කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහලට රු. ලක්ෂ 28 ක් වටිනා ශ්වසන ආධාරක උපකරණයක් පරිත්‍යාග කෙරේ

(06.11.2018 – 21:14 +0530 – sinhala.adaderana.lk)

පුංචි ජීවිත බේරා ගන්න අත්වැලක්

කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයට පවතින ශ්වසන ආධාරක වල අඩුපාඩුව පිළිබඳව අද (06) දෙරණ පසුගියදා රටට අනාවරණ කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස එම රෝහලට තවත් ශ්වසන ආධාරකයක් හිමි වී තිබේ.

කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහලේ සෑම මසකම දරු උපත් දහසක් පමණ සිදුවන අතර ඉන් දරුවන් 40 කට පමණ ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට සිදුවි ඇත.

ශ්වසන අපහසුතා සහිත එම දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල සතුව පවතින ශ්වසන ආධාරක උපකරණ පහ ප්‍රමාණවත් නොවන බව අද දෙරණ ඉකුත් අගොස්තු 25 වැනිදා රටට අනාවරණ කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල් ලක්ෂ 28 ක් වටිනා ශ්වසන ආධාරක උපකරණයක් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලට පරිත්‍යග කිරීමට පෞද්ගලික සමාගමක් ඉදිරිපත් විය.

******************************************

හලාවත මහ රෝහලේ දී බිළිදුන් මිය ගියේ ඇයි?

(06.11.2018 – 16:53 +0530 – sinhala.adaderana.lk)

උපතේදී සිදුවූ ළදරු මරණ තුනක් හා මාතෘ මරණයක් වාර්තා විමත් සමඟ හලාවත මහා රෝහලේ ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මේ මරණ දින දහයක් තුළ වාර්තා වීම මිට ප්‍රධාන හේතුව වී තිබේ.

මේ තත්ත්වය හේතුවෙන් හලාවත මහා රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබන රෝගීන්ද බියට පත්ව ඇත.

ළදරුවන් තිදෙනෙකු හා මවක් දරු ප්‍රසුතියේදී මිය යාම අසාමාන්‍ය තත්ත්වයක් බව තමන් පිළිගන්නා බව මේ පිළිබඳ කල විමසීමේදී හලාවත මහා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය එල්.පොද්දල්ගොඩ මහතා පැවසිය.

වෛද්‍ය පොද්දල්ගොඩ මහතා හලාවත මහ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත්ව ගතව ඇත්තේ මාසයක පමණ කාලයක සිටය.

පළමු සිදුවීම වී ඇත්තේ පසුගිය මස 28 වන දිනයි. එහිදී මියගොස් ඇත්තේ රසිකා ජිවනි නමැති තිස්පස් හැවිරිදි මවකි.

මේ සමඟ ඇයට ලැබුණු බිළිදියද මියගොස් ඇත.

දෙවන සිදුවීම පසුගිය (04) වැනි දින සිදුව තිබේ. මින් මියගොස් ඇත්තේ පහල අත්තන්ගනේ, නල්ලදරන්කට්ටුව පදිංචිකාරියක් වූ ටානියා කල්හාරි නැමති 21 හැවිරිදි තරුණියට ලැබුණි බිළිදියයි.

තෙවන සිදුවීම ඊයේ (05) පස්වරුවේ සිදුව තිබේ. මින් මියගොස් ඇත්තේ උඩප්පුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ පෙරියන්ඩි වදනි නැමති 30 හැවිරිදි තැනැත්තියට ලැබුණු දියණියයි.

තම බිරිඳ හා දරුවා ඉතා නිරෝගිව සිටි බව මේ පිළිබඳව කල විමසිමේදී දරු ප්‍රසුතියේදී මියගිය මවගේ සැමියා වන අරුණ ප්‍රියංග මහතා පැවසිය.

වැඩි දුරටත් අදහස් දැක්වු අරුණ ප්‍රියංග මහතා මෙසේ පැවසීය :

“මුල ඉදලම දොස්තරලා චැනල් කරලා පෙන්නුවා. කිසිම ලෙඩක් නැහැ කිව්වා. දෙවැනි දරුවා තමයි ලැබෙන්න හිටියේ. පසුගිය 24 වැනිදා රෝහලට ඇතුලත් කළා.

මගේ බිරිඳ ටිකට් එකේ ලියලා අත්සන් කළා සීසර් කරලා ලමයව ගන්න කියලා. මමත් කිව්වා. නමුත් සැලකුවේ නැහැ. මේ ගැන අපි ඉහල පරිපාලනයටත් කිව්වා.

නමුත් වැඩක් වුනේ නැහැ. අන්තිමට සාමාන්‍ය පරිදි ළමයා ලැබුනා කියල ඒ අය කියනවා නමුත් දෙන්නම මැරුණා. දැන් ටිකට් එකේ තියනවලු බිරිඳ සීසර් එකට අකමැතියි කියල අත්සන් කළා කියල.

මම ඉල්ලනේ අත් අකුරු පරීක්ෂණයක් කරන්න කියලයි.”

ඒ වගේම මේ පිළිබඳ ටානියා කල්හාරි මහත්මියට ලැබුණු බිළිඳිය මිය යාමට හේතුව ලෙස මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මවගේ දියවැඩියා රෝගය උත්සන්න වීම හා සංකුල්තාවයයි.

තමනට එවැනි දියවැඩියා රෝගී තත්වයක් නොතිබූ බව ටානියා කල්හාරි මහත්මිය පැවසූ අතර ඇගේ මව කියා සිටියේ මේ මරණයට හලාවත රෝහලේ කාර්ය මණ්ඩලය වගකිව යුතු බවයි.

කෙසේ වෙතත් දෙමාපියන්ගේ ඉල්ලීම පරිදි අද (06) දහවල් පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා මේ බිළිඳා හලාවත පොදු සුසාන භූමියේදී මිහිදන් කැරිණි.

මෙලෙස සිදුකිරීම සඳහා ඇති හැකියාව පිළිබදවද සොයා බැලීම බලධාරීන්ගේ වගකීමකි. එයට ප්‍රධාන හේතුව වන්නේ හලාවත මහා රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා විසින් තම රෝහලේ සිදුවූ මාතෘ හා ළමා මරණවල අසාමාන්‍ය තත්ත්වයක් තිබෙන බව මේ වන විට පිළිගෙන තිබීමයි.

මිට අමතරව හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසුවේ විෂබීජ පැතිර යාමක් සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා අදාල අංශ දැනුවත් කර ඇති බවයි.

මේ පිළිබඳව වාර්තා කිරීම සඳහා හලාවත රෝහලට ගිය අවස්ථාවේ වැඩ බලන රෝහල් අධ්‍යක්ෂකවරයා රෝහලට ඇතුල් වී තොරතුරු ලබා ගැනීමට හා ඡායාරූප ගැනීමට අවසර ලබා දුන්නත්, අදාල වාට්ටු භාර නිලධාරීන් මේ සඳහා අවසර ලබා නොදීම තුළද සත්‍ය තොරතුරු වසන් කිරීමේ ප්‍රයත්නයක මේ පිරිස සිටින බවට සැක පහල වෙයි.

******************************************

මහ සයුරේ බහුදින ධීවර යාත්‍රාවක සිටි රෝගියෙක් බේරාගන්න මෙහෙයුමක්

(07.11.2018 – 16:49 +0530 – sinhala.adaderana.lk)

රෝගියෙක් බේරගන්න පිළිසරණක් වූ මෙහෙයුමක්

මාතර, ගන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ලක්සිරි 04’නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ඒ අනුව පසුගිය ඔක්තෝබර් 05 වන දින හෘදයාබාධයක් ඇති වූ එම රෝගියාව රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කෙරුණි.

ඒ අතරතුර ඉන්දියාවට අයත් වෙළඳ නෞකාවක් වන VISWA VIJE නැමැති නෞකාව මඟින් එම රෝගි වූ ධීවරයා බහුදින ධිවර යාත්‍රාවෙන් රැගෙන ඇති අතර අනතුරුව එම රෝගියා පවුල් තුඩුවට නාවික සැතපුම් 07 ක් දුරකදි නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත භාර දීමට කටයුතු කර තිබේ.

ඒ අනුව වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් එම රෝගියා ආරක්ෂාකාරී ලෙස ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය වෙත රැගෙන එනු ලැබූ අතර පසුව ඔහු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය, මහ රෝහල වෙත ඇතුලත් කෙරිණි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *