කතානායක එජාපයට කඩේ යන්න ගොස් කඳ හරහා ඇනගනී…පාර්ලිමේන්තුව විසුරුවන්න උවමනා සුවිශේෂී තත්වය හදා දෙයි..

(09.11.2018 – 15:50 +0530 – lankacnews.com)

අගමැතිවරයා ගැන යම් ගැටළුවක් අත්තේ නම් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවණයක් පැවැත්වීම මගින් එය නිරාකරණය කර ගත හැකි බව පිවිතුරු හෙල උරුමය පවසයි.

කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්තාවෙන් බලතල ඇති බවත් මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

උදය ගම්මන්පිල මහතා :

“රටේ අලුත් සංවාදයක් මතු වෙලා. එක පිරිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(ඇ) වගන්තිය උපුටා දක්වමින් ජනාධිපතිට පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින මෙන් ඉල්ලනවා. තවත් පිරිසක් 70(1) වගන්තිය උපුටා දක්වමින් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුව විසින් තුනෙන් දෙකේ බහුතරයෙන් යෝජනාවක් සම්මත කර ඔහුගෙන් ඉල්ලා සිටියහොත් පමණක් බව කියනවා. දෙපාර්ශවයම උපුටා දක්වන්නේ එකම ව්‍යවස්ථාවයි. එහෙම වුණේ කොහොමද ?

1978 දී සම්මත කළ මුල් ව්‍යවස්ථාවේ 70(1) වගන්තියේ ජනපතිගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය තිබුණේ කොන්දේසි දෙකකට යටත්ව. ඒ අනුව ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් එක්කෝ පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් ජනපතිගෙන් ඉල්ලන යෝජනාවක් පාර්ලිමේන්තුව සම්මත කළ යුතුයි. නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණයේ සිට වසරක් ගත වී තිබිය යුතුයි. 19 වන සංශෝධනයෙන් මෙම කොන්දේසි දෙකම තවත් දැඩි කලා. ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි කාලය වසරේ සිට වසර හතරහමාරක් දක්වා වැඩි කළා. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සම්මත කරන යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බවට නියම කලා.

නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සත්දෙනෙකුගේ තීන්දුවක් තිබෙනවා. ඒ අනුව ජනපතිගේ මොනවා හරි බලයක් ඉවත් කරනවා නම් ජනමත විමසුමකදී ජනතාවගෙන් අනුමැතිය ගන්න ඕනෑ. ජනමත විමසුම මගහරින්න එජාපයට ඕන වුණු නිසා ජනපතිගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය කොන්දේසි වලට යටත් නොකර 33(2) වගන්තිය ලෙස ව්‍යවස්ථාවට ඇතුළු කළා.

අපි 33(2) වගන්තිය කියවමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතල සහ කාර්යයන්ට අමතරව ජනාධිපතිවරයාට (ඇ) පාර්ලිමේන්තුව කැඳවීම වාර අවසාන කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ ය. අමතරව කිව්ව ගමන් 70(1) වගන්තියෙන් සීමා කර ඇති බලයට අමතරවයි මේ බලය දෙන්නේ.

එකම බලය ව්‍යවස්ථාවේ තැන් දෙකක දෙවිදිහකට සඳහන් වෙනවා නම් ඒකට හේතුවත් තිබෙන්න ඕනෑ. 70 (1) වගන්තියේ තිබෙන්නේ සාමාන්‍ය තත්වයක් යටතේ ජනාධිපති කටයුතු කළ යුතු ආකාරයයි. ඒ අනුව සාමාන්‍ය වාතාවරණයකදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයෙන් සම්මත කරන යෝජනාවකින් තොරව ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බෑ. 33(2)(ඇ) වගන්තියෙන් තිබෙන්නේ අර්බුදකාරී තත්ත්වයක දී කටයුතු කළ යුතු ආකාරයයි. එතැනදී ජනාධිපතිට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්.

දැන් ඔන්න කතානායකවරයා විසින් අවශ්‍ය අර්බූදය නිර්මාණය කර තිබෙනවා. විධායකයේ ප්‍රධානියා පත්කළ අගමැතිවරයාව ව්‍යවස්ථාදායක ප්‍රධානියා පිළිගන්න බෑ කියනවා. එතුමා පිළිගන්නේ හිටපු අගමැතිලු. ඒ බව අත්සන් කරලා ලිඛිතව ප්‍රකාශ කර තිබෙනවා. දැන් විධායකය සහ ව්‍යවස්ථාදායකය අගමැති සම්බන්ධයෙන් ගැටුමක. මේ ගැටුම විසඳන්න පුළුවන් එකම බලධාරියා වන්නේ මේ දෙපාර්ශවයටම බලය දුන්නු පරමාධිපත්‍ය බලය තිබෙන ජනතාවයි. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැර තමන් වඩාත් කැමති අගමැති කවුදැයි තීරණය කරන්න ජනතාවට බලය ලබාදිය යුතුයි. වර්තමානයේ කථානායකතුමා ඇතිකර තිබෙන අර්බුදයට විසඳුම ලෙස ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(2)(ඇ) වගන්තියෙන් තමන්ට ලැබී ඇති බලය පාවිච්චි කර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු යැයි කියා අප හිතනවා.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++

පාර්ලිමේන්තුව විසුරුවා හරින්න අධිකරණයේ මතය විමසන්න

(09.11.2018 – 15:33 +0530 – sinhala.adaderana.lk)

වත්මන් පාර්ලිමේන්තුව හදිසියේ විසිරුවා හැරීමට ජනාධිපතිවරයා අදහස් කරන්නේ නම්, එයට පෙර ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා කටයුතු කරන ලෙස ඉල්ලමින් කැෆේ සංවිධානය විසින් ජනපතිට ලිපියක් යොමු කර තිබේ.

හදිසියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට අනුව බලයක් ඇති ද? යන්න පිළිබද මේ වන විට මත දෙකක් පළ වී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

එජාපය හා පාර්ලිමේන්තුවේ ඔවුන්ට සහාය දෙන කණ්ඩායම් ද, එයට සහාය දෙන සිවිල් සංවිධාන / ක්‍රියාකාරීන් ප්‍ර‍කාශ කරන්නේ මෙම අවස්ථාවේ දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට බලයක් නොමැති බව සඳහන් කරන බව ද එහි සඳහන් වෙයි.

ශ්‍රීලනිප සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජිකයින්, හිතවතුන් හා සංවිධාන පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා ජනාධිපතිට බලයක් ඇති බව පවසන බවද කැෆේ සංවිධානය වෙනුවෙන් ලිපිය යොමු කරමින් එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා වෙත බලය ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම හේතුවෙන් කිසිදු පාර්ශවයකට අගතියක් සිදු නොවන අතර, ඡන්දය කල් යාමක් ද සිදු නොවන බව එම සංවිධානය වැඩිදුරටත් දක්වා තිබේ.

ජනාධිපතිවරයාට යොමු කළ සම්පූර්ණ ලිපිය පහකතින් දැක්වෙයි :

https://i.postimg.cc/cHp86Qzh/Letter-L.jpg
https://i.postimg.cc/KcTMwHKH/Letter-M.jpg

+++++++++++++++++++++++++++++++++++

09.11.2018

+++++++++++++++++++++++++++++++++++

09.11.2018

+++++++++++++++++++++++++++++++++++

09.11.2018

+++++++++++++++++++++++++++++++++++

09.11.2018
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *