හිරු සී.අයි.ඒ. හෙළිකර ගත් දැවිතෙල් ජාවාරම

(02.01.2018 – 19:14 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් කරනා දැවි තෙල්වලට අපද්‍රව්‍ය සහිත විවිධ තෙල් වර්ග මිශ්‍ර කිරීමේ ජාවාරමක් හිරු සී.අයි.ඒ හෙළි කරගත්තා.

අද හිරු සී.අයි.ඒ ඒ පිළිබඳවයි.

මහා පරිමාණ කර්මාන්ත ශාලා හිමිකරුවන්, දැවි තෙල් භාවිත කරන්නේ බොයිලේරු ක්‍රියාත්මක කිරීම සඳහා දහන ඉන්ධනයක් ලෙසයි.

මේ සඳහා ඛනිජ තෙල් සංස්ථාව දැවිතෙල් සපයන්නේ කුලී පදනම මත බඳවාගත් පෞද්ගලික බවුසර් රථ හරහායි.

ලීටර් 13,200 ක ධාරිතාවක් ඇති මෙම බවුසර්වල වරකට ප්‍රවාහනය කළ හැකි දැවි තෙල්වල වටිනාකම රුපියල් දස ලක්ෂයකට අධිකයි.

LK 3387 දරණ මෙම රථයද තෙල් සංස්ථාවේ ලියාපදිංචි දැවි තෙල් ප්‍රවාහන රථයක්.

හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වූයේ සංස්ථාවෙන් නිකුත් කරනා දැවි තෙල් කර්මාන්ත ශාලාවට ගෙනයන අතරතුරදී වෙනත් රථයකට මාරු කරමින් එම රථයටම අපද්‍රව්‍ය සහිත තෙල් මිශ්‍ර කරන බවයි.

ඒ අනුව සියලු තොරතුරු තහවුරු කරගත් හිරු සී.අයි.ඒ. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන විශේෂ විමර්ශන ඒකකය දැනුවත් කළා.

නිලධාරීන් කැලණිමුල්ල ප්‍රදේශයේ පිහිටි තෙල් ජාවාරම සිදුවන ස්ථානයට ළඟා වන විටත් ඔවුන් තෙල් මිශ්‍ර කරමින් සිටියා.

විමර්ශන නිලධාරීන් පැවසුවේ මෙම ස්ථානයේදී ඩීසල් සහ පෙට්‍රල් වලට භූමිතෙල් මිශ්‍ර කිරීමේ ජාවාරමක්ද සිදුකරන බවයි.

වැටලීමේදී හෙළිවූයේ ඛනිජ තෙල් සංස්ථාවෙන් තබන ආරක්ෂිත මුද්‍රා සූක්ෂමව ඉවත් කර යළිත් පෙර පරිදිම මුද්‍රා සකසන බවයි.

මෙහිදී සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් අතරල ඔවුන් කොළඹ අලුත් කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී නියෝග කෙරුණේ සැකකරුවන් මේ මස 8 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඛනිජ තෙල් සංස්ථාවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පැවසුවේ ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු සොයා මේවන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *