ඇත් පැටියාගේ පහරදීමෙන් පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති

බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අපවත් වෙති
(03.02.2018 – 12:41 +0530 – lankadeepa.lk)

බෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍යාමෝපාලි මහා නිකායේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියෝ අද (03) අපවත් වූහ.

ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබුණු අතර විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණි.

ඒ හිමියෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස කටයතු කරමින් සිටියහ.

විමලරතන නාහිමියන්ගේ අපවත්වීම පිළිබඳ පුවත සැලවීමත් සමග මහා සංඝරත්නය ද දේශපාලන නායකයෝද සිවිල් ක්‍රියාකාරීහූ ද එම විහාරස්ථානයට පැමිණියහ.

ජාතියට අත්‍යවශ්‍යම අවස්ථාවක උන්වහන්සේගේ අපවත්වීම දැඩි පාඩුවක් යැයි එම විහාරස්ථානයට පැමිණ සිටි ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ කීහ.

විමලරතන නාහිමියන්ගේ ආදාහනය පිළිබඳ විස්තර පසුව දැනුම්දෙන බව එම විහාරස්ථානයේ ආරංචිමාර්ග කියයි ෴

++++++++++++++++++++++++++++

බෙල්ලන්විල නාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය 8 වනදා
(03.02.2018 – 20:01 +0530 – hirunews.lk/sinhala)

අපවත්වී වදාළ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ආදාහ පුජෝත්සවය ලබන 8 වනදා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

ඒ උන්වහන්සේගේ ආදාහන පුජෝත්සවය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ රැස්වීමකදීයි.

ඒ අනුව බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ආදාහන උත්සවය 8 වන බ්‍රහස්පතින්දා පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති ෴

++++++++++++++++++++++++++++++++

බෙල්ලන්විල නාහිමි අපවත් වූයේ අලි ප‍්‍රහාරයෙන් නොවෙයි.. ඇත්ත කතාව සමීප හිමියන් හෙලි කරති..
(03.02.2018 – 22:55 +0530 – lankacnews.com)

බෙල්ලන්විල රජ මහා විහාරයේ සිටින ඇතා තමනට පහර දීමක් සිදු නොකල බව එම විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් අපවත් වීමට පෙරාතුව කිහිප දෙනෙකුම සමග පවසා ඇත.

ඇතාට ආහාර දීමට යාමේදී ඇතා හිමියන්ගේ අතේ තිබූ ආහාර ඇද ඇති බවත් හිමිවන් ආපසු ඇදීමේදී පසුපස තිබූ ගල් ගොඩක් මතට වැටීමෙන් මෙම තත්වය ඇති වූ බවත් සදහන් කරති.

මේ අතර තවත් හිමිවරුන් කිහිප දෙනෙකුම කියා සිටියේ ඊට අදාල ශල්‍ය කර්ම සාර්ථකව සිදු කර තිබියදී උත් වහන්සේට ඇති වූ හෘදයාබාද තත්වයක් නිසා මෙසේ අපවත් වී ඇති බවයි.

හිමියන්ගේ දේහය පිළිබද ආදාහන පූජොත්සවය එළැඹෙන 08 වැනිදා ශ‍්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාල භූමියේදී සිදු කිරීමට නියමිතය.

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

බෙල්ලන්විල හිමියන්ගේ ආදාහන පුජ්‍යෝත්සවය ගැන විශේෂ සාකච්ඡාවක්
(03.02.2018 – 15:08 +0530 – hirunews.lk/sinhala)

අපවත්වී වදාල බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

බෙල්ලන්විල පෙරහර කමිටුවේ ලේකම් කේසරලාල් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පස්වරු 7 ට සියලූ පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් එම සාකච්ඡාව විහාරස්ථානයේ දී පැවැත්වෙන බවයි.

හදිසි අනතුරක් හේතුවෙන් රෝහල් ගතකර සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද (03) පෙරවරුවේ අපවත් වුණා.

විහාරස්ථානයේ මියන් කුමාර නැමැති ඇත් පැටවාට ආහාර ලබාදීමට යාමේදී ඊයේ මෙම අනතුරට ලක්වූ උන්වහන්සේ කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණා.

අනතුරුව උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක් වෙත මාරු කර යැවුණා.

එහිදී පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ට පැය 10 ක පමණ ශල්‍යකර්මයක් සිදුකර තිබුණේ උන්වහන්සේගේ ඉල ඇට 10 කට ආසන්න සංඛ්‍යාවක් සහ දකුණු උරහිසේ අස්ථිය බිඳී ගොස් තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත්, සසුන් කෙත ඒකාලෝක කරමින් වැඩ විසූ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් 75 වසරක් ආයු වළඳා අද පෙරවරුවේ අපවත් වුණා.

නාහිමියන්ගේ අපවත්වීම සැලවීමත් සමඟ උන්වහන්සේ ප්‍රතිකාර ලැබූ කොළඹ පෞද්ගලික රෝහල වෙත මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා.

මේ අතර, කළුතර ප්‍රදේශයේදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් හිලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් රජයෙන් ඉල්ලා සිටියේ බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන කටයුතු සිදුකරන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙසයි.

1942 වසරේ අප්‍රේල් 14 වැනිදා කළුතර බණ්ඩාරගම ප්‍රදේශයේදී උපත ලැබූ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් දෙහිවල – නිකපේ විජයරාජ විද්‍යාලයෙන් සහ පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරනු ලැබුවා.

පසුව 1958 වසරේ පෙබරවාරි 28 වැනිදා එවක බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි වනු ලැබුවේ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් නමින්.

අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත්වූ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, එංගලන්තයේ ලැන්කෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති සහ ආචාර්ය උපාධි හිමිකරගෙන තිබෙනවා.

ශාස්ත්‍රීය ධර්ම ග්‍රන්ථ රැසක් බෞද්ධ ජනතාව වෙනුවෙන් සම්පාදනය කළ උන්වහන්සේ බෞද්ධ සමාජය නඟා සිටුවීම උදෙසා ඉමහත් දායකත්වයක් ලබාදුන් යතිවරයාණන් වහන්සේ නමක ලෙසයි හැඳින්වෙන්නේ.

කෝට්ටේ ශ්‍රී කල්‍යානි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ලෙස උන්වහන්සේ කලක් කටයුතු කළත්, පසුගිය නොවැම්බර් මස 18 වැනිදා උන්වහන්සේ එම ධුරයෙන් ඉල්ලා අස්වූයේ තරුණ භික්ෂූණ් වහන්සේලාටද එම අවස්ථාව හිමිකර දිය යුතු බව පෙන්වා දෙමින්.

විද්වත් පඬිරුවනක් මෙන්ම සුපේෂල ශික්ෂාකාමී සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් ලෙස සමාජයේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත් වන තුරුම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර හොබවනු ලැබුවා.

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

මුල්වරට මිලිටරි ගුවන් යානයකින් පිටරටකින් ලංකාවට ගෙන්වූ ඇතා මියන්කුමාර
(04.02.2018 – gossiplankanews.com)

බෙල්ලන්විල රජමහා විහාරාධිපති හිමියන්ගේ අනතුරට මුල්වූ මියන් කුමාර ඇතා මීට වසර හතරහමාරකට පමණ පෙර 2013 මිලිටරි ගුවන්යානයකින් මියන්මාරයේ සිට ලංකාවට ගෙන්වීමේ කටයුත්ත සිදු කළ පශු වෛද්‍යතුමන් එම විස්තරය පවසා තිබුනේ පහත ආකාරයටය.

මෙම ඇතා දඟකාරයෙකු බවත් සියඹලා කවා මෙල්ල කළ හැකි බවත් ඇත් පැටවාට නම් තබන ලද්දේ බෙල්ලන්විල හිමියන් විසින් බවත් මෙහිදී සඳහන් කර තිබේ. පහත පළවන්නේ එම විස්තරයයි.

වාර්ෂිකව ඉතා උසස් අන්දමින් පෙරහර පවත්වන බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහර සඳහා ඇතෙකුගේ අවශ්‍යතාව කලක සිට පැවතුණි.

ඒ සම්බන්ධව බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිගේ අසීමිත උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් මියන්මාර් රජයෙන් බෙල්ලන්විල රජමහා විහාරයට ඇතකු පරිත්‍යාග කිරීමට තීරණය කරන ලදී. නාහිමියන්්ගේ ඉල්ලීමකට අනුව එම රාජතාන්ත්‍රික කටයුත්තකට අදාළ ඇත් පැටවා තෝරාගැනීමේ සිට ලංකාවට රැගෙන ඒම දක්වාම ක්‍රියාවලියට දායකවීමේ වාසනාව මා හට උදාවිය.

අපි 2012 වසරේ ස්වාමින්වහන්සේ සමග මියන්මාරයට ගොස් සුදුසු ඇත් පැටවකු තෝරා ගැනීමේ කටයුත්ත සිදුකළෙමු. පෙරහරක සධාතුක කරඬුව වැඩමවීම සඳහා සුදුසු වන ඇතෙකුට තිබිය යුතු දේහ ලක්ෂණ අනුව එම ඇතා සද්ධන්ත කුලයට අයත් විය යුතුය. එවන් දේහ ලක්ෂණ සහිත අංග සම්පූර්ණ නිරෝගී ඇත් පැටවකු තෝරාගැනීමේ භාරදූර වගකීමේ මමද කොටස්කරුවකු වීමි.

මියන්මාරය බෞද්ධ රාජ්‍යයක් වන අතර ඉතාම සුන්දර දේශයක් වූ එහි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව හා දැව නිෂ්පාදන දෙපාර්තමේන්තුව සතුව විශාල අලි ඇතුන් සංඛ්‍යාවක් සිටිති. බෞද්ධ කටයුතු සඳහා ලංකාවට මීට පෙර අවස්ථාවලදීද මියන්මාර් රජයෙන් හස්තීන් පරිත්‍යාග කොට ඇත. ශ්‍රී දළදා මාලිගාවේ ‘මියන් රජා’ හස්තියාද එවැනි සතෙකි.

අදාළ සාකච්ඡාවලින් පසුව යැන්ගුන් අගනුවරට දුරින් පිහිටි ස්ථානයකදී අප වෙත හස්තීන් කිහිප දෙනෙකු ඉදිරිපත් කළ අතර සුදුසු ඇත් පැටවකු අප විසින් තෝරා ගන්නා ලදී. අදාළ දේහ ලක්ෂණ මෙන්ම සෞඛ්‍ය තත්ත්වයද පරීක්ෂා කරන ලදී. ඉතාම සුදුසු වයස වන අවුරුදු 08ක පමණ පැටවෙකු තෝරා ගැනීමට අපට හැකි විය.

එම තෝරා ගැනීමේදී සත්වයාගේ බාහිර පෙනුම, තේජාන්විතභාවය, හිස කෙළින් තබා සිටිනා ඉරියව්වේදී සෘජු බව, දළවල පිහිටීම හා හැඩය. එම දල යුවළ වයසට සාපේක්ෂව වර්ධනය, සිරුරේ මහත ආදී දේහ ලක්ෂණ, වලිගයේ ස්වරූපය ආදිය පිළිබඳවත් කරඬුව තබන ආසනය වන ඇතාගේ කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටීම ආදී වූ බාහිර ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වූවෙමු. එපමණක් නොව ඇතාගේ චර්යාව, කීකරු බව, පුහුණු කරගත හැකිවීමට අදාළ හැසිරීම් ලක්ෂණද නිරීක්ෂණය කරන ලදී.

එම ලක්ෂණවලට අනුව ඇත් පැටවුන් කිහිප දෙනා අතරින් වඩාත් සුදුසු ඇත් පැටවා පිළිබඳව අවධානය යොමු විය. මාගේ ප්‍රධාන වගකීම වූ ඇත් පැටවාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන ලදී. හිස සිට පාදය දක්වාත් හිස සිට පසුපස දක්වාත් සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන ලදී. ඉතා සෞඛ්‍ය සම්පන්න මෙම ඇත් පැටවාගේ රුධිර නියැදියක්ද රසායනාගාරයට යොමු කරන ලදී. එම පරීක්ෂණ සියල්ල තුළින් ඇතුගේ නිරෝගීභාවය සනාථ කළ අතර ඇත් පැටවා පුහුණු කොට ලංකාවට රැගෙන යාමට අදාළ කටයුතු නොපමාව සිදු කෙරිණි.

ඇතකු ප්‍රවාහනය කිරීම සඳහා බොහෝ විට භාවිතා කරනු ලබන්නේ නැව්ය. නමුත් නැවකින් ඇතකු ප්‍රවාහනයේදී දින ගණනාවක් මහ සයුර මැදින් පැමිණීමේදී විවිධ රෝගී තත්ත්වයනට ගොදුරුවීමට ඉඩකඩ ඇතිවෙයි. මේ පිළිබඳව සලකා බලා ඇත් පැටවා ප්‍රවාහනයට ගුවන් යානයක් යොදා ගැනීමට තීරණය විය. ගුවන් යානාවකින් ඇතකු ප්‍රවාහනයේදී උස අඩි 06ට වඩා අඩු විය යුතුවේ.

මියන්මාරයේ සිට ලංකාවට හස්තියා ගුවනින් ගෙන ඒම ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. දෙරටේ සත්ව නිරෝධායන නීති රීති, මියන්මාරයේ ප්‍රවාහන බලපත්‍ර, ලංකාවේ ආනයන බලපත්‍ර, දෙරටේ ඛිජ්ඊඉ සහතික (විදේශයකට සතුන් ලබාදීමේදී ඉදිරිපත් කළ යුතු බලපත්‍රය) සෞඛ්‍ය වාර්තා ආදී වැනි කටයුතු රැසක් මැද වන කටයුත්තකි. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම කටයුතු සම්බන්ධීකරණය කරන ලදී. තෝරා ගත් ඇත් පැටවා යැන්ගුන් සත්වෝද්‍යානයේ මසක් තිස්සේ රඳවා අදාළ පරීක්ෂණ සිදුකළ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ප්‍රවාහනය සිදුකර ගැනීමට සාකච්ඡා විය.

ශ්‍රී ලංකාවෙන් චෙක් ජනරජයේ ප්‍රාග් සත්වෝද්‍යානයට අලි පැටවුන් දෙදෙනෙක් රැගෙන ගියේ ගුවන් හමුදාවේ හර්කියුලිස් වර්ගයට අයත් ඛි 130 නම් ගුවන් යානයෙනි. එය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මිලිටරි ගුවන් යානයක් යොදාගෙන අලි ප්‍රවාහන කළ අවස්ථාව විය.

එම කටයුතු සූදානම්ව 2013 ජූලි 04 දින අදාළ ඇත් පැටවා ඛි 130 ගුවන් යානයෙන් පැය 06ක ගුවන් ගමනකින් පසුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළට රැගෙන එන ලදී. එයද විශාල මෙහෙයුමක් විය. 2013 ජූලි 01 දින ඛි 130 ගුවන් යානයෙන් අපි මියන්මාරය බලා ගිය අතර ප්‍රථම වතාවට ගුවන් හමුදා යානයකින් ඇත් පැටවකු ලංකාවට රැගෙන එන ලද අවස්ථාව පිළිබඳ අත්දැකීමට මුහුණ දුන්නෙමු. අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන රෙගුලාසිවලට අනුව ජීවී සතුන් ප්‍රවාහනයේදී අනුගමනය කළ යුතු නීති රීතිවලට අනුව ලීවලින් සකස් කළ විශේෂිත පෙට්ටියක ඇත් පැටවා පුරුදු කර එයට ඇතුළු කොට යානයට පෙට්ටිය පටවන ලදී. ඉතා ප්‍රවේශමෙන් සියල්ල සකසා ගුවන් ගතවූ අතර යානයේ ඇතා රඳවා සිටීමේදී යානය ගොඩබැස්වීමේදී ඇතා වැටීම හෝ ඉදිරියට ඇති දළවලට අනතුරක් වීම වළකා ගත යුතු විය. අඩි 30000 ක් පමණ ඉහළින් ඉතා ප්‍රවේශම් සහගතව ගුවන් යානය පැය 06 ක් තිස්සේ පියාසර කිරීමෙන් අනතුරුව කටුනායකට ළඟා වූ අතර ගොඩබැස්වීමේදී ඇතා සිටි පෙට්ටියේ දොර හැර දළ ඇනීම් වළකා ගත් අතර දොර යළි වැදීම වළකන ලෙසට අල්ලා සිටීමට මියන්මාර් ඇත්ගොව්වාව යොදවන ලදී. ඉතා ප්‍රවේශමින් ඇත් පැටවා සහිත සී. 130 යානය ගුවන් නියමුවන් විසින් ගොඩබැස්ස වූ අතර යානයේ කපිතාන් ප්‍රභාෂ් මහානාම මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදා කාර්ය මණ්ඩලය විශේෂයෙන් සිහිපත් කළ යුතුය.

කටුනායක ගුවන් තොටු‍පොළේදීම ට්‍රක් රථයකට ගොඩ කළ ඇත් පැටවා බෙල්ලන්විල විමලරතන නාහිමියන් වෙත පිළිගැන්වීමෙන් අනතුරුව විහාරස්ථානයට ගෙන යන ලදී. විහාරස්ථානයට ඇත් පැටවා ළඟා වනවාත් සමගම මල් වැස්සක් පතිත වූ අතර එය සුබ පෙර නිමිත්තක ලකුණක් විය.

ඇතා සමග පැමිණි මියන්මාර් වෛද්‍යවරයා, සහයකයා හා අලි බලන්නාත් මෙහි නතර වී සිටීමින් ක්‍රම ක්‍රමයෙන් විහාරස්ථාන අලි බලන්නාට සතා හුරු කරන ලදී. කුඩා දරුවකු වැනි ගතිගුණවලින් යුත් ඉතා ඉහළ ගණයේ මෙම ඇත් පැටවාට විමලරත්න හිමියන් විසින් ‘මියන් කුමාර’ නමින් නම් තැබූහ.

එතැන් සිට මාසයක් පමණ නිතර නිතර බෙල්ලන්විල විහාරස්ථානයට ගොස් ඇත් පැටවාගේ සුවදුක් සොයා බැලීමේ පශු වෛද්‍ය රාජකාරිය මම ස්වෙච්ඡාවෙන්ම ඉටු කළෙමි.

වසර 2014 පෙරහර සඳහා මුලින්ම ඇත් පැටවා දායක විය. මියන් කුමාර ඉතා දඟකාර, තරමක හිතුවක්කාරි ගති ඇති සුන්දර ඇත් පැටවෙකි. අනාගතයේ දිනක ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ වැඩම කිරීමට තරම් වාසනාවක් මෙම ඇත් පැටවාට තිබෙන බව මාගේ විශ්වාසයයි. අනාගතයේ දිනෙක මෙම ඇතා පෙරහරේ ධාතුන් වහන්සේ වැඩම කරනා මොහොතක, මෙම සතා තෝරා ලංකාවට රැගෙන ඒමේ ක්‍රියාවලියේදී එහි පශු වෛද්‍යවරයා ලෙස වගකීම දැරීමට ලැබිම හේතුවෙන් ඉතා ඉහළ ආත්ම තෘප්තියක් ලබන බව නිහතමානීව සඳහන් කරමි.

මියන් කුමාර ලංකාවට ගෙන ඒමේ සියලු කටයුතුවලදී සම්බන්ධවූ විදේශ අමාත්‍යාංශයේ චානක, බෙල්ලන්විල විහාරස්ථානයේ ලසන්ත ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය සිහිපත් කළ යුතුයි. ඇත් පැටවා ලංකාවට පැමිණි පසුව මුලින්ම කරන ලද්දේ මෙහි ආහාර වර්ගවලට හුරු කරවා ගැනීමය. එය එතරම් අපහසු නොවූයේ ලංකාවට සමාන ආහාර වර්ග/ශාක වර්ග මියන්මාරයේදීද ලබාදෙන නිසාය. පිටගැස්ම, ධූලකාභය, ජලභීතික එන්නත, පණු හරණය ආදී කටයුතුද අපි සිදු කළෙමු.

ඒ හැර විටමින් වර්ග හා ඛනිජ ලවණ ද ලබා දෙමින් ඇත් පැටවාගේ මූලික සෞඛ්‍ය කාරණා කටයුතු කරනු ලැබිණි. මෙම ඇත් පැටවා මියන්මාරයේදී වැඩියෙන්ම ඇබ්බැහි වී තිබූ ආහාරය සියඹලාය. මේ නිසා සියඹලා ගුලියක් පෙන්වූ විට සතාව හැසිරවීම ඉතා පහසු විය. එය උපයෝගී කරගෙන ලංකාවේදී මූලික පුහුණු කටයුතු කරගත හැකි විය. වයසින් මුහුකුරා යන විට යම් දඩබ්බර ගති ලක්ෂණද සහිත වන මියන් කුමාර ඇත් පැටවා අලි බලන ස්ටැන්ලි විසින් යම් පමණකට හුරුකර ගත්තද නව යොවුන් වියේ පසුවන මේ විදේශීය අමුත්තා දැනටද කෙළිලොල් හැසිරීම් බොහෝ විට පෙන්වයි. බෙල්ලන්විල රජමහා විහාර භූමියේ ඇත්පැටවා බැලීමට විහාරස්ථානයට පැමිණෙන සෑම බැතිමතෙක්ම අමතක නොකරති.

සටහන – හිටපු සත්වෝද්‍යාන පශු වෛද්‍ය ජගත් ජයසේකර මහතා

අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිපති හිමියන් මියන්කුමාර ඇත් පැටවාට පෙර අවස්ථාවක ආහාරදෙන දර්ශන (වීඩියෝ) :

++++++++++++++++++++++++++++++++

කළුබෝවිල ශල්‍ය කර්මයෙන් පසු පුද්ගලික රෝහලට ගෙන ගියේ ඇයි.. බෙල්ලන්විල නාහිමිගේ අපවත්වීම සැකයි.. විශේෂඥ වෛද්‍යවරයෙක් හෙලි කරයි..
(04.02.2018 – 23:05 +0530 – lankacnews.com)

අපවත් වී වදාල පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් රෝහල් ගත කරන ලද්දේ පන්සලේ ඇතා විසින් කල පහර දීම නිසා බව වසන් කරමින් එය හදිසි අනතුරක් යයි අසත්‍ය කීවේ කුමක් නිසාදැයි වෛද්‍ය වසන්ත දිසානායක මහතා ප‍්‍රශ්න කරයි.

ජාතික පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් වන ඔහු ප‍්‍රශ්න නගන්නේ ඉල ඇට කිහිපයක්ම කැඩී තිබූ නාහිමියන් සුලු තුවාල ලද බවට මාධ්‍ය වෙත කියුවේ කුමක් නිසාද කියායි.

එමෙන්ම කළුබෝවිල රෝහලේදී මුලින්ම ශල්‍ය කර්මයකට භාජනය කිරීමෙන් පසු එම රෝහලේ දැඩි සත්කාර එ්කකයේ සිටි උන් වහන්සේ පෞද්ගලික රෝහලකට හිටි හැටියේ ගෙන ගියේ කවුරුන් විසින් කුමන විද්‍යාත්මක පදනමකින්ද කියාත් ඔහු ප‍්‍රශ්ණ කරයි.

මෙසේ ප‍්‍රශ්න නගමින් ඔහු විසින් තම ෆේස්බුක් පිටුවේ තබා ඇත්තේ මෙවන් සටහනකි.

වෙෙද්‍යවරයෙක් ලෙස බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේගේ භාරකරුවන්ගෙන් මට ප්‍රශ්න කීපයක් ඇසීමට ඇත.

පළමුව ශල්‍ය කර්මයට භාජනය වී කලුබෝවිල මහ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ සිටි නාහිමියන් හිටි ගමන් පෞද්ගලික රෝහලකට ගෙන ගියේ කවුරුන්ද?. එ් කිනම් වෙෙද්‍ය විද්‍යාත්මක පදනමක් මතද?

පන්සලේ හස්තියා විසින් පහර දුන් බව වසන් කරමින් හදිසි අනතුරකින් නාහිමියන් තුවාල වු බවට බොරු කිවේ ඇයි? ඉල ඇට කිහිපයක් කැඩි, අස්ථි භග්න සහිත නාහිමියන්ට සුලු තුවාල ඇතැයි මාධ්‍යයට පැවසුවේ මොකද?

සැමවිටම මෙලෙස සැක සහිත ලෙස මිය යන්නේ වැඩකට නැති අපතයන් නොව සසනඹර එකළු කරමින් හුදි ජනයාගේ බුද්ධිමය නිම්වළලු ප්‍රසාරණය කල ශ්‍රේෂ්ඨ යතිවරුන්ය.

Then Again there are some Gray areas regarding the death of venerable Bellanwila Wimalaratna thero. Please answer my questions as I have a right to ask those as a medical man.

– Wasantha Dissanayake

++++++++++++++++++++++++++++++

සේයාරූ – බෙල්ලන්විල රජමහා විහාරයේදී …..

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Sad to hear the passing away of this learned bhikku. About the elephant, he is not the sort of elephant who wants to be held at custody in chains, even if it is for a religious purpose. He may have also suffered trauma due to the rapid change of his familiar environment and the loss of his mates. Why should an animal be different from humans when it comes to emotions. Buddism itself preaches about the emotions and I cannot understand why intelligent people like monks do not respect this aspect when it comes to elephants, assets and property. The best place for this elephant is the forest where he could be free like a bird and exercise his leadership qualities. On hind sight, the authorities should realize it. We have already heard the story first hand from the keeper of the elephant on a video how it all happened and where the elephant was and where the monk was, and where the tusks were, so no point in those few others starting a rumour that the Mahanayaka fell on some rocks trying to do a tug of war with the elephant over his feed. As Buddhists, we have to accept karmic events no matter how superior the person is. Even Saint Mugalan died after an attack by robbers during the time of Lord Buddha, so let the facts stand as they were and not to fudge the issue.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *