දියතලාවේදී බස් රථයක් තුළ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන් අතර 12 දෙනෙකු හමුදා සාමාජිකයින්

(21.02.2018 – 10:10 +0530 – hirunews.lk/sinhala)

දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ පිපිරීමත් සමඟ ඇති වූ ගින්නෙන් තුවාල ලැබූවන් 19 දෙනා අතර හමුදා සාමාජිකයන් 12 දෙනෙකු සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඉන් 7 දෙනෙකු යුද හමුදා සාමාජිකයින් වන අතර, 5 දෙනෙකු ගුවන් හමුදා සාමාජිකයින් බවයි.

කෙසේ වෙතත්, මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි බ්‍රිගේඩියර්වරයා ප්‍රකාශ කළේ.

බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුළයි මෙම පිපිරීම සිදුව ඇත්තේ.

යාපනයේ සිට දියතලාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි පැමිණි මගීන් පිරිසක් බණ්ඩාරවෙලදී පිපිරීම සිදුවූ බස් රථයට නැග තිබෙනවා.











—————————

++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

දියතලාවේදී බසයක අත්බෝම්බයක් පිපිරීමෙන් 16 කට තුවාල
(21.02.2018 – 09:00 +0530 – lankadeepa.lk)

දියතලාව කහගොල්ල මගී බස් රථයක පිපිරුමක් ඇති වී ඇති බවත් එහි ගමන් ගත් 16 දෙනෙක් තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

මෙම සිදුවීම සිදුව ඇත්තේ බස් රථයේ තුන්වැනි ආසන පේළියේ වේ. පිපිරිමට හේතුව කුඩා අත්බෝම්බයක් බව විමර්ශන වලදී හෙළි වී තිබේ.

රජයේ රස පරික්ෂක මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත.

තුවාලකරුවන් අතර යුද හමුදා සාමාජිකයෙක් ද වේ. පෞද්ගලික බස් රථයක මෙම පිපිරුම සිදුවී තිබේ.

බණ්ඩාරවෙල සිට දියතලාවට ගොස් මගීන් බස්වා ආපසු බස් රථය දියතලාව හරහා මහියංගණයේ හෙබරව දක්වා ධාවනය වීමට නියමිතව තිබිණි. තුවාල වී ඇත්තේ පාදවලට බවත් පිරිමි 15 ක් ද කාන්තාවක ද මේ අතර වෙති ෴

++++++++++++++++++++++++++++++

බස් රථයේ පුපුරා ගිය අත් බෝම්බයේ හිමිකරු හෙළිවෙයි
(21.02.2018 – 18:26 +0530 – hirunews.lk/sinhala)

දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක ගිනි ගැනීමට හේතුව යුද හමුදා සෙබළෙකු භාරයේ තිබු ජීව අත් බෝම්බයක් පුපුරා යාම බවට මෙතෙක් කරන ලද මුලික විමර්ශණවලට හා සටහන් කරගෙන ඇති ප්‍රකාශ අනුව සැක කෙරෙන බව පොලිසිය පවසනවා.

මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඇතුලු කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශණ ආරම්භ කර ඇති බවයි පොලිසිය නිවේදනය කළේ.

බණ්ඩාරවෙල පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ද නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශණ මෙහෙයවනවා.

එමෙන්ම විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරීන් සහ අපරාධ ස්ථාන පරීක්ෂණ පොලිස් නිලධාරීන්ගේ සහය ද ඊට ලැබී තිබෙනවා.

අද උදෑසන 5.25 ට පමණ දියතලාව දක්වා ගමන් කරමින් තිබු පෞද්ගලික බස් රථයකුයි මෙලෙස ගිනි ගැනීමට ලක්වුනේ.

එහිදී බස් රථයේ ගමන් ගත් 19 දෙනෙකු තුවාල ලැබු අතර යුද හමුදා සෙබලුන් 7 ක්, ගුවන් හමුදා සෙබලුන් 5 ක් සහ සාමාන්‍ය පුද්ගලයන් 7 ක් ද එම පිරිසට අයත්.

කාන්තාවන් දෙදෙනෙකු ද ඒ අතර වන බවයි පොලිසිය කියාසිටියේ.

තුවාල ලැබූ යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර එක් අයෙකුට ශල්‍යකර්මයක් සිදුකර පාදයෙන් කොටසක් ඉවත් කළ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

ඊයේ රාත්‍රියේ යාපනයේ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වන බස් රථයකින් පැමිණි මගීන් පසුව දියතලාව දක්වා ධාවනය වන මෙම බස් රථයට නැග ඇති අතර, කහගොල්ල ප්‍රදේශය පසුකරමින් සිටියදියි පිිපිරීම සිදුව ඇත්තේ.

මේ අතර යුද හමුදාව තහවුරු කළේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි.

යුද හමුදාව සහ පොලීසිය එක්ව විශේෂ පරීක්ෂණක්ද ආරම්භ කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මෙම පිපිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කළ ප්‍රශ්ණ කිරීමකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පිළිතුරු ලබාදුන්නා.

පිපිරීමට හේතුව මගියෙකුගේ ගමන් මල්ලක තිබූ අත් බෝම්බයක් පුපුරා යාම බව යුද හමුදාපතිවරයා තමාට දැනුම් දී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++++++++++

දියතලාව බස් බෝම්බය : අත්බෝම්බය සාක්කුවෙන් බෑග් එකට දාද්දී පිපිරුවා – බෝම්බය ගෙනා සෙබළාගේ කකුලත් කපලා
(22.02.2018 – gossiplankanews.com)

දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී මගී බස් රථයක් තුළ ඊයේ (21) අලුයම පුපුරා ගියේ හමුදා සෙබළකු විසින් යාපනයේ සිට ගෙන එන ලද අබෝම්බයක් බව මේ වනවිට සිදු කර තිබෙන පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.

සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන යාපනයේ සිට රැගෙන පැමිණි එම අත් බෝමිබය සාක්කුවෙන් පිටතට ගෙන සිය ගමන් මල්ලට දැමීමට සූදානම් වූ අවස්ථාවේ. සිදු වු අත්වැරදීමකින් බෝම්බය පුපුරා ගොස් ඇති බව අනාවරණය වී ඇත.

සාක්කුවෙන් බෝම්බය පිටට ගන්නා අවස්ථාවේ “පින්” එක ගැලවී එය ඔහු අසුන්ගෙන සිටි ආසනය යටට වැටී තිබෙන බවද වාර්තාවේ.

එම බස් රථයේ ඒ වන විට ගමන් කරමින් සිටි යුද හමුදා පොලිස් නිලධාරියක් සහ සිවිල් කාන්තාවක් සියල්ල දැක ඇති බවත්, ඔවුන් ඒ බැව් පොලිසියට පවසා ඇති බවත් වාර්තාවේ.

බෝම්බය මේ ආකාරයට මාරු කරන්නට ගිය සෙබළාට මේ නිසා බරපතල හානි සිදුවූ අතර ඔහුගේ පාදයක් කපා ඉවත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම බෝම්බය එම සෙබළා යාපනයේ ඔහු සේවය කළ කඳවුරෙන් සොරාගෙන එන්නට ඇතැයි සැක කෙරේ.

ඒ සම්බන්ධයෙන් සෙබළාගෙන් ප්‍රශ්න කිරීට නියමිත නමුත් අසාධ්‍ය තත්වය නිසා තවම ප්‍රකාශයක් ලබාගෙන නැත.

වැඩිදුර විමර්ශන සඳහා රස පරීක්‍ෂක කැඳවීමට පොලීසිය පියවර ගෙන තිබේ. බෝම්බය පිපුරුණ අවස්ථාවේ මගීන් 30 දෙනකු බස් රථයේ සිට ඇත.

ඉන් 19 දෙනකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ අතර යුද හමුදාවේ සෙබළුන් හතර දෙනකු සහ ගුවන් හමුදා සෙබළුන් පස් දෙනකු එහි සිටි බව වාර්තා විය.

මෙම බස් රථය දෛනිකව බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා ධාවනය කර දියතලාවේ සිට බදුල්ල හරහා මහියංගණය දක්වා ධාවනය කරන්නකි.

යාපනයේ සිට පැමිණි හමුදා භට පිරිස් ඇතුළු මගීන් පිරීසක් බණ්ඩාරවෙල නගරයේ දී මෙම බස් රථයට නැග ඇති බවත් ඔවුන් දියතලාව දක්වා ගමන් ගෙන ඇති බවත් පොලිසිය කියයි.

පිපිරීමක් සමග බස් රථය තුළ විශාල ගින්නක් හටගෙන ඇති අතර යුදු හමුදාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇතත් ඒ වන විට බස් රථයෙන් වැඩි කොටසක් පිලිස්සී තිබිණි ෴

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++

24.02.2018

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *