හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ රණවිරුවන් කළ ඉල්ලීම

(02.02.2018 – 18:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අදත් ජන රැළි කිහිපයක් පැවැත්වුණා.

ඒ, දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සංවිධාන කළ ජන හමුවක් අද මාතරදී පැවැත්වුණා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියා.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් ජනහමුවක් අද හම්බන්තොට අඟුණකොළපැලැස්සේදී පැවැත්වුණා.

මේ අතර, අද පෙරවරුවේ රණවිරුවන් පිරිසක් තංගල්ල කාල්ටන් නිවසට පැමිණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුනා.

එහිදී ඔවුන් කරඬුවක්, ජාතික කොඩියක් සහ බෞද්ධ කොඩියක් හිටපු ජනපතිවරයාට පිළිගන්වමින් ඉල්ලා සිටියේ රටත්, ආගමත් ආරක්ෂා කර දෙන ලෙසයි.

*****************************************

ගෝඨාභයගේ ඉල්ලීම මහාධිකරණයෙන් ඉවතට
(02.02.2018 – 12:25 +0530 – sinhala.adaderana.lk)

ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ මහාධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඇවන්ගාඩ් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යෑමට අවසර දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවෙන් නිදහස් කකරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය අද(02) තීරණය කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

ගෝඨාභය මහතාගේ පෙත්සම විසින් තමන් ඇතුළු පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම නඩු පැවරීමේ දී එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරිය එම කොමිසමේ ලිඛිත අනුමැතියක් ලබා ගෙන නොමැති බව පෙන්වා දී තිබේ.

ඒ නිසා එසේ නඩු පැවරීම නීතිවිරෝධි බවත් තමා ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා තම නීතිඥවරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මුලික විරෝධතාවයක් ගොනු කළ බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් එම මුලික විරෝධතාවය මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කළ බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එම මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව අවලංගු කර තමා ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමින් ඉල්ලා තිබුණි.

නමුත් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ, මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් විත්තිකරුවන්ට දැඩි අගතියක් සිදු නොවුණ බවයි.

කෙසේ වෙතත් අල්ලස් නඩු පැවරීම සඳහා එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කොමිසමේ ලිඛිත අනුමැතිය අවශ්‍ය බවට පැහැදිලි ප්‍රතිපාදන නොමැති බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා එම නිසා අදාළ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කරන බව පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *