දුෂණය, වංචාව තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙල ඉදිරි සති දෙක තුල අරඹන බව ජනපති කියයි

(15.02.2018 – 18:31 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තම දේශපාලන වේදිකාවේ ප්‍රධාන සටන් පාඨය වූ දුෂණය, වංචාව සහ අක්‍රමිකතාව තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙල ඉදිරි සති දෙක තුල ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ සඳහා ජාතික වශයෙන් රටේ ආගමික නායකයින් උගතුන් බුද්ධිමතුන් සියලුදෙනා දායක කරගන්නා අතර ජාත්‍යන්තර සහය ද ලබාගැනීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

ජයග්‍රහණය කළ නොකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලු අපේක්ෂකයන් ඒකරාශී කර ගනිමින් ජනතාවට සේවය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ දී පක්ෂ තීන්දුවට එරෙහිව වෙනත් පක්ෂවලට සහය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයන් ඉවත් කරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

පරාජයට පත්වූ කිසිදු අපේක්ෂකයෙකු අත් නොහරින අතර එම සියලු නියෝජිතයන් ගම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලේදී තම නියෝජිතයන් බවට පත් කරගන්නා බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපතිවරයා නායකත්වය දුන් දේශපාලන පක්ෂ හා සන්ධාන නියෝජනය කරමින් ඉදිරිපත්ව ජයග්‍රහණය කළ අපේක්ෂක අපේක්ෂිකාවන් සහ නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් මෙන්ම ආසන සංවිධායකවරුන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුනා.

එහිදීයි ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කොංග්‍රසය සහ ඊ පී ඩී පී පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්වී ජයග්‍රහණය කළ පිරිස මෙම අවස්ථාවට එක්ව සිටි බවයි.

දුෂණයෙන්, වංචාවෙන් සහ අක්‍රමිකතාවයෙන් තොර දේශපාලනයක් සඳහා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිඥාව සුරකිමින් ඉදිරියට යාමට සියලු නියෝජිතයන් කැපවිය යුතු බව ඔවුන් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ දී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කියා සිටියේ ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන බවයි.

ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සහය මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්වීමට නියමිත බවයි ඔහු සදහන් කළේ.

එසේම, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා ප්‍රමුඛ එම පක්ෂයේ නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවී ප්‍රකාශ කළේ ඉදිරි තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා ඕනෑම තීරණයකට එකග වන බවයි.

——————————

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *