පාතාල මදූෂ්ගේ ගෝලයින් ඇල්ලූ පසු ප්‍රබල ඇමතිවරයෙක් උරණ වී පොලිසියට බැණ වදී

(12.03.2018 – nethnews.lk)

මාකඳුරේ මදූෂ් නැමැති සංවිධානාත්මත අපරාධකරුගේ ප‍්‍රධානතම ගෝලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධ ප‍්‍රබල ඇමතිවරයෙකු පොලීසියට දොස් පවරා ඇතැයි වාර්තා වනවා.

වැලිගම මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාට දුරකතනයෙන් අමතා අදාළ ඇමතිවරයා බැන වැදී ඇති බවද සඳහන්.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන කෙටි කාලයක් තුළදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු එක්සත් ජාතික පක්‍ෂයෙන් වැලිගම ප‍්‍රාදේශීය සභාවට තරග වැදී ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.

මාකඳුරේ මදූෂ් නැමැති සංවිධානාත්මත අපරාධකරුගේ ප‍්‍රධානතම ගෝලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබුණේ වැලිගම, මිදිගම ප‍්‍රදේශයේදීයි.

ඔවුන් සතුව තිබූ ආයුධ සහ මත්ද්‍රවය සම්බන්ධයෙන් මේවනවිට පරික්ෂණ කි‍්‍රයාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ. ප‍්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු බව පැවසුනු සමයං ඝාතන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති මාකඳුරේ මදූෂ් විදේශ රටක සැඟවී සිටින බවටයි පැවසෙන්නේ ෴

****************************************

ගිනි තැබූ මදීනා හෝටලය පැය කිහිපයකින් ගොඩනැගුණු හැටි..! ආණමඩුව ජනතාවගේ එකමුතුකම රටටම පෙන්නයි..!
(12.03.2018 – nethgossip.lk)

කිසියම් පිරිසක් විසින් ඊයේ (11) අළුයම 2.15 ට පමණ ගිණිතැබූ ආණමඩුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මදීනා හෝටලය පැය කීපයක් ඇතුළත යළිත් පිළිසකර කර නැවත එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ආනමඩුව වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් මෙම වෙළඳසැළේ පිළිසකර කිරීම් කටයුතු සිදුකර ඇති අතර ඒ සඳහා දේශපාලනඥයන්, නගරයේ ව්‍යාපාරික සංගමය සහ ආගමික නායකයන්ද එක්ව සිටීම විශේෂත්වයක්.

එසේම මෙම වෙළඳ සැල පිළිසකර කරගැනීමට සිංහල ජනතාවගෙන් ලැබුණු සහයෝගය අගය කල වෙළඳසැල් හිමිකරු කියා සිටියේ එම ප්‍රදේශයේ සිංහල මුස්ලිම් ජනතාව සහෝදරයන් සේ ජීවත් වන බවයි. එසේම ආනමඩුව නගරයේ ඇති එකම මුස්ලිම් හෝටලය මෙය වන බවත් ප්‍රදේශයේ ජනතාව සැමදා සාමයෙන් ජීවත් වූ පිරිසක් බවත් එහිසිටි පිරිස් සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් ගින්නෙන් ඇති වූ අලාභය මෙතෙක් ස්ථිර වශයෙන් තක්සේරු කර නොමැති අතර ලක්ෂ 50 ට අධික අලාභයක් සිදුවී ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් ආනමඩුව වෙළෙඳ සංගමය සහ ප්‍රදේශවාසීන් එක්ව පැය කිහිපයක් ඇතුළත හෝටලය යථා තත්වයට පත්කිරීම බොහෝ දෙනාගේ විමතියට හේතුවී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *