සුනම්‍ය කාර්යාල වේලාවක් හඳුන්වාදීම 18 දා සිට

(12.09.2017 – 18:58 +0530 – lankadeepa.lk)

බත්තරමුල්ල ප‍්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාල සඳහා සුනම්‍ය කාර්යාල වේලාවක් හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය මෙම මස 18 වැනිදා සිට ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මේ අනුව එම ප‍්‍රදේශයේ කාර්යාලවල සේවය කරන්නන්ට උදෑසන 7.30 සිට සවස 5.00 දක්වා කාලය ඇතුළත කැමති පැය 8 ක කාලයක් සේවය කිරීමේ අවස්ථාව හිමිවන අතර උදෑසන 9.15 සිට සවස 3.15 දක්වා කාලයේදී ඔවුන් අනිවාර්යයෙන්ම කාර්යාලයේ රැදී සිටිය යුතු බව ද අමාත්‍යවරයා කියයි.

රාජ්‍ය ආයතන 41 ක් තිබෙන බත්තරමුල්ල ප‍්‍රදේශයේ දැනටත් පිටකොටුවට වැඩි රථ වාහන තදබදයක් පවතින බවත් ඉදිරි වසර 3 තුළ එම ප‍්‍රදේශයේ තවත් රාජ්‍ය ආයතන 113 ක් ස්ථාපිත කෙරෙන බැවින් රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවන බවත් ඇමතිවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවීමට අවසර ලබාදෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පසුගියදා චක‍්‍රලේඛයක් නිකුත් කර තිබිණි ෴

***************************************

අරලියගහ මන්දිරයේ රුපියල් 350 ට ඊයේ දුන් ‘පිළුණු කෑම’
(12.09.2017 – nethnews.lk)

අරලියගහ මන්දිරයේ ඊයේ (11) පැවති සෞඛ්‍ය සේවා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකදී ඊට සහභාගී වූ පුද්ගලයන් සඳහා පිළුණු වූ ආහාර ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක සුගතදාස මහතා ගේ නියෝග පරිදීයි.

මෙම උත්සවයේදී පත්විම් ලිපි ලබා ගැනීම සඳහා තුන් දහසකට ආසන්න පිරිසක් සහභාගී වී සිටියා.

ඔවුන් සමග පැමිණි පවුලේ ඥාතීන් ද සමග උත්සවයට සහභාගී වූ මුළු පිරිස පන්දහසකට අධිකයි. ඔවුන් සඳහා දිවා ආහාරය ඇනවුම් කර තිබුණේ පෞද්ගලික සැපයුම් සමාගමක් මගින්.

එම එක් දිවා ආහාර පාර්සලයක් මිල රුපියල් 350 ක්.

කෙසේ වෙතත් දිවා ආහාරය ලබා දෙන විට එම ආහාර පාර්සල් සියල්ලම පාහේ පිළුණු වී තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක සුගතදාස මහතා ගෙන් විමසීමක් කළා.

ඔහු පැවසුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි දිවා ආහාර සැපයූ සමාගමට අදාළ ගෙවීම් අත්හිටවූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසද ඔහු නියෝග කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *