බලය පිහිටුවීම ගැන එකඟතාවක් නෑ – ජනාධිපති මාධ්‍ය අංශය

(12.02.2018 – 18:23 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට හෝ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සමඟ කිසිදු එකඟතාවයකට එළඹ නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

ඒ අනුව එවැනි එකඟතාවයකට පැමිණි බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ද ආදාළ නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ තනි ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

එම තීරණය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

පළාත් පාලන මැතිවරණය අවසන් වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා ඊයේ අරලියගහ මන්දිරයේදී තම පක්ෂයේ මැති ඇමතිවරුන් මුණගැසුණා.

එහිදී 50 දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් අග්‍රාමාත්‍යවරයාට යෝජනා කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙසයි.

එක්සත් ජාතික පෙරමුණ මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන 105 කට හිමිකම් කියන අතර, පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන්නේ 113 ක්.

නව ආණ්ඩුවක් බිහිකිරීම සඳහා දැනට ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂයේ නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන් පිරිසකගේ ද සහය ලැබෙනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.

මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිළ නිවසේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ පැවැති සාකච්ඡාවේදී ද මේ පිළිබඳව දැනුම් දී ඇති බව සඳහන්.

මේ අතර, ජාතික ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසක් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ද ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කළ යුතු බවටයි අමාත්‍යවරුන් එහිදී යෝජනා කර ඇත්තේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව එස්. බී. දිසානායක සහ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදී පැහැදිලි වෙනසක් සිදුකරන බව ජනාධිපතිවරයා පැවසූ බවයි.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද රාත්‍රියේ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++

සජිත් – කරූ UNP නායකත්වයට ඉල්ලයි
(12.02.2018 – 18:02 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කර තිබෙනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙල හා බැඳුම්කර චෝදනාව ආණ්ඩුවේ පළාත් පාලන මැතිවරණ පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඉරිදා (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවේදී පවසා ඇති බවද වාර්තා වනවා.

මේ අතර ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාමට නම් එක්සත් ජාතික පක්ෂයේ වෙනත් නායකයෙකු අගමැති තනතුරට පත් කළ යුතු යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් එහිදී ජනාධිපතිවරයාට පැවසූ බව එම සාකච්ඡාවට එක්වූ ඇමතිවරයෙක් පැවසුවා.

ජනාධිපතිවරයා ආණ්ඩුවේ වෙනස්කම් ඉදිරියේ සිදුකරනු ඇතැයි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර අගමැතිවරයා සහ එජාප ඇමතිවරු අතර හමුවක් ඊයේ සවස පැවැත්වුනා.

එහිදී තීරණය වී ඇත්තේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කරන ඉල්ලීම් අනුව අගමැති ධුරය හෝ එක්සත් ජාතික පක්ෂ ඇමතිකම් වෙනස් කිරීමට යෝජනා කළහොත් එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු යයි බවයි.

මැතිවරණ ප්‍රථිපලය සමග එජාපයේ නායකත්ව අර්බුදයක් මතුවී ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාස මහතාට හෝ කරු ජයසූරිය මහතාට නායකත්වය ලබාදිය යුතු බවට ඉල්ලීම් මතුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී මැතිවරණයට ඉදිරිපත් වී ඇති අවස්ථාවක ආණ්ඩු බලයත් තිබී එක්සත් ජාතික පක්ෂය ලබාගත් ප්‍රතිඵලය ගැන කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවයි එම පිරිසේ මතය වී ඇත්තේ.

ඉදිරි මැතිවරණ ජයගැනීමට නම් පක්ෂයට නව නායකයෙක් අවශ්‍ය බව ඔවුන් පෙන්වා දී තිබෙන අතර, පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර එවැනි සංවාදයක් මතු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙක් තහවුරු කළා ෴

++++++++++++++++++++++++++++++

හම්බන්තොට බලය පිහිටුවීමේදී කිසිදු පක්ෂයකට සහයක් නෑ – නාමල් රාජපක්ෂ
(12.02.2018 – 12:45 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ හම්බන්තොට මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසිදු පක්ෂයකට සහය ලබා නොදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීමට සූදානම් බවට එහි හිටපු නගරාධිපති, බෙලිඅත්ත නිදහස් පක්ෂ සංවිධායක එරාජ් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

එක්සත් ජාතික පක්ෂය හම්බන්තොට මහ නගර සභාව ජයගනු ලැබුවේ මන්ත්‍රී ආසන 09 ක් ලබාගනිිමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එහි මන්ත්‍රී ධුර 07 ක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රි ධුර 04 ක් හිමිවුණා.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා බහුතර බලයක් ලැබී නැහැ.

ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත දිනාගන්නා පුද්ගලයා ඡන්ද විමසීමකින් අනතුරුව තෝරා පත් කරගත යුතු අතර, ඒ සඳහා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ සභිකයෙකුගේ නමක් යෝජනා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++

පළාත් පාලන ආයතන පිහිටුවීම කල් යයි
(12.02.2018 – 19:21 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම මාර්තු මස 6 වන දා දක්වා කල් තබා තිබෙනවා.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ එම ක්‍රියාවලිය එළඹෙන 15 වන දා සිදුකිරීමට නියමිතව තිබූ බවයි.

කෙසේ වෙතත්, ජයග්‍රහණය කළ කාන්තා නියෝජිතයන්ගේ අවසන් ලේඛනය සැකසීම ප්‍රමාදවීම හේතුවෙන් මෙලෙස පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම කල් ගිය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

+++++++++++++++++++++++++++++++

පොහොට්ටුව විශිෂ්ඨ ජයක් හිමිකර ගනියි – සමස්ථ අවසන් ප්‍රතිඵලය මෙන්න
(12.02.2018 – 14:36 +0530 – sinhala.adaderana.lk)

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේ ප්‍රතිඵල වලට අනුව බහුතර පළාත් පාලන ආයතන සංඛාවක බලය ජයහිමිකර ගැනිමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහනගර සභා, නගරසභා ඇතුළුව පළාත් පාලන ආයතන 231 ක බලය හිමිකරගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන 34 ක බලය හිමිකරගෙන ඇති අතර ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයට පළාත් පාලන ආයතන 43 ක බලය හිමි විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි වුයේ පළාත් පාලන ආයතන 09 ක පමණයි.

ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආතන 05 ක බලය හිමිකර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මූර්තූර්, කින්නියා සහ කුච්චුවේලි ප්‍රාදේශිය සභාවල බලය හිමි විය.

පළාත් පාලන ආතන 340 ට අදාව මේ වන විට සියළු ප්‍රතිඵල නිකුත් කර අවසන් කර තිබේ.

බොහෝ දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සියල්ලගේම බලය පොදුජන පෙරමුණ විසින් හිමිකරගෙන ඇති අතර මොණරාගල, රත්නපුර යන දිස්ත්‍රික්කවල සියලු පළාත් පාලන ආයතනවල බලය හිමිකර ගැනිමට ඔවුන් සමත් විය.

කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 08 ක බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමිව ඇති අතර එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන 04 ක බලය හිමිව තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, කළුතර, නගර සභාවල බලය එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති අතර අනෙක් පළාත් පාලන ආයතනවල බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 04 ක බලය පොදුජන පෙරමුණ හිමි කරගෙන ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන ආයතන 04ක බලය හිමිකරගෙන තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 05 ක බලය එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති අතර ලංකා කම්කරු කොංග්‍රසයට ද පළාත් පාලන ආයතන 05 ක බලය හිමි විය.

යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් සඳහ ඩෙල්ෆ් ප්‍රදේශීය සභාවල බලය ඊ.පී.ඩී.පී පක්ෂය හිමිකරගෙන තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රදේශීය සභාවේ බලය එක්සත් ලංකා මහ සභාව හිමිකරගෙන ඇති අතර අම්පාර දිස්ත්‍රික්කයේ නින්දවූර් ප්‍රදේශීය සභාවේ බලය හිමිකරගෙන ඇත්තේ ජාතික ජනතා පක්ෂයයි.

මෙවර පලාත් පාලන ආයතන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලට අනුව මහ නගර සභා 10 ක බලය හිමි කරගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව තිබේ.

ඒ අතරට කොළඹ, මීගමුව, මහනුවර, දෙහිවල ගල්කිස්ස, බදුල්ල, හම්බන්තොට, ගාල්ල, නුවරඑළිය, කල්මුණේ, මාතලේ යන මහනගර සභා ඇතුළත්ය.

ඊට අමතරව පොදු ජන පෙරමුණට මහ නගර සභා 09ක බලය හිමිව තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කඩුවෙල , මාතර, කුරුණෑගල, අනුරාධපුර, මොරටුව, ගම්පහ, රත්නපුර සහ දඹුල්ල යන මහනගර සභා වල බලය ඔවුන් හිමි කරගත්තේය.

යාපනය සහ මඩකලපුව මහ නගර සභා වල බලය හිමි වූයේ ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයටය.

අක්කරෙයිපත්තුව මහ නගර සභාවේ බලය ජාතික කොංග්‍රසයට හිමිවූ අතර බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමට හිමි විය.

මේ අතර නගර සභා 14 ක බලය හිමිකරගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත්ව තිබේ.

ඒ අනුව මිනුවන්ගොඩ, හොරණ, කඩුගන්නාව, අම්බලන්ගොඩ, හික්කඩුව, තංගල්ල, අම්පාර, ඇඹිලිපිටිය, කැස්බෑව, පෑලියගොඩ, කෑගල්ල, බොරලැස්ගමුව, ජාඇල සහ බලංගොඩ යන නගර සභා වල බලය ඔවුන්ට හිමි විය.

එක්සත් ජාතික පක්ෂය කොලොන්නාව, වත්තල – මාබෝල, කළුතර, නාවලපිටිය, හැටන් – දික්ඔය, වැලිගම, පුත්තලම, කුරුණෑගල, ගම්පොල සහ පානදුර යන නගර සභාවල බලය හිමිකරගැනීමට සමත් විය.

වව්නියාව, ත්‍රිකුණාමලය, වැල්වැටිතුරෙයි නගර සභා වල බලය හිමිවූයේ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයටයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කාත්තන්කුඩි නගර සභාවේ බලය හිමිවූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට හපුතලේ නගර සභාවේ බලය හිමි විය.

පේදුරුතුඩුව නගර සභාවේ බලය සහ චාවකච්චේරි නගර සභාවේ බලය හිමිවූයේ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයටය.

තලවකැලේ නගර සභාවේ බලය ලංකා කම්කරු කොංග්‍රසය හිමිකරගත්තේය.

එරාවූර් නගර සභාවේ බලය මුස්ලිම් ජාතික සන්ධානයට හිමිවූ අතර බේරුවල නගර සභාවේ බලය ස්වාධින කණ්ඩායමක් හිමිකරගත්තේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *