නිදහස උදුරා ගත් උන් ගෙන්වා නිදහස සමරයි.. එඩ්වඩ් කුමරා හා කුමරිය පත්තිරිප්පුවටත් ගොඩවේ..

(02.02.2018 – 22:17 +0530 – lankacnews.com)

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය :

‘‘හැත්තෑ වන නිදහස් දිනය සැමරීමේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වීමට එළිසබෙත් රැජිනගේ බාල පුත් එඩ්වඩ් කුමරු ශ්‍රී ලංකාවට පැමිණියා. අපිට මතකයි මීට අවුරුදු 20 කට පෙර රැජිනගේ වැඩිමහල් පුතු ඔටුන්න හිමි කුමාරයා වන චාල්ස් කුමාරයා 50 වන නිදහස් සමරු උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වුණා. එතුමාට ආරාධනා කලේ චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව. ඒ පිළිබඳ එදා එජාපය ප්‍රබල විවේචනයක් එල්ල කළා. 1998 පෙබරවාරි 06 දින හැන්සාඩ් වාර්තාවේ 176 පිටුවේ එවකට එජාප පතාක යෝධයෙකු වන විජමු ලොකුබණ්ඩාර මැතිතුමා කළ කතාවෙන් මම කොටසක් උපුටා දක්වන්නම්.

චන්ද්‍රිකා මැතිණිය ඉංග්‍රිසි භාෂාවෙන් ජාතිය ඇමතීම ගැන එතුමන් ලොකු විවේචනයක් එල්ල කලා. එතුමිය ජාතිය අමතනවා කියා ඇමතුවේ චාල්ස් කුමාරයා විතරයි කියලා එතුමන් ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීම ගැන දැඩි ප්‍රහාරයක් එල්ල කලා. එම කතාවේ වැඩි දුරටත් මෙසේ සදහන් වෙනවා. ‘මේ විධියට ඉංග්‍රිසියට උඩ ගෙඩි දෙන්නට ජාතික හැඟීම් මරන්නට චාල්ස් කුමාරයා හැර වෙන කවුද හොඳ ගෙන්වන්න? ඇයි මේ චාල්ස් කුමාරයා ගෙන්වන්නේ කියා කලින් අපට ප්‍රශ්නයක් තිබුණා. චාල්ස් කුමාරයා හැර වෙන කවුරු ගෙන් වන්න ද?’

එදා චාල්ස් කුමාරයා ගෙන්වීම ගැන ප්‍රබල විවේචනයක් ඉදිරිපත් කල එක්සත් ජාතික පක්ෂය චාල්ස්ගේ මල්ලි එඩ්වඩ් කුමාරයාව 70 වන නිදහස් දිනයේ ප්‍රධාන අමුත්තා කර තිබෙනවා. එදා එජාපය ගත් ස්ථාවරයට අපි එකඟයි. නිදහස සමරන්න ගෙන්වා ගැනීමට නරකම පිරිස තමයි එංගලන්තේ රජ පවුලේ සාමාජිකයින්. ඒ අය තමයි අපේ නිදහස උදුරා ගත්තේ. නිදහස උදුරා ගත් කෙනාගේ ප්‍රධානත්වයෙන් නිදහස සැමරීම මොන විහිළුවක් ද? ඒක හරියට රෝහණ විජේවිර ගුණානුස්මරණ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන්වනවා වගේ වැඩක්. තවත් සරල කරලා කිව්වොත් තාත්තාගේ තුන් මාසයේ පින්කමට තාත්තා මැරූ කෙනා ගෙන්වනවා වගේ වැඩක්.

නිදහස් උළෙල කියන්නේ රට ගැන ආඩම්බරයක් ඇති කරන නිදහස උදෙසා දිවි පිදූ කැප්පෙටිපොළ වීර පුරන් අප්පු වැනි විරුවන්ගේ මග යන්නට ජනතාව තුල අධිෂ්ඨානය ඇති කරන දේශප්‍රේමය උද්දීපනය කරන උත්සවයක්. එහෙව් උත්සවයකට අපේ යටත් විජිත ස්වාමියා ගෙන්වීමෙන් අපි පෙන්වන්නේ අපේ හීන දීන යටත් විජිත මානසිකත්වය නොවේද? විජමු ලොකු බණ්ඩාර වැනි දේශප්‍රේමින් අද එජාපයේ නොසිටීමේ අඩුව තමයි මේ පෙනෙන්නේ.

නිදහස උත්සවයට පිටරැටියෙකු ඕනෑ නම් ජාතියට මග පෙන්විය හැකි නූතන මැලේසියාව ගොඩ නැගූ අපටත් ආදර්ශයක් ගත හැකි ආචාර්ය මහතීර් මොහොමඩ් මැතිතුමන්ව ගෙන්වන්න තිබුණා. සුද්දෙකුම ඕනෑ නම් දේශප්‍රේමයේ සහ ස්වාධීනත්වයේ ලෝක සංකේතය වන රැසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මැතිතුමන්ව ගෙන්වන්න තිබුණා. අපි ඉංග්‍රිසි කුමාරයෙක් ගේනවා කියන්නේ කුමක්ද? ‘අපි වැරදිලා මීට වසර 70 කට කලින් නිදහස භාර ගත්තත් තවමත් අපි සිතින් තවමත් ඔබේ යටත් වහල් ජාතියක්ය’ කියන පණිවිඩය තමයි අපි ඉංග්‍රීසීන්ට ප්‍රකාශකරන්නේ.’’

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++

රාජකීයන් පිළිගැනීමේ නීතිමාලාවේ නිවේදනය ගැන විදේශ අමාත්‍යාංශ්‍යයෙන් ප්‍රකාශයක්
(02.02.2018 – 13:18 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍ය රාජකීයන් පිළිගැනීමේදී ශ්‍රී ලාංකිකයින් විසින් පිළිපැදිය යුතු නීති මාලාවක් ඇතුළත් කරමින් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වන නිවේදනයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ බ්‍රිතාන්‍ය රාජකීයන් පිළිගැනීමේ කමිටුව නමින් නිකුත් කර ඇති මෙම අසත්‍ය නිවේදනය පිළිබඳව සොයා බැලීමක් සිදුකළ බවයි.

මෙරට 70 වන නිදහස් දින උත්සවයේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගිවීමට දෙවැනි එලිසබත් මහ රුජිණගේ පුත්‍රයෙකු වන එඩ්වඩ් කුමරු සහ ඔහුගේ ආර්යාව මෙරටට පැමිණ තිබෙනවා.

ඔවුන් දින 05 ක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, එම කාල සීමාව තුළ බ්‍රිතාන්‍ය රාජකීයන්ට ශ්‍රී ලාංකිකයන්ට ගරු කළ යුතු ආකාරය බව පවසමිනුයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

මෙම අසත්‍ය නිවේදනයට රාජකීය ආචාර ආඥා පනත නම් නීතියක් පදනම් කරගෙන ඇති බවද දක්වා තිබෙනවා.

රාජකීයන් ඉදිරියේදී හිස්වැසුම් ගැලවීම, හඬ නගා කතා කිරීමෙන් වැළකීම, රාජකීයයන්ගේ මුහුණ දෙස ඍජුව බැලීමෙන් වැළකීම සිදුකළ යුතු බව අදාළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම, රාජකීයන්ගේ ඡායාරූප ගැනීම තහනම් කර ඇති අතර, කාන්තාවන් රාජකීයන් අසලට ගොස් දණ නමා ආචාර කළ යුතු බව ද සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වන නිවේදනයේ සඳහන් වනවා.

එය නිකුත් කර ඇත්තේ බ්‍රිතාන්‍ය රාජකීයන් පිළිගැනීමේ කමිටුවේ ලේකම් නමැත්තෙකුගේ අත්සනින් යුතුවයි.

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ සමාජ ජාලවල සංසරණයවන අදාළ නිවේදනය ව්‍යාජ එකක් බවයි.

විදේශ අමාත්‍යාංශය හෝ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමේ කමිටුව නමින් කමිටුවක් පිහිටුවා නොමැති බවද එහි සඳහන්.

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වන මෙම නිවේදනය පිිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ගෙන් ද විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *