පාසල් ක්‍රිකට් ඉහළ දැමීමට ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් උපදේශක කමිටුවක්

(13.09.2017 – 23:15 +0530 – lankaenews.com)

ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්න ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් සමග අඛිල පෙරට..! ක්‍රීඩකයින්ගෙන් නව යෝජනා රැසක්..!! පාසල් ක්‍රිකට් ඉහළ දැමීමට ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් උපදේශක කමිටුවක්

කිසිදු පාර්ශවයකට පක්ෂග්‍රාහී නොවී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා පාසල් මට්ටමින් ගත හැකි සියලු තීන්දු තීරණ ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මුල පුරා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ජාතික තලයට පාසැල් මට්ටමින් ක්‍රීඩකයන් පැමිණීම වසර 10 ක් පමණ තිස්සේ ඇණහිට තිබේ. ජාතික ක්‍රිකට් ක්‍රීඩාව අද මුහුණ දී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මිදීම සඳහා පාසල් මට්ටමෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහාත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහාත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සමග ඊයේ (12) අධ්‍යාපන අමාත්‍යාංශයේ සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්විණ.

මෙම සාකච්ඡාවට ඇමැති අඛිල සමග අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් (පාසල් කටයුතු) අශෝක සේනානි හේවගේ, ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර මහත්වරුන් සමග රටේ වැදගත් ක්‍රිකට් මහත්වරුන් වන සිදත් වෙත්තමුනි, මහේල ජයවර්ධන, රොජර් විජේසූරිය, තිළින කන්ඩම්බි ඇතුළු ප්‍රවීන ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා පාසල ක්‍රිකට් සංගමයේ නිලධාරීන් පිරිසක්ද එක් ව සිටියහ. මෙම සාකච්ඡාවට රොෂාන් මහානාම, කුමාර් ධර්මසේන යන ජාත්‍යන්තර කීර්තියට පත් විනිසුරුවරුන් දෙදෙනාද ජාත්‍යන්තර කීර්තියට පත් මුරලිදරන්ද ආරාධනා ලැබ සිටි නමුත් ඔවුන් තමන්ට එදින සහභාගී විය නොහැකි නමුත් (සමහරුන් විදේශ සංචාර වල සිටින බැවින්) ඉදිරි සාකච්ඡාවන්ට සහභාගී වන බව දන්වා තිබිණ.

මෙම සාකච්ඡාවේ දී ඉතා වැදගත් කරුණු සාකච්ඡා කෙරිණ.

19 න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරාගැනීමේ කමිටුවට පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනකුට සහභාගි වීමට තිබූ අවස්ථාව දැන් අහිමි කර තිබේ. එය යළි ලබාගැනීමටත්, සියලුම පළාත් නියෝජනය වන පරිදි සියලුම පහසුකම් සහිතව උසස් තාක්ෂණික ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන 9 ක් ඇති කිරීමටත්, 60 ක පාසැල් ක්‍රිකට් සංචිතයක් හැදීම සහ ඊට ඇතුළත්වන සිසුන්ට විදේශීය පුහුණු කරුවන්ගේ සේවය ඇතුළු ජාත්‍යන්තර තත්ත්වයේ පුහුණුවක් ලබා දීමටත් සාකච්ඡා කෙරිණ. මෙහිදී මහේල සිදත් වැනි ප්‍රවීනයන් පවසා සිටියේ පාසැල් ක්‍රිකට් පුහුණුකරුවන් බහුතරයක් ප්‍රමිතියෙන් පහළ බවයි. ඔවුන් බහුතරයක් පළමු ශ්‍රේණියේ ක්‍රිකට් පුහුණු කරුවන් වන අතර ඔවුන්තේ තත්ත්වය සිව්වැනි ශ්‍රේණියේ පුහුණුකරුවන් දක්වා ඉහළ දැමිය යුතු බවයි. දැනට සිටින පහල ශ්‍රේණියේ පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් විසින් මුදලට පුහුණු සැසි පවත්වමින් දරුවන් සහ දෙමාපියන් ගොනාට අන්දවන බවද හෙළි විය. ‘ඔයා සනත් වගේ, ඔයා සංගා වගේ, ඔයා මහේල වගේ‘ ආදී ලෙස චාටු බස් පවසමින් දරුවන්ද දෙමාපියන්ද මුලා කරමින් මුදල් ගරා ගන්නා බවද හෙළිවිය. එබැවින් පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩකයින්ගේ විනය සහ සදාචාරාත්මක ප්‍රතිපත්තීන් ඉහළ තලයකට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා මෙහි දී සාකච්ඡා කෙරිණ.

එසේම ක්‍රීඩකයින්ගේ පෝෂණය සම්බන්ධ දැනුම සහ ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳවද අවධානය යොමු කෙරිණ. දැනටමත් පාසැල් මට්ටමේ සිටම ක්‍රිකට් මැනේජර්ලාගේ මාෆියාව විසින් දරුවන් බිලි බා ගෙන ඇති බව හෙලි වුණු අතර පාසල් මට්ටමේ ක්‍රීඩකයින් සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම සහ පවතින නීති රීති දැඩි කිරීමටත් යෝජනා විය. දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයින්ගේ මැදිහත්වීම් සාධනීය ලෙස භාවිතයට ගැනීමටත් , 13 න් පහළ තරඟ වල තරඟකාරිකත්වය අඩු කර සහභාගි වී අත්දැකීම් ලබාගැනීමේ අවස්ථා වැඩියෙන් සැලසීමට සහ ක්‍රීඩාවේ ජීවගුණය ගැන අවබෝධය ලැබීමට අවශ්‍ය අවස්ථා සැලසීම පිළිබඳවද අවධානය යොමු කෙරිණ.

මීට අමතර ව පාසල් ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සහ අවශ්‍ය නීති රීති යාවත්කාලීන කිරීමත්, ක්‍රිකට් පුහුණුකරුවන් බඳවාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමත්, විවිධ ආයතන මගින් සංවිධානය කරන තරගාවලි රාශියක් පැවත්වීම හේතුවෙන් ක්‍රීඩාවට යොමුවන දරුවන්ට අධ්‍යාපනය කඩා කප්පල් වෙන තත්ත්වයක් ඇති වී තිබෙන අතර ඒ වෙනුවට තෝරාගත් තරගාවලි කිහිපයක් පමණක් පැවැත්වීමට කටයුතු කිරීමටත්, දිවයිනේ පිහිටි ප්‍රමිතිගත ක්‍රිකට් ක්‍රීඩාංගන වල පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා පුහුණුවීමට අවස්ථා සලසාදීම සහ ලෙදර් පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොමැති එහෙත් දක්ෂතා සහිත ක්‍රීඩකයින්ට ඒ සඳහා යොමුවීමට අවශ්‍ය සහය ලබාදීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.

මෙහිදී මහේල විසින් කියා සිටියේ ප්‍රමිතිගත ක්‍රීඩාංගන පදනම් කරගනිමින් පාසැල් දරුවන් පුහුණු කිරීම පිලිබඳ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතද යෝජනාවක් කරන ලද නමුත් එය ක්‍රියාත්මක නොවූ බවයි. අත්දැකීම් වලින් පරිපූර්ණ ලංකාවේ ජාත්‍යන්තර තලයේ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන්ට දස දහසක් තරම් වන පාසැල් වලට ගොස් දරුවන් පුහුණු කිරීමේ කටයුත්තේ නියැලීමට නොහැකි බැවින් එවැනි ක්‍රීඩකයන්ගේ උපදෙස් සහිත වීඩියෝ නිර්මාණය කර ඒවා සීඩී තැටි වලට නංවා පාසැල් වලට ලබා දීමට ද මෙහි දී සාකච්ඡා විය.

එසේ ම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් භාවිතා කරන ප්‍රමිතියෙන් යුක්ත යෝග්‍ය ක්‍රීඩා උපකරණ මිළ අධික බැවින් ඒවා සඳහා තීරුබදු සහන ලබාදීමට ඇති හැකියාව සම්බන්ධව සොයා බැලීමට අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබී ය. උදාහරණයක් ලෙස දැනට 13 න් පහල දරුවන් සඳහා භාවිතයට ගැනීමට තිබෙන බැට් පිත්ත බර වැඩි ප්‍රමිතියෙන් පහල ඒවා යැයි ක්‍රිකට් ක්‍රීඩකයෝ පෙන්වා දුන්හ.

මීට අමතර ව දැනට ක්‍රීකට් ක්‍රීඩා නොකරන පාසල්වල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කණ්ඩායමක් කලාප මට්ටමින් සකස් කිරීමටත් පළාත් මට්ටමේ සංචිත පිහිටුවීමත් සම්බන්ධව ද සාකච්ඡා කෙරිණ.

ප්‍රවීන ක්‍රීඩකයින්ගේ අදහස් හා යෝජනා ඇතුළත් කරගනිමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ උපදේශක කමිටුවක් පත් කළ අතර සිදත් වෙත්තමුනි, රොජර් විජේසූරිය, මහේල ජයවර්ධන, ජයන්ත සෙනෙවිරත්න, කාල්ටන් බර්නාඩ් යන මහත්වරුන් සහ පාසල් ක්‍රිකට් සංගමයේ සාමාජිකයින් පුහුණුකරුවන් ඇතුළු පිරිසකගෙන් කමිටුව සමන්විත විය. මෙම උපදේශක කමිටුව විසින් ඉදිරිපත් කරන වාර්තාව අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවසානයේ පැවසීය. මේ සියල්ලටම අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කර අනුමත කර ගැනීමට තමන් ක්‍රියා කරන බවද ඇමැති අඛිල ශපථ විය.

මේ සම්බන්ධ වීඩියෝවක් පහතින් :

+++++++++++++++++++++++++++++++

ලෝකෙම දග කැවූ මුරලිට ලංකාවෙන් දරුණු කැපිල්ලක්.. මුරලිගේ නමත් මකා දමයි..
(13.09.2017 – 10:40 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල සුපිරි දග පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ නමින් නම් කර තිබූ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය මේ වන විට එම නම ඉවත් කර ඇතැයි ඔහුගේ පියා පවසයි.

ඊයේ දිනයේ මල්වතු මහ නාහිමියන් මුණ ගැසී මේ බව කියා සිටි මුරලිදරන්ගේ පියා ඉල්ලා සිටියේ ක්‍රීඩා ඇමති සමග සාකච්ඡා කර ගැටළුව විසදීමට මැදිහත් වන ලෙසයි.

කෙසේ වෙතත් ක‍්‍රිකට් ආයතනය පවසන්නේ ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ නමින් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගන නම් නොකරන ප‍්‍රතිපත්තියක ක‍්‍රිකට් ආයතනය සිටින බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *