බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විරෝධතාවයක

(25.02.2018 – 20:30 +0530 – sinhala.adaderana.lk)

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවට කැඳවීමට එරෙහිව සහ දෙමළ ඩයස්පෝරාවට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණි.

බ්‍රිතාන්‍යයේ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ සංවිධානය විසින් සංවිධාන කර තිබූ මෙම උද්ඝෝෂණයට යුරෝපයේ රටවල් කිහිපයක ශ්‍රී ලාංකිකයින් එක්ව සිටියේය.

බ්‍රිතාන්‍යයේ පැවති එල්.ටී.ටී.ඊ. හිතවාදී උද්ඝෝෂණයක් අතරතුර හස්ත සංඥාවක් සිදුකිරීම සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා පිළිබඳව පසුගියදා දැඩි කථාබහක් ඇතිවුණෙි.

මේ සිදුවීමත් සමඟ බ්‍රිගේඩියර්වරයා සාමාන්‍ය රාජකාරිවලින් ඉවත් කිරීමට විදේශ අමාත්‍යාංශය තීරණය කළ අතර පසුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ඔහු යළි සාමාන්‍ය රාජකාරි සඳහා අනුයුක්ත කරනු ලැබීය.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා දිවයිනට කැඳවා තිබූ අතර යුධ හමුදාපතිවරයා පවසා තිබුණේ ඔහුගේ ආරක්ෂාව පිළිබඳ සැළකිල්ලට ගනිමින් උපායශීලී පියවරක් ලෙස ප්‍රියංක ප්‍රනාන්දු මහතා මෙරටට ගෙන්වූ බවයි.

මේ අතර ඊයේ පස්වරුවේ ලන්ඩනයේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටට රැස්වූ එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව බ්‍රිගේඩියර්වරයා ශ්‍රී ලංකාවට කැඳවීමට එරෙහිව මෙලෙස විරෝධය පළ කළේය.

මෙම විරෝධතාවට යුරෝපයේ තවත් රටවල් රැසක ශ්‍රී ලාංකිකයින් එක්ව සිටියේය.

ඔවුන් පැවසුවේ ශ්‍රී ලංකික රණවිරුවන්ට වන අසාධාරණයට එරෙහිව විදෙස්ගත සියළු ශ්‍රී ලාංකිකයින් එක්විය යුතු බවයි.

මේ අතර ශ්‍රී ලාංකිකයින් එක්ව පැවැත්වූ විරෝධතාව අතරතුර බ්‍රිතාන්‍යයේ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් කිහිපදෙනෙකු එම ස්ථානයට පැමිණ ඊළාම් කොඩිය ප්‍රදර්ශනය කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක්ද ඇති වූණි.

*******************************************

කල්පිටිය මුහුදේ පාවී ආ පිළිමය
(25.02.2018 – 19:00 +0530 – hirunews.lk/sinhala)

රහතන් වහන්සේ නමකගේ යැයි සැක කරන පිළිමයක් කල්පිටිය මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයන් පිරිසක් විසින් දැක ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.

පසුව ධීවරයන් පිරිස විසින් එම පිළිමය කන්දකුලිය – ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානයට භාර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පිළිමය උතුරු ඉන්දියාවට හෝ බුරුමයට අයත් එකක් විය හැකි බව කන්දකුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානාධිපති පුජ්‍ය බැදීවැව දියසේන හිමියන් පවසනවා.

අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ පාත්‍රය අතින් ගෙන අහස දෙස බලා සිටින රහතන් වහන්සේ නමක් මින් පිලිඹිඹු වන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *