ඝාතනය වු ව්‍යාපාරිකයන් වෙනුවෙන් රත්ගම ජනතාව පාරට – ගාලු පාර අවහිරයි

(23.02.2019 – 10:28 +0530 – sinhala.adaderana.lk)

රත්ගම, බුස්ස ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිළිස්සීමේ සිදුවීමට විරෝධය පළ කරමින් ජනතාව මේ වන විට කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගය රත්ගම මංසන්ධියෙන් සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.

මියගිය අයගේ ඥාතීන් හා ගම්වැසියන් එක්ව මෙම විරෝධතාවය ආරම්භ කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මේ වන විට විරෝධතාවයට 250 ක පමණ පිරිසක් එක්ව සිටින බවත්, ඒ හේතුවෙන් ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් නවතා දමා ඇති බවත් වාර්තා වෙයි.

පසුගිය ජනවාරි මස 23 වනදා ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිළුස්සා ඇතැයි පරික්ෂණවලදී අනාවරණය වූ බව ඊයේ (22) පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම ඝාතන සිද්ධිය පිළිබඳ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාපාරිකයින් දෙදෙනාගේ මළ සිරුරු පුළුස්සා දමන ලද ස්ථානයද ඊයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගනු ලැබීය.

ගාල්ල බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මංජුල අසේල හා 31 හැවිරිදි රසේන් චින්තක නම් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් පසුගිය ජනවාරි 23 වැනිදා පෙරවරු 10 ට පමණ මෝටර් රථයකින් හා වෑන් රථයකින් පැමිණි පොලිස් නිල ඇඳුමින් සැරසි පිරිසක් විසින් රැගෙන ගිය බවට ඥාතීන් පැවසීය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

Photos from nethnews.lk :

+++++++++++++++++++++++++++++++++++

රත්ගම සිද්ධියට පොලිසියේ තවත් පස් දෙනෙකු සොයා CIDයෙන් විශේෂ පරීක්ෂණයක්

(24.02.2019 – 06:11 +0530 – hirunews.lk/sinhala)

රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සිටින අනෙක් පොලිස් නිලධාරීන් 05 දෙනා සොයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එහි උසස් නිලධාරීයෙකු සඳහන් කළේ ඔවුන් මේ වනවිට සැඟව සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

පසුගිය 21 වනදා අත්අඩංගුවට දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංක අත්අඩංගුවට ගැනිමත් සමඟයි මෙම සිද්ධිය සම්බන්යෙන් සියලු තොරතුරු අනාවරණය වුයේ.

ඒ අනුව සිදුකළ මුලික පරික්ෂණවලදී මෙම ඝාතන සිද්ධියට දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 07 දෙනෙකු සම්බන්ධ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම නිලධාරින් 07 දෙනාගෙන් දෙදෙනෙකු වන දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා සහ එම ඒකකයේම උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංක යන අය මේ වනවිට අත්අඩංගුවට ගෙන ලබන 27 දක්වා රක්ෂිත බන්ධන්ධනාගාර ගතවයි පසුවන්නේ.

අත්අඩංගුවට ගැනිමට සිටින අනෙක් නිලධාරීන් 05 දෙනා අතර උප පොලිස් පරීක්ෂකවරයෙක් සිටින අතර, සෙසු නිලධාරීන් පොලිස් සැරයන්වරුන් සහ කොස්තාපල්වරුන් වනවා.

මෙම පොලිස් නිලධාරීන් 05 දෙනා පසුගිය 21 වැනිදා බස්නාහිර පළාතේ කළුතර සහ පානදුර කොට්ඨාශ වෙත ස්ථාන මාරු ලබාදුන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 15 දෙනාගේ කණ්ඩායමට ඇතුළත්.

ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධියට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ පස්වරුවේ විරෝධතාවක නිරතවූ අතර, මේ හේතුවෙන් පැය 6 ක පමණ කාලයක් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය සහ මුහුදුබඩ දුම්රිය මාර්ගය රත්ගම මංසන්ධියෙන් අවහිර වී තිබුණා.

පසුව විරෝධතාව ප්‍රදේශවාසීන් විසින් අවසන් කරනු ලැබුවේ ගාල්ල සහ රත්ගම ප්‍රදේශ භාර කටයුතු කරන සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සිටින අනෙක් පුද්ගලයින් ද අත්අඩංගුවට ගන්නා බවට ලබාදුන් පොරොන්දුව මතයි.

මේ අතර, මෙම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ඇඳුම් කිහිපයක් සහ ජංගම දුරකථන දෙකක කොටස් මාතර – වැල්ලමඩම ප්‍රදේශයේ පැරණි නිවසක පුළුස්සා වළ දමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සොයා ගනු ලැබුවා.

එම නිවස මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා නවාතැන් ගෙන සිටි ස්ථානයයි.

එමෙන්ම, මෙම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බවට සැක කෙරෙන රුධිර සාම්පල, අස්ථි කොටස් සහ හිසකෙස්වල සාම්පල ඩී.එන්.ඒ. පරීක්ෂාව සඳහා හෙට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනගේ සහ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී ඔවුන් මෙම සිද්ධියට ඍජුව සම්බන්ධ නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් අක්මීමන – ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ දී පහර දී ඝාතනය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ සිරුරු වලස්මුල්ල – මැදගම්ගොඩ – කනුමුල්දෙණිය රක්ෂිතයේදී ඩීසල් දමා පුළුස්සා ඇති බව හෙළිවුණා.

පසුගිය ජනවාරි 23 වනදා පොලිස් නිල ඇඳුමින් සැරසුණු පිරිසක් කළු පැහැති වෑන් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණ මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන ව්‍යාපාරිකයන් දෙදෙනායි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *