කොටහේන අලුත් මාවත දින 3 ක් වැසෙයි

(21.09.2017 – 22:08 +0530 – sinhala.adaderana.lk)

කොටහේන අලුත් මාවත මාර්ගයේ අලුතින් ජලනල එලීමේ ව්‍යාපෘති කටයුත්තක් මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් හෙට (22) රාත‍්‍රී 9 සිට 25 වන දා උදෑසන 5 දක්වා කොටහේන අලුත් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමන බව පොලීසිය පවසයි.

මෙම ජලනල එලීමේ ව්‍යපෘතිය හේතුවෙන් කොටහේන අලුත් මාර්ගය වසා තැබෙන බැවින් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව පිටකොටුව, කොච්චිකඩේ සිට පැමිණෙන රථවාහන හෙට්ටියාවත්ත හන්දියෙන් දකුණට හරවා ජෝර්ජ්.ආර්. ද සිල්වා මාවතේ ගමන් කර බ්ලූමෙන්ඩල් හන්දියෙන් වමට හරවා බ්ලුමෙන්ඩල් මාර්ගයේ ගමන් කර බෝධිය හංදියෙන් මාදම්පිටිය මාර්ගයට හෝ සෙන්. ජේම්ස් මාර්ගයට යොමු වී අලුත් මාවතට පිවිසිය හැක.

එසේත් නොමැති නම්, මට්ටක්කුලිය දෙස සිට පැමිණෙන රථවාහන මාදම්පිටිය මාර්ගයට හෝ සෙන්. ජේම්ස් මාර්ගයෙන් බෝධිය හංදියට ගමන් කර බ්ලුමෙන්ඩල් මාර්ගයේ ජෝර්ජ්. ආර්. ද සිල්වා මාවත හංදියට පැමිණ ජෝර්ජ්. ආර්. ද සිල්වා මාවතෙන් හෙට්ටියාවත්ත හංදියට ගමන් කළ හැක ෴

++++++++++++++++++++++++++++

ජීවිත රැකගන්න ගස් යට පංති කරන අපූරු පාසල මාධ්‍යයට වහයි
(21.09.2017 – 15:21 +0530 – sinhala.adaderana.lk)

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලහැර බකමුන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සිරි කඳුයාය ප්‍රාථමික විදුහලේ දරු දැරියෝ සියලු දෙනාම පන්ති කාමරය කඩා වැටීමේ අවදානම නිසා සති ගණනාවක සිට ගස් යට අකුරු උගැනීම සිදු කරති.

විද්‍යාලයේ පැවති එකම ගොඩනැගිල්ල කඩා වැටීමේ අවදානමක් පවතින බව විදුහල්පතිවරයා සහ මව්පියෝ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ සිට වගකිය යුතු සියලුම නිලධාරීන්ට ලිඛිතව හා වාචිකව දැනුම් දී ඇතත් මේ වන තුරු විසදුමක් නොමැති බව දෙමාපියෝ පවසති.

තම දරුවන් අව්වේ වේලෙමින් වැස්සේ තෙමෙමින් ගස් යට ඉතා අපහසුතා මධ්‍යෙය් ඉගෙනගැනීම සිදු කරන අයුරු තව දුරටත් බලා සිටීමට නොහැකි තැන දෙමව්පියෝ මේ බව මාධ්‍ය මගින් රටට හෙළිදරව් කිරීමට තීරණය කළද අද (21) දින විද්‍යාලයට ගිය මාධ්‍ය කණ්ඩායමට විද්‍යාලයට ඇතුළු වීමට අවසර නොලැබිණි.

විදුහල්පතිවරයාට මාධ්‍ය කණ්ඩායමක් එන බව කලින්ම දැන ගැනීමට ලැබීම නිසා පාසලේ ගේට්ටුව ඉබි යතුරු දමා වසා දැමු බව එහි ගුරුවරු පැවසුහ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *