ව්‍යවස්ථාදායක සභාවෙන් තනතුරු ගන්න නම් රෑට රෑට ගොස් කථානායක හමුවෙන්න ඕනෑ – එස්. බී. දිසානායක

(15.02.2019 – mawbima.lk)

ව්‍යවස්ථාදායක සභාවෙන් උසස් වීම් ලැබීමට නම් රෑට රෑට ගොස් කථානායක හමුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා පැවැසීය.

කොළඹ පරිවර්තන කේන්ද්‍රයේ ඊයේ (14 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කීවේය.

කථානායකවරයා ව්‍යවස්ථාදායක සභාව තුළ දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන බවද මන්ත්‍රිවරයා කීවේය.

ස්වාධීන කොමිෂන් සභා ගැන විශාල ලෙස පසුගිය දවස්වල කතාබහට ලක්වුණා. ව්‍යවස්ථාදායක සභාව විනිසුරුවරුන් පත් කිරීමේදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය නොතකා ඔවුන්ව දඩයම් කරනවා. විනිසුරුවරුන් සාමාන්‍ය අධිකරණයෙන් මහාධිකරණයට උසස් කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වය බලපාන්නේ නැත්නම් මොකක්ද බලන්නේ? කතා කරපු නඩු ගැන බලන්නද?

විජයදාස රාජපක්‍ෂ හිටපු ඇමැතිවරයා කියලා මේ ගැන පැහැදිලි කරලා තියෙනවා. පූජිත් ජයසුන්දර පොලිස්පති ලෙස පත් කරනකොට වෙච්ච දේ ගැන කියලා තිබුණා. දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ නම දැන් කිහිප වරක්ම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්‍ෂේප කළා. හේතුව තමයි සුදු කොඩි නඩුව කතා කරපු නිසා. ඒ වගේම කුසලා වීරවර්ධන විනිසුරුවරිය අභියාචනාධිකරණයට පත් කළේ නැහැ. මොකද ලලිත් වීරතුංගට සිල් රෙදි නඩුවේදී ඇප දීපු නිසා. උසස්වීම් ඕනේ නම් රෑට ගිහින් කථානායකවරයා හමු වෙන්න ඕනේ. මේකට වගකිව යුත්තේ වෙන කවුරුත් නොවේ. කථානායක කරු ජයසූරිය. ඔහු තමන්ගේ දේශපාලන න්‍යාය තමයි මෙහි ක්‍රියාත්මක කරන්නේ. ජනාධිපතිතුමාගේ නිර්දේශත් ඉවත දානවා. එය විශාල අර්බුදයක් ලෙස දැන් තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා :

අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ව්‍යාපෘතිය අද ආණ්ඩුව හොර රහසේම ක්‍රියාත්මක වෙනවා. පෞද්ගලිකපාසල් 400 ක් ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය අරගෙන තියෙනවා. රජයට පවරා නොගත් පාසල්වලට රෙගුලාසි හදන මුවාවෙන් තමයි මේ කැබිනට් පත්‍රිකාව දාලා තියෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා :

උසස් පෙළ දරුවන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමට නැවත පියවර අරගෙන තියෙනවා. ජනාධිපතිතුමා කිව්වේ අත්හදා බැලීමක් කරන්න 100 ක් විතර බෙදලා බලන්න කියලා. එසේ නොකර අධ්‍යාපන අමාත්‍යාංශය ටැබ් පරිගණක ලක්‍ෂ 2 ක් ගෙන්නලා තියෙනවා. කැබිනට් පත්‍රිකාවක් මත කැබිනට් අනුමැතිය ඉල්ලලා තියෙනවා. මේ නිසා රුපියල් බිලියනයක් රටට පාඩුවක් වෙලා තියෙනවා.

ජනාධිපතිවරණයට දැන් අපේක්‍ෂකයෙක් සූදානම්ද?

අපිට මෛත්‍රි ඉන්නවා. ගෝඨා ඉන්නවා, බැසිල් ඉන්නවා, චමල් ඉන්නවා, දිනේෂ් ඉන්නවා. හැබැයි එජාපයට පරඬැලක්වත් පේන තෙක් මානයක නෑ ෴

+++++++++++++++++++++++++++++++++++

විනිසුරුවරුන්ට නිසි තනතුරු නොලැබෙන්නේ ව්‍යවස්ථා සභාවේ හිතුවක්කාර වැඩ නිසා

(15.02.2019 – mawbima.lk)

මෙරට අධිකරණ සේවාවේ නියුතු විනිසුරුවරුන්ට හා විනිසුරුවරියන්ට ඔවුන්ට හිමි විය යුතු තනතුරු නොලැබෙන්නේ ව්‍යවස්ථාදායක සභාව හිතුමතේට වැඩ කිරීමට පටන්ගෙන තිබීම නිසා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා පවසයි.

ව්‍යවස්ථාදායක සභාව එසේ හිතුමතේට වැඩ කිරීම නිසා ඉහළ අධිකරණවල තනතුරුදැරිය යුතුව සිටින විනිසුරුවරුන් හා විනිසුරුවරියන් බොහෝ පිරිසකට විශ්‍රාම යන තෙක්ම එකම තනතුරුවල රැඳී සිටීමට සිදුව ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා විසින් ඉහළ අධිකරණ තනතුරු සඳහා නම් කර යවන විනිසුරුවරුන්ගේ හා විනිසුරුවරියන්ගේ නම් ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාවට හැකියාවක් ඇති නමුත් එකී නම් ප්‍රතික්ෂේප කරන්නේ ඇයිද යන්න පිළිබඳ ජනාධිපතිවරයාව දැනුවත් කිරීම ඔවුන්ගේ වගකීමක් වුවද ඔවුන් එවැනි දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවද ඒ මහතා පවසයි.

අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ඉහළ අධිකරණවල විනිසුරුවරුන් නොමැති අවස්ථාවන්හිදී එම අධිකරණවල වැඩ බැලීම සඳහා වෙනත් සුදුසු විනිසුරුවරුන් හා විනිසුරුවරියන් පත් කරන බවද එවැනි වැඩ බැලීම සඳහා පත් කළ අයකුට එවැනි අධිකරණවල ඉහළ තනතුරක් ලබාදීමට කටයුතු කරන අවස්ථාවන්හිදී ව්‍යවස්ථාදායක සභාව එම විනිසුරුවරුන්ගේ නම් ප්‍රතික්ෂේප කරන බවද ඒ මහතා පවසයි.

එම විනිසුරුවරුන් වැඩ බැලීමට සුදුසු නම් ඒ අයව එම අධිකරණවල ඉහළ තනතුරකට නම් කිරීමේදී ප්‍රතික්ෂේප කිරීමට හේතුව විශාල ගැටලු සහගත තත්ත්වයක් බවද ඒ මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා විසින් නම් කර යවන ලද විනිසුරුවන්ගේ දූෂණ, වංචා, අක්‍රමිකතා තිබෙනවා නම් ඒ බව ජනාධිපතිවරයා වෙත දන්වා ඒ අයට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ව්‍යවස්ථාදායක සභාවේ වගකීමක් බවත්, එසේ නොකිරීම තුළින්හැඟෙන්නේ එම විනිසුරුවරුන්ට එවැනි චෝදනා නොමැති නිසා බවද පවසන ඒ මහතා තවදුරටත් පෙන්වා දෙන්නේ, චෝදනා ඇති විනිසුරුවරුන්ට ඔවුන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමටද ඉඩ ලබාදිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන ඒ මහතා පෙන්වා දෙන්නේ, විනිසුරුවරුන්ට සිදුවන එකී අසාධාරණකම් සම්බන්ධයෙන් නීතිඥ සංගම් රැස්වීමේදී ද සාකච්ඡාවට ගැනුණු බවත් විනිසුරු වෘත්තිය වැදගත් මෙන්ම ගරු ගාම්භීර වෘත්තියක් බවත් එවැනි වෘත්තියක නියැළෙන විනිසුරුවරුන්ට අසාධාරණයක් නොවන ආකාරයට කටයුතු කිරීමට ව්‍යවස්ථාදායක සභාව වගබලා ගත යුතු බවත්ය ෴

+++++++++++++++++++++++++++++++++++

ව්‍යවස්ථාදායක සභාවට මහින්දගෙන් චෝදනා

(15.02.2019 – 19:23 +0530 – sinhala.adaderana.lk)

ව්‍යවස්ථාදායක සභාව විසින් ක්‍රියාත්මක කරන අත්තනෝමතික ක්‍රියා නිසා සමස්ථ රාජ්‍ය පාලන ක්‍රියාවලියම කඩා වැටීමට ලක්වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඇති කළ සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා 09 ක් ස්ථාපිත කර ඒවායේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා මෙම ව්‍යවස්ථාදායක සභාව පත් කරනු ලැබුවේය.

ඒ අනුව අධිකරණ සේවා කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම, ජාතික පොලිස් කොමිසම, විගණන සේවා කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, මුදල් කොමිසම සහ ජාතික ප්‍රසම්පාදන කොමිසමට සාමාජිකයින් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධාන කාර්යයභාරය වෙයි.

එමෙන්ම අග විනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්, නීතිපති, විගණකාධිපති, පොලිස්පති සහ පාර්ලිමේන්තු මහ ලේකම් වැනි වැදගත් තනතුරු ගණනාවකට පත්වීම් කරනු ලබන්නේ ද මෙම ව්‍යවස්ථාදායක සභාවයි.

මුළු සාමාජිකයින් ගණන 10 කින් සමන්විත ව්‍යවස්ථාදායක සභාවට නිල බලයෙන් කථානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂනායකවරයා තේරී පත් වෙයි.

ඊට අමතරව ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මහින්ද සමරසිංහ මහතාද, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස තලතා අතුකෝරළ මහත්මියද විපක්‍ෂනායකවරයාගේ නියෝජිතයා ලෙස චමල් රාජපක්‍ෂ මහතාද පත්කර තිබේ.

සුළු පක්‍ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයා ලෙස බිමල් රත්නායක මන්ත්‍රීවරයා පත්කර ඇති අතර, තවත් සිවිල් සංවිධාන නියෝජනය කරන නියෝජිතයින් ආචාර්ය ජයන්ත ධනපාල මහතා, අහමඩ් ජාවිඩ් යූසුෆ් මහතා සහ නාගනාදන් සෙල්වකුමාරන් මහතා පත්කෙරුණි.

නමුත් වත්මන් ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පසුගිය දිනවල ජනාධිපතිවරයා ඇතුළු විවිධ පාර්ශ්වලින් චෝදනා එල්ල වුණි.

අද දිනයේ නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා ද වත්මන් ව්‍යවස්ථාදායක සභාවේ කාර්යභාරය විවේදනයට ලක් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් පරිදි ව්‍යවස්ථාදායක සභාව විසින් ක්‍රියාත්මක කරන අත්තනෝමතික ක්‍රියා නිසා සමස්ථ රාජ්‍ය පාලන ක්‍රියාවලියම කඩා වැටීමට ලක්වී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

මේ අතර තවත් මහජන නියෝජිතයින් කිහිපදෙනෙකු අද දිනයේත් ව්‍යවස්ථාදායක සභාවේ කාර්යභාරය විවේදනයට ලක් කළේය.

+++++++++++++++++++++++++++++++++++

16.02.2019

******************************************

15.02.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *