බැඳුම්කර මාමා සහ බැදුම්කර බෑණා තවත් දැවැන්ත වංචාවක.. ලංකාව යලිත් අලි අමාරුවක…

(06.02.2018 – 00:02 +0530 – lankacnews.com)

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය :

බැඳුම්කර වංචාවේ සැකකරුවන් වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස්. තේරෙන භාෂාවෙන් කිව්වොත් බැඳුම්කර මාමා සහ බෑනා සිදු කළ තවත් දැවැන්ත වංචාවක් හෙලිදරව් කරන්නයි අපේ මේ සූදානම.

මධ්‍යම අධිවේගි මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කිලෝ මීටර් 32 ඉදි කිරීම සඳහා රුපියල් බිලියන 138 ණය මුදලක් ජපානයේ ටෝකියෝ මිට්සුබිෂි බැංකුවෙන් ලබා ගෙන තිබෙනවා. ණය ආපසු ගෙවීමට ලංකාණ්ඩුව අපොහොසත් වුවහොත් කියන පදනමින් එම ණය සඳහා බැංකුව රක්ෂණ ආවරණයක් ලබා ගන්නවා. බොහෝ විට එම රක්ෂණ ගාස්තුව ගෙවන්නේ බැංකුවයි. අවදානම වැඩිවෙලා රක්ෂණ වාරිකය වැඩිනම් ඒක අදාල රටටම ගෙවන්න කියනවා.

යුද්ධ කාලයේ දී මෙම ගාස්තුව ණය මුදලෙන් 5-10% ක් වගේ ඉහළ අගයක් ගත්තා. නමුත් යුද්ධයෙන් පසු අවදානම අඩු නිසා රක්ෂණ ගාස්තුව 2-5% වගේ අගයක් ගත්තේ. නමුත් මෙම ණය මුදල සඳහා ගෙවිය යුතු රක්ෂණ ගාස්තුව 10% ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 14 ක්. සහන පොලියට ජපානයෙන් ණයක් ලැබෙන බව කියමින් ජපාන කොන්ත්‍රාත්කරුවන්ට පමණයි ටෙන්ඩරයට අවස්ථාව දුන්නේ. ඒ නිසාම අසාමාන්‍ය ලෙස මාර්ගයේ පිරිවැයත් ඉහළ ගියා. නමුත් 2% පමණ පොලී ගෙවන්න වෙනවයි කියපු මේ ණය මුදලට 10% ක රක්ෂණ ගාස්තුවක් ගෙවන්න වෙනවනම් ඒ ණය තව දුරටත් සහන පදනමින් ලබා දෙන ණයක් වෙන්නේ නෑ.

මේ ණය ලබා දීමට ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කළ ජපාන ටෝකියෝ මිස්ෂුබිසි බැංකුවේ දේශීය නියෝජිතයා තමයි අපි හැමෝම දන්න අර්ජුන් ඇලෝසියස්. සෑම විදේශීය ණයක්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි. එහි දී ණය කොන්දේසි හිතකර නම් විතරයි මුදල් මණ්ඩලය අනුමත කරන්නේ. මුදල් මණ්ඩලය කියන්නේ අර්ජුන් ඇලෝසියස්ගේ මාමා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස සභාපති ධූරය දරපු තැන. නමුත් අර්ජුන් ඇලෝසියස් ගෙනා මේ රටට අහිතකර දැවැන්ත රක්ෂණ ගාස්තුවක් සහිත මේ ණය මුදල එයාගේ මාමණ්ඩි අර්ජුන් මහේන්ද්‍රන් සභාපති කම දරන මුදල් මණ්ඩලය විසින් අනුමත කරනවා. මේක ‘බෑනා නියෝජිතයා වෙලා ඉදන් ගෙනාපු ණයක් ය’ කියන තමන්ට තියෙන බැදියාවේ ගැටුම අර්ජුන්ලා දෙන්නාම හෙළිකරන්නේ නෑ. රටට රුපියල් කෝටි ගණනක දැවැන්ත පාඩුවක් සිදු කරමින් මේ ණය අනුමත වෙනවා.

මේ තමයි බැඳුම්කර වංචාවේ දෙවන කොටස. පළමු කොටසේ ප්‍රධාන නළුවන් දෙදෙනාම මේකෙත් ඉන්නවා. ජනාධිපතිතුමනි, බැඳුම්කර වංචාව පිළිබඳ කොමිසමක් පත් කරන්න වසර දෙකක් කල් මැරුවා කියා ඔබතුමාට බරපතල චෝදනාවක් තිබෙනවා. ඒ නිසා ‘අප්ප මාදො අමත පදං’ කියලා වහාම මේ පිළිබඳ විමර්ශනයක් කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

*****************************************

බැදුම්කර මගඩියට අගමැති රනිල් 09 වැනිදා අත්අඩංගුවට…
(05.02.2018 – 22:43 +0530 – lankacnews.com)

මහ බැංකු බැදුම්කර වංචාවට අදාලව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පෙබරවාරි 09 වැනිදා අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් ඉරිදා දිනයේ ඔහු ඇප මත නිදහස් කරනු ඇති බවත් පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන අත්අඩංගුවට ගනු ලැබුවේ ජනතා කලකිරීම් අඩු කරවීමට බවත් අගමැතිවරයාද ඒ අදහසින්ම අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් ඔහු කියයි.

සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *