හෙට (25) කොළඹ පාරවල් කීපයක් වැසෙයි

(24.02.2018 – 11:17 +0530 – sinhala.adaderana.lk)

‍හෙට (24) දිනයේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරඟාවලියක් හේතුවෙන් කොළඹ කොටුව සහ වැල්ලවත්ත ප්‍රදේශවල මාර්ගවල ගමනා ගමනය සීමා කිරීමට සිදු වන බව පොලීසිය පවසයි.

ඒ අනුව උදෑසන 05.00 සිට දහවල් 12.00 දක්වා මෙලෙස කොළඹ කොටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල ගමනා ගමනය සීමා කරන බව පොලීසිය දැනුම් දෙයි.

කොටුව චෛත්‍යපාර, ගාලුමුවදොර මැද පාර, ගාලු පාර කොල්ලුපිටිය මංසන්දිය දක්වාත්, කොල්ලුපිටිය දුම්රියපොල පාර සහ මුහුදුබඩ මාර්ගය වැල්ලවත්ත දක්වාත් මෙලෙස ගමනා ගමනය සීමා කෙරෙයි.

මෙම කාලය තුළ හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීම් කරයි ෴

*************************************

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයට අයදුම්පත් නිකුත් කිරීම පෙබරවාරි 26 සිට
(23.02.2018 – biz.adaderana.lk)

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම පෙබරවාරි 26, 27, 28 හා මාර්තු 01 හා 02 යන දින පහ තුළ සිදු කෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

ඒ සඳහා අයදුම්පත් දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 කදී පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා සිදුකෙරේ. ඒ අනුව අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, වවුනියාව, මතුගම, අම්පාර, මඩකලපුව, හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය, පොළොන්නරුව, ත්‍රීකුණාමලය, තංගල්ල, සහන පියස සහ පන්නිපිටිය ආදී ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන වෙතින් ලබාගත හැකිය.

මෙවර විභාගය නිෂ්පාදන හා ඉදිකිරීම් යන ක්ෂේත‍්‍ර සඳහා පැවැත්වේ. මෙවර කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය පරිගණක ආශ‍්‍රිතව පැවැත්වෙන අතර, ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා මාර්තු මස 19 සිට මැයි 4 දින දක්වාත් නිශ්පාදන ක්ෂේත‍්‍රය සඳහා මැයි 25 සිට ඔක්තොම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 18 සිට 39 දක්වා ශ‍්‍රී ලාංකික පුද්ගලයින්ට විභාගය සඳහා අයදුම්කළ හැකිය. අයදුම්පත‍්‍ර පිරවීමට තමන්ගේ ගමන් බලපත‍්‍රය හා එහි පිටපතක්ද, සෙ.මි 3.5×4.5 ප‍්‍රමාණයේ ඡායාරූප 3 ක් තිබිය යුතුවේ. අයදුම්පත‍්‍ර නොමිලේ නිකුත් කරන අතර, විභාග ගාස්තු ලෙස ඇමරිකන් ඩොලර් 24 හෙවත් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 3,772.00 ගෙවිය යුතුවේ. කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සමත්වන අයදුම්කරුවන්ගේ නම වසර දෙකක කාලයක් කොරියානු රැකියා වෙබ් අඩවියේ වලංගුව පවති.

කොරියාවේ රැකි රක්ෂා හා කම්කරු අමාත්‍යංශයත් ශ‍්‍රී ලංකාවේ විදේශ රැකියා අමාත්‍යංශයත් අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා හිමිවන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි. කොරියානු රැකියා සඳහා කිසිඳු දේශපාලන මැදිහත්වීමක් සිදුනොකල හැකි බවත්, එය කොරියානු මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ඉතා විනිවිද අයුරින් සිදුකරන බවත් එම නිසා වංචනික අයුරින් කොරියානු රැකියා ලබාදීමට උත්සහ කරන්නන්ට නොරැවටෙන ලෙසත් අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කරයි.

කොරියානු රැකියා ශ‍්‍රී ලංකාවේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේ විදේශ රැකියා අමාත්‍යංශය හා ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පමණකි.

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සමත්වීම කොරියාවේ රැකියාවක් ලැබීමට අනිවාර්යය සුදුසුකමක් නොවන අතර, රැකියා සඳහා තෝරා ගනු ලබන්නේ කොරියාවේ නිෂ්පාදන හා ඉදිකිරීම් අංශයේ පවතින පුරප්පාඩු මත බවත්, ඒ සඳහා ශ‍්‍රී ලංකාවෙන් කිසිදු බලපෑමක් කළ නොහැකි බවත් කාර්යාංශය අවධාරණය කරයි. විභාගය සමත් කිරීමට බලාපොරොත්තුවන සංඛ්‍යාව විභාග ප‍්‍රතිඵල මත තීරණය කෙරෙන අතර, සමත්වූවන් සඳහා කුසලතා පරීක්ෂණයක්ද පැවැත්වේ ෴

****************************************

මෝටර් රථවල ඉදිරිපස සන්නිවේදන උපකරණවලට බාධා නොවන ලෙස අංක තහඩු නිකුත් කිරීමට පියවර
(22.02.2018 – biz.adaderana.lk)

නවීන මෝටර් රථවල ඉදිරිපස පිහිටා තිබෙන සන්නිවේදන උපකරණවලට බාධා නොවන පරිදි සකස් කළ ඉදිරිපස අංක තහඩු නිකුත් කිරීමට, මෝටර් වාහන පනත යටතේ නියෝගය ගෙන ඒම මඟින් බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

මෝටර් වාහන පනත යටතේ නියෝගය ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

විවාදයේ දී තවදුරටත් අඳහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය :

‘‘ලංකාවේ ලියාපදිංචි වාහන 71 ලක්ෂයක් පමණ තිබෙනවා. 2017 වසරේ පමණක් අංක තහඩු 12,16805ක් නිකුත් කර තිබෙනවා. මසකට වාහන අංක තහඩු ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් නිකුත් වෙනවා. අංක තහඩුවලට ප්‍රමිතියක් තිබෙනවා. නවීන වාහනවල ඉදිරිපස තිබෙන සන්නිවේදන උපකරණ දැනට තිබෙන අංක තහඩුව සවි කළ විට එම සන්නිවේදන උපකරණ වැසෙනවා. එම නිසා දත්ත වාහනය තුළට ලබාගැනීමේ හැකියාවක් ඇතිවෙන්නේ නෑ. ඒ නිසා වෙනස් ප්‍රමාණයේ සුදු පැහැති අංක තහඩු නිකුත් කරන ලෙස ඉල්ලීමක් තිබුණා. එවැනි අංක තහඩු නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා’’ යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *