මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස එකතු වෙලා මෛත්‍රි-ගෝඨා මරන්න සැලසුම් කළා දැයි සැකයි

(15.02.2019 – mawbima.lk)

මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස එකතු වී ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට සැලැසුම් කළේ දැයි සැක මතුවන බව පූජ්‍ය අක්මීමන දයාරතන හිමියෝ පැවැසූහ.

සිංහලේ විමුක්ති පෙරමුණ දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේ ඊයේ (14දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කීහ.

පසුගිය දවසක අපි පොලිස්පතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. වනාතවිල්ලුව ප්‍රදේශයේ තිබී හමුවුණු අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව. මාවනැල්ල ආදී ප්‍රදේශවල බුදු පිළිම, දේවප්‍රතිමා ආදී ආගමික දේවල් විනාශ කරන කණ්ඩායමක් බිහිවෙලා තිබුණා. මේ කණ්ඩායම පිළිබඳව පොලිසිය විසින් විමර්ශනය කරන වෙලාවේදී දේශපාලකයෙක් ඩී.අයි.ජී. මහත්තයාට කතා කරලා සඳහන් කළා මේ අය අත්අඩංගුවට ගන්න එපා අපි ඒ අය භාරදීම සඳහා කටයුතු කරනවා කියලා. නමුත් ඒ අය ලබා නොදීම නිසා පොලිසිය මේ පිළිබඳව තොරතුරු සොයාගෙන වනාතවිල්ලුව ප්‍රදේශයේදී විශාල අවි ආයුධ ගබඩාවක් සමඟ ඒ අය අත්අඩංගුවට ගත්තා. මේ අය අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී කණ්ඩායමට පවා එකතු වෙලා පුහුණුවීම් කළා කියන මතවාදය සමාජගත වෙන්නට පටන් ගත්තා. නැවත ත්‍රස්තවාදයක් ඇති වෙන්නට ඉඩ තිබෙන නිසා තමයි අපි මෙම සිදුවීමට සම්බන්ධ දේශපාලනඥයා අත්අඩංගුවට ගන්න කියලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙළේ.

ඉතාම අයහපත්ම කරණාව තමයි මේ දේශපාලකයා කවුද කියලා නිරාවරණය කරලත් නෑ. ඔහු අත්අඩංගුවට අරගෙනත් නෑ. මාකඳුරේ මධුෂ් කියන පුද්ගලයා අත්අඩංගුවට ගත්ත අවස්ථාවේදී අපි මුලින්ම කල්පනා කළා සාමාන්‍යයෙන් ගායකයෙක්, නළුවෙක් යම් කිසි විදේශ රටකට යනවා නම් කාගේ හරි ආරාධනාව මත එහෙම යනවා. ඔවුන් දන්නේ නෑ කවුද ආරාධනා කරන්නේ කියලා. අපිට තොරතුරු ලැබිලා තියෙන විදියට අමල් පෙරේරා කියන ගායකයාත් මේ මධුෂ් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියාගෙන ඉඳලා තියෙනවා. අපට සැක මතුවෙනවා මේ කට්ටිය එකතු වෙලා ජනාධිපතිතුමාවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාවත් ඝාතනය කරන්නසැලැසුම් කළාද කියලා.

මේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව කවුරු ලකුණු දාගන්න හැදුවත් මෙහි වගකීම පැවැරෙන්නේ ජනාධිපතිතුමාට. එතුමා තමයි මේ මත්ද්‍රව්‍යට විරුද්ධව දැවැන්ත වැඩකොටසක් කරගෙන යන්නේ. බන්ධනාගාරගත වෙලා ඉන්න පිරිසගෙන් 90% ක් මත්ද්‍රව්‍ය හේතුවෙන්. ඒ පිරිසගේ ශ්‍රමය රටේ දියුණුව සඳහා යොදාගන්න පුළුවන්.

මේ වෙනකොට ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ සිරගත වෙලා මාස හයකට වැඩියි. අපි ඉල්ලන්නේඥානසාර හාමුදුරුවෝ සිරගත වුණේ හොරකම් කරලා, කොල්ලකාලා, මත්ද්‍රව්‍ය විකුණලා නෙවෙයි.

මම ජනාධිපතිතුමාට කියන්නේ ඥානසාර හාමුදුරුවෝ නිදහස් කළා කියලා ඔබතුමාට ලැබෙන්නේ ආශීර්වාදයක් මිසක් දෝෂාරෝපණයක් නෙවෙයි. ජනාධිපතිතුමාට බෝම්බ තියපු එල්ටීටීඊ පුද්ගලයකුටත් නිදහස දුන්නා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් ඥානසාර හිමියන්ට නිදහසදෙන්න කියලා.

ශිවාජිලිංගම්ලා කරන ප්‍රකාශවලින් ඍජුවම අපිට පැහැදිලි වෙනවා වෙනම රාජ්‍යක් වෙනුවෙන් ඒ අය කටයුතු කරන්නේ කියලා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. නමුත් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නේ නෑ.

අහිංසක මිනිහෙක් පොල් ගෙඩියක් කැඩුවොත් ඔහු අරගෙන ගිහින් හිරගත කරලා ඔහුට තදින් නීතිය ක්‍රියාත්මක කරනවා.

මහ බැංකුව හොරා කාපු අර්ජුන් ඇලෝසියස් වගේ අයත් අද එළියේ ඉන්නේ. එජාපයේ චමින්ද විජේසිරි මන්ත්‍රිතුමාට නිදහස ලැබුණා. ඔහුගේ රියැදුරු අත්අඩංගුවට අරගෙන. බලය තියෙන පුද්ගලයෝ එළියට එනවා. අහිංසකයෝ ඇතුළට යනවා.

******************************************

FCID ගැන වාසුගෙන් ජනපතිට හා ආණ්ඩුවට ප්‍රශ්න පත්‍රයක්

(14.02.2019 – mawbima.lk)

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) සම්බන්ධයෙන් පවතින බරපතළ ගැටලු කිහිපයක් පිළිබඳව තමා ළඟදීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ ආණ්ඩු පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවේදී විමසන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ‘මව්බිම’ට ප්‍රකාශ කළේය.

FCID ආයතනය එක්සත් ජාතික පක්‍ෂයේ කැබිනට් අමාත්‍යවරුන් පොලිසිය භාර අමාත්‍යවරුන් විදියට කටයුතු කරමින් පවත්වාගෙන ගිය ආකාරය සහ දැන් ජනාධිපතිවරයා යටතේ පොලිසිය ක්‍රියාත්මක වන විට FCID පවත්වාගෙන යන ආකාරය විමසීම මෙහි ප්‍රධාන අරමුණු බවද වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.

මීට පෙර FCID ක්‍රියාත්මක වූයේ අගමැති කාර්යාලයෙන් ඉදිරිපත් කළ පණිවුඩවලට පමණක් බවත් එම පැමිණිලි ගොනු කළ කණ්ඩායම විපක්‍ෂයේ දේශපාලනඥයන් මර්දනය කිරීමට චෝදනා ගොනු කළේ කාගේ වුවමනාවටද?

තෝරා බේරා ගනිමින් එම චෝදනා ගොනු කිරීමට උපදෙස් ලබාදුන් දේශපාලනඥයන් කවුද?

එම දේශපාලනඥයන් සහ FCID ඉහළ නිලධාරීන් දේශපාලන පළිගැනීම් සිදු කිරීමට කරන ලද සැලසුම් සහ ක්‍රියාමාර්ග මොනවාද?

නීති විරෝධී ලෙස ස්ථාපිත කර ඇති FCID ආයතනයට එරෙහිව ගොනු කරන ලද පෙත්සම් විභාගයේ තීන්දුව ප්‍රකාශ වීම අධිකරණය තුළ දිගින් දිගටම කල් යෑම.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් සිදු කළ වංචා, දූෂණ, අක්‍රමිකතාවලට එරෙහිව FCID කිසිදු පරීක්‍ෂණයක් සිදු නොකිරීම හා ඒ සඳහා FCID ආයතනයට උපදෙස් ලබාදුන් දේශපාලනඥයන් හා FCID ඉහළ නිලධාරීන් කවුද? ඇතුළු ප්‍රශ්න පත්‍රයක් FCID ආයතනය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් විමසන බව වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *