විදේශ ගිවිසුම් ගැන යළි සමාලෝචනයක්

(09.11.2018 – 18:15 +0530 – hirunews.lk/sinhala)

විදේශයන්ගෙන් මෙරටට ලැබෙන ආධාර පිලිබඳව කිසිදු ගැටලුවක් උද්ගත වී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළා.

ඒ, අද පෙරවරුවේ සිය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා යන මහත්වරු ද එක්ව සිටියා.

මේ අතර, ජාත්‍යන්තර වෙළඳ සහ අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ වැඩ භාරගත්තා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඇතුලු වෙනත් රටවල් සමග අත්සන් කර ඇති ගිවිසුම් පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කිරිමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වු ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා ද අද පෙරවරුවේ වැඩභාර ගත්තා.

මේ අතර, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය එස්.බී.දිසානායක මහතා අද එම ධූරයේ වැඩ භාරගත්තේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදීයි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පලාත් සභා මැතිවරණය කල් දැමීම සිදුකරනු ලැබුවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාව මත බවයි.

හැකි ඉක්මණින් එම මැතිවරණය පැරණි ක්‍රමවේදයට පැවැත්විමට රජය බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන් චමල් රාජපක්ෂ මහතා ද අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කලා.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අධිකරණ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අධිකරණ අමාත්‍යාශයේ උපරිමාධිකරණ සංකිර්ණයේදි අද සිය වැඩ භාරගත්තා ෴

******************************************

රජයේ වෛද්‍ය නිලධාරින් අගමැති හමුවෙයි

(09.11.2018 – 16:07 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වුණා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදුවී ඇති අතර, එහිදී රාජ්‍ය සේවයේ මෙන්ම සෞඛ්‍ය සේවයේ පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

වෘත්තීයවේදීන්ට තම සේවාවන් දිරිගැන්වීම් සහිතව රටට සේවය ලබාදීම සදහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරදීම ද, විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත ලබාදීම සම්බන්ධයෙන් ද, රාජ්‍ය සේවය සදහා දීමනා ප්‍රතිපත්තියක් සකස් කිරීම හා ජාතික වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා වන මූලික වැටුප් ක්‍රමවේදයක් ඇති කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා ෴

******************************************

කැළණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසේ

(09.11.2018 – 13:09 +0530 – hirunews.lk/sinhala)

යෝජිත නව කැළණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා කැළණි පාලම අතර මාර්ගයේ කොටසක් හෙට සිට තාවකාලිකව වසා තැබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ හේතුවෙන් අලුතින් ඉදිකරන ලද විකල්ප මාර්ගය භාවිත කරන මෙන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අනුව හෙට සිට කොළඹ – පුත්තලම මාර්ගයේ සහ කොළඹ – නුවර මාර්ගයේ සිට කොළඹ දෙසට ගමන් කරන වාහන පෑලියගොඩ හුවමාරුවෙන් ඇතුළුවීම තාවකාලිකව නතර කෙරෙනු ඇති.

එමෙන්ම, අධිවේගී මාර්ගයේ සිට කොළඹ සිට පැමිණෙන වාහන පෑලියගොඩ හුවමාරුවෙන් කොළඹ – පුත්තලම සහ කොළඹ – නුවර මාර්ගවලට පිටවීම ද අත්හිටුවන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *