බෙල්ලන්විල නාහිමිට සැත්කම කළ වෙදැදුරු මව්බිමට කියන කතාව

(11.02.2018 – mawbima.lk)

පන්සල පාළුය. ලොකුහාමුදුරුවෝ යළි පන්සලට වඩින්නේ නැත. මියන්කුමාර ඇත් පැටවා පන්සලෙන් රැගෙන ගොස්ය. මියන්කුමාර දැන් ඉන්නේ වාද්දුව පැත්තේ පන්සලකය. බෙල්ලන්විල පන්සලේ ඇත් පන්තිය හැඩ කළ දඟකාර පුංචි ඇත්පැටවාගේ හුරතලය එදවස බෙල්ලන්විල පන්සල පුරවා තිබුණා මතකය. මඟට බට මොහොතේත් දාංගලයේ අහවරක් නැති, දුටු දුටුවන්ගේ සිත් පැහැරගත් මේ සුරතලා රටම හැඬවූ මහා ඛේදවාචකයකට දායක වනු ඇතැයි කිසිවෙක් කල්පනා කළේ නැත. එහෙත් සියල්ල සිදුවී හමාරය.

මියන්කුමාරගේ ප්‍රියතම ආහාරය සියඹලාය. එය මියන්මාරයෙන් ඔහු ලංකාවට භාර දෙන විටම කළ හඳුන්වාදීමකි. පුංචිම පැටියා කාලයේ බෙල්ලන්විල පන්සලට පැමිණි දා සිට මියන්කුමාර ලොකු මහත් වූයේ ලොකු හාමුදුරුවන්ගේ අප්‍රමාණ සෙනෙහස විඳිමින්ය. මියන්කුමාරට හැමදාම කෑම දෙන්නේ ලොකු හාමුදුරුවන්ය. උන්වහන්සේ කෑම දෙන්නට නොපැමිණි අවස්ථාවක දම්වැල් ලිහා දැමූ ගමන් මියන්කුමාර නවතින්නේ ලොකු හාමුදුරුවන්ගේ ආවාසය ළඟය. අනතුරුව ඇත්පැටවා හාමුදුරුවන්ට වඳින්නේය. අනතුරුව උන්වහන්සේගෙන් කෑම ගන්නේය.

පසුගිය 02 දා සිකුරාදා මියන්කුමාර බලන ඇත්ගොව්වාට ඇතාව පවරන්නේ මීට මාස අටකට පෙරය. ඔහු නිවාඩුවක් ලබා ගෙදර ගියේය. ඔහු යනවිට මියන්කුමාර කුඩා කල සිට බලාගත්, දැන් බෙල්ලන්විල මැණිකා ඇතින්නව බලා ගන්නා ස්ටැන්ලිට දන්වා යන්නේය. ඔහු මෙවර ගෙදර ගොස් තිබුණේ ස්ටැන්ලිට නොදන්වාය. අනෙක් අප්‍රකට කාරණාව වන්නේ මියන්කුමාර ඇත්පැටවාට සහාය ඇත්ගොව්වාව රුස්සන්නේ නැති වීමය. ඇත්ගොව්වා නැත. සහායක ඇත්ගොව්වාට මියන්කුමාරව වලංගු නැත. ඒ නිසා ඇතා උදෑසන හාමුදුරුවන් දකින්නට ආවාසය අසලට ආවේ නැත. හාමුදුරුවෝ සුපුරුදු සියඹලා වේලත් රැගෙන මියන්කුමාර ඇතා වෙත වැඩියහ. ඇසින් දුටු සාක්ෂි අනුව ඇතා හාමුදුරුවන්ව හොඬයේ පටලවා ඇද බිම දමා දළ යුගලයෙන් තද කර තිබිණි.

අනතුර සිදූවූ මොහොතේම පිරිස් කළුබෝවිල රෝහල දැනුවත් කළහ. රෝහල් කාර්ය මණ්ඩලය අනතුරට පත් හිමියන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් සැරසී උන්හ. ගිලන් රථයකින් රෝහලට වැඩමවූ නායක හාමුදුරුවෝ සිටියේ මහා වේදනාවක් දරාගෙනය. කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණරත්න නායක හාමුදුරුවන්ව විමසුවේය.

“අපේ හාමුදුරුවනේ… මොකද වුණේ ?.”

ශරීර අභ්‍යන්තරයේ උපදිනා මහා වේදනාව ආයාසකර සිනාවකින් යටපත් කරගැනීමට උත්සාහ කරමින් ලොකු හාමුදුරුවෝ පිළිතුරු දුන්හ.

“ඇත් පැටියට කෑම දෙන්න ගිහින් පැටලිලා වැටුණා මහත්තයෝ…”

එපමණය. ඉන් එපිට මියන්කුමාරට චෝදනාවක් එල්ලවිය හැකි එකම වචනයක් උන්වහන්සේ නොවදාළහ.

ලොකු හාමුදුරුවෝ අසාධ්‍ය තත්ත්වයෙන්ය. දැඩි සත්කාර ඒකකයේය. ඒ වනවිට කළුබෝවිල රෝහලෙන් කළ යුතු මූලික පරීක්ෂණ සියල්ල සිදුකර තිබිණි. එම දත්ත තහවුරු කරනු ලැබුවේ සිරුරේ බරපතළ අස්ථි භංගයක ස්වරූපයය. මෙහි ප්‍රතිකාර වගකීම පැවරුණේ උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඩී.එම්.එස්. හඳගල වෙතය.

විශේෂඥ වෛද්‍ය හඳගලට අනතුර පිළිබඳව කළුබෝවිල රෝහලෙන් දන්වන්නේ 02 දා සිකුරාදා උදෑසන 11.45 ට පමණය. පණිවුඩය ලද සැණින් ඔහු කළුබෝවිල රෝහලට පැමිණියේය. බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා දියත් කළ මෙහෙයුමේ ප්‍රධාන භූමිකාව පැවරුණු විශේෂඥ වෛද්‍ය හඳගල එතැන් සිට ඒ කතාව “මව්බිම”ට කීවේ මේ ලෙසය :

‘‘ආරංචිය ලැබුණු සැණින් මා කළුබෝවිලට ආවා. ඒ වනවිට විශාල පිරිසක් හදිසි අනතුරු ඒකකය අවට හිටියා. ලොකු හාමුදුරුවො දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරලා තිබුණා. උන්වහන්සේ හිටියෙ දැඩි වේදනාවක් දරාගෙන. සිරුරට අත තියනකොට මට දැනුනෙ පුදුමාකාර දුකක්. රටක් ගෞරව කරපු හිමිනමක්. මාත් නිතර ආ ගිය තැන. මං හාමුදුරුවන්ට කතා කළා.’’

‘‘මොකද හාමුදුරුවනේ වුණේ.’’

‘‘වැටුණා මහත්තයො’’… උන්වහන්සේ උත්තර දුන්නා.

‘‘ලොකු හාමුදුරුවො හිටියෙ තරමක බරපතළ තත්ත්වයක. උන්වහන්සේ හිටපු තත්ත්වය අනුව මං වැඩිදුර යමක් හාර අවුස්සලා අහන්න ගියේ නෑ. ඒ වෙනකොට සී.ටී. ස්කෑන්, එක්ස්රේ ඇතුළු මූලික පරීක්ෂණ කළුබෝවිල රෝහලෙන් සිදු කරලා තිබුණා. වේදනා නාශක දීලා තිබුණා. මම හිතාගත්තා හැකි උපරිම ශක්තිය යොදලා උන්වහන්සේ බේරගන්නවා කියලා. ඒත් ඇත්තටම ලොකුහාමුදුරුවො හිටියෙ අනතුරුදායක අඩියක. අපි හුස්ම ගනිද්දි ඉළඇට කූඩුව ඉස්සරහට එනවා. නමුත් ඉළඇටයක් තැන් දෙකින් කැඩුණාම හුස්ම ගන්නකොට කැඩුණු අස්ථියෙ මැද කෑලි ඇතුළට යනවා. ඒ තත්ත්වය නිසා පෙණහැල්ල තුවාල වෙනවා. ශ්වසනයට බාධා ඇතිකරනවා. කළුබෝවිලදී මම සී.ටී. ස්කෑන් එක පරීක්ෂා කළා. තැන් දෙකකින් කැඩුණු ඉළඇට පහක් තිබුණා.’’

‘‘මේ වගේ තත්ත්වයක් හරිම සංකීර්ණයි. ශ්වසන බාධා නිසා සමහර අවස්ථාවලදී හරියට ඔක්සිජන් ලැබෙන්නෙත් නෑ. බිඳුණු පර්ශුවල කොටස් ඇතුළට බැහැලා පෙණහැල්ල තුවාල වෙලා. ඒ නිසාම පෙණහැල්ලට ලේ බැහීමේ අවදානමක් තිබුණා. ඒ වේදනාව දරාගන්න අමාරුයි. ඒත් ලොකු හාමුදුරුවො සාමාන්‍ය විදියට වචන පාවිච්චි කරමින් සාමාන්‍ය තත්ත්වයෙන් ඉන්න හැදුවා. උන්වහන්සේගේ ඒ උත්සාහය තමයි මා දැඩි ලෙසම කම්පාවට පත් කළේ. ඇත්තටම ඔය වයසෙදි එක ඉළඇටයක් කැඩුණත් ඇති… නිසි ප්‍රතිකාර නොලැබුණොත් ජීවිතයක් අනතුරට ලක් වෙන්න.’’

කළුබෝවිලෙන් පෞද්ගලික රෝහලකට

‘‘කළුබෝවිල රෝහලේ උරස් ශල්‍යකර්ම කරන්න අවශ්‍ය සම්පූර්ණ පහසුකම් නෑ. කේ.ඒ.පී. ධම්මික වැලිසර රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා. ඔහුට කතා කරලා ඇහුව වැලිසර රෝහලේ අයි.සී.යූ. එකේ ඇඳක් තියෙනවාද කියලා. එහි එක ඇඳක්වත් තිබුණෙ නෑ. මේ සංවාදය ඇතිවෙද්දී දායක සභාවේ සිසිර විජේසිංහ ඇතුළු ගිහි පාර්ශ්වයත්, වගකිවයුතු ස්වාමීන්වහන්සේලාත් මට යෝජනා කළේ කළ යුතු හොඳම දේ කරන්න කියලා. එතැනදි මම රෝහල් කීපයක් නම් කළා. ඒ ඕනම තැනකදී අවශ්‍ය ශල්‍යකර්මය කරන්න පුළුවන් කියලා කිව්වා. ඒ එක්කම පැහැදිලිව ඒ සියලු දෙනාට ප්‍රකාශ කළා ලොකු හාමුදුරුවො වෙනුවෙන් කරන කිසිම ප්‍රතිකාරයකදී මං මුදල් ගන්නෙ නෑ කියලා. මං විතරක් නොවෙයි, මගේ වෛද්‍ය කණ්ඩායමේ කිසිම කෙනෙක් කිසිම මුදලක් අරගෙන තිබුණේ නෑ. අනතුරුව දායක සභාව ඇතුළු ගිහි පැවිදි පාර්ශ්වය ඒකමතිකත්වයකට ආවා හාමුදුරුවන් කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන යන්න. රෝහලකින් රෝහලකට මාරු කළ නොහැකි අසාධ්‍ය තත්ත්වයක ඒ වෙනකොට උන්වහන්සේ හිටියෙ නෑ. කළුබෝවිල රෝහලේ සිටි විශේෂඥ වෛද්‍යවරු ඒ බව තහවුරු කළා. බාහිරින් තුවාල නොතිබුණාට අස්ථි පද්ධතියට බරපතළ හානි වෙලා. ඉළඇටවලට සිදුවී තිබූ හානියට කළ යුතු ප්‍රතිකාර තවදුරටත් ප්‍රමාද කරන්නත් බෑ. බොහෝ දෙනකුට ඇතිවී තිබූ තත්ත්වයේ බරපතළකම තේරිලා තිබුණෙ නෑ.’’

රෝහලින් මාරු කිරීම

‘‘ලොකු හාමුදුරුවන් පෞද්ගලික රෝහලට අරන් ගියා. වහාම ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු නමුත් මා යළිත් සී.ටී. ස්කෑන් එකක් කරන්න නිර්දේශ කළා. ස්කෑන් එක කළේ වෛද්‍ය ශාන්තා හෙට්ටිආරච්චි හා වෛද්‍ය කාන්තා සමරවික්‍රම විසින්. මට විශ්වාසයක් තිබුණා කළුබෝවිල රෝහලේ කළ සී.ටී. ස්කෑන් එකට වඩා වැඩි යමක් මේ ස්කෑන් එකෙන් මට බලාගන්න හැකි වේවි කියලා. මගේ නිගමනය හරි. කළුබෝවිලදී පෙන්නුවෙ අංක 1 -10 දක්වා වූ දකුණුපස ඉළඇට බිඳීමක් විතරයි. ඒත් අලුත් වාර්තාවෙන් වම්පස තවත් ඉළඇට බිඳීම් 05 පෙන්නුම් කළා. බිඳුණු ඉළ ඇට ප්‍රමාණය 15 පෙණහලුවලටත් බලපෑම් සිදුවීම් තිබුණා. දකුණු අතේ ඉහළ කොටසෙ අස්ථීන් දරුණු විදියට බිඳිලා තිබුණා. මෙවැනි බිඳීමක් සිදුවිය හැක්කේ අතිශය බරපතළ අනතුරකදී පමණයි. විශේෂයෙන්ම අංක 1 හා 2 ඉළඇට සාමාන්‍ය අනතුරකදි බිඳෙන්නෙ නෑ. එහෙම ලොකු අනතුරක් වෙලා නැත්නම් ඒ අස්ථිවල ගැටලුවක් තිබිය යුතුයි.’’

‘‘දැන් අපේ කණ්ඩායම ශල්‍යකර්මයට සූදානම්. ශල්‍යකර්මයට පෙර බෙල්ලන්විල රජමහ විහාරයේ පොඩි හාමුදුරුවෝ හා විමලරතන හිමිගෙ ගිහි සහෝදරයා ගෙන්වලා අදාළ ශල්‍යකර්මය පිළිබඳවත්, එහි ඇති අවදානම පිළිබඳවත් ඔවුන්ට පැහැදිලි කළා. ඔවුන් ශල්‍යකර්මය කරන්න කැමැති වුණා.’’

ශල්‍යකර්මය

‘‘මගේ වෛද්‍ය කණ්ඩායමට උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුජීව ඉලංගම්ගේ, වෛද්‍ය සිරවර්ධන හා වෛද්‍ය ධර්මසිරි ඇතුළත් වුණා. කායික විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, මහාචාර්ය මොහාන් සිල්වා අප සමඟ හැම විටම හිටියා. ශල්‍යකර්මය කිරීමට පෙර වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන ස්වාමීන්වහන්සේගේ දියවැඩියා තත්ත්වය, රුධිර පීඩනය පරීක්ෂා කළා. කළුබෝවිල රෝහලේදී හදවතේ ස්කෑන් එකක් කළ හෘදරෝග විශේෂඥ වෛද්‍ය චන්දික පොන්නම්පෙරුමත් නිර්දේශ කළා හදවතේ ආබාධ තත්ත්වයක් නෑ කියලා. උන්වහන්සේ සැත්කම සඳහා සුදුසු ශරීර තත්ත්වයෙන් පසුවුණා.’’

‘‘ශල්‍යකර්මය කරන්න පටන්ගත්තේ දෙවැනිදා රාත්‍රි 7 ට පමණ. ඒක දැවැන්ත අභියෝගයක්. මුළු රටම අප දිහා බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේගේ ජීවිතය අපේ අතේ රැඳිලා තියෙන්නෙ. මේ වගකීම අපට ඉතාම තදින් දැනුණා. ප්‍රතිකාර කිරීමේදී අප නිශ්චිත තීන්දු ගත්තෙ කණ්ඩායමක් ලෙස සාමූහිකව එකතු වෙලා. කළුබෝවිල රෝහලේ වෛද්‍ය අමිල ජයසේකර හා වෛද්‍ය ආදවන් ඇතුළු විශාල වෛද්‍ය පිරිසක් අවශ්‍ය ඕනෑම වෙලාවක අපට සහයෝගය දෙන්න සූදානමින් හිටියා.’’

තුවාලවල තරම

‘‘ශල්‍යකර්මයට පෙර උන්වහන්සේට කිසිම කෑමක් බීමක් දෙන්න එපා කියලා මා නියම කරලා තිබුණා. අවශ්‍ය වුවොත් කියලා රුධිර පාරවිලනයක් සඳහා රුධිරය ලෑස්ති කළා. මුලින්ම අපි ස්වාමීන් වහන්සේව නිර්වින්දය කර උරස් කුහරය පරීක්ෂා කළා. එතකොට තමයි දුටුවෙ දකුණු පැත්තෙ පෙණහැල්ල තුවාල වෙලා කියලා. ශ්වාසනාල පද්ධතියට ඇතුළු කළ කැමරාවෙන් පෙනුණා දකුණුපස පෙණහැල්ලේ ලේ කැටි තිබෙන වග. පපුකුහරයට යැවූ කැමරාවෙන් දකුණු පැත්තෙ 3-7 දක්වා වූ ඉළඇට තැන් දෙකකින් බිඳිලා වෙන්වෙලා තියනවා දැක්කා.’’

‘‘පෙණහැල්ලෙ තිබූ සමහර තුවාලවලින් ලේ වහනය වෙනවා. එම තුවාල මහලා ලේ ගැලීම් නැවැත්තුවා. දැන් තියන ප්‍රධානම අභියෝගය තමයි ඉළඇට බද්ධ කිරීම. හාමුදුරුවන්ගෙ ශරීරයෙ බාහිරින් කිසිම තුවාලයක් පෙනෙන්න නෑ. ශල්‍යකර්මය කරගෙන යන අතරතුර තමයි දැක්කෙ දකුණුපස පේශි තැළිලා තිබුණා කියලා. පපුව ඇතුළට සම්බන්ධ වෙච්චි තුවාල කිසිදෙයක් තිබුණෙ නෑ. කැඩුණු ඉළඇට ගණන 15 ක්. ඒවයෙ සමහර ස්ථාන තැන් දෙකකින් කැඩිලා. දැන් ඉළඇට බද්ධ කරන්නෙ පැරණි ක්‍රමයට නෙවෙයි. ඊට වඩා වෙනස්. වියදම අධිකයි. ඒ නිසා බද්ධ කිරීම සඳහා ගන්නා ප්ලේට් රෝහල්වල ගබඩාකරලා තියාගෙන ඉන්නෙ නෑ. රෝහලේ වියදමින් ගෙනත් මේ ප්ලේට් සවි කරන්න හිටියොත් සති දෙකක්වත් යනවා. කාට හෝ අවශ්‍යතාවක් ඇති වුණොත් හදිසිම නම් නෑදෑයො වියදම් කරලා ප්ලේට් ගෙන්වාගෙන සැත්කම කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ප්ලේට් ලබාදෙන්න ඉදිරිපත් වෙලා තිබුණෙ පෞද්ගලික ආයතනයක්.’’

‘‘අනතුරුව ඉළඇට සිදුරු කරලා ඊට ගැළපෙන ඇණය යොදමින් අප ඉතාම සාර්ථකව බිඳුණු ඉළඇට යළිත් සවිකළා. ඒ සඳහා ඇණ පනස් හතක් යෙදුවා. ශල්‍ය කර්මයෙන් පස්සෙ පපු කුහරය වැහුවා. ඒ වෙනකොට වෙලාව පාන්දර 3.30 යි. ශල්‍යකර්මයට පැය 7 ක පමණ කාලයක් ගතවුණා. ඒක ඉතාම දීර්ඝ කාලයක්. මීට අවුරුදු 5 කට කලින් ජපන් කණ්ඩායමක් සමඟ ලංකාවෙ පළමු පෙණහලු බද්ධය සිදුකරද්දී පැය 11 ක් ගතවුණා. ඊට පස්සෙ මා දීර්ඝ කාලයක් ගත්ත ශල්‍යකර්මය තමයි මේක.’’

‘‘අනතුරුව උන්වහන්සේ විකලාංග වෛද්‍ය කණ්ඩායම භාර ගත්තා. වෛද්‍ය චන්දන කරුණාතිලක හා වෛද්‍ය විදුර ඒ කණ්ඩායමේ හිටියා. දකුණු උරහිස අසල අස්ථිය වෙන්වෙන්න තරමට කැඩිලා තිබුණ නිසා එය බද්ධ කළ යුතු වුණා. එම අස්ථිය බද්ධ කිරීමෙන් අනතුරුව උන්වහන්සේ දැඩි සත්කාර ඒකකයට යොමු කළා. ඒ වෙනකොට වෙලාව පෙරවරු 6.00 – 6.30 ඇති. අප කළ ශල්‍යකර්ම සියල්ල සාර්ථකයි.’’

දැඩි සත්කාර ඒකකය

‘‘දැඩි සත්කාර ඒකකයෙ පැය දෙකක් ඉද්දී දැනගන්න ලැබුණා ලොකු හාමුදුරුවන්ගේ රුධිර පීඩනය අඩුවන බව. ඊ.සී.ජී. වෙනස්කම් ඇතිවන බව. මුත්‍රා බැහැරවීමත් අඩු වන බව. මෙහිදී තමයි මුලින්ම මේ හෘදයාබාධයක් දෝ කියලා සැකයක් ඇති වෙන්නෙ. වෛද්‍යවරු නැවතත් ඊ.සී.ජී. එකක් ලබා ගත්තා. ඔවුන් දුටුවා හෘදයාබාධයක් ඇතිවන බව. ඒ ක්ෂණයකින් උන්වහන්සේ හෘද දැඩිසත්කාර ඒකකයට මාරු කළා. වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන ප්‍රමුඛ වෛද්‍ය වජිර සේනාරත්න, වෛද්‍ය තාන්‍යා පෙරේරා, ස්ටැන්ලි අමරසේකර යන වෛද්‍ය කණ්ඩායම ස්වාමීන් වහන්සේට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට සූදානම් වුණා. එතැනදී සිදුකළ ඇන්ජියෝග්‍රැෆි පරීක්ෂණයෙන් තහවුරු වුණා වම් කිරීටක ධමනියේ කොටසක් අවහිර වෙලා කියලා.’’

‘‘රෝහලේ දහවැනි මහලේ සිටි ස්වාමීන් වහන්සේ හතරවැනි මහලට රැගෙන ගියේ විනාඩි 10 ගතවන්න කලින්. නමුත් ප්‍රතිකාර කරන්න කලින් හෘද ක්‍රියාකාරිත්වය නතර වුණා. අදාළ වෛද්‍ය කණ්ඩායම උන්වහන්සේගේ හෘද ස්පන්ධනය ප්‍රකෘති තත්ත්වයට ගේන්න අවශ්‍ය ප්‍රතිකාර කළත් ඒ සියල්ල ව්‍යර්ථ වුණා. මට හඬා වැටෙන්න තරම් වේදනාවක් දැනුණා. එත් මං මගේ වගකීම නිසි ලෙස ඉටු කළ බව මා විශ්වාස කළා. එපමණක් ප්‍රමාණවත්…’’

උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඩී.එම්.එස්. හඳගල අපෙන් සමුගෙන නැඟී සිටියේය.

‘‘අදාළ පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලය, කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන, වැලිසර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වනිගරත්න, මහාචාර්ය යසවර්ධන, සුජාතා සේනාරත්න මහත්මිය යන අයත් උන්වහන්සේගෙ ජීවිතය ගලවා ගන්න කළ උත්සාහය ගැනත් ලියලා තියන්න…’’ වෛද්‍ය හඳගල අපෙන් ඉල්ලා සිටියේය.

බෙල්ලන්විල විමලරතන නමැති ඒ උත්තම පඬිරුවන දැන් ජාතිය හැර ගොස්ය. තමන්ට බරපතළ ව්‍යසනයක් කළ සත්ත්වයා කෙරෙහි අවසන් මොහොතේදීත් මෙත් සිත් පළකළ උන්වහන්සේ මේ වෛරී සමාජයට අප්‍රමාණ ආදර්ශයක් ශේෂ කර ඇත්තේය. ඒ දැක්ම පමණක් උන්වහන්සේට නිවන් දැකීම සඳහා ප්‍රමාණවත්ය ෴

++++++++++++++++++++++++++++++

බෙල්ලන්විල හිමියන්ගේ හදිසි මරණ පරීක්ෂණය ගැන, අධිකරණයට පැමිණිල්ලක්
(12.02.2018 – 19:23 +0530 – hirunews.lk/sinhala)

අපවත්වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීම පිළිබඳව අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.

කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ නීතිඥ ඉරේෂා සමරවීර මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ බොරලැස්ගමුව හදිසි මරණ පරීක්ෂකවරයා විසින් උන්වහන්සේගේ දේහය පිලිබඳව මරණ පරීක්ෂණය සිදුකර ඇති බවයි.

පසුගිය 2 වනදා විහාරස්ථානයේදී හදිසි අනතුරකට ලක්වූ බෙල්ලන්විල නාහිමියන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ – නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා.

එහිදී උන්වහන්සේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 3 වන දා අපවත් වූ අතර, දේහය පිළිබඳව මරණ පරීක්ෂණය සිදුකළේ බොරලැස්ගමුව හදිසි මරණ පරීක්ෂකවරයා විසිනුයි.

කෙසේ වෙතත්, හිමියන් අපවත් වූයේ තම අධිකරණ බල ප්‍රදේශය පිහිටි රෝහලක දී බැවින් එම මරණ පරීක්ෂණය තමන් විසින් සිදුකළ යුතු බවයි ඇය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට සහ අධිකරණ අමාත්‍යාංශයට පැමිණිලි කළ බව ද කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ නීතිඥ ඉරේෂා සමරවීර මහත්මිය වැඩිදුරටත් කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *