විදුහල්පතිනියකට මරු කැඳවූ නායකත්ව පුහුණුව

(19.02.2018 – 16:12 +0530 – hirunews.lk/sinhala)

නායකත්ව පුහුණු කදවුරකට සහභාගී වී සිටි විදුහලපතිනියක් හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රෝහිනී කුමාරි අතපත්තු නමැති 52 හැවිරිදි හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනියයි.

අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සංවිධානය කෙරුණු නායකත්ව පුහුණු කදවුරකට සහභාගී වී සිටියදී එහි ක්‍රියාදාමයක නිරතවෙමින් සිටියදී හදිසි අනතුරකට ලක්වීමෙනුයි විදුහල්පතිනිය මියගොස් ඇත්තේ.

පසුගිය 16 දා කුරුනෑගල වාරියපොළ වයඹ නායකත්ව පුහුණු කදවුර වෙත පැමිණ ඇති අතර ඉකුත් 17 වනදා සිදුවූ අවාසනාවන්ත අනතුරකින් ඇය මෙලෙස මියගොස් තිබෙනවා.

සිවු දරු මවක් වන රෝහිනී කුමාරි අතපත්තුගේ සැමියා වන තිලකරත්න අබේසිංහ මහතා අප සමඟ පැවසුවේ මෙවැන්නක් :

‘‘16 වෙනිදා උදේ වැඩමුළුව සදහා පිටත්ව ගියා. 17 දින හවස 3 ට පමණ තමයි කදවුරේ සිටියදී අනතුරකට ලක්වෙලා තිබුනේ,අනතුරින් පස්සේ නෝනව වරකාපොල රෝහලට ඇතුලත් කරලා තිබුනා පස්සේ වරකාපොලින් වැඩි දුර ප්‍රතිකාර සදහා කුරුනෑගල රෝහලටත් එතනින් කොළඹ මහා රෝහලටත් මාරුකර යවා තිබුනා.කොළඹ මහා රෝහලට රැගෙන යන අතරවාරයේදී මියගිය බව තමයි අපිට දැනුම් දුන්නේ.අපිට දූවරුන් හතර දෙනෙක් ඉන්නවා .එක දරුවෙක් තවමත් ඉගෙන ගන්නවා.දැන් දරුවෝ හතර දෙනයි මමයි තනි උනා.අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සංවිධානය කල මෙවැනි පුහුණු වැඩමුළු සදහා මැය මීට පෙරත් දෙවරක්ම සහභාගී උනා.එත් මේ පාර මේවගේ දෙයක් සිදුවේවි කියල හිතුනේ නෑ.මේකට හේතුව තමයි අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සංවිධානය කල මෙම වැඩමුළුව තුල සහභාගී වූ විදුහල්පතිවරුන්ගේ ජීවිත පිලිබදව කිසිදු සැලකිල්ලක් අදාළ බලධාරීන් නොදැක්වීම.මෙම පුහුණු වැඩසටහන් සදහා සහභාගී වන සියලුම දෙනාගේ ආරක්ෂාව පිලිබදව සංවිධායකවරුන් වගබලා ගත යුතු උවත් මෙම පුහුණුව තුල ඔවුන් එය ලබා දීල නැහැ.ඒ නිසා තමයි අද මට මගේ බිරිදත් දරුවන්ට මවක් ඒ වගේම පාසලකට විදුහල් පතිනියක් අහිමි වුනේ.’’

————–

————–











+++++++++++++++++++++++++++++

නායකත්ව පුහුණුවක් අතරතුරදී විදුහල්පතිවරියක් මරුට
(19.02.2018 – 21:11 +0530 – newsfirst.lk/sinhala)

නායකත්ව පුහුණුවක් අතරතුර කඹයක එල්ලී ක්‍රියාකාරකමක් සිදු කිරීමට ගොස් හම්බන්තොට විදුහල්පතිවරික් මිය ගොස් තිබේ.

ඒ, හම්බන්තොට සුචී විද්‍යාලයේ විදුහල්පතිවරිය ලෙස කටයුතු කරන වයස 53 හැවිරිදි රෝහිනි කුමාර අතපත්තු මහත්මිය ය.

වැඩිහිටි ගැහැණු දරුවන් 4 දෙනකුට අම්මා වූ ඇය හම්බන්තොට සුචී විද්‍යාලයේ දරු දැරියන්ට ද සෙනෙහෙබර මවක් වූවා ය.

පසුගිය දිනකදී අධ‍්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයුමෙන් සිදු කෙරෙන විදුහල්පතිවරුන් සඳහා ක්‍රියාත්මක නායකත්ව පුහුණුවකට කැඳවීමක් රෝහීණි මහත්මියට ලැබී තිබුණි.

ඒ අනූව විදුහල්පතිතුමිය වාරියපොල වයඹ නායකත්ව පුහුණුව සඳහා පිටත් ව ගොස් ඇත්තේ ඉකුත් 16 වන දායි.

නමුත් 17 වන දා පුහුණුවේදී ඇයට අනපේක්ෂිත සිදුවීමකට මුහුණදීමට සිදු විය.

පුහුණුව අතරතුරදී කඹයක එල්ලී ක්‍රියාකාරකමක් සිදු කිරීමට රෝහිණි මහත්මියට උපදෙස් ලැබී ඇති බවත්, කඹය අතහැරී, හිස බිම වැදිමෙන් හිසට තුවාල සිදුවී ඇති බවත් ඇයගේ සැමියා පැවසුවේ ය.

ඔහු පැවසුවේ , තුවාල ලැබූ සිය බිරිඳ වරකාපොල රෝහලටත් ඉන්පසු කුරුණෑගල ශික්ෂණ රෝහලටත් ඇතුළු කර තිබූ බවයි.

තත්ත්වය බරපතළ බැවින් ඇය කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී ඇය මිය ගොස් ඇත.

ගැහුණු දරුවන් සිව්දෙනෙකුට මවක් හා සැමියාට සෙනෙහෙබර බිරිඳක් අහිමි කරමින් රෝහිණි මහත්මිය දෙනෙත් පියා ගත්තේ මෙවැනි නායකත්ව පුහුණු පිළිබඳ ප්‍ර‍ශ්නාර්ථයක් ඉතිරි කරමිනි.

+++++++++++++++++++++++++++

නායකත්ව පුහුණුවේදී කඹය කඩන් වැටී විදුහල්පතිනිය මියයාම – වගකීම භාරගන්න කිසිවෙකු නෑ
(20.02.2018 – gossiplankanews.com)

හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය ලෙය වසර පහකට ආසන්න කාලයක් සේවය කරමින් සිටි 53 හැවිරිදි රෝහිනී කුමාරි අතපත්තු මහත්මිය කුරුණෑගල වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේ පැවැති විදුහල්පති නායකත්ව පුහුණුවට සහභාගී වී සිටියදී කඹයක ආධාරයෙන් බිමට බැසීමේදී කඹයේ ලණුව කඩා වැටීමෙන් ඇය බිමට ඇදවැටීම නිසා සිදු වූ තුචාල හේතුවෙන් කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඉන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

දියණියන් 4 දෙනෙකුගේ මව වන ඇය ඇගේ සැමියා සමග එක්ව හම්බන්තොට මයුරපුර නව නිවසක් තනා ලබන මස 1 වනදා එහි පදිංචිවන්නට යාමට සූදානමින් සිටියදී මෙම අනතුරට ලක්විය.

මෙම විදුහල්පතිනිය මිට පෙර රන්ටැඹේ සහ කුඩා ඔය පුහුණු මධ්‍යස්ථානවල පුහුණු වීම් සඳහා සහභාගි වී ඇති අතර ඒවායේදී හොඳින් පුහුණුව ලබා තිබුණි. මෙම අනතුරට දිරාගිය ලණු යෙදූ දුර්වල සංවිධානය හේතුව තිබෙන අතර ප්‍රධාන වශයෙන් අදාළ බලධාරීන් වගකිව යුතුව තිබේ.

සිද්ධිය වූ දවසේ ඇය කඹයක ආධාරයෙන් කිසියම් ක්‍රියාකාරකමක නිරතවී තිබෙන අතර පසුව කඹයේ එල්ලී පහතට බැස ඇත. එසේ බසින අවස්ථාවේ කඹය කැඩී ඇය ඇද වැටී ඇති අතර බරපතල තුවාල ලබා තිබේ.

කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඉන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

වයඹ පුහුණු ආයතනයේ අධ්‍යක්ෂිකා ඩිලානි ගුණසිංහ මහත්මිය මෙසේ කීයා ඇත.

සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය පුහුණුවීම් අතරතුර සවස 4.00 ට පමණ තමයි අනතුරට ලක්වෙලා තියෙන්නේ. ඒ සමඟම ඇය රෝහලට ඇතුළත් කළා. රෝහලේ ප්‍රතිකාර ලබද්දී රාත්‍රී 11.00ට පමණ ඇය මියගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දැනට වාරියපොළ පොලිසිය පරික්ණයක් සිදුකරනවා. මගෙනුත් කටඋත්තර ගත්තා.

මෙම ආයතනයෙන් අපි කරන්නේ පුහුණුවීම්වලට එන අයට භූමිය, නවාතැන් සහ ඉඳලා හිටියොත් කෑම බීම දීම පමණයි‘

මෙම අනතුර සම්බන්ධයෙන් පුහුණුව සංවිධානය කළ ශ්‍රී ලංකා බැහැරගත ක්‍රියාශීලී පුහුණු භාරකාරය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ චරිත රත්වත්තේ නිවේදනයකින් කියා සිටින්නේ එම සිදුවීම සම්බන්ධයෙන් එම ආයතනයේ කිසිදු සම්බන්ධයක් නැති බවයි.

ඒ අනුව මෙම සිදුවීමේ වගකීම දරන්නට කිසිවෙකු මේ වනතුරු ඉදිරිපත්ව නැත.

සමස්ත විදුහල්පති ක්ෂේත්‍රයටම දක්ෂ විදුහල්පතිනියක අහිමි වී තිබෙන බව ඇය සම්බන්ධයෙන් අදහස් පළ කරන කලාප අධ්‍යාපන බලධාරීන් පවසා තිබුණි.

විදුහල්පතිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ 19 පවුලේ සුසාන භූමියේදී සිදුවිය ෴

+++++++++++++++++++++++++++

විදුහල්පතිවරුන්ගේ නායකත්ව පුහුණුව අත්හිටුවයි
(20.02.2018 – 14:45 +0530 – sinhala.adaderana.lk)

විදුහල්පතිවරුන් සඳහා පැවැත්වෙන නායකත්ව පුහුණු වැඩසටහනකදී විදුහල්පතිවරයෙකු මිය යෑම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ අවසන් වන තෙක් විදුහල්පතිවරුන් සඳහා පැවැත්වෙන නායකත්ව පුහුණු වැඩසටහන අත්හිටුවීමට අධ්‍යපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය මිය යෑම සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති අතර ඒ අනුව මෙම පියවර ගෙන තිබේ.

හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය පසුගියදා කුරුණෑගල වාරියපොළ, වයඹ නායකත්ව පුහුණු කඳවුරේදී පැවති පුහුණු වැඩසටහනක් අතරතුර අනතුරකට ලක්වීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්විය.

අනතුරින් මියගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මීට පෙරද මෙවැනි නායකත්ව පුහුණු වැඩසටහන් දෙකක් සඳහා සහභාගී වී ඇති අතර කැඩෙට් නිලධාරිනියක් ලෙසද කටයුතු කර ඇත.

විදුහල්පතිවරුන්ගේ පෞරුෂ සංවර්ධන හා නායකත්ව ගුණාංග ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබිණි ෴

+++++++++++++++++++++++++++++++

සුචී ජාතික පාසලේ දෙමාපියන් පිරිසක් විරෝධතාවක
(21.02.2018 – 11:28 +0530 – hirunews.lk/sinhala)

විදුහල්පති නායකත්ව පුහුණු වැඩමුළුවක් අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද (21) උදෑසන විරෝධතාවක් පැවැත්වුණා.

හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිට පැවැත්වූ මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ එම පාසලේ දෙමාපියන් පිිරිසක් විසින්.






—————————

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *