එජාපයේ දෙවැනි පිපිරීම අත ළඟයි – උදය ගම්මන්පිල

(26.02.2018 – 15:52 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යධූරයවත් ලැබේවි යැයි බලාපොරොත්තු වු තරුණ මන්ත්‍රීවරුන්ට එය නොලැබීම නිසා අසහනයට පත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා එසේ අදහස් පළ කළේය.

මෙම හේතුව නිසා එක්සත් ජාතික පක්ෂයේ දෙවන පිපිරීම අත ළඟ ඇති බව ද පැවසු මන්ත්‍රීවරයා අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය යෝජනාව යළි කරළියට ගෙන ආ යුතු බවත් එසේ සිදු කරන්නේ නම් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු අත්සන් කිරීමට සුදානම් බවට තමා වෙත තොරතුරු ලැබී ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු උදය ගම්මන්පිල මහතා මෙසේ ද සඳහන් කළේය :

“ඇමති මණ්ඩල සංශෝධනයෙන් ජනතාව සතුටුත් නෑ. ඇමතිවරුන් සතුටුත් නෑ. කවුරුත්ම සතුටු වී නෑ.

ඡන්දය කාලයේ දී අගමැතිතුමාට බැංකු හොරා කිව්වා. දැන් එතුමාට හොරු අල්ලන පොලීසිය භාර දීලා තිබෙනවා.

නරියාට කුකුල්ලු භාර දුන්නා නම් මීට හොඳයි. ඡන්දය කාලේ බැඳුම්කර වංචාව ගැන ආණ්ඩුවේ නායකයන් කවර කතා කිව්වත් බැඳුම්කර වංචාව ගැන යුක්තිය ඉටුවීම නම් ඊයෙන් අවසන් කියන එක අපි රටට කියන්න අවශ්‍යයි.

මොකද මේ වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් චෝදනා ලද අගමැතිවරයා යටතට පොලීසිය පත්කල පසු අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමක්වත්, චෝදනා ලද අන් අයට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග නිසි ආකාරයට සිදු වේවියැයි විශ්වාශයක්වත් මේ රටේ ජනතාවට තව දුරටත් නෑ.

වැඩ බැරි ඇමතිවරුන්ට මොන වැඩේ බාර දුන්නත් බෑම තමයි. කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ වගේම අමාත්‍යාංශය මාරු වුණාට හොරකම බැරිකම මාරු වෙන්නේ නෑ.

ඒවා පරණ අමාත්‍යාංශයේ සිට අළුත් අමාත්‍යාංශයට එනවා අර අමාත්‍යවරයා අරන් එනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමන් වරක් පැවසූ පරිදි අද අවශ්යය හිසේ කැක්කුමට කොට්ට මාරු කිරීමක් නොවෙයි.

අද ජනතාව ඉල්ලන්නේ කොට්ටෙ මාරුකරන එක නතර කරලා තිබෙන ඇඳ වෙනුවට අළුත් ඇඳක් ගැනීමයි. ඒ නිසා අපි පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලලා මාර්තු 7 වෙනිදා ජනතාව සමඟින් පාරට බහින්න තීරණය කරලා තියෙනවා.“

++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න එජාප මන්ත්‍රීවරු පිරිසක් සූදානම්
(26.02.2018 – sinhala.adaderana.lk)

++++++++++++++++++++++++++++++++

රනිල් යුගය අවසන් හෝරාවේ.. රනිල්ට එරෙහිව එජාපයෙන්ම විශ්වාස භංගයක්.. එජාප මන්ත‍්‍රින් 50 කට වඩා රනිල්ට විරුද්ද වේ.. පාර්ලිමේන්තුවේදී උඩින්ම සම්මත වන ලකුණු..
(26.02.2018 – 22:32 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙන එන බව එම පක්‍ෂයේම රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

පුත්තලමේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

එජාපය ශක්තිමත් පක්‍ෂයක් ලෙස ඉදිරියට යාමට නම් පක්‍ෂය නායකත්වයද වෙනස් කරමින් පූර්ණ වෙනසක් කල යුතු යයිද ඇමතිවරයා කීය.

පක්‍ෂ නායකත්වය වෙනස් නොකර කුමන ආකාරයේ කැබිනට් සංශෝධන කලත් කුමන පරපුරක් හැදුවත් වැඩක් නැති බව කී ඔහු තමනට කියා පරපුරක් හදාගන්නට බැරි මිනිහෙකුට නායකත්ව පරපුරක් හදන්නට බැරි බවද සදහන් කලේය.

ආත්මාර්තකාමී බලලෝභී නායකයන් පන්නා දමා පක්‍ෂය වෙනුවෙන් පෙනී සිටින්නට ඉදිරිපත් වන ලෙස සියළු එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා පැවසීය.

ඒ සදහා හෙට අනිද්දාම වාශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

මේ අතර වාර්තා වන්නේ මැතිවරණ පරාජයෙන් පසු අගමැතිවරයා ඉවත් කල යුතු බව කියූ එජාප මැති ඇමති පිරිස 52ක් වූ බවත් කැබිනට් සංශෝධනයෙන් පසු එම ප‍්‍රමාණය තවත් ඉහල ගොස් ඇති බවත්ය.

එක්සත් ජාතික පක්‍ෂය සමග ගිවිසුම්ගතව සිටින හකීම්, බදියුදීන් ඇතුළු කිසිදු සුළු පක්‍ෂයක් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් ස්ථාවරයක් ගෙන නැති අතර එජාපය යටතේ 106 ක් පාර්ලිමේන්තු පැමිණියද එක්සත් ජාතික පක්‍ෂය සෘජුව නියෝජනය කරන මන්ත‍්‍රී ධුර ගණන 82කි.

ඒකාබද්ද විපක්‍ෂය සතුව මන්ත‍්‍රී ධුර 54 ක් ඇති අතර ශ‍්‍රීළනිපයෙන්ද යම් කොටසක් මෙම විශ්වාස භංගයට පක්‍ෂ වනු ඇත.

ඒ ආකාරයෙන් ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවේදී මෙය සම්මත කර ගත හැකි තත්වයක් මතුව ඇති බවද වාර්තා වෙයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *