1. ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වාර දෙකක් අවලංගුයි | 2. වියානා ඇලේ සැඟව ගිය ජීවිතය

(26.02.2018 – 17:51 +0530 – lankadeepa.lk)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අද දිනට නියමිත ගුවන් ගමන් වාර දෙකක් අවලංගු කර ඇති බව එම සමාගම නිවේදනය කර සිටී.

අද දින දහවල් 1.20 ට පකිස්තානයේ කරච්චි බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 183 දරන යානයත් , අද රාත්‍රී 10.20 ට මාලේ බලා පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 109 දරන යානයේත් ගමන්වාර අවලංගු කර තිබේ . මෙයට හේතු වී ඇත්තේ දෙදිනකට පෙර සිට ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වල පවතින ප්‍රමාද වීම් නිරාකරණය කර ගැනීම සඳහා බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.

දෙදිනකට පෙර කොචින් ගුවන් තොටුපොළ ආසන්නයේ දී A-330 එයා බස් වර්ගයේ ගුවන් යානයක කුරුල්ලෙකු වැදීම නිසා එය පියාසැරියෙන් ඉවත් කර තිබීම මෙම ගුවන් ගමන් ප්‍රමාදයට බල පෑ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය .

මේ වනවිට මෙම යානය යථා තත්වයට පත් කරමින් පවතින අතර , එය හෙට (27 වැනිදා) යළි ධාවනයට එක් කළ හැකි බවද , ඒ වනවිට මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානා වල පවතින ප්‍රමාදය අවසන් වනු ඇති බවද පෙරේරා මහතා බලාපොරොත්තු පළ කළේය .

මීට අමතරව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නව දිල්ලි ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටීම නිසා , එහි ළගා වෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙනත් ගුවන් තොටුපොළක් වෙත යොමු කිරීමද මෙම ප්‍රමාද වීම් ඇති වීමට බල පෑ බවත් ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .

ශ්‍රී ලන්කන් ගුවන් මගීන් සදහා 011 973 31979 දුරකථනය දවසේ පැය 24 පුරා විවෘතව පවතින අතර , ගුවන් තොටුපොළ වෙත පිවිසීමට පෙර අවශ්‍ය නම් වැඩිදුර විමසීම් කරන ලෙසද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි ෴

++++++++++++++++++++++++++++++

ශ්‍රී ලන්කන් ගුවන් වාර 4 ක් හෙට (28) දිනයේදී අවලංගු කෙරේ
(27.02.2018 – 12:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලන්කන් ජාතික ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රමාදය තවමත් අවසන් වී නැහැ.

ගුවන් සේවා වෙබ් අඩවිය සඳහන් කරන පරිදි අද (27) දිනයේදී ගුවන් ගමන් 8 ක ප්‍රමාදයන් සිදුවන අතර,වැඩිම කාලයක් එනම් පැය 4 යි විනාඩි 10 ක් ප්‍රමාදය බලපාන්නේ යූ.එල්. 402 දරණ බැංකොක් වෙත යාමට නියමිත ගුවන් යානයයි.

මීට අමතරව බැංගලෝරය බලා ගමන් ගන්නා යූ එල් 173 යානය පැය 3 යි විනාඩි 30 ක් ද, චීනයේ ගුවන්ෂු වෙත ගමන් කරන යූ.එල්.880 යානය පැය 3 යි විනාඩි 35 කින් ප්‍රමාද වනු ඇති.

චෙන්නායි, විශාකාපට්නම්, සහ ත්‍රිවෙන්ඩ‍්‍රම් වෙත ශ්‍රී ලංකන් ගුවන් ගමන් පැය එකහමාරකින් පමණ පමා වනු ඇති බවයි ගුවන් සේවය ප්‍රකාශ කළේ.

එමෙන්ම, හෙටට නියමිතව තිබූ ෂී සෙල්ස් සහ මුම්බායි අතර ගුවන් ගමන් 4 ක් අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ නමුත් මුම්බායි ගුවන් මගීන් වෙනත් යානයක් වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කළා ෴

*************************************

වියානා ඇලේ සැඟව ගිය ජීවිතය
(26.02.2018 – 09:40 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මහියංගනය – මාපාකඩවැව ප්‍රදේශයේදී වියානා ඇලට පෙරළී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි පිරිමි පුද්ගලයින් තුන්දෙනෙකු සහ කාන්තාවක් සිට ඇති බව සඳහන්.

අනතුරෙන් එක් පුද්ගලයෙක් අතුරුදන්ව ඇති අතර මෝටර් රථයේ සිටි කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු දිවි බේරා ගැනීමට සමත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මොවුන් අද (26) උදෑසන රැකියාවට යමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

අතුරුදන් පුද්ගලයා සොයා ප්‍රදේශවාසීන් සහ පොලීසිය මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මහියංගණය ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු බව සඳහන්.

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

වියානා ඇලේ අනතුරින් අතුරුදන්වු ගුරුවරයාගේ සිරුර හමුවෙයි
(27.02.2018 – 11:33 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල මහියංගණය මාර්ගයේ මාපාකඩවැව ප්‍රදේශයේදී වියානා ඇලට මෝටර් රථයක් පෙරලීමෙන් අතුරුදන්ව සිටි ගුරුවරයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටර් 8 ක් පමණ පහළින් පිහිටි ඔරුබැඳිවැව ප්‍රදේශයේ පාවෙමින් තිබියදීයි අද උදෑසන 7 ට පමණ සිරුර හමුවී ඇත්තේ.

මෙම සිරුර මහියංගණය මහේස්ත්‍රාත්වරයා හමුවේ ගොඩ ගැනීමට නියමිතයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ තිස්සපුර විද්‍යාලයේ ඉගැන්වීමේ නිරතවු 29 හැවිරිදි ගුරුවරයෙක්.

ඊයේ උදෑසන මෝටර් රථය ඇලට පෙරලී ඇති අතර එහි සිටි 3 දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගනු ලැබුවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *