දුම්රිය පාපුවරුවේ ගිය පිරිසක් ලොරියක වැදී බිම – 4 ක් මරුට

(05.02.2018 – 17:18 +0530 – lankadeepa.lk)

කොළඹ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පිරිසක් අද පස්වරුවේ ලුනාව පාලන අසල නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිවු දෙනෙකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව අඟුලාන පොලිසිය කියයි.

දුම්රියේ ගමන් ගත් තරුණයකුගේ පිටේ එල්ලාගෙන සිටි බෑගයක් ලොරියේ පැටලීමෙන් ඔහු දුම්රියෙන් ඉවතට ඇදී යාමත සමඟ පාපුවරුවේ එල්ලී සිටි සෙසු පිරිසද ලොරියේ ගැටී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් තරුණයන් තිදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර එක් අයකු රෝහල වෙත රැගෙන යන අතරතුර මියගොස් ඇත.

තිදෙනකුගේ මළ සිරුර කළුබෝවිල රෝහලේ ද අනෙක් තැනැත්තාගේ මළ සිරුර ලූනාව රෝහලේ ද තැන්පත් කර ඇති බව ද පොලිසිය කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ දුම්රියට පිටුපසින් ඇති මැදිරියේ වන අතර එම අවස්ථාවේ මගීන් විශාල පිරිසක් එහි පාපුවරුවේ ගමන් ගනිමින් සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

දුම්රිය ලූනාව පාලම ආසන්නයට ළඟා වෙමින් තිබිය දී පාලම ආසන්නයේ ලොරියක් නවත්වා තිබී ඇති අතර එම ස්ථානයේ මාර්ගය සහ දුම්රිය මාර්ගය ඉතා පටු හේතුවෙන් දුම්රිය මාර්ගයේ ගමන් ගත් පිරිස එකවරම ලොරියේ ගැටුණු බවට සිද්ධිය ඇසින් දුටුවෝ පොලිසියට ප‍්‍රකාශ කර ඇත.

සිද්ධියෙන් පසු තුවාලකරුවන් තරුණයන් ගැටුණු ලොරියෙන්ම කළුබෝවිල රෝහල වෙත රැගෙන ගොස් තිබුණි. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන එක් පුද්ගලයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගිය පිරිස මෙතෙක් හඳුනාගෙන නොමැත.

මෙම ස්ථානයේ මාර්ගය පටුවීම නිසා අනතුරු රැසක්ම සිදු වුවද බලධාරීන් ඊට කිසිදු පියවරක් ගෙන නොමැති බවට ජනතාව චෝදනා කරති.

+++++++++++++++++++++++++++++++

‘බට්ටා ලොරියේ’ පැටලී බෑග් එකත් එක්ක තරුණයෙක් වැටුණා – එකපෙළට අනෙක් අයත් වැටුණා – අඟුලාන දුම්රිය පාපුවරුවේ අනතුරින් මරණ 4 ක්
(06.02.2018 – gossiplankanews.com)

අධික තදබදය සහිත කාර්යාල දුම්රිය වල දුම්රිය පාපුවරුවේ යාම පුරුද්දක් කරගත් පිරිසක් අවාසනාවන්ත අනතුරකට ලක්වීමේ සිද්ධියක් ඊයේ අඟුලානෙන් වාර්තා වුණා.

මොරටුව – අඟුලාන දුම්රිය ස්ථානය ආසන්නයේ දකුණු කළුතර බලා ගමන් ගත් දුම්රියක පාපුවරුවේ ගමන්ගත් මගීන් පිරිසක් ඊයේ සවස ‘බට්ටා ලොරි රථයක’ ගැටුණ අතර නවදෙනකු ඇද වැටී පුද්ගලයන් දෙදෙනකු එතැනම මියගිය අතර තවත් දෙදෙනෙකු රෝහලේදී මියගියා.

අනතුරින් මියගිය අය අතර කළුතර දකුණ නගර සභා නිවාසහි පදිංචිව සිටි රවින් උදේශ (42) හා වාද්දුවේ පදිංචි ජයරත්න පෙරේරා අවු. (42) නම් කොතලාවල හමුදා ඇකඩමියේ සේවකයකු වූ අතර ඔවුන්ගේ සිරුරු හඳුනාගත නොහැකි තරමට කැබැලි වී තිබුණ බවද පැවසුණා.

දුම්රිය ලූනාව පාලම ආසන්නයට ළඟා වෙමින් තිබිය දී පාලම ආසන්නයේ දුම්රිය ධාවනය කරමින් තිබියදී දුම්රියට සමාන්තර මාර්ගයේ ධාවනය වූ බට්ටා ලොරියක් අවමංගල රථයකට ඉඩදීම සඳහා නතර කර තිබී ඇති අතර දුම්රිය පා පුවරුවේ සිටි මගියකු පිටෙහි එල්ලාගෙන සිටි ගමන් බෑගයක් පැටලී ඔහු මාර්ගයට වැටීමත් සමඟ සෙසු පුද්ගලයන් ද ඔහුට පැටලී ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය වී ඇත්තේ ඊයේ පස්වරු 4.45 ට පමණය.

අඟුලාන පොලිසියේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී තුවාලකරුවන් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

සිද්ධියෙන් පසු තුවාලකරුවන් පිරිසක් තරුණයන් ගැටුණු ලොරියෙන්ම කළුබෝවිල රෝහල වෙත රැගෙන ගොස් තිබුණි. තුවාල ලත් පිරිස අතර චීන ජාතික තරුණියක්ද සිටින බවද ‍පොලීසිය කියා සිටී.

මෙම අනතුර නිසා තවත් 5 දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ දුම්රියට පිටුපසින් ඇති මැදිරියේ වන අතර එම අවස්ථාවේ මගීන් විශාල පිරිසක් එහි පාපුවරුවේ ගමන් ගනිමින් සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

මෙම ස්ථානයේ මාර්ගය පටුවීම නිසා අනතුරු රැසක්ම සිදු වුවද බලධාරීන් ඊට කිසිදු පියවරක් ගෙන නොමැති බවට ජනතාව චෝදනා කරති.

අනතුරට හේතුවූ ලොරිය පොලිස්භාරයට ගෙන රියදුරු මේ වනවිට අත්අඩංගුවේ පසුවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *