තිහාරියේ සිසුන් 2 ක් මිහින්තලේ දාගැබකට නැඟලා

(15.02.2019 – mawbima.lk)

ඓතිහාසික මිහින්තලා රජමහ විහාර භූමියට ඇතුළුවන ප්‍රධාන පියගැට පෙළට යාබදව පිහිටි කණ්ඨක චෛත්‍ය ආසන්නයේ පිහිටි අඩි හයක් පමණ උසින් යුතු පරිවාර චෛත්‍යයක් මතට නැඟී ජංගම දුරකථනයකින් ඡායාරූප ලබාගත් තිහාරියේ පිහිටි අරාබි අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු මිහින්තලය රජමහ විහාර භූමියේ සේවයේ නියුතුව සිටි පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (14 දා) දහවල් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා මිහින්තලය පොලිස් ස්ථානයට භාර දී තිබේ.

මිහින්තලා රජමහ විහාර භූමියේ මහ යෑය ඇතුළුව පරිවාර චෛත්‍ය 356 ක ප්‍රමාණයක් පිහිටා තිබෙන අතර ප්‍රධාන පියගැට පෙළ යාබදව පිහිටි පුරාවිද්‍යා ස්මාරකයක් යනුවෙන් හැඳින්වෙන පැරැණි චෛත්‍යයක් මත නැඟී සිසුන් ඡායාරූපය ලබා ගන්නා අයුරු දුටු මිහින්තලය රජමහ විහාරයේ සේවයේ නියුතුව සිටි පුරාවිද්‍යා සේවකයන් විසින් ඔවුන් අල්ලා පොලිසියට භාර දී ඇත.

සැකකාර සිසුන් දෙදෙනා ත්‍රිකුණාමලය කින්යා ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් නිට්ටඹුව – තිහාරිය අරාබි අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන වයස අවුරුදු 18 – 20 අතර පසුවන සිසුවන් බව පොලිසිය පවසයි.

එක් සිසුවකුගේ මවක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් ඇය බැලීම සඳහා පැමිණි අවස්ථාවේ රෝගීන් බැලීමට නියම කර තිබෙන වෙලාවට පෙර පැමිණීම නිසා ඔවුන් මිහින්තලය රජමහ විහාර භූමියට ගොස් තිබෙන බවත් එහි ගිය සිසුන් දෙදෙනාගෙන් එක් අයකු චෛත්‍යය මතට නැඟ ඇති බවත් අනෙක් සිසුවා ජංගම දුරකථනයෙන් ඡායාරූපය ගෙන තිබෙන බවත් පොලිසිය අනාවරණය කර ගෙන තිබිණි.

ඡායාරූප ලබාගත් සිසුවාගේ ස්මාට් වර්ගයේ දුරකථනය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කළ අවස්ථාවේ එකී දාගැබේ සිසුවා නැඟ ගත් ඡායාරූප තුනක් තිබූ බව පොලිසිය පැවැසුවේය. සිද්ධිය සැලවීමත් සමඟ අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත හෙරොව්පොතාන කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි සේනක බී. ජයසිංහ මහතා ඇතුළු මිහින්තලය පොලිසියේ නිලධාරීන් පිරිසක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිහින්තලය රජමහ විහාරයේ විහාරාධිපති හා භාරකාර ශාස්ත්‍රපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් කියා සිටියේ “කිරලාගල සිද්ධියක් නිසා මුළු රටම කැලඹීමට පත්වෙලා තියෙද්දී ආපහු මේ දරුවන් මේ වගේ දෙයක් කිරීම නොදැනුවත්කමට කරපු දෙයක් කියන්න බෑ. මෙවැනි සිදුවීම් නිසා රටේ සංහිඳියාවට බාධා එල්ල වෙනවා. මොන ආගමේ ජාතියේ වුණත් රටේ සංස්කෘතිය ගැන දැනගන්න ඕනෑ” යැයි උන්වහන්සේ පැවැසූහ.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් දෙදෙනා පුරාවිද්‍යා ස්මාරකයක් මත නැඟී ඡායාරූප ගැනීමේ චෝදනාවට අද (15දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ එල්.පී.එස්.පී. සඳුන්ගහවත්ත යන නිලධාරීන්ගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ මෙහෙයවීමෙන් මිහින්තලය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ජේ. ගුණතිලක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

හෙරොව්පොතාන , කිරලාගල පුරාවිද්‍යා භූමියේ පිහිටි ස්තූපයක නැඟී ඡායාරූප ගෙන සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ අම්පාර ඔළුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් අට දෙනකු මීට පෙර කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිසුන් අට දෙනා වරද පිළිගැනීම නිසා රුපියල් දහස බැගින් රුපියල් අට දහසක රජයේ ගාස්තුවක් සමඟ රුපියල් පනස්දහස බැගින් රුපියල් හාර ලක්ෂයක දඩ මුදලක් සිසුන් අට දෙනාට ගෙවීමට සිදුවිය ෴

+++++++++++++++++++++

******************************************

15.02.2019

******************************************

15.02.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *