පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට තහනම් නියෝගයක්

(02.01.2018 – 17:25 +0530 – hirunews.lk/sinhala)

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහබැංකු බැඳුම්කර වංචාවේ සැකකරුවන් ලෙස නම් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය වෙත කරුණු දැක්වූ අතර, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා එහිදී බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාවද අධිකරණයට ඉදිරිපත් කළා.

ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ බැඳුම්කර සිද්ධියට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බවයි.

ඒ අනුව මේ වනවිට සිංගප්පූරුවේ සිටින හිටපු මහබැංකු අධිපතිවරයාට පෙබරවාරි 15 වනදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරිය නොතිසී නිකුත් කළා.

එමෙන්ම, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් නිශ්චල සහ චංචල දේපල වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වාලමින්ද මෙහිදී නියෝගයක් නිකුත් කෙරුණා.

එම සමාගම සතු බැඳුම්කර ගණුදෙනුවට අදාළ සියලූම මුල් ලේඛණ මෙන්ම 2015 වසරේ පෙබරවාරි 27 වැනිදා සිට 2016 වසරේ මාර්තු දක්වා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම බැඳුම්කර ගණුදෙනුවලින් ලබාගත් වත්කම්වල පූර්ණ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසත් මෙහිදී නියෝග කර තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය, අර්ජුන් ඇලෝසියස්ට සහ කසුන් පලිසේනට රටින් පිටවීම තහනම් කළ අතර, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට පැමිණියහොත් රහස් පොලිසියට දැනුම් දෙන ලෙසයි ආගමන විගමන පාලකවරයාට නියෝග කළේ.

එසේම, මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් අත්හිටුවීමට ගෙන ඇති තීරණයේ වෙනසක් සිදු නොකරන ලෙසටද නියෝග කළ අධිකරණය නඩුව ලබන 16 වනදා යළි කැදවීමට තීන්දු කළා.

++++++++++++++++++++++++++++++

****************************************

හිටපු ඇමති බැසිල්, ඇමති රිෂාඩ් ඇතුළු පිරිසකට නොතීසි
(02.01.2018 – 17:11 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තු වන විනාශයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් දෙකකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රිෂ්වාන් බදියුදීන් ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කළා.

ඒ, විල්පත්තු රක්ෂිතයේ පරිවාර වනාන්තරයක් වන විලත්තිකුලම් රක්ෂිතයේ නීතිවිරෝධීව නැවත පදිංචි කිරීම් සිදුකරන බවට නීතිඥවරයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු සහ තවත් පුද්ගලයෙකු විසින් අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සමක් විභාගයට ගනිමින්.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් සඳහන් පුද්ගලයින් ලබන මාර්තු 5 වන දා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල නියෝග කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *