මධුෂ් අමල් ඇතුළු නඩය රිමාන්ඩ්

(15.02.2019 – mawbima.lk)

ඩුබායිහිදී කුප්‍රකට පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස ලබන 28 වැනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට බර් ඩුබායි පොලිසියේ පිහිටි නීති කාර්යාලය (Public Prosecutor) පියවර ගෙන තිබේ.

එම පොලිස් සංකීර්ණය තුළ පිහිටි බන්ධනාගාරයේ රඳවා සිටින අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා යන දෙදෙනා මුණ ගැසීමටතමාට ඊයේ (14 දා) හැකියාවක් ලැබුණු බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට එරටට ගිය නීතිඥ ශබ්දික වෙල්ලප්පිලි මහතා ‘මව්බිම’ කළ විමසුමකදී පැවැසීය.

බන්ධනාගාර ප්‍රධානියා මුණ ගැසී විනාඩි 15 ක පමණ කාලයක් අමල් සහ නදීමාල් සමඟ කතාබහ කිරීමට මෙලෙසතමාට අවස්ථාවක් හිමි වූ බවද හෙතෙම පැවැසීය.

එසේම තමන් නීති කාර්යාලයේ නිලධාරියකු මුණ ගැසුණු බවත්, එහිදී අමල් පෙරේරාට සහ නදීමාල් පෙරේරාට ඇත්තේ අඩු චෝදනා බවත් දැන ගන්නට හැකි වූ බවද ඔහු කීය.

අමල් සහ නදීමාල් පෙරේරාගේ රුධිර, මුත්‍රා සහ හිසකෙස් සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණ ඇසුරින් ලැබීමට ඇත්තේ තවත් එක් වාර්තාවක් පමණක් බව බර් ඩුබායි පොලිසියේ එම නිලධාරියා තමන්ට දැනුම් දුන් බවද සඳහන් කළ නීතිඥ වෙල්ලප්පිලි මහතා එම වාර්තාව නිකුත්වීමෙන් පසුව ඔවුන් මෙරටට පිටුවහල් කිරීම කෙරෙහි එරටේ නීති අංශවල අවධානය යොමු වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙන බවද ප්‍රකාශ කළේය.

සිය සේවාදායකයන් දෙදෙනා සම්බන්ධයෙන් තමාට පෙනී සිටීමට හැකි බවත්, එම නිසා සතියක් ඇතුළත ඇප ඉල්ලුම් පත්‍රයක් එම නීති කාර්යාලයට ඉදිරිපත් කරන බවත් වැඩිදුරටත් කියා සිටියේය ෴

+++++++++++++++++++++++++++++++++++

කුඩු චූටීට වෙඩි තැබූ හැටි – CCTV දර්ශන සහිතයි

(15.02.2019 – 12:02 +0530 – sinhala.adaderana.lk)

කොටහේන මැල්ලවත්ත ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ හෙරොයින් ජාවාරමේ නිරත ආශා ෆාරි නොහොත් කුඩු චූටි නමින් හැදින්වෙන තැනැත්තියක් මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි.

ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

වෙඩි වැඳීම සිදු අවස්ථාවේ අදාල කාන්තාව නිවසේ ආලින්දයේ රූපවාහිනිය නරඹමින් සිට ඇති අතර ඉදිරිපස් දොරටුවෙන් පැමිණි පුද්ගලයෙකු ඇයට වෙඩි තබා තිබේ.

වෙඩි තැබීම නිවසේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙම වෙඩි තැබීම සටහන්ව තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් එම කාන්තාවගේ මුහුණට සහ පපු ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇතිඅතර ඇය ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෙරොයින් ජාවාරමේ නිරත ආශා ෆාරි නොහොත් කුඩු චූටි නමින් හැදින්වෙන තැනැත්තිය මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම මෙම කාන්තාව මේ වනවිට ඩුබායිහි මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවේ පසුවන බව කියන කංජිපානි ඉම්රාන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ අනියම් බිරිඳ බවට තොරතුරු වාර්තා වී ඇතැයිද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

https://www.youtube.com/watch?v=odRYh5gqo4g

+++++++++++++++++++++++++++++++++++

අමල් සහ නදීමාල් 28 තෙක් ඩුබායි බන්ධනාගාරයට

(15.02.2019 – 19:08 +0530 – sinhala.adaderana.lk)

ඩුබායිහිදී මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත් කංජිපානි ඉම්රාන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ බිරිඳක් වන කොටහේන ප්‍රදේශයේ පදිංචි ආශා ෆාරි නොහොත් කුඩු චූටි නැමැති කාන්තාවට ඊයේ (14) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වුණි.

සිය නිවසේදීම අදාළ කාන්තාව වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙන අතර ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

කොටහේන මැල්ලවත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර පොලීසිය පැවසුවේ හෙරොයින් ජාවාරමේ නිරත ආශා ෆාරි නොහොත් කුඩු චූටි නමින් හඳුන්වන කාන්තාව මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු දෙවන මහලේ පිහිටි නිවසට තරප්පු පෙලින් ඇතුළු වී ආලින්දයේ රැඳී සිටි මෙම කාන්තාව ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර 5ක් එල්ල කර තිබේ.

නිවැසියන් රාත්‍රී ආහාර ගනිමින් සිටින අතරතුර තුවක්කුකරුවන් මෙම ප්‍රහාරය එල්ල කරන අයුරු නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් එම කාන්තාවගේ මුහුණට සහ පපු ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඇය ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ මෙම කාන්තාව මේ වනවිට ඩුබායිහි මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවේ පසුවන කංජිපානි ඉම්රාන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ දෙවන බිරිඳ බවට තොරතුරු වාර්තා වී ඇතැයිද පොලීසිය පවසයි.

මේ අතර ඩුබායි පොලීසිය ඉකුත් 5 වනදා අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා සම්බන්ධයෙනුත් පරික්ෂණ වාර්තා එරට පොලිසිය මගින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව වෙත එවීමට නියමිත බවයි වාර්තා වෙයි.

මේ අතර ඩුබායි පොලිසියේ අත්අඩංගුවට ගැනුන ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ලබන 28 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර තිබේ.

+++++++++++++++++++++++++++++++++++

13.02.2019
12.02.2019
11.02.2019

+++++++++++++++++++++++++++++++++++

මැති ඇමැති 20 ක් මධූෂ් එක්ක ගනුදෙනුවල

(16.02.2019 – deshaya.lk)

මාකඳුරේ මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ විවිධ දේශපාලකයන් 84 දෙනකුගෙන් 20 දෙනකු මැති ඇමැතීන් බව මධූෂ් ගැන කෙරෙන ඒකාබද්ධ පරීක්ෂණයේදී හෙළිදරව් වී තිබේ. මේ අයගෙන් පස්දෙනකු මධූෂ්ගේ සමීපතම හිතවතුන් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ආරක්ෂක අංශය පවසයි.

මොවුන් අතර ප්‍රධාන පක්ෂ ගණනාවක් නියෝජනය කරන්නෝ ද සිටිතියිද කියැවේ. මේ අතර සිටින කොළඹට නුදුරු දිශාවක් නියෝජනය කරන එක්තරා බලවත් දේශපාලනඥයකු මෙයට මාස හතරකට පමණ පෙර ඩුබායිහිදී මධූෂ් හමුව ඇතැයිද වාර්තා වෙයි.

මධූෂ් මෙරටට ලබා ගත හැකිද යන්න ගැන විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඩුබායි රාජ්‍යය නියෝජනය කරමින් කොළඹ සිටින තානාපතිවරයා සමඟ විශේෂ දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙයට දින කිහිපයකට පෙර එම සාකච්ඡාව දුරකථනය ඔස්සේ සිදුකර ඇත්තේ ඩුබායි තානාපතිවරයා සිය රට ගොස් සිටින නිසාය. මෙහිදී අදාළ නඩුවේ නීතිමය තත්ත්වය ජනාධිපතිවරයාට තානාපතිවරයා විසින් විස්තර කර ඇතැයි විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

අප වෙත එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් ලැබෙන නවතම වාර්තා අනුව ඩුබායි අධිකරණයේ නඩු තීන්දුව ලබා දීමට තවත් මාස 6ක් පමණ ගත විය හැකිය. නඩු තීන්දුවේදී මධූෂ්ට සිර දඬුවම් නියම වුවහොත් ඔහු නැවත ලංකාවට ලැබෙන්නේ දඬුවම හමාර වීමෙන් පසුවය.

මීළඟ නඩු දිනයේ මධූෂ්ට අපරාධ චෝදනා – නඩු අධ්‍යක්ෂකගෙන් විමර්ශනයක්

පාතාල නායක මාකඳුරේ මධූෂ්ට මරණීය දණ්ඩනය ලබා දිය හැකි වරදක් සිදුකර තිබේද යන්න ගැන තීන්දු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අපරාධ නඩු අධ්‍යක්ෂවරයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එරට සම්මත වී තිබෙන 1995 අංක 14 වැනි ෆෙඩරල් නීතියේ 39 වැනි වගන්තිය යටතේ මෙකී පරීක්ෂණය සිදුවෙමින් පවතින බව ඩුබායිහි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. එම නීතියේ විධිවිධාන අනුව කොකේන් පානය කර සිටින්නෙකුට හිමිවන අවම දඬුවම වසර දෙකක සිර දඬුවමකි.

එහෙත් රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂවරයාගේ (අභිචෝදක) පරීක්ෂණයේදී මධූෂ් මත් ද්‍රව්‍ය ජාවාරමට සුළු හෝ සබඳතාවක් ඇතැයි තහවුරු වුවහොත් ඔහුට හිමිවන්නේ මරණීය දණ්ඩනයයි.

දැනට සිදුකර තිබෙන පරීක්ෂණයේදී සොයා ගනු ලැබූ කරුණු මේ වනවිට එරට අධිකරණයට වාර්තා කර තිබේ. මධූෂ් සම්බන්ධ විධිමත් අපරාධ චෝදනා එරට රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂවරයා (අභිචෝදක) ඉදිරිපත් කරන්නේ මීළඟ නඩු දිනයේ බව දේශයට වාර්තා වෙයි.

– ආරක්ෂක වාර්තාකරු

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *