පුංචි ඡන්දයට අභයතිස්ස හිමිගෙන් රතු එළියක්

(07.02.2018 – 16:15 +0530 – sinhala.adaderana.lk)

එළඹෙන පළාත් පාලන මැතිවරණය පසුගිය වසර තුනක කාලය තුළ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ පිළිබඳ ජනතාවගේ මතය උරගා බැලීමක් වන බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එළිය සංවිධානය වෙනුවෙන් එහි කැඳවුම්කරු ලෙස වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ ද සඳහන් කරයි :

‘‘මෙම ඡන්දය සාමාන්‍ය පළාත් පාලන මැතිවරණයක් නොවේ. මෙය පාරෙන්, කාණුවෙන්, බෝක්කුවෙන් ඔබ්බට ගිය ඡන්දයකි. මෙය වත්මන් ආණ්ඩුව මේ රට තුළ පසුගිය අවුරුදු තුනක කාලය මුළුල්ලේ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල ගැන ජනතාව ගේ මතය උරගා බලන ඡන්දයකි.

පසුගිය වසර තුනේ දි මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය අපේ රටට සෑම ආකාරයකින් ම අහිතකර එකක් වී ඇත. අද අපේ ආර්ථිකය මෙතරම් දුර්වල වෙන්නටත්, බදු බර ශීඝ්‍රයෙන් වැඩි වෙන්නටත්, ජාතික සම්පත් විජාතිකයන්ට හිමි වෙන්නටත්, රට ජාතිය බේරා ගත් රණවිරුවන් අන්ත අසරණ තත්වයකට පත් කරන්නටත්, රටේ සභ්‍යත්වයට හා මහා සංඝරතනයට මීට පෙර කිසිදාක නොවූ ආකාරයට මහා අපහාස විදීමට සිදුවීමටත් වගකිව යුත්තෝ වත්මන් ආණ්ඩුවයි.

මේ රජයේ එක් ප්‍රධානම ඉලක්කයක් වන්නේ අපේ රටේ ඒකීයභාවය නැති කර ෆෙඩරල් ක්‍රමයක් හඳුන්වා දීමයි. දැනට මේ ප්‍රයත්නය යටපත් වී ඇත්තේ මෙම පළාත් පාලන ඡන්දය නිසාය.

මේ ගෙන එන්නට හදන නව ව‍්‍යවස්ථාව රට කැබලි කිරීමට වෑයම් කරන අන්තවාදීන්ගේ අරමුණු ඉෂ්ඨ කරන, ජාතිවාදය වපුරන, රට අස්ථාවර කරන ව්‍යවස්ථාවකි.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකම, මේ නව ව්‍යවස්ථාවට ඔවුන් ගේ සම්පූර්ණ සහයෝගය දෙමින් සිටියි. මෙයට ජනතා විමුක්ති පෙරමුණෙනුත් සහය ලැබීම කණගාටුවට කරුණකි.

අසූවේ දශකයේ අග බාගයේ දි පළාත් සභා ක්‍රමයට විරුද්ධව එවක රජය හා ගැටීමෙන් අපේ රටේ තරැණ තරුණියන් දස දහස් ගණනක් මරණයට පත්කරමින්, ජවිපෙ මුළු රටම ඉතාම බිහිසුණු යුගයකට ඇද දැමු සැටි අප කාටත් මතකය.

නමුත් අද ඔවුන්ගේ ප්‍රතිපත්තිය අංශක 180 කින් වෙනස් කොට, පළාත් සභා ක්‍රමයෙන් බොහෝ ඔබ්බට ගොස් රට ෆෙඩරල් ඒකක නවයකට කඩන නව ව්‍යවස්ථාව වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටින තත්ත්වයක් ඇතිවී තිබේ.

මේ රට මුහුණ පා ඇති මේ උවදුරුකාරී තත්වයෙන් මුදවා ගැනීමට ඔබේ ඡන්දය භාවිතා කරන්න. මේ රට ෆෙඩරල් ඒකක නවයකට කඩන නව ව්‍යවස්ථාව ගෙන ඒමට වෙර දරණ දේශපාලන පක්ෂ වලට ඡන්දය දීමෙන් වැළකී සිටින්න.

මේ පළාත් පාලන මැතිවරණයේ දි ඔබේ ඡන්දය රට කැබලි කරන නව ව්‍යවස්ථාවට විරැද්ධ පක්ෂ වලට පමණක් දී, රට මේ උවදුරින් බේරා ගැනීම අප සියළු දෙනා සතු වගකීම බව එළිය සංවිධානය වෙනුවෙන් සියලූම ඡන්දදායිකයන්ට මම සිහිපත් කර සිටිමි.’’

*****************************************

පුද්ගලයෙකුට දිවි අහිමි කළ බත්තරමුල්ලේ මාරාන්තික අනතුර
(07.02.2018 – 11:57 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල මංසන්දියේ දී ඊයේ (06) අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 65 ක් පමණ පුද්ගලයෙක් බවයි තලංගම පොලිසිය පැවසුවේ.

මාර්ගය හරහා මාරුවන පුද්ගලයා මාර්ගයේ පැමිණෙන මෝටර් රථයක ගැටෙන අතර අනතුර සිදුවීමෙන් පසු මෝටර් රථයේ රියදුරු එම ස්ථානයෙන් පලා යනවා.

අනතුරට පත් පුද්ගලයා තුවාල ලබා මාර්ගයේ වැටී සිටින අවස්ථාවේ පැමිණෙන ජීප් රථයක් නැවතත් ඔහුව යටකරගෙන යනවා.

මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් තහවුරුකර ගැනීමට නොහැකි වූ බවයි තලංගම පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.

අනතුර සිදුකළ මෝටර් රථය සහ එහි රියදුරු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

+++++++++++++++++++++++++++++++

‘සංහිඳියා නාලිකාවක්‘ අරඹනවා කියා මාධ්‍ය ඇමැති සහ රූපවාහිනී ලොක්කෝ රටක් රවටති..! ‘සංහිඳියා ටොයිලට්‘ එක මිලියන 3 යි
(07.02.2018 – News e Lanka)

මාධ්‍ය ඇමැති මංගල සමරවීර සමග ජාතික රූපවාහිනියේ බහුබූත ඩීජී තුසිර මැලවේතන්ත්‍රි සහ ඔහුට බියේ කටයුතු කරන පතෝල සභාපති රවි ජයවර්ධන තිදෙනා සංහිඳියාවේ නාලිකාවක් අරඹන බව කියමින් රටක් රවටන වංචාවක නිරත වෙමින් සිටින බව වගකීමෙන් යුතුව අනාවරණය කරමු.

ලබන පෙබරවාරි 20 දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙකී සංහිඳියා ‘නාලිකාව‘ විවෘත කිරීමට කිරීමටද නියමිත නමුත් සැබෑවටම එනමින් ‘නාලිකාවක්‘ දියත් නොවේ. සිදු වන්නේ දැනට එකම සංඛ්‍යාත යටතේ විසුරුවා හරින චැනල් අයි සහ නේත්‍රා නාලිකා 20 වනදායින් පසු වෙන් වෙන්ව විසුරුවා හැරීම පමණි. එහෙත් මිලියන ගණනක් මුදල් වෙන් කර ගත්තේද සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ එය ලබා දුන්නේද ‘සංහිඳියා නාලිකාවක්‘ සඳහාය. අඩු තරමේ ‘නාලිකාවකට‘ අවශ්‍ය සම්ප්‍රේෂණ යන්ත්‍ර පවා සවි කර නැත. තව දින කීපයකින් ජනගත කරනවා යැයි කියන ‘නාලිකාවේ‘ පරීක්ෂණ විකාශයක් වත් අරඹා නැත. කොටින්ම සිදුවන්නේ 20 වෙනිදායින් පසු දැනට ‘නේත්‍රා‘ නාලිකාව පෙනෙන ප්‍රදේශවලට පවා එය නොපෙනීමයි. මහ වුන්ගේ මේ කපටි කම් රූපවාහිනියේ ඉන්ජිනේරු අංශය මත පටවා අත සෝදා ගැනීමට බහුබූත ඩීජී සහ පතෝල සබාපති තැත් කරන බවද වාර්තා වේ.

‘සංහිඳියාවේ නාලිකාවකට‘ ලබා දුන් මුදල් මේ වන විට සිය දුර්වලතා වසා ගැනීමේ වෙනත් කටයුතු සඳහා ඔවුන් යොදවා ඇත. බහුබූත ඩීජී සඳහා රුපියල් මිලියන තුනක වියදමින් ඉදි කරන සුඛෝපභෝගී වැසිකිළි පද්ධතියට වැය කරන්නේද ‘සංහිඳියා නාලිකාවේ‘ මුදල් ය. එබැවින් එම වැසිකිළි පද්ධතිය ‘සංහිඳියාවේ ටොයිලට්‘ කියා නම් කරනවාදැයි දන්නේ නැත. පළාත් පාලන ඡන්දයෙන් පසු සිය තනතුරු අහිමි වන බව දන්නා මේ දුර්වල පාලකයන් දෙදෙනා විවිධ දහං ගැට ගසමින් මහජනතාව රැවටීමට උත්සාහ ගනිති. මේ රැවටිල්ල මාධ්‍ය ඇමැතිවරයා නොදන්නවා විය නොහැකි ය.

තකහනියේ ප්‍රවෘත්ති මැදිරියක් අටවන්නේද රැවටිල්ලේ පියවරක් ලෙස වන අතර එය ඇමතිවරයා විසින් ලබන 15 වනදා විවෘත කිරීමට නියමිතය. ජපාන තාක්ෂනයෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ රූපවාහිනී මැදිරි වලට අලගු තියන්නටවත් බැරි බාල කුකුල් කොටුවක් ඉදි කර එය අඬ බෙර ගසමින් විවෘත කරන්නට යන්නේ ප්‍රෝඩාකාරී ලෙසය. මෙතෙක් එම අංශයේ වැඩ කළ නිලධාරීන් කන්ටේනරයකට ගාල් කරවා අටුව කඩා පුටුව සෑදීමේ උගුලක් ඔවුන් අටවා ඇතැයි එහි සේවකයෝ කියති.

මෙසේ වංචනික ලෙස මහජන මුදල් කාබාසිනියා කරන රූපවහිනී බහුබූත ඩීජී සහ පතෝල සබාපති කඩිනමින් තනතුරුවලින් නෙරපා සුදුසු නිලධාරීන් පත් කළ යුතු බව රූපවාහිනී සේවකයෝ පමණක් නොව රූපවාහිනී නරඹන්නන් පවා දැන් අවධාරණය කරති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *