සංවර්ධනය නොකඩවා සිදු කළ හැකියි – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර
(19.03.2018 – biz.adaderana.lk)

රටේ බදු ආදායම් ක්‍රමවත්ව එකතු කර කළමනාකරණය කරනවා නම් පොදු මහජනතාවට වැදගත් සේවයක් ලබාදෙන අතරේ රටේ සංවර්ධනය නොකඩවා ඉදිරියට ගෙනියාමේ හැකියාව ලැබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

ඒ මහතා ප්‍රකාශ කළේ මෙම නව ආදායම් පනත ක්‍රියාත්මක වීමත් සමඟ ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කටයුතුවල විශාල වෙනස්වීමකට ලක්විය හැකි බවයි.

ලබන අප්‍රේල් 01 වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනත පිළිබඳ ආරම්භක මහජන සම්මන්ත්‍රණයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා විසින් සිදු කරන ලද සම්පූර්ණ කතාව පහත සඳහන් පරිදි වේ :

“2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනත බල පැවැත්වීමට ඇත්තේ තව දින කීපයක් පමණයි. ලබන අප්‍රේල් 01 දා සිට අපි මේ අලුතින් හඳුන්වා දුන් පනත ක්‍රියාත්මක වීමත් සමඟම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කටයුතු විශාල වෙනස් වීමකට ලක් වීමට නියමිතයි.

මේ නව බදු පනත ගැන රටේ ජනතාව වගේම බදු ගෙවන පුරවැසියන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක පළමුවැන්න අද මේ ස්ථානයේදී දියත් කෙරෙනවා.

මම පලමුවෙන්ම මේ කටයුත්ත සංවිධානය කිරීම ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සියලු දෙනාටමත්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ටත් ස්තූතිය පුද කරන්න කැමතියි.

මොකද අපි අලුතින් දෙයක් කරනකොට, නව ක්‍රමවේදයක් හඳුන්නලා දෙනකොට විවිධ අදහස් මතවාද සමාජයේ මතුවෙලා එන්න පුලුවන්.

එතනදි යතාවාදී ලෙසකට සමාජය, ජනතාව දැනුවත්ව සිටීම තුළ අපි බලාපොරොත්තු වෙන අලුත් වෙනස්කම් ඉතා යහපත් විදිහකට ළඟාකර ගන්න පුළුවන් බව මා විශ්වාස කරනවා.

ඇත්තෙන්ම මේ පනතේ පසුබිම ගත්තොත් අපේ රජය අලුතින් පත් වෙද්දි මහජනතාවට ඉදිරිපත් කරපු අපේ ආර්ථික දැක්මේ ප්‍රමුඛතාවයක් තමයි රටේ පවතින අණ පනත් නූතන ලෝකයට ගැළපෙන විදිහකට වෙනස් කරලා රටේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් ඉදිරියට යන්න පුළුවන් මහජනතාවට එදිනදා ජීවිතයේ කටයුතු ලේසි පාසුවෙන් කරගන්න පසුබිමක් හදනවා කියන එක.

එතනදි රටේ බදු ආදායම එකතු කිරීමේ ක්‍රියාදාමයට විශාල ප්‍රමුඛතාවයක් දෙන්න අපි කටයුතු කළා.

මොකද රජයක් විදිහට පවතින්න නම් ඕනෑම රටක බදු එකතු කිරීමත් එම මහජනයා ගෙවන බදු මනා ලෙස කලමනාකරණය කර ගැනීමත් ඉතා විශාල වැදගත්කමක් ගන්නවා.

ඒක ඒ තරම් වැදගත් වෙන්නේ රජයක් රටේ සංවර්ධනයට, මහජනතාවගේ එදිනෙදා සුබසාධන කටයුතු සඳහා – ඒ කියන්නේ සෞඛ්‍ය, අධ්‍යාපනය, මං මාවත් වගේම ස්වාභාවික ආපදා කලමනාකරණය – වැනි කටයුතු සඳහා විශාල මුදලක් වැය කරනවා.

එහිදී රටේ බදු ආදායම් ක්‍රමවත්ව එකතු කරලා කළමනාකරණය කරනවා නම් පොදු මහජනතාවට වැදගත් සේවයක් ලබාදෙන අතරේ රටේ සංවර්ධනය නොකඩවා ඉදිරියට ගෙනියන්න හැකියාව ලැබෙනවා.

නමුත් අවාසනාවකට වගේ අපේ රටේ බදු ආදායම් දීර්ඝ කාලයක් තිස්සේ ලොකු කඩා වැටීමකට ලක් වෙලා තිබුනා.

උදාහරණයක් විදිහට 2014 වෙනකොට රටේ ජාතික ආදායමෙන් 10% වගේ ප්‍රමාණයකට බදු ආදායම් පහළ වැටිලා තිබුණා. මේ අවුරුදු 20 ක විතර කාලයක් තිස්සේ දිගටම තිබිච්ච බදු ආදායම් අඩු වීමේ ප්‍රවනතාවයේ උච්ච අවස්ථාවක්.

එතනදිත් ආදායම් බදු වලින් ලැබෙන රාජ්‍ය ආදායම 2% වගේ ඉතාම පහල මට්ටමකට වැටිලා තිබුණා. එවැනි තත්ත්වයක රටේ බදු බර ඇත්තෙන්ම විශාල වශයෙන් දුප්පත් පොදු මහජනතාවගේ උර මතට තමයි වැටිලා තියෙන්නේ.

නෝනාවරුනි , මහත්වරුනි

අපි මේ අලුත් දේශීය ආදායම් බදු පනතෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ බදු ගෙවීමේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇතිකර ගනිමින් යම්කිසි ක්‍රමවත් ආකාරයකට – සරලව කිව්වොත් බදු ගෙවිය හැකි, ඇති හැකි අයට වැඩි වගකීමක් ලබා දෙමින්, නැති බැරි දුප්පත් ජනතාවට ඇතිවෙලා තියන බදු පීඩනය යම් දුරකට අවම කර ගනිමින් – අපි බලාපොරොත්තු වෙන රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යාමයි.

මෙතනදි මං කියන්න ඕන අපේ තිබුනු ක්‍රමයේ අඩුපාඩු මොනවගේද කියලා. එතනදි දැනටත් බදු ගෙවන තමුන්නාන්සේලා පිළිගන්නවා ඇති තිබුනු ක්‍රමය ඉතාම සංකීර්ණ, ඒ වගේම බදු ගෙවන්නා අපහසුතාවයට පත් කරන, ගෙවනවට වඩා නොගෙවා ඉන්න එක ලේසියි වගේ හැගීමක් ඇති වෙන පීඩාකාරී බදු ක්‍රමයක්.

අපි අලුතින් හදුන්වා දෙන බදු පනතින් මේ සංකීර්ණ ක්‍රමය සරලත්වයකට ගෙනල්ලා, ඒ වගේම බදු ගෙවන්නාට තමන් රට වෙනුවෙන් යුතුකමක් ඉටු කරනවාය යන්න ස්වයං අභිමානයක් ඇතිවෙන විදිහට තමයි මේ අලුත් ක්‍රමය හදලා තියෙන්නේ.

ඒ වගේම මේ පැවතිච්ච බදු ක්‍රමය තුල දේශපාලන බල අධිකාරයට තමන්ගේ පුද්ගලික අභිමතයට අනුව ක්‍රියා කිරීමට විශාල ඉඩ කඩක් තිබුනා.

ඒ නිදහස අවභාවිතා කරන්නත් විශාල ඉඩ කඩක් තිබුනා.අතීතයේදී ඒ නිදහස කොච්චර පාවිච්චි කරලා තිබුනද කිව්වොත් අවස්ථා 200 කට වැඩි ප්‍රමාණයකදි බදු සහන ලබා දෙන්න කලින් කලට ක්‍රියාත්මක වෙලා තිබුනා.

මේ බදු සහන ලබා දීම් පුද්ගලික අභිමතයකට සිදුකරන තත්වයකට පත් වුනාම ඒවා අවභාවිතා කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම සාධාරණ ලෙස බදු ගෙවන දේශපාලන බලපෑම් නොකළ හැකි ඔබ වැනි මහජනතාවට අසාධාරනයකුත් වෙනවා.

මොකද සමාන ලෙස සැලකීමක් රටේ පොදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී සිදු නොවීමෙන්. නීති රීති පද්දතියක් මත ගොඩනැගුනු, සැමට එක සේ ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තියක් රටකට අවශ්‍යයයි. මේ අලුත් බදු පනත මගින් ඒ අභිමතයට ක්‍රියාත්මක වීමේ හැකියාව අවම කරලා තියෙනවා.

මීළඟට ගත්තොත් රටේ බදු ගෙවීමේ ව්‍යුහය දැනට තියෙන්නේ ඍජු බදු 18%ක් හා වක්‍ර බදු 82% ලෙස. මෙහෙම තියෙන කොට ඇත්තෙන්ම 82% ක වක්‍ර බදු අපි ගන්නේ මහජනතාව එදිනෙදා පරිභෝජනයට ගන්න ආහාර පාන, බඩු භාණ්ඩ මත පටවන බදු වලින්.

ඒකෙන් බඩු භාණ්ඩ මිල වැඩි වෙලා පොදු ජනතාවට විශාල බදු බරක් නොදැනිම පැටවෙනවා. ඒ වගේම ඇති හැකි බදු ගෙවිය හැකි අයත්, නැති බැරි පොදු ජනතාවත් එකම විදිහේ, සමාන බදු ගෙවන්නන් බවට පත් වෙනවා.

ඒ ක්‍රමය එතරම් සාධාරන නෑ. ඒක නිසා අපි අලුත් බදු පනතින් ඍජු බදු 40% දක්වා වැඩිකරලා, වක්‍ර බදු 60% දක්වා අඩුකරලා ඉතා ඉක්මනින් ව්‍යුහාත්මක වෙනස්කම් අත්කර ගන්න බලාපොරොත්තු වෙනවා.

නෝනාවරුනි , මහත්වරුනි

අපි මේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරන්නේ මේ වෙනකොට මැදි ආදායම් ලබන රටවල් අතරට ගැනෙන ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් ඉහල මැදි ආදායම් තත්වයට පත්කර ගන්නයි.

එතනදි අපි රටේ පවතින නීති රීති, පරිපාලන ක්‍රම වේද සරල කිරීම සහ මහජනතාවට, ඒ වගේම ආයෝජකයන්ට පහසු කිරීම තුල රටේ සංවර්ධනයත්, ආර්ථික වර්ධනයත් ඉක්මන් වන බව මම කියන්න කැමතියි.

විශේෂයෙන්ම අපි වගේ මැදි ආදායම් ලබන රටවල් වලට ජාත්‍යන්තර ආධාර, උපකාර, පරිත්‍යාග ලබා දීම ඉතාම අවමයි. එතැනදි අපිට විදේශ ආයෝජන සහ දේශීය මූලාශ්‍රයන්ගෙන් ලැබෙන බදු ආදාම් වැනි දේ ඉතාම වැදගත්.

මොකද රට ඉදිරියට ගෙන යන්න නම් ප්‍රති ආයෝජනත්, යටිතල පහසුකම් දියුණු කිරීමත් ඉතාම වැදගත් වෙනවා. එතැනදි බදු ගෙවන ඔබගේ සහයෝගය රටේ ඉදිරි ගමනේ කොදුනාරටිය ලෙස සැලකිය හැකි බවත් මම කියන්න කැමතියි.

ඒ වගේම මේ වසර වෙනුවෙන් මා ඉදිරිපත් කරපු ජාතික අය වැයේ මූලිකම පදනම තමයි ව්‍යවසායකත්වය. එතැනදි අපි අලුතින් ව්‍යාපාර කරන මේ රටේ තරුණ ගැහැණු පිරිමි හැම දෙනාටම ඉදිරියට එන්න පුලුවන් ක්‍රම වේදයන් රාශියක් ඉදිරිපත් කළා.

ඔවුනට අත හිත දීලා ඉදිරියට අරගෙන අනාගතයේ තමන්ට නැගී හිටින්න උදව් කරපු රටේ ජනතාව වෙනුවෙන් බදු ගෙවන වැදගත් පුරවැසියන් පිරිසක් බිහිකර ගැනීම තමයි අපේ යුතුකම.

ඒ සියලු කටයුතු වෙනුවෙන් ඔබලා අපි එකතු වෙලා මේ අලුත් බදු ක්‍රමය සාර්ථක කරගෙන මුලු රටම විශාල ආර්ථික පිම්මකට සූදානම් කිරීම තමයි මේ මොහොතේ අපේ බලාපොරොත්තුව.

ඒක නිසා රටේ බදු ගෙවන පුරවැසියා වැදගත් ස්වයං අභිමානයක් ඇති පුද්ගලයෙක් බවට පත් කොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ගෙවන්න යද්දි අර තමන්ගේ ජීවිතේ අකමැතිම දේ කරන්න යන පුද්ගලයා වෙනුවට මහන්සියෙන් ඉපයූ දේ තමන්ගේ රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන වැදගත් පුරවැසියා මේ නව පනත තුලින් බිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම පෝසත් මිනිසුන් සිටින දුප්පත් ආණ්ඩුවක් වෙනුවට, පොහොසත් ජනතාවක් සිටින පොහොසත් ආණ්ඩුවක් මේ පනත තුලින් බිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් අයිවන් දිසානායක මහතා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ ෴

+++++++++++++++++++++++++++++++

නව දේශිය ආදයම් පනත 01 වැනිදා සිට
(20.03.2018 – lankadeepa.lk/business/)

නව දේශිය ආදායම් පනත අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

බදු අයකිරීම, බදු ව්‍යුහයේ වෙනස්කම් හඳුන්වාදීම සහ බදු අයකිරීම සරල ක්‍රමවේදයකට කිරීම ඇතුළු වෙනස්කම් රැසක් මෙම පනතට ඇතුළත් වේ.

නව දේශීය ආදයම් පනතට අනුව උපයනවිට අය කරන බද්ද දැනට පවතින වසරකට ආදායම රුපියල් ලක්ෂ 07 සිට රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි වන අතර එම නිසා මධ්‍යම පාන්තික වැටුප් ලබන්නන්ට විශාල සහනයක් සැලසෙන බවද මංගල සමරවීර මහතා පැවසීය.

මීට අමතරව මැදපෙරදිග සේවය කරන සේවකයින්ගේ මුදල් තැන්පතු වලට ලැබෙන පොලිය සඳහා සියයට 5ක බද්දක් අය කිරීමට නව පනතින් විධිවිධාන සලසා දී තිබෙන බවද අමාත්‍යවරයා පැවසිය.

සේවකයින්ගේ මුදල් තැන්පතු මත මෙතෙක් සියයට 2 සිට සියයට 10 පමණ දක්වා විවිධාකාරයෙන් බදු අය කළ බවද එම විවිධ ක්‍රම අහෝසි කර නව පනතින් පොලීසය මත අය කෙරෙන සියයට 5 ක බද්ධක් පමණක් අය කිරීමට විධිවිධාන සලසා දී තිබේ ෴

*****************************************

මුදල් ඇනවුම් සම්පත් බැංකුවෙන් ගන්න පහසුකම්
(20.03.2018 – lankadeepa.lk/business/)

ඕනෑම තැපැල් කාර්යාලයකින් යවන මුදල් ඇනවුමක් එම මුදල් ඇනවුම ලබාගන්නා අයට සම්පත් බැංකුවේ ටෙලර් මැෂින් හරහා පැය 24 පුරා , දින 365 හේ දීම ලබාගැනීමේ අවස්ථාව සලසමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හා සම්පත් බැංකුව එක්ව “E – Pay Mobile Cash” සේවාව ආරම්භ කිරීම තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්.එච්.එ.හලීමි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සිදුකෙරිණි.

ලංකාව පුරා ඇති තැපැල් කාර්යාල මගින් යවන මුදල් ඇනවුම යවන අවස්ථාවෙදී එම මුදල් ඇනවුම ලබාගන්නා අයගේ දුරකථන අංකය සඳහන් කළයුතු අතර එයට කෙටි පණිවිඩයක් මගින් ලැබෙන රහස්‍ය අංකය සම්පත් බැංකුවේ ටෙලර් යන්ත්‍රයට ඇතුළු කිරීමේන් මෙම මුදල් ඉතා පහසුවෙන් ලබා ගැනීමට කටයුතු සලසා ඇත.

මෙම අවස්ථාවට තැපැල්පති ඩි.එල්.පී.ආර්. අබේරත්න , සම්පත් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂක නන්ද ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *