අගමැති වෙනස් කිරීමේ වෑයම සිරිසේන අතහරී; සම්මුති ආණ්ඩුව දිගටම; කරුණු සොයා බැලීමට කැබිනට් කමිටුවක්; සිරසේ ‘ලයිව්’ ගැහිල්ල දැඩි දෝෂයට

(14.02.2018 – 03:10 +0530 – facebook.com/lankaenews)

ජනාධිපති සිරිසේන විසින් අගමැති වෙනස් කිරීමට උත්සාහ කිරීමත් සමග එක්සත් ජාතික පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිධූරයෙන් තනි ආණ්ඩුවක් හැදීමට ගත් උත්සාහයෙන් පසු ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් විසිවී යෑමේ අනතුර පැමිණීමත් සමග අගමැති වෙනස් කිරීමට සිරිසේන ජනාධිපති ගත් වෑයම අත්හිටුවා තිබේ. ඒ අනුව සම්මුති ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයෙන්ම ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා දෙපාර්ශවය නියෝජනය වන පරිදි කැබිනට් අනු කමිටුවක් පත් කිරීමටත් අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිගටම කටයුතු කිරීමටත් අද (13) රාත්‍රී තීන්දු කරන ලදී.

මෙසේ තීන්දු කරන ලද්දේ එජාපෙ සහ එජනිස කැබිනට් මණ්ඩලය අද රාත්‍රී ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වී අවස්ථාවේ දීය. එම කැබිනට් රැස්වීමට පෙර අරලිය ගහ මැදුරේ දී එජාපෙ ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වීය. කැබිනට් හමුව පැවැතියේ ඉන්පසුව ය.

ප්‍රථමයෙන් අරලියගහ මැදුරේ පැවැති එජාපෙ කණ්ඩායම් රැස්වීමේ දී අගමැති ධූරයේ රනිල් වික්‍රමසිංහ මහතාම කටයුතු කළ යුතු බවට බහුතරයක් දෙනා කැමැත්ත පළ කළහ. මැතිවරණයෙන් සියයට 12 ක් පමණ ලැබූ ජනාධිපතිගේ පිරිසට අගමැතිවරයා කව්දැයි තීරණය කිරීමට අයිතියක් නැතැයි බහුතරයක් දෙනාගෙන් කියැවිණ. අඩුපාඩු ගැනද සාකච්ඡා විය.

පසුව සවස කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු ජනාධිපති සමග සාකච්ඡාවට ගියහ. කැබිනට් ඇමැතිවරුන්ගෙන් පිටත අයෙකු ලෙස එහි ගියේ රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා පමණි.

ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා සහ පිරිස සියයට 12 කට වැටී සිටින මේ අවස්ථාවේ අගමැතිවරයා වෙනස් කිරීමක් ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම වැරදි බවත් නායකයන් සිටිය යුත්තේ ජයග්‍රහණයේදී වැඩ පෙන්වන්න නොව පරාජයකදී වැඩ පෙන්වන්න යැයි ද අගමැති වෙනස් කිරීම ගැන නොව නායකයන් දෙදෙනාම එක්ව ජනතාවට ප්‍රකාශයක් නිකුත් කළ යුතු යැයි ඇමැතිවරු පෙන්වා දුන්හ.

මෙහිදී කතා කළ චම්පික රණවක ඇමතිවරයා කියා සිටියේ මේ ප්‍රතිඵලයට ප්‍රධාන හේතුවක් වූයේ වත්මන් ආණ්ඩුව ආණ්ඩු කරන බවක් ජනතාවට නොදැනීම යයි පැවසීය. ඊටම තවත් එකතු කළ රාජිත කියා සිටියේ ආණ්ඩු කරන බවක් නොව ආණ්ඩුවක්ම තිබුනේ නැතැයි පැවසීය. මෙවැනි දුර්වල ආණ්ඩුවක් තමා දැක නැතැයිද, එක තීන්දුවක් නිසි වෙලාවට රැගෙන එම තීන්දුව එකා වගේ ඉටුකිරීමක් පසුගිය කාලයේ නොතිබූ බවද රාජිත කීවේය.

ඉදිරියේ දී ප්‍රශ්න විසඳා එක්ව කටයුතු කිරීමට කැබිනට් අනු කමිටුවක් දෙපාර්ශවයෙන් පත් කර ගත යුතු යැයි ජනාධිපතිවරයා පැවසූ විට අගමැතිවරයා කීවේ ඒ පිලිබඳ එජාපෙ මන්ත්‍රී කන්ඩායමෙන් ද විමසා තීන්දුවක් ගත යුතු බවයි. අගමැතිවරයා එසේ කියන්නට ඇත්තේ අද (13) උදෑසන සිට පැවැති එජාපෙ මන්ත්‍රී හමු වලදී තවදුරටත් සම්මුති ආණ්ඩුවක් ලෙස කටයුතු කළ නොහැකි බවත් තනි එජාපෙ ආණ්ඩුවක් හැදිය යුතු බවත් මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් දෙනා අගමැතිවරයාට කියා තිබූ නිසා විය යුතුය. ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති කීවේ මන්ත්‍රී කණ්ඩායමෙන් විමසීම අවශ්‍ය නොවන බවත් මේ සිටින අයගෙන් එම තීන්දුව ගත හැකි බවයි.

ඒ අනුව හෙට (14) පැවැත්වීමට නියමිත නිල කැබිනට් රැස්වීමේදී අදාල ද්විපාර්ශවික කැබිනට් කමිටුව පත් කර ගැනීමට තීරණය කෙරිණ.

මේ අවස්ථාවේ ප්‍රධාන කාරණය විය යුත්තේ වෙනත් අනං මනං නොව පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී එජාපෙ සහ ශ්‍රීලනිප/එජනිස කණ්ඩායම් දෙක එකතුව පළාත් පාලන ආයතන පිහිටවීම ගැන සාකච්ඡා කිරීම යැයි රාජිත ඇමැතිවරයා පැවසීය. එසේ කළ හොත් පළාත් පාලන ආයතන 190 ක් පමණ සංඛ්‍යාවක් පොහොට්ටුව පරදා සභා පිහිටුවිය හැකි බව ගණන් බලා තිබිණ. එක්ව පලාත් පාලන ආයතන පිහිටුවා රාජපක්ෂලාට යටත් නොවන බව පෙන්විය යුතු යැයි රාජිත කීය.

ලංකා ඊ නිව්ස් මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් පසුගිය 11 දා රාත්‍රී ගෙන ආ “අවසානයේ ජනවාරි 8 ජනමතයේ වෙනසක් නෑ; මහින්දට 44.69% යි ; එදා බලවේග 55.35% යි; රනිල් – මෛත්‍රී එක්ව පළාත්පාලන ආයතන පිහිටුවයි; සම්මුති ආණ්ඩුව 2020 දක්වා; ඒත් රැඩිකල් වෙනසක්..!“ නම් වාර්තාව ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රතික්ෂේප කරමින් නිකුත් කරන ලද නිවේදනය ගැනද බරපතල විවේචනයක් ජනාධිපතිවරයාට ඉදිරිපත් විය.

රාජිත ඇමැතිවරයා කියා සිටියේ ජනාධිපතිගේ මාධ්‍ය අංශය නිකුත් කළ එවැනි මෝඩ නිවේදන වලින් සේවය වන්නේ මහින්ද රාජපක්ෂ පාර්ශවයට බවයි.

ඡන්ද ප්‍රතිඵලය ගැන නිවැරදි විග්‍රහයක් කරමින් නායකයන් දෙදෙනා අද දක්වා ජනතාවට නිවේදනයක් නොකළ බැවින් ගම් වල දෙපාර්ශවයට ඡන්දය දුන් විශාල සංඛ්‍යාවක් අසරණ වී ඇතැයි ද රාජිත පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේ හොරු දූෂිතයන් ඇල්ලීමට බාධා කෙළේ ආණ්ඩුවේම දේශපාලනඥයන් බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ෂානි අබේසේකර මහතා කැඳවා ඔහුට දුරකථන ඇමැතුම් දී අත් අඩංගුවට ගැනීම් වැළැක්වූයේ කව්දැයි විමසන ලෙසත් එවිට සියල්ල හෙළි වන බවත් රන්ජන් පැවසීය.

රටක ප්‍රශ්නයක් ගැන රටේ නායකයන් සාකච්ඡා කෙරෙද්දී අද උදෑසන සිට සජීවී විකාශයක් ගෙන එමින් අගමැති එළවා දැමීමක් ගැන කියමින් සිරස මාධ්‍ය කරගෙන යන නීච ජඩමාධ්‍ය කෙරුවාව ද මෙහිදී දැඩි දෝෂ දර්ශනයට ලක් විය. කිසිදු රටක මෙවැනි ‘මාධ්‍ය නිදහසක්‘ නම් තිබිය නොහැකි යයි ඇමැතිවරු ජනාධිපතිට පෙන්වා දුන්හ.

මෙම සාකච්ඡා අද (13) මධ්‍යම රාත්‍රිය ආසන්න වන තුරුම පැවැතිණ.

ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් 13 රාත්‍රී ගත් මෙම තීන්දු අවසන් තීන්දු වෙතැයි තිර ලෙස කිව නොහැක්කේ මෙතෙක් කාලයක් සම්මුති ආණ්ඩු කෙරුවාවට ගොස් එජාපයට වූ විනාශය ගැන දන්නා එහි පහළ සාමාජිකයන් විසින් තනි එජාපෙ ආණ්ඩුවක් වෙනුවෙන් කරන සටන අත් හැර නැති බැවිනි. එමෙන්ම සම්මුති ආණ්ඩුවක දී පවා කකුළින් අදින ලද ජනාධිපතිවරයා තනි ආණ්ඩුවකදී කකුල් දෙකෙන්ම අදින බැවින් සම්මුති ආණ්ඩුවක්ම පවත්වාගත යුතු යැයි කියන පිරිසක් ද වෙති. ඊයේ (12) සවස ශ්‍රීලනිප විධායක සභාවේ දී ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත යුතු යැයි තීන්දු කළද රාජපක්ෂලාත් අහිමි වී ශ්‍රීලනිපයත් සමග සියයට 4 ට වැටී නන්නත්තාර වී සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන්, විපක්ෂයටත් විසිව ගියහොත් සිදුවන ඛෙදවාචකය දන්නා බැවින් සම්මුති ආණ්ඩුවක්ම පවත්වාගත යුතු යැයි කියන ශ්‍රීලනිප පිරිසක් ද වෙති ෴

+++++++++++++++++++++++++++++++

සිරිසේනට, අගමැති එළවීම අතහැර යලි සම්මුතියකට යෑමට සිදුවූ මහින්ද රාජපක්ෂගේ රුවන් වැකිය මෙන්න..!
(14.02.2018 – 06:25 +0530 – facebook.com/lankaenews)

ජනාධිපති සිරිසේන රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉවත් කිරීමට කරන ලද වෑයම මඳක් පසුපසට ගෙන ඇත්තේ ඔහුට යථාර්තය තේරුම් යෑමෙන් හෝ අලුත් ගුණවත් කමක් ඇති වීමෙන් හෝ නොව මහින්ද රාජපක්ෂ විසින් අවසන් වරටත් ඔහු සමග සාංගම් ගැසීම ප්‍රතික්ෂේප කිරීම නිසා බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

පෙරේදා රාත්‍රී අගමැතිවරයාට අගමැතිධූරයෙන් ඉවත් වන්නැයි කීමෙන් පසු ඔහු එහි ඊලඟ කොන්ත්‍රාත්තුව සිය හිත මිතුරු කිලී මහාරාජාට පැවරීය. ඒ අනුව මහාරාජාගේ මාධ්‍ය ජාලය අගමැතිවරයෙකු ධූරයෙන් ඉවත් කිරීමක් වැනි භාර දූර කාරියක් කට කම සෙයියාවක් නැතිව දොඩවන තම ඔලමොට්ටල නිවේදක පොල් බෑ මුණන්ට බාර දුන් අතර ඔවුන් ලෝකයේ පළමුවරට රූපවාහිනී නාලිකාවකින් අගමැතිවරයෙකු එළැවීමේ සජීවී ක්‍රියාන්විතය පසුදා උදයේම ආරම්භ කෙළේය.

ඒ අතර වාරයේ සිරිසේනගේ ඇමැතිවරුන් දෙදෙනෙකු මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා කිරීමට පිටත් කර හැරියේ ය. ඒ සුසිල් ප්‍රේමජයන්ත සහ මහින්ද අමරවීර දෙදෙනාය. ඔවුන් මහින්ද රාජපක්ෂ වෙත කළ යෝජනාව නම් පළාත් පාලන ආයතන පිහිටුවීමට සිරිසේනගේ සියයට 4 වැටුනු ශ්‍රීලනිපයේ සහ අමරවීරගේ සියයට 8 ට වැටුනු එජනිසයේ පිරිස්ද සම්බන්ධ කර ගන්නා ලෙසයි. එනම් පොහොට්ටුව සහ ශ්‍රීලනිප/එජනිස සන්ධානයකින් පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑම සඳහා සිරිසේනගේ යෝජනාවයි.

මහින්ද රාජපක්ෂ ඊට කිසිසේත්ම එකඟ වී නැත. ඔහු දුන් පිළිතුරු අතර එක් වැදගත් පිළිතුරක් පමණක් සඳහන් කරමු.

“මං රනිල්ගේ කට වචනය වුනත් විශ්වාස කරනවා. නමුත් සිරිසේන කොළ 7 ක අත්සන් කරලා දුන්නත් එයාව විශ්වාස කරන්නේ නෑ..“

සිරිසේන ජනාධිපති අගමැති වෙනස් කිරීමේ සටන අතහැර යලි එජාපෙ සමග සම්මුතියකට යෑමට අදහස් කෙළේ පණිවුඩකරුවන් පැමිණ මහින්දගේ ප්‍රතිචාරය දැනුම් දීමෙන් පසුව ය.

සිරිසේන සමග අලුත් වටයකින් සම්මුති ආණ්ඩු හදන්න හදන එජාපෙ දේශපාලකයන් විසින් මහින්දගේ ඉහත ප්‍රකාශය රාමු කර ඇසට නිතර පෙනෙන බිත්තියක එල්ලා ගත්තාට වරදක් නැත ෴

++++++++++++++++++++++++++++++++

සියයට හතරට ඇද වැටී පැරදුනේ සිරිසේන වුව වෙනස් කරන්න යන්නේ සියයට 32 කට අධිකව දිනූ එජාපෙ අගමැතිය; ගමරාලගේ දෙවන කුමන්ත්‍රණය මෙන්න
(13.02.2018 – 12:45 +0530 – facebook.com/lankaenews)

ආණ්ඩුවේ අගමැති ධූරය වෙනත් එජාපෙ කෙනෙකුට බාර දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවේදී දැනුම් දී ඇතැයි වාර්තා වේ. එසේ කරන්නේ නම් තමන් කැමැති පුද්ගලයන් තිදෙනෙකුගේ නම් ද ජනාධිපතිවරයා අගමැතිවරයාට පවසා තිබේ.

ඊයේ රාත්‍රී ජනාධිපති නිල නිවසේ දී පැවැති මෙම සාකච්ඡාව සඳහා අගමැතිවරයා සමග පක්ෂ ලේකම් කබීර් හෂීම්, සභාපති මලික් සමරවික්‍රම මහත්වරු සහභාගී වූ අතර ජනාධිපතිවරයා සමග එජනිස ලේකම් මහින්ද අමරවීර සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහත්වරු ද සහභාගී වූහ.

එම සාකච්ඡා වලින් පසු ජනාධිපති සිරිසේන සියයට හතරේ හිනාධිපතියෙකුගේ තත්ත්වයට ඇද දැමූ කිලී මහාරාජාගේ සිරස විසින් කරු ජයසූරිය මහතා අගමැති ධූරයට නංවමින් එජාපය තුල අර්බුදයක් ඇති කරවන අන්දමේ පුවත් පළ කරමින් සිටී.

මැතිවරණයෙන් පිලිබිඹු වූ ජනමතය අනුව පාලනයේ වෙනසක් අවශ්‍ය බව පැහැදිලිය. ජනතාව පොහොට්ටුවට ඡන්දය දුන්නේ හුදෙක් මහින්ද රාජපක්ෂලාට ඇති කැමැත්තට වඩා පවතින ආණ්ඩුව කෙරෙහි වූ දැඩි අප්‍රසාදය නිසා බව ද සත්‍යයකි. ඒ අනුව වෙනසක් අත්‍යාවශ්‍යම ය. එසේ නමුත් එම වෙනස ගැන තීන්දු කළ යුත්තේ ජනතා අප්‍රසාදයට ආණ්ඩුව ඇද දමමින් වියරුවෙන් මෙන් හැසිරුණු ජනාධිපතිවරයා විසින් හෝ කිලී මහාරාජාගේ සිරස විසින් නොවේ.

තමන් බලයට ගෙනා ජනාධිපතිවරයාත්, එකම කැබිනට්ටුවේ ශ්‍රීලනිප ඇමැතිවරුත්, රාජපක්ෂලාගේ පොහොට්ටුකරුවනුත්, ජවිපෙත්, වටකර පහර දෙද්දී සහ මංගල සමරවීර වැනි අඟේ ඉඳන් කණ කන ඇමැතිවරුන්ගේ කෙනෙහිලි කම් මැද තනියම කැම්පේන් කර සියයට තිස් දෙකහමාරක් ඡන්ද ලබා ගත් එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයා කව්දැයි තීන්දු කිරීමට සියයට හතරේ ජනාධිපතිට හෝ සියයට අටේ එජනිස ලේකම්ලාට අයිතියක් නැත. එජාපෙ අගමැතිවරයා කව්දැයි තීරණය කිරීමේ ශුද්ධ අයිතිය ඇත්තේ එජාපෙ සෙසු පක්ෂ නායකයන්ට සහ එහි පාර්ලිමේන්තු කණ්ඩායමට බව ජනාධිපති ඇතුළු කුමන්ත්‍රණකරුවන් තේරුම් ගත යුතුය. අගමැති ධූරයට කරු ජයසූරිය බැරිනම් තෙවරප්පෙරුම හෝ තෝරා ගත යුත්තේ එජාපෙ මිස ශ්‍රීලනිප නායකයන් නොවේ.

වඩා හොඳින් මතක තබා ගත යුත්තේ මේ ජනමතය විසින් පාර්ලිමේන්තු සංයුතියේ කිසිදු තාක්ෂණික අවුලක් බිහි නොකළ බවය. එසේ නම් සියයට හතරේ ජනාධිපතිට කුලප්පුවක් හැදීමට කාරණයක් නැත.

කිසිදු වරදක් ඔප්පු නොවී ව්‍යාජ අවලාද නගා එජාප නියෝජ්‍ය නායකයාට ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වන්න වැඩ සැලැස්වූ කූඨ ¤රිසේන කුමන්ත්‍රණයේ ඊ ලඟ කොටස එජාප නායකයාද පළමුවෙන් අගමැති ධූරයෙන් ඉවත් කර එජාපය දුර්වල කිරීම ය. ඡන්දයට පෙර සිටම අගමැති අත් අඩංගුවට ගැනීමට, එජාප ඇමැතිවරු අත් අඩංගුවට ගැනීමට මුළු වැර යොදා ක්‍රියා කෙළේ ද මේ කියන සිරිසේනම ය. දැන් ක්‍රියාත්මක කර ඇත්තේ රාජපක්ෂලාත් සිරිසේනත් අතර ඇති රහස් කුමන්ත්‍රණයේ තවත් අදියරක් බව සියළු දෙනා තේරුම් ගත යුතුය. ඒ අද ගැන සිතා නොව තව මාස 20 කින් මුහුණ දීමට සිදුවන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ය. ඔවුන් අද සිටින තත්ත්වයේ දී වුව ජනාධිපතිවරණයක් ජය ගත නොහැකිය. එබැවින් ඉදිරි මාස 20 ක් යද්දී එජාපය හොම්බෙන්ම යැවීම ඔවුන්ගේ අරමුණ ය.

¤රිසේන යනු කිසිදා විශ්වාස කළ නොහැකි දේශපාලන කුණ කටුවෙක් බව ඉඳුරාම තේරුම් ගත යුතුය ෴

+++++++++++++++++++++++++++++++

යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න කමිටුවක් – සජිත් ප්‍රේමදාස
(13.02.2018 – 22:27 +0530 – newsfirst.lk/sinhala)

විශේෂ කමිටුවක් ස්ථාපනය කර එම කමිටුවේ යෝජනා සමගින් යහපාලන රජය ඉදිරියට ගෙන යාම සඳහා ජනපති සමග පැවති සාකච්ඡාවෙන් පසු තීරණය කළ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේය.

අමාත්‍යවරා ඒ බව සඳහන් කළේ, ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ කැබිනට් අමාත්‍යවරු අතර ජනාධිපති නිල නිවසේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්ය.

සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරට ත් සඳහන් කළේ, සාකච්ඡාවට පැමිණ සිටි ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශව නියෝජනය කළ අමාත්‍යවරුන් මෙම යෝජනාවට එකඟ වූ බව ය.

යහපාලන රජය ඉදිරියට ගෙන යාම සඳහා ජනපතිගේ සහ අගමැතිගේ පාර්ශවය එකඟ වුණා

යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න කමිටුවක් – සජිත් ප්‍රේමදාස#lka #News1st #SajithPremadasa #Political #Problem

Posted by Newsfirst.lk on Tuesday, February 13, 2018


********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *