රට පුරා ගණිකාවෝ 45,000 ක්‌ දිනකට පිරිමි ලක්‍ෂ 3 කට සේවයේ – ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස්‌ මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය එච්. ඒ. සී. ඩබ්ලිව්. හතුරුසිංහ

(13.02.2018 – divaina.com)

ලිංගාශ්‍රිත රෝග වලට ගොදුරු වූ ලංකාවේ වැඩිම පිරිස වයස අවුරුදු 15 ත් 25 ත් අතර තරුණ පිරිමි පුද්ගලයන්. රට පුරා ගණිකා වෘත්තියේ දැනට නියෑලෙන කාන්තාවන් 45,000 ක්‌ සිටිනවා.

ඔවුන් දිනකට පිරිමි පුද්ගලයන් ලක්‍ෂ 03 කට පමණ සේවය සපයනවා” යෑයි කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස්‌ මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය එච්. ඒ. සී. ඩබ්ලිව්. හතුරුසිංහ මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ ජාත්‍යන්තර ඒඩ්ස්‌ දිනයට සමගාමීව ඉකුත්දා කුරුණෑගල නගරයේ ජනතාව දැනුම්වත් කිරීමේ පාගමනින් අනතුරුව කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැති දැනුවත් කිරීමේ විශේෂ දේශනයක්‌ සිදුකරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය හතුරුසිංහ මහතා මෙසේ ද පැවැසීය :

එච්. අයි. වී. ආසාදිතයන් බහුලව වාර්තාවන දෙවැනි පළාත හැටියට පසුගිය සමයේ වයඹ පළාත නම්කර තිබුණා. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස්‌ වී තිබෙනවා. නමුත් දැනට හඳුනාගත් එච්. අයි. වී ආසාදිතයන් 2600 කට අධික පිරිසක්‌ සිටිනවා. මේ වනවිට අප රටේ සමලිංගික සේවයේ යෙදෙන ලාංකිකයන් ගණන ලක්‍ෂ 25 ක්‌ පමණ වෙනවා. වැඩි වශයෙන් වයස අවුරුදු 15 ත් 25 ත් අතර පිරිමි අය ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරුවී සිටිනවා. එම වයස්‌ කාණ්‌ඩවල පිරිස ඉලක්‌ක කරගෙන දැනුවත් කිරීමේ නව වැඩපිළිවෙළක්‌ ආරම්භ කර තිබෙනවා.

ඒඩ්ස්‌ රෝගය පිළිබඳ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්‌ඨාස 30 ක වෙසෙන ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නවා. දැනට ජනතාව සහ ආරක්‍ෂක අංශ දැනුවත් කරනවා. පාසල් හා උපකාරක පන්ති යන දරුවන්ට දේශන පවත්වනවා. සායන පැවැත්වීම, අත්පත්‍රිකා, ස්‌ටිකර් බෙදාදීම සහ මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීම් කරමින් 2025 වර්ෂයේදී ඒඩ්ස්‌වලින් තොර ශ්‍රී ලංකාවක්‌ ඇති කිරිම සඳහා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් වැඩසටහන් ඉතා සාර්ථකව සිදුකරනවා. දැනට පවත්වාගෙන යන වැඩසටහන්ද එක්‌ දිනකට පමණක්‌ සීමා නොකර ඉදිරියටත් පවත්වාගෙන යන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්‌ථාවට වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය, කුරුණෑගල දිස්‌ත්‍රික්‌ ලේකම් ගාමිණී ඉලංගරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ පාගමන සහ දේශනය සඳහා රාජ්‍ය නිලධාරීන්, ස්‌වෙච්ඡා සංවිධාන, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන්, සිංහ සමාජය, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු, හෙද නිලධාරීන් වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගී වූහ ෴

+++++++++++++++++++++++++++++

වැලන්ටයින්ටත් තහනම් නියෝග
(13.02.2018 – divaina.com)

වැලන්ටයින් දිනය අත ළඟ. අපේ රටේ බොහොමයක්‌ තරුණ තරුණියෝ වැලන්ටයින් සමරන්න සූදානම් වෙන්නෙ නිදහස්‌ දවස සමරන්නවත් තිබුණේ නැති තරම් උනන්දුකින්. විසිතුරු බඩු විකුණන කඩ සාප්පුවල රතු රෝසමල් වල පටන් එක එක විදිහේ වැලන්ටයින් තෑගි. ඇඳුම් විකුණන සාප්පුවල වැලන්ටයින් දිනයට අඳින ඇඳුම් මෝස්‌තර වෙන එකක්‌ තියා පදිකවේදිකාවේ පුංචි පුංචි කඩවලට පවා වැලන්ටයින් උණුසුම ඇවිදින් හැම තැනම රතු පාටින් වැහිලා ගිහින්.

අපේ රටට කොහෙත්ම අදාළ දෙයක්‌ නොවුණට මේ විදිහට වැලන්ටයින් දිනය සමරන්න අපේ රටේ තරුණ තරුණියන්ටවත්, වැලන්ටයින් දිනයේ නාමයෙන් පාරිභෝගිකයින්ගේ ඉණ ඉහ අතගා ගන්න අපේ රටේ වෙළෙන්ඳන්ටවත් අපේ රටේ නීති රීති වලින් තහනමක්‌ නෑ. හැබැයි හැම රටකම එහෙම නිදහසක්‌ වැලන්ටයින්ට නෑ. සමහර ඉස්‌ලාමික රටවල වැලන්ටයින් කියන්නේ තහනම් උත්සවයක්‌. පාකිස්‌තානයත් ඒ වගේ රටවල් අතරින් එකක්‌.

පාකිස්‌තානු මාධ්‍ය පාලන ආයතනය විසින් ඒ රටේ කිසිම රූපවාහිනි නාලිකාවකටවත්, ගුවන් විදුලි නාලිකාවකටවත් වැලන්ටයින් දිනයට අදාළ වැඩසටහනක්‌ ප්‍රචාරය කිරීම තහනම් කියලා නිවේදනයක්‌ නිකුත් කළේ පසුගිය සතියේ. ඒ නිවේදනය නිකුත් කළේ අධිකරණ නියෝගයකට අනුවයි.

පාකිස්‌තානු විද්යුත් මාධ්‍ය පාලන අධිකාරිය මේ තහනම ගැන කියවෙන නිවේදනය නිකුත් කළේ පසුගිය සතියේ බදාදා. මේ නිවේදනයට අදාළ අධිකරණ නියෝගය ලැබෙන්නේ පසුගිය අවුරුද්දේ ඉස්‌ලාමාබාද් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්.

ආදරය වෙනුවෙන් දිවි පුදපු කතෝලික සාන්තුවරයා වැලන්ටයින්ව සමරන එක පාකිස්‌තානයේ මුස්‌ලිම් ජනතාව අතරත් පසුගිය කාලයේ වේගයෙන් ජනප්‍රිය වුණා. අපේ රටේ වගේම පාකිස්‌තානයේත් වෙළෙන්ඳෝ වැලන්ටයින් පිහිටෙන් හොඳට සල්ලි හම්බ කළා. ලැගුම්හල් වල ආදරවන්තයින් වෙනුවෙන් විශේෂ පැකේජ පවා වෙන් වුණා. පාකිස්‌තානය පුරා පැතිරිලා යන මේ වැලන්ටයින් උමතුවට ඒ රටේ සාම්ප්‍රදායික මුස්‌ලිම් වැඩිහිටියෝ ඒ හැටි කැමැත්තක්‌ දැක්‌වුවේ නෑ.

ඒ අකමැත්ත නිසා අබ්දුල් වහීඩ් කියන පුද්ගලයා 2017 මුල් භාගයේදීම මේ වැලන්ටයින් සැමරුම්වලට විරුද්ධව පාකිස්‌තානු අධිකරණයට පෙත්සමක්‌ ගොනු කළා.

‘‘වැලන්ටයින් දිනය කියන්නේ බටහිර සංස්‌කෘතියට අයිති දෙයක්‌. ඒක මුස්‌ලිම් අපට කොහෙත්ම අදාළ දෙයක්‌ නෙවෙයි. “අපේ තරුණ තරුණියන් මේ වගේ සංස්‌කෘතියක්‌ වැළඳ ගැනීම අපහාසයක්‌. ලැජ්ජාවක්‌ වගේම පවක්‌.’’ අබ්දුල් වහීඩ් කියා සිටියා.

කොහොම හරි රටේ බහුතර තරුණ තරුණියන්ගේ කැමැත්ත පරාජය කරලා අබ්දුල් වහීඩ් ප්‍රමුඛ සාම්ප්‍රදායික මුස්‌ලිම් වැඩිහිටියන්ගේ කැමැත්ත ජයග්‍රහණය කළා.

පහුගිය අවුරුද්දේ ඒ කියන්නේ 2017 පෙබරවාරි 13 වෙනිදා ශවුකාත් සිද්ධික්‌ කියන විනිසුරුවරයා තහනම් නියෝගයක්‌ නිකුත් කළා. ඒ පාකිස්‌තානයේ කිසිම මාධ්‍යයකින් වැලන්ටයින් දිනයට සම්බන්ධ කිසිම ආකාරයේ වැඩසටහනක්‌ විකාශය කිරීම තහනම් කරමින්.

‘‘පාකිස්‌තානයේ කිසිම ප්‍රසිද්ධ ස්‌ථානයක නිල වශයෙන් වැලන්ටයින් දිනය සමරන කිසිම ආකාරයේ උත්සවයක්‌ වැඩසටහනක්‌ පැවැත්වීම තහනම්.’’ කියන තහනමත් ඒ උසාවි නියෝගය එක්‌කම නිකුත් කෙරුණා.

ඒත් ඒ වෙනකොටත් ඒ නියෝගය අවසන් තීන්දුවක්‌ වෙලා තිබුණේ නෑ. මේ කතාව උසාවියේ අවුරුද්දක්‌ විතරම ඇදි ඇදී ගියා.

2017 මේ නඩුව ආයෙමත් කරලියට ආවේ -බටහිර සංස්‌කෘතික ආක්‍රමණය නිසා පාකිස්‌තාන සංස්‌කෘතික අගයන් විනාශ වෙන බව පාකිස්‌තාන ජනපති විසින් ප්‍රකාශ කිරීමත් එක්‌ක.

ඇත්තටම මෙවැනි සැමරුම් දින එක්‌ක එන වෙළඳ මාෆියාව පාකිස්‌තානයේ සංස්‌කෘතික පෙරළියක්‌ ඇති කරන්න ලොකු හේතුවක්‌ වෙලා තිබුණේ.

පසුගිය අවුරුද්දෙ නොවැම්බර් වල අන්තර්ජාල වෙළෙන්ඳන් විසින් ‘Black Friday’ දිනයක්‌ සමරන්න විවිධ දේවල් විකුණන්න පටන් ගත්තා. ‘Black Friday’ කියන්නේ ඇමරිකා එක්‌සත් ජනපදයේ තියෙන තුති පිදීමේ දිනයක්‌. පාකිස්‌තාන වෙළෙනඳන් මේ දිනය තමන්ගේ රටට අදාළ කරගත්තේ ඒ දිනයේ පාට වෙනස්‌ කරලා. ඒ කියන්නේ ‘White Friday’ සහ ‘Green Friday’ කියලා එකක්‌ නිර්මාණය කරලා. කොල සුදු වර්ණ වලින් ඒ දිනයට මුස්‌ලිම් ආගමට සමීප ස්‌වරූපයක්‌ නිර්මාණය කරලා. කොහොම වුණත් මේ වගේ බටහිර සංස්‌කෘතියට සමීප එක එක විදිහේ දිනවලට පාකිස්‌තානයේ මුස්‌ලිම් වැඩිහිටියන්ගේ මනාපය නම් ලැබුණේ නෑ.

මේ වගේ බටහිර සංස්‌කෘතික අංගවලට කැමති සහ අකමැති අය විසින් වරින් වර පවත්වපු විරෝධතා සහ රැලි අවසානයේදී වියරු ස්‌වරූපයක්‌ ගන්නත් පටන් ගත්තා. මේ වගේ ඇතැම් අවස්‌ථාවලට බිහිසුණු ප්‍රහාරත් එල්ල වුණා.

2013 අවුරුද්දේදි ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිනියක වුණු ශබීනා මහමුද් දකුණු කරච්චියේදී “Pyaar ho jaane do” නමින් උද්ඝෝෂණයක්‌ පැවැත්වුවා. ඒ කියන්නේ -ආදරයට එන්න දෙන්න” කියන එක. මේ උද්ඝෝෂණය පැවැත්වුවේ වැලන්ටයින් සැමරුමට තියෙන විරෝධයට එරෙහිව.

ඒ උද්ඝෝෂණයෙන් පස්‌සේ ශබීනා මහ්මුද්ට කීප වතාවක්‌ම මරණ තර්ජන පවා එල්ල වුණා. 2015 අප්‍රේල් මාසයේදී මෝටර්සයිකලයකින් ආපු තුවක්‌කුකරුවෙක්‌ ශබීනා මහ්මුද්ට වෙඩි තිබ්බා. ශබීනා මහ්මුද්ගේ මරණයෙන් පස්‌සේ ඒ මෝටර්සයිකල් තුවක්‌කුකරුවා සාද් අසීස්‌ව සිරගත කෙරුණා. වැලන්ටයින් දිනයට පක්‌ෂව කතා කිරීම ඇරෙන්න ශබීනා මහ්මුද්ව ඝාතනය කරන්න වෙනත් විශේෂ හේතුවක්‌ නොතිබුණු බව සාද් අසීස්‌ බන්ධනාගාරයේදීම මාධ්‍යයට කියා තිබුණා.

තමන්ගේ තරුණ පරපුර සහ සංස්‌කෘතිය බටහිර සංස්‌කෘතික ආක්‍රමණයෙන් ‘හොඳින් හෝ නරකින්’ මුදාගන්න ඉස්‌ලාමික රටවල් කටයුතු කරනවා. එය යහපත් දෙයක්‌ කියලා මම කියන්නේ නෑ. ඒත් බටහිර සංස්‌කෘතිය හිස්‌ මුදුනින් පිළිඅරන් තමන්ගේ සංස්‌කෘතික වටිනාකම්වලට ගරහන අපේ රටේ මිනිසුන් බහුතරයකගේ ප්‍රතිපත්තිය හොඳයි කියන්නත් බෑ.

– නිම්මි මුදිතා හේරත්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *