බෝට්ටුවක් පෙරලීමෙන් 5 ක් මරුට

(11.03.2018 – 13:29 +0530 – hirunews.lk/sinhala)

නිලාවේලි – පෙරියකුලම වැවේ නෙළුම් කොළ කැඩීමට ගොස් ඔරුව පෙරළී 05 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පොලීසිය සදහන් කළේ මෙලෙස මිය ගිය පිරිස අතර කුඩා ළමයින් 04 දෙනෙකු ද සිටින බවයි.

අවුරුදු 06 ත්, 09 ත් අතර වයස්වල පසුවන පිරිමි ළමයින් දෙදෙනෙකු සහ ගැහැණු ළමයින් දෙදෙනෙකු මෙලෙස මිය ගිය පිරිසට ඇතුළත්.

ඔරුව පැදවූ බව කියන 44 හැවිරිදි පුද්ගලයෙකු ද සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු මිය ගිය එක් දරුවෙකුගේ පියා බවයි පොලීසිය සදහන් කළේ.

අප වාර්තාකරු සඳහන් කළේ අද (11) පෙරවරු 11 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

පෙරියකුලම වැව ආසන්නයේ ඇති කෝවිලක පූජාවක් සිදුකිරීම සඳහායි මොවුන් නෙළුම් කොළ කැඩීමට ගොස් ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රදේශවාසින් බේරා ගත් තවත් දැරියක් නිලාවේලි රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කුඩා ඔරුවක අනාරක්ෂිතව ගමන් කිරිම මෙම අනතුරට හේතු වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

————————–

*****************************************

විශ්වවිද්‍යාල අනධ්‍යයන වර්ජනය තවදුරටත්
(11.03.2018 – 12:16 +0530 – hirunews.lk/sinhala)

විසඳුම් ප්‍රමාදවන්නේ නම් සිය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරන බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

එහි සම සභාපති එඞ්වඩ් මල්වත්තගේ ප්‍රකාශ කළේ සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය 12 වන දිනටත් අද ක්‍රියාත්මක වුවද මේ දක්වා නිසි විසඳුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.

වැටුප් ගැටළුව ඇතුලූ ඉල්ලීම් 5 ක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් මේ වනවිට වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටිනවා.

මේ අතර මෙම වර්ජනය හේතුවෙන් සියලූම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සහ විභාග කල් දැමීමට ද බලධාරීන් මේ වනවිට පියවර ගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *