සමාජ ජාලා වාරණය තවත් ඉදිරියට.. අනෙක් මාධ්‍යවලටත් වාරණ..

(12.03.2018 – 15:50 +0530 – lankacnews.com)

මහනුවර ගැටුමට මුවාවී තමන්ගේ ඒකාධිපති ගමන තහවුරු කරගන්නට ආණ්ඩුව කැසකවමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

සමාජජාලා වෙබ් අඩවි තහනම් කිරීම එහි එක් පියවරක් බව පැවසූ රණතුංග මහතා ‍වැඩිකලක් යන්න මත්තෙන් රටේ අනෙකුත් මාධ්‍යවලටත් වාරණ පැනවෙනු ඇති බවත් ලබ්බට තැබූ අතම පුහුලටත් තැබෙනු ඇති බව කවුරුත් මතක තබා ගත යුතු බවත් පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යවසායකයන් පිරිසක් උඩුගම්පොළ දී හමු වූ අවස්ථාවේ දීය. ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

වර්තමානයේ රට පාලනය කරන්නේ ආණ්ඩුවක් නෙමේ පාණ්ඩුවක් කියලා අපි අවුරුදු තුනක් තිස්සේ කිව්ව කාරණය දැන් ඔප්පු වෙලා තියෙනවා. පහුගිය දවස්වල මහනුවර ඇති වුණු කලබලකාරී වාතාවරණය පාලනය කිරීමට නොහැකි වීම තුළින් එම කාරණය මුළු ලෝකයට පැහැදිලි වුණා.

රට, ජාතිය පාවා දී හෝ බලය රැකගැනීමේ පරම චේතනාවෙන් කටයුතු කරන මේ ආණ්ඩුවට රට පාලනය කිරීමේ කිසිදු හැකියාවක් නැහැ. පහුගිය අවුරුදු තුන පුරාම රට පුරා ඇති වුණු අර්බුදවලට විසඳුම් දීමේ දී ආණ්ඩුව දක්වපු අසාර්ථක ප්‍රතිචාර තුළින් ඒ බව පැහැදිලි වෙලා ඉවරයි.

මහනුවර කලබලකාරී වාතාවරණයට එරෙහිව මුල් අවස්ථාවෙදිම ප්‍රතිචාර දක්වන්න ආණ්ඩුව කටයුතු කළා නම් මේ තරම් ලොකු විනාශයක් සිද්ධ වන්නේ නැහැ. සිද්ධිය දුරදිග යනකම් ජනාධිපති සහ අගමැති නිදාගෙන හිටියා. ඒ දෙන්නා නින්දෙන් නැගිටලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නකොට සිදුවිය යුතු විනාශය වෙලා ඉවරයි.

ආණ්ඩුව මුල ඉඳන්ම කල්පනා කළේ මේ අර්බුදය විසඳනවාට වඩා අර්බුදයේ වගකීම ඒකාබද්ධ විපක්ෂයේ කරට දාන්නේ කොහොමද කියලයි. ඒ බව කැබිනට් ප්‍රකාශක යැයි කියාගනිමින් තුට්ටු දෙකේ දේශපාලනයක නිරත වන රාජිතගේ කතාවෙන් ඔප්පු වුණා.

රාජිත රට හමුවේ බොරු කියපු පළමු අවස්ථාව මේක නෙමෙයි. ආණ්ඩුවේ නිල ප්‍රකාශකයෙක් විදියට ඇවිත් රාජිත මේ කියන අමූලික බොරු ආණ්ඩුවේ නිල මතය ද කියන එක ආණ්ඩුව දැන් රට හමුවේ ප්‍රකාශ කළ යුතුයි. එහෙම නොවේ නම් රාජිත කියන බොරුකාරයා ඇමැති මණ්ඩලයෙන් එලවා දැමිය යුතුයි.

මහනුවර ගැටුම ආණ්ඩුවට නොහිතපු වෙලාවක ඇදිච්චි ලොතරැයියක් වගෙයි. තමන්ට එරෙහිව පක්ෂය තුළින් ආපු විරෝධතාව යටගහන්න අගමැතිට ඒ ලොතරැයිය උපකාරී වුණා. ඒ වගෙම ජනාධිපතිට තමන්ගේ පක්ෂයේ ඇමැතිවරුන්ගේ විරෝධය යටගහන්න ඒකෙන් හයියක් ලැබුණා.

දැන් කවුරුත් විශ්වාසභංගය ගැනවත් නිදහස් පක්ෂයේ නොකෙරෙන සංශෝධනය ගැනවත් කතා කරන්නේ නැහැ. වෙන එකක් තියා දැන් කාටත් අර්ජුන් මහේන්ද්‍රනුත් අමතකයි. මහ බැංකුව මහ දවාලේ මංකොල්ල කාපු අර්ජුන් මහේන්ද්‍රන් බේරගන්නත් අගමැතිට මේකෙන් හයියක් ලැබුණා.

ආණ්ඩුව අහිසංක මිනිස්සුන්ගේ ජීවිත බිලිගනිමින් රටේ ප්‍රශ්න අමතක කරවන්න කටයුතු කරපු පළමු අවස්ථාව මේක නෙමෙයි. මීට පෙරත් රටේ යම් යම් තීරණාත්මක අවස්ථා එළඹෙන කොට ආණ්ඩුව මේ වගේ සිද්ධි ඇති කරලා තමන්ගේ බලය රැකගන්න කටයුතු කරපු හැටි මිනිස්සුන්ට අමතක නැහැ.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට නම් මේවා අලුත් දේවල් නෙමෙයි. එතුමාගේ මාමා තමයි මේ වාගේ පහත් වැඩවල නිර්මාතෘවරයා. එදා මාමා අසූ තුනේ කලු ජූලිය මවලා තමන්ගේ බලය තහවුරු කරගත්තු ආකාරයටම අද බෑනා තමන්ගේ බලය තහවුරු කරගන්නවද කියන සාධාරණ සැකය අපිට තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මැර වැඩවලින් පීඩාවත් පත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද රනිල්ගේ වැඩවලට උදව් උපකාර කරනවා. නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිහින් සිරිකොතට වෙලා කටු ලෙවකමින් ඉන්න ඇමැතිවරුන් රැල දැන් රනිල් හාමුගේ හුරතල් බලු කුක්කෝ ටික වගේ නිහඬයි.

රට මෙච්චර අර්බුදයකට යන කොටත් තමන්ගේ වාසිය තකා රනිල්ගේ ඉඳුල් කකා ඉන්න පුළුවන් නිවටයන් රැලකට පමණයි. තවදුරටත් ඒ නිවට රැලේ ඉන්නවද එහෙමත් නැත්නම් රටත් ජාතියත් වෙනුවෙන් නිවැරැදි පැත්තේ හිටගන්නවද කියන එක දැන් නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් තීන්දු කළ යුතුයි.

වර්තමාන ආණ්ඩුව බලයට ආවේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කියවමින්. හැබැයි දැන් තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදයත් නැති වෙලා ඒකාධිපති වියරුවකට රටම හසුවෙමින් යනවා. ජාතිවාදය ඉස්මතු කරනවා කියලා සමාජ මාධ්‍ය අවහිර කිරීම ඒකේ ප්‍රධාන පියවරක්. ආණ්ඩුවට ලොකු වුවමනාවක් තිබ්බා මේ සමාජ ජාලා තහනම් කරන්න.

2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාද කරන්න ආණ්ඩුවට උපකාරී වුණ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය වැඩිකලක් යන්නට පෙරාතුරව ආණ්ඩුවට එරෙහි වීම නිසා ඒ ගැන ලොකු වෛරයකින් සිටින බවක් පසුගිය කාලයේ පෙනුණා. දැන් මහනුවර සිද්ධිය පිටින් දාලා ආණ්ඩුව සමාජජාලා අවහිර කරලා තියෙන්නේ අන්න ඒ වෛරය පිරිමහ ගන්නයි.

එදා යුද්ධ කාලෙවත් නොතිබ්බ තහනම් දැන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් යනවා. තව ටික දවසකින් අනෙක් මාධ්‍යවලටත් වාරණ පැන වෙයි. ලබ්බට තිබ්බ අතම තමයි පුහුලටත් තියන්නේ කියලා අපි මතක තබා ගත යුතුයි. මේ ඒකාධිපති ගමන නතර නොකළොත් අපේ රට විනාශ වෙන එක වළක්වන්න බැහැ.

– ප‍්‍රදීප් අනුර කුමාර

++++++++++++++++++++++++++++++

ෆේස්බුක් ලොක්කන් රැසක් ලංකාවට එයි.. රජය සමග තීරණාත්මක සාකච්චා.. ගන්න යන තීන්දුව මෙන්න..
(12.03.2018 – 14:10 +0530 – lankacnews.com)

ෆේස්බුක් ජාලය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ රජය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් කිහිප දෙනෙකු ඉදිරි පැය කිහිපය ඇතුලත මෙරටට පැමිනීමට නියමිතය.

ජාතිවාදී, ආගම්වාදී, වෛරය පතුරුමින් පල කර ඇති සියළු සටහන් ඉවත් කිරීම සදහා ෆේස්බුක් සමාගම විසින් ශ‍්‍රී ලංකා රජයට සහාය දෙනු ඇති බවත් ඉදිරියේදී ඒ ආකාරයේ සටහන් ස්වංක‍්‍රියව ඉවත් වන ක‍්‍රමවේදයක් සැකසීම සදහාද සහාය ලබා දෙනු ඇත.

සිංහල බාෂාවෙන් ඇති සටහන් ඉවත් කිරීමේදී සැලකිය යුතු කාලයක් ගතවීම නිසා ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජයට ෆේස්බුක් සමාගම විසින් සිය කණගාටුව පල කර ඇත.

සෙසු දියුණු රටවල් සදහා ලබා දී ඇති පහසුකම් ලබා දෙන්නැයි ශ‍්‍රි ලංකා රජය විසින් ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා ඇති අතර ඒ සදහා සාධනීය පිලිතුරක් ලැබී ඇති බවද වාර්තා වෙයි ෴

++++++++++++++++++++++++++++++++

ෆේස් බුක් තහනම ඉවත් කරන්න රජයෙන් කොන්දේසි
(12.03.2018 – 17:27 +0530 – lankadeepa.lk)

ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය ලබාදෙන කොන්දේසි ඉටුකිරිමට ෆේස් බුක් ආයතනය කටයුතු කළහොත් එම තහනම ඉවත් කිරිමට පියවර ගන්නා බව විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.

ෆේස්බුක් ආයතනය සමඟ මේ පිලිබඳව දිගින් දිගටම සාකච්ඡා සිදුකරමින් සිටන බවත් ඔවුන්ගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ෆේස්බුක් තහනම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මෙසේද කීය :

‘‘අපිට මේක දේශපාලන ප‍්‍රශ්ණයක් නෙමෙයි. නමුත් ජාතික ආරක්ෂාවට හෝ ජාතිවාදය අවුස්සන ප‍්‍රශ්ණ වලට ඉඩ ලබාදිය නොහැකියි.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ෆේස් බුක් ආයතනය නිර්දේශය දෙනකං තමයි අපි බලන් ඉන්නේ. ජාතිවාදය ඇතුලූ කරුණු සම්බන්ධයෙන් වෙනස්කම් කරන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබුණට එම ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන තිබුනේ නැහැ.

මෙම ගැටලූවේදී මේක තමයි අපිට තිබුන ලොකුම බාධකය. නමුත් මේ අය දිගින් දිගටම මේ ගැන කිසිදු දෙයක් කරලා තිබුනේ නැහැ. ඒ අය කියන්නේ සිංහල කියවන්න පුලූවන් අය ඒ අයට අඩුය කියලා.

එදා දවසේ අපි මේ තීන්දුව ගත්තේ නැත්නම් මේ ප‍්‍රශ්ණය විසදන්න ලැබෙන්නේ නැහැ. ෆේස්බුක් ආයතනය අපිට කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් කථා කරනවා කියලා. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ තීන්දුව ලබාදෙනකන් අපි බලාගෙන ඉන්නේ.

ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන බවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෝ සර්ට් ආයතනය හෝ දෙන ඕනෑම වෙබ් අඩවියක් අයින් කරනවා කියන කොන්දේසිය ඔවුන් අපිට ලබා ලබාදිය යුතුයි.

ඒ වගේම සිංහල කියවන්න පුලූවන් වැඩි දායකත්වයක් ගන්න අය ෆේස්බුක් එකට ඇතුළත් කරගන්නවනම් අපි මේ තහනම ඉවත් කරගන්නවා කියන එක තමයි අපේ ස්ථාවරය’’ යැයිද ඔහු පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *