කැලණිය අවට ප්‍රදේශවලට පැය 9 ක් ජලය අත්හිටුවයි

(12.03.2018 – 10:18 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිය අවට ප්‍රදේශවලට හෙට (13) පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

මේ අනුව හෙට (13) පෙරවරු 9 සිට මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කැළණිය, වත්තල, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට සහ පෑලියගොඩ, වත්තල, නගර සභා බල ප්‍රදේශවලටයි.

එමෙන්ම බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ගෝනවල, මගුල්විල, විජේරාම මාර්ගවලට සහ බොල්ලෑගල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති බවයි ජාතික ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ෴

************************************

යාපනයේ බැංකුවකට අයත් මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවන් 4 ක් අත්අඩංගුවට
(12.03.2018 – 06:59 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ රාජ්‍ය බැංකුවකට ගෙන එන ලද රුපියල් 11,074,000 ක මුදලකින් රුපියල් 8,020,000 ක මුදලක් අස්ථානගත වීම සම්බ්නධයෙන් පෞද්ගලික ආරක්ෂක ආයතනයක සේවකයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 9 වනදා අනුරාධපුර ප්‍රදේශයේ බැංකුවකිනුයි යාපනයේ බැංකුවට මෙම මුදල් රැගෙනවිත් ඇත්තේ.

සැකකරුවන් මුදල් රැගෙන යමින් සිටියදී තේ පානය කිරීමට අතමරග ප්‍රදේශයකදී වාහනය නතර කර තිබෙනවා.

ඔවුන් තේ පානය කර යළි පැමිණෙන විට මුදල් අඩංගුව තිබු බෑග් දෙකක් අතුරුදන් බවටයි පොලිසියට ප්‍රකාශකර ඇත්තේ.

එම මුදල් බෑග් දෙක කිසියම් අයෙක් සොරකම් කරන්නට ඇතැයි සැක කරන බව ද ඔවුන් ප්‍රකාශකර ඇතැයි සඳහන්.

අනතුරුව සිදුකළ විමර්ශණවලින් පසුවයි මුදල් රැගෙන ගිය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වයස අවුරුදු 56, 43, 24 සහ 23 වයස්වල පසුවන සැකකරුවන් කැබිතිගොල්ලෑව, අනුරාධපුර සහ ඇලයාපත්තුව ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් පසුගිය 10 වනදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

යාපනය පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා ෴

*******************************************

ග්ලෝකෝමා රෝගීන් හඳුනා ගැනීමට සංගණනයක්
(12.03.2018 – 22:20 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ ග්ලෝකෝමා රෝගය වැළඳුණු අක්ෂි රෝගීන් සම්බන්ධයෙන් ඉදිරියේ දී සංගණනයක් පැවැත්වීමට කටයුතු කරන බව Glaucoma Interest Group හි සභාපති බව අක්ෂි විශේෂඥ වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය සඳහන් කළා ය.

කොළඹ ජාතික අක්ෂි රෝහලට දිනකට පැමිණෙන අක්ෂි ආබාධ සහිත රෝගීන්ගෙන් 15%-20% ත් අතර ප්‍රතිශතයක් ග්ලෝකෝමා රෝගයට ගොදුරු වුවන් බවට හඳුනා ගෙන ඇති බව වෛද්‍යවරිය සඳහන් කළා ය.

2013 සංගණනයට අනුව අවුරුදු 40 -80 ත් අතර ජනගහනයෙන් ග්ලෝකෝමා රෝගය වැළඳුණු ප්‍රවණතාවය 3.54% කි.ලෝකයේ ග්ලෝකෝමා රෝගය වැළඳි ඇති සංඛ්‍යාවෙන් මිලියන 64.3 කි. 2020 වන විට මෙම රෝගය ගොදුරු වීමේ හැකියාව ඇති ජනගහණය මිලියන 76 කි. 2040 වන විට මෙම ප්‍රමාණය මිලියන 111.8 ක් දක්වා ඉහළ යන බව ද සෞඛ්‍ය වාර්තා අනාවරණය කරයි.

විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළේ, අද (12) කොළඹ, අක්ෂි රෝහලේ දී ග්ලෝකෝමාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමිනි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *